ශ්‍රී ලාංකේය ජන සමාජයෙහි කාන්තාව වූ කලී අනෙකුත් සමාජයෙහි කාන්තාවන්ට වඩා බොහෝ සෙයින් වෙනස් විය. එයට බලපෑ ප්‍රධානතම හේතුව වූයේ ශ්‍රී ලංකාවෙහි පවතින සංස්කෘතික හර පද්ධතියයි. එහිදී පීතෘ මූලික සමාජයක් ලංකාව තුළ පැවතියත් කාන්තාවට ඉතාම ගෞරවනීය තත්ත්වයක් උරුම වී තිබේ. එහිදී ශ්‍රී ලාංකේය කාන්තාව දෙස බැලීමේදී ඇයගේ ජීවිතය සදහා බුදුදහමෙන් විශාල ආලෝකයක් ලැබී ඇති බව හදුනාගත හැකිය .
විශේෂයෙන්ම බුදුදහම විසින් කාන්තාවට උත්තරීතර තත්ත්වයක් හිමි කර දී තිබූ බව පෙනේ . එයට හේතුව වී තිබුණේ පුරාතන භාරතීය කාන්තාවට බමුණු සමාජයෙන් මහත් පීඩාවන්ට අත්විඳීමට සිදුවීමයි. ඒ නිසාම බුදුන් වහන්සේ විසින් මවක ලෙස , දියණියක ලෙස , බිරිඳක ලෙස , භික්ෂුණියක ලෙසින් ඇය උසස් ස්ථානයක තබන ලදි . එහිදී භාරතීය බෞද්ධ කාන්තා සමාජයෙහි ප්‍රථම සාමාජිකාවන් වූයේ සුජාතා සිටු දියණිය සහ යසකුල පුත්‍රයාගේ බිරිඳය. මෙලෙස බුදුන් වහන්සේගේ මග පෙන්වීම නිසා කාන්තාවන් නිදහස් චින්තනය කෙරෙහි උනන්දු වූ අතර ලාංකේය කාන්තාවට එම තත්ත්වය හිමි වූයේ මිහිදු හිමිගේ ලංකාගමනයෙහි ප්‍රතිඵලයක් වශයෙනි . මිහිදු හිමි වැඩම කිරීමෙන් අනතුරුව සිදු කළ ධර්ම දේශනාවෙන් පසු අනුලා දේවිය ඇතුළු කාන්තාවන් 500ක් මහණ වීමට අවසර ඉල්ලීමෙන් පසු සංඝමිත්තා තෙරණිය වැඩමවා ලක්දිව භික්ෂුණී ශාසනය හා උපාසිකාවන් බිහි විය. පසුව මෙම භික්ෂුණී ශාසනය විශාල ලෙස පැතිරුණු අතර දීපවංශයෙහි සදහන් අන්දමට ලක්දිව වැඩ සිටි භික්ෂුණීන් සංඛ්‍යාව විසි දහසකි.
මෙහිදී ලාංකේය කාන්තාව හා බුදුදහම අතර පැවති සබදතාවය පිළිබඳව අධ්‍යයනයේදී එහි මූලික අවස්ථාව භික්ෂුණීන් වහන්සේ ය. මෙම භික්ෂුණී ශාසනයෙහි වර්ධනයට විවිධ සාධක බලපා ඇති අතර එකල සමාජයෙහි විවිධ තරාතිරමේ අය මෙයට ඇතුලත් වූ බව දැකගත හැකිය . එනම් රජ පවුලේ පිරිස් වල සිට සමාජයෙහි පහලම ස්ථරයන් නියෝජනය කරන කාන්තාවන් පවා භික්ෂුණී ශාසනයට ඇතුළු වී විමුක්තිය ලබා ගත්හ. මෙලෙස භික්ෂුණී ශාසනයට ඇතුළු වූ රාජ කුමාරිකාවන්, බිසෝවරු , මව්වරුන් ලෙස කාවන්තිස්ස රජුගේ දියණිවරු දෙදෙනාද , කූටකණ්ණතිස්ස රජුගේ මෑණියන් ද දැකගත හැකිය . මීට අමතරව දුටුගැමුණු රජුගේ කතා පුවත අධ්‍යයනයේදී විහාරමහා දේවිය භික්ෂුණී ශාසනයට ඇතුළු වූ බව කියවෙන ඉගි දක්නට පුළුවනි.
එමෙන්ම ලාංකේය ජන සමාජයෙහි කුටුම්භික ජීවිතය තුළ කාන්තාවන් බහුල වශයෙන් බුදුදහම වෙත යොමු වී ඇති බව දක්නට පුළුවනි . විශේෂයෙන්ම මිහිදු හිමි ලංකාවට වැඩම කිරීමෙන් අනතුරුව අනුරාධපුර රජ මාලිගාවෙහි සිදු කළ ධර්ම දේශනාව සදහා සහභාගි වූවන් අතර බහුතරය කාන්තාවන් ය. වර්තමානය වන විටද එම ප්‍රතිඵලයම දැකගත හැකිය . එනම් විහාරස්ථාන සමඟ දැඩි සබදතාවක් පවත්වනුයේ කාන්තා පාර්ශවයයි. භික්ෂුණ්ගේ දානමාන කටයුතු වලදීද කාන්තාවන් ප්‍රමුඛ වන බව දක්නට පුළුවනි .
එම නිසා අතීතයෙහි සිට වර්තමානය දක්වාම බුදුදහම හා කාන්තාව අතර දැඩි සබදතාවක් හදුනාගත හැකිය . එමෙන්ම සීගිරියෙහි දක්නට ලැබෙන බිතුසිතුවම් පිළිබඳව H.C.P බෙල් මහතා පළ කර තිබෙන නිර්වචන වලට අනුව එම සිතුවම් වල නිරූපිත ස්ත්‍රීන් පිදුරංගල විහාරය වන්දනයට යන ආකාරයක් නිරූපණය වන බව ප්‍රකාශ කර තිබේ . එහිදී කාන්තාව සහ බුදුදහම අතර පැවති ශක්තිමත් බැදීම නිසාම එවැනි අදහසක් ඉදිරිපත් කිරීමට පෙළබෙන්නට ඇතැයි සිතිය හැකිය .
ලක්දිව භික්ෂුණී ශාසනයට ඇතුළු වූ කාන්තාවන් විදේශයන් වල පවා භික්ෂුණී ශාසනය පිහිටුවීමෙහිලා දායකත්වය ලබා දී තිබේ . එහිදී ලංකාවෙහි භික්ෂුණී ශාසනයෙහි වර්ධනීය අවධියේ චීනයේ භික්ෂුණී ශාසනය පිහිටුවීම සදහා දේවසාරා නැමති තෙරණිය යටතේ භික්ෂුණීන් එකළොස් දෙනෙකු චීනයට වැඩම කර චීනයේ භික්ෂුණීන් තුන්සියයකට අධික පිරිසක් උපසම්පදා කරවූ බව පෙනේ . එසේම තිබ්බත දේශයේ ධර්ම ප්‍රචාරක කටයුතු වල නියැලුණු චන්ද්‍රමාලි නම් තෙරණියක පිළිබඳව තිබ්බතීය මූලාශ්‍ර වල සදහන් වී තිබේ . මීට අමතරව ඉන්දියාවෙහිද ලාංකේය භික්ෂුණීන් සංචාරය කර තිබෙන බව එරට මූලාශ්‍ර වලට අනුව හදුනාගත හැකිය . මේ අයුරින් ලාංකේය කාන්තාව භික්ෂුණියක ලෙස පත් නොවුවද ඔවුන් සෑම විටම දාන, චීවර, ගිලාන පච්චය, සේනාසන ආදී වූ සිව්පසයෙන් පෝෂණය කරමින් සැදැහැවත් දිවි පෙවතක් ගත කළහ . අතීත සන්දර්භය තුළ ගිහි කාන්තාවන් රැසක් බුදුදහම සමඟ බද්ධව කටයුතු කළ අතර ඔවුන් අතුරින් විහාරමහා දේවිය , සෝමා දේවිය , ලීලාවතී රැජින , සුනේත්‍රා දේවිය ආදීන් හදුනාගත හැකිය .
එමෙන්ම ගිහි කාන්තාවන් විසින් විහාරාරාම ප්‍රතිසංස්කරණ කටයුතු සදහා දායක වී තිබෙන බව මූලාශ්‍ර අධ්‍යයනයේදී දැකගත හැකිය . මහාවංසයේ සදහන් පරිදි වංකනාසිකතිස්ස රජුගේ මෙහෙසිය අභයගිරිය සෑය ප්‍රතිසංස්කරණ කොට එහි සතර දොරටුවෙහි තොරණ ඉදි කිරීම සදහා කහවණු ලක්ෂයක් වැය කළ බව සදහන් වේ . දෙවන දප්පුල රජුගේ බිසව විසින් පූර්වාරාමය හා ගිරිබණ්ඩ වෙහෙර ප්‍රතිසංස්කරණය කොට තිබේ . මේ අන්දමින් ප්‍රතිසංස්කරණ කටයුතු පමණක් නොව ඔවුන් සතු ගම්බිම් , කෙත්වතු , වැව් ආදිය විහාරස්ථාන සදහා පූජා කිරීම දැකගත හැකිය . මෙහිදී විශේෂයෙන්ම ශිලාලිපි ඉතා වැදගත් වන අතර කරදගල ලිපියෙහි තොරතුරු වලට අනුව කාවන්තිස්ස රාජ්‍ය කාලයේ මිත්තා නැමති උපාසිකාවක් තමාගේ වැවක් හබුතගල විහාරයේ භික්ෂූන්ට පූජා කළ බව සදහන් වේ . කොක්එබේ ලිපියෙහි තලතා නම් කුමරියක් තම පවුල සතු කෙත්වතු , ගම්බිම් පූජා කළ බව දැකගත හැකිය . එසේම කහටගස්දිගිලිය පර්වත ලිපියට අනුව වහබ නැමති ගුරුවරයාගේ දියණිය වූ මහසි සතුව පැවති නිශ්චල දේපළ වලින් කොටසක් භික්ෂූන් වෙත පූජා කර තිබේ . එපමණක් නොව ලාංකේය භික්ෂු, භික්ෂුණී ශාසනය ආරම්භ වීමෙන් අනතුරුව උන්වහන්සේලාගේ වාසස්ථාන ලෙස ලෙන් පූජා කිරීමේ සිරිතක් වර්ධනය වූ අතර මෙම ලෙන් පූජා කිරීමේදී එය පූජා කරනුයේ කවුරුන් විසින්ද යනුවෙන් සදහන් කිරීම එකල සිරිතක් බවට පත් විය. ඒ අනුව බ්‍රාහ්මී අක්ෂර මූලික කරගෙන ලෙන් ලිපි වල වර්ධනයක් සිදු වූ අතර එහිදී කාන්තාවන් විසින් පූජා කරන ලද ලෙන් ලිපි දෙසිය විසි දෙකක කාන්තාවන් විසින් ලෙන් පූජා කිරීම පිළිබඳව තොරතුරු සදහන් වී තිබේ . එසේම කාන්තාවන් සිය පවුලේ සාමාජිකයන් සමඟ එකතුව ලෙන් පූජා කළ අවස්ථා ද දක්නට පුළුවනි . එනම් කදුරුගස්වැව ලෙන් ලිපියට අනුව ධම්මා නම් උපාසිකාවක් සිය ස්වාමියා සහ දරුවන් සමඟ එක්ව ලෙනක් පූජා කළ බව දැකගත හැකිය .
මේ අනුව මිහිදු හිමිගේ ලංකාගමනයෙන් අනතුරුව ලංකාව පුරාම සිදු වූ බුදුදහමෙහි ව්‍යාප්තියත් සමඟ ලාංකේය සමාජයෙහි කාන්තාව හා බුදුදහම අතර පැවති සම්බන්ධතාවය ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වූ අතර එහිදී විවිධ අංශ ඔස්සේ එම සබදතාවය ගලා ගිය බව දැකගත හැකිය .
බොහෝම වටිනා ලියවිල්ලක් සුභ පැතුම් අයියේ
ReplyDeleteබොහෝම වටිනා ලියවිල්ලක් සුභ පැතුම් අයියේ
ReplyDelete