Monday, May 18, 2020

දෙවියන් සොයා අලුත්නුවර ගියෙමි....



     පුරාතන ශ්‍රී ලාංකේය ජන සමාජයෙහි වැසියන් සරල , සාමූහික , සීමාසහිත ජීවිත ගත කළ අතරම එදිනෙදා ජීවිතයේ ඔවුනට පැමිණි දුක් කම්කටොලු ආදී විවිධ අවස්ථාවන් වලදී නොපෙනෙන බලවේග පිළිබඳ විශ්වාස කරමින් ඔවුනට පුදපූජා පැවැත්වීමේ සිරිතක් දක්නට පුළුවනි . මේ පිළිබඳව ප්‍රාග් බෞද්ධ යුගයෙහි සිට සාධක ගණනාවක් හමුවේ . එහිදී වංශකතාගත තොරතුරු වලට අනුව පණ්ඩුකාභය රාජ්‍යය කාලයේ සිටම මෙම නොපෙනෙන බලවේග සංකල්පය ඉතා දැඩි ලෙස පැවති අතර දේව සංකල්පය ඒ තුළ ප්‍රධාන වූ බව පෙනේ . ඉන් අනතුරුව මහින්දාගමනයෙන් පසුව දේව වන්දනය බුදුදහම සමඟ බද්ධ වෙමින් ඉදිරියට පැමිණි බව පෙනෙන අතරම පසුකාලීනව විහාරාරාම ආශ්‍රිතව දේවාල ඉදිවීම දක්නට ලැබේ . ඒ අනුව ලංකාව තුළ සමන්, උපුල්වන්, කතරගම, නාථ, පත්තිනි සහ විෂ්ණු වැනි දෙවිවරුන් රැසක් උදෙසා දේවාල ඉදි වීම බහුලව සිදු වූ බව හදුනාගත හැකිය . එහිදී ජනප්‍රිය දේව සංකල්පය තුළ එන, ගැමි ජනතාවගේ හදවත් තුළ ලැගුම් ගත් ප්‍රබල දේව සංකල්පයක් වූයේ දැඩිමුණ්ඩ දේව සංකල්පයයි. 
 විශේෂයෙන්ම දැඩිමුණ්ඩ දේව සංකල්පය පිළිබඳව කතා කිරීමේදී අලුත්නුවර දැඩිමුණ්ඩ දේවාලය අතිශයින් වැදගත් වන අතර මෙම අලුත්නුවර දේවාලය ඉදි වන්නේද මෙරට ජනයා තුළ පැවති දේව විශ්වාසයෙහි ප්‍රතිඵලයක් වශයෙනි . කෙසේ වෙතත් මෙම අලුත්නුවර දේවාලය මුල්ම කාලයෙහි කැප වනුයේ උපුල්වන් දෙවියන් උදෙසාය. එනම් අලුත්නුවර දේවාලයෙහි ඉතිහාසය පිළිබඳව අවධානය යොමු කිරීමේදී සදහන් වනුයේ මෙම දේවාලය දෙවන පරාක්‍රමබාහු රාජ්‍ය කාලය දක්වා ඈතට දිවයන බවය. පද්දාවෙල නැතහොත් වර්තමානයේදී අලුත්නුවර වශයෙන් හැදින්වෙන ග්‍රාමය උපුල්වන් දෙවියන් උදෙසා පුදන ලද්දේ පරාක්‍රමබාහු රජුය. අද වන විට අලුත්නුවර ප්‍රධාන දේවාලය දැඩිමුණ්ඩ දෙවියන් උදෙසා කැප කර ඇති අතර පැරණි උපුල්වන් දේවාලය පිහිටි ස්ථානයෙහි අද රූස්ස මාර ගසක් සහ කුඩා පහන් ගෙයක් පමණක් දක්නට පුළුවනි . කෙසේ වෙතත් මෙම දේවාලයෙහි ඉපැරැණි බව කියාපාන හොදම සාක්ෂිය වනුයේ දේවාලය අසල පිහිටා තිබෙන පැරණි අම්බලමයි. මෙය ගිරිවස සුනේත්‍රාදේවි විසින් ඉදි කරවන ලද බව කියැවේ . 


   කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල නගරයෙහි හිගුල මංසන්ධියේ සිට කිලෝමීටර 5ක් පමණ ගිය කළ අලුත්නුවර දැඩිමුණ්ඩ දේවාලයට ළගා වීමට හැකියාව ලැබේ . මෙහිදී උඩ වීදිය සහ පහළ වීදිය යනුවෙන් වීදි දෙකක් දක්නට ලැබෙන අතර දේවාල භූමියට ළගා වීමේදී එහි ගුප්ත ස්වභාවය හොදින් අත් විදිය හැකිය . පහළ වීදිය ඔස්සේ දේවාලයට පිවිසීමේදී පියගැටපෙළ පසු කර වාහල්කඩින් ඇතුළු වීමේදී ප්‍රථමයෙන් හමුවනුයේ පත්තිරිප්පුවයි. මෙම පත්තිරිප්පුව ආශ්‍රිතව විවිධ කතා පුවත් ගොඩනැගී ඇති අතර ඇතැම් වැඩිහිටියන්ගේ මතය වී ඇත්තේ මෙම පත්තිරිප්පුව පිහිටා ඇති ස්ථානය අසල නිලමේ ඇදුමින් සැරසුණු කෙනෙක් පාන්දර 1ත් 2ත් අතර ගමන් කරන බවය. 


   දේවාල භූමිය තුළ සුවිශේෂී ස්ථාන ගණනාවක් දැක ගැනීමට හැකියාව ලැබෙනවාක් මෙන්ම ඒ හා බැදි විවිධ සිදුවීම් ගණනාවක් ද හදුනාගැනීමට හැකියාව ලැබේ . ඉන් ප්‍රධානම ස්ථානයක් හිමිවනුයේ උඩ වීදිය හරහා පැමිණීමේදී හමුවන ඉර හද ගලයි. දේවාලය පවතින භූමියේ විශාල ගල් පර්වතයක් පැවත තිබී ඇති අතර අස්සද්දන පරිවේනාධිපති හිමියන් සහ නිලමේවරු පිරිසක් මෙහි පැමිණ දැඩිමුණ්ඩ දෙවියන්ට භාරවීමෙන් පසු එක් රැයකින් ගල් පර්වතය සුණුවිසුණු වී ගිය බව සදහන්ය . එමෙන්ම මේ සම්බන්ධව එන තවත් කතාවකට අනුව උඩරට නිලමේ ඇදුමින් සැරසී වේරැහැනක් අතින් ගෙන සිටින දැඩිමුණ්ඩ දෙවියන් යකුන්ගේ උදව් උපකාර මත මෙම ගල් පර්වතය විනාශ කළ බව කියවේ. 


     වර්තමානයේ අප අලුත්නුවර දේවාල භූමියට ගිය තැන දක්නට ලැබෙනුයේ මොල්ලිගොඩ නිලමේ විසින් ඉදි කරන ලද දේව මන්දිරයයි . අලුත්නුවර දේවාලය අංග කිහිපයකින් යුක්ත වන බව පෙනේ . එනම් , 
ප්‍රධාන පිවිසුම
වාහල්කඩ
ප්‍රධාන බරාද
හදුන්කූඩම
දිග්ගෙය
වැඩ සිටින මාලිගය 
මුළුතැන්ගෙය
ගබඩා කාමරය 
අටු මඩුව
දඩු මඩුව 
අලුත්නුවර දැඩිමුණ්ඩ දේවාලය හා බැදි තේවාවන් හා වාර්ෂික මංගල්‍යයන් දෙස බැලීමේදී අනෙකුත් දේවාලවල මෙන්ම සමාන චාරිත්‍ර වාරිත්‍ර මෙහිද දැකගත හැකිය . එහිදී දැඩිමුණ්ඩ දෙවියන් උදෙසා පවත්වනු ලබන තේවාවන් කිහිපයක් වෙයි . එනම් , 
දිනපතා තේවාව 
අලුයම් ධූරය 
හැන්දෑ ධූරය 
කෙම්මුර බෙර වැයීම
එමෙන්ම වාර්ෂිකව පවත්වනු ලබන ප්‍රධාන මංගල්‍යයන් අතර ,
අලුත් සහල් මංගල්‍යය 
නානුමුර මංගල්‍යය 
කාර්තික මංගල්‍යය 
පෙරහැර මංගල්‍යය 


තම දුක් ගැනවිලි දෙවියන් වෙත ඉදිරිපත් කර සෙතක්, ශාන්තියක්, යහපතක්, ආශිර්වාදයක් අපේක්ෂාවෙන් මෙරට සිව්දිගින් පැමිණෙන ජනයා පළතුරු පූජාවන් සිය හිස මත තබාගෙන දේව මන්දිරයට දිගු පෝලිම් මැද ගමන් කිරීම දෛනිකව දක්නට ලැබෙන සුලබ දර්ශනයකි . දේව මන්දිරයෙහි අභ්‍යන්තරය දැඩි ගුප්ත ස්වභාවයකින් යුක්ත වන අතර දේව ප්‍රතිමාව දර්ශනය කරන මොහොතේ පටන් ඇතුලාන්තයෙන් නැගෙන දෝංකාරය මැද ඇසෙන යාතිකාව තුළින් අසරණ මිනිසුන්ගේ සිතෙහි ධනාත්මක සිතුවිලි ජනිත වීම ස්වභාවයෙන්ම සිදු වනු ඇත . 

කල්හාර පුෂ්පේච දන්තා නඛාය

පද්මා මුඛා ගන්ධ ස්‌වර්ණ කාය

හෙමා ලතා ධාරණ හස්‌තකාය

බණ්‌ඩාර දේවෙන්ද්‍ර නමෝ නමාය...!

No comments:

Post a Comment

ශ්‍රී ලාංකේය ශාන්තිකර්ම පද්ධතිය ආශ්‍රිත කාන්තා සලකුණ

  පුරාතන ශ්‍රී ලාංකේය ජන සමාජය පිළිබඳව අවධානය යොමු කිරීමේදී ගැමි ජන මානවයා නිරන්තරයෙන් ම ශාන්තිකර්ම සමඟ සහසම්බන්ධ වී සිටි බව දැකගත හැකිය ...