පුරාවිද්‍යාව යනු සරලවම ගත් කළ මිනිසාගේ අතීතය පිළිබඳව හදාරනු ලබන විෂයක් වේ. එනම් අතීතයේ ජීවත් වූ මානවයාගේ හැසිරීම සහ සංස්කෘතික වෙනස්කම් ගැන ද්‍රව්‍යයාත්මක සාධක මත ගවේෂණය කිරීමය. මෙලෙස ගවේෂණය කිරීමේදී අපට හමුවන ද්‍රව්‍යයාත්මක සාධක පුරාවස්තු ලෙසින් හදුන්වා දිය හැකිය. ශ්‍රී ලංකාවේ දැනට පවතින වලංගු නීතියට අනුව වසර 100කට වඩා පැරණි භාණ්ඩයන් සියල්ලම පුරාවස්තු ලෙසින් නිර්වචනය කර තිබේ. පුරාවිද්‍යා විෂය ක්ෂේත්‍රයේදී අපට හමුවන තවත් වැදගත් පුද්ගලයෙකු ලෙස පුරාවිද්‍යාඥයන් හදුන්වා දිය හැකිය. පුරාවිද්‍යාඥයා යනු පුරාවස්තු උපයෝගී කරගෙන මිනිසාගේ යටගියාව පිළිබඳව තොරතුරු රැස් කරන, එම තොරතුරු විශ්ලේෂණය කරන සහ එම තොරතුරු අර්ථකථනය කරනු ලබන ශික්ෂණයක් ප්‍රගුණ කරන ලද පුද්ගලයාය.
මෙම විෂය ඉතාම සංකීර්ණ විෂය පද්ධතියක් වන අතර එය විෂයන් කිහිපයක එකතුවකි. එනම්, ජීව විද්‍යාව, භෞතික විද්‍යාව, රසායන විද්‍යාව සහ උද්භිත විද්‍යාව ආදී විෂයන් රැසක මිශ්‍රණයකි. මෙලෙස පැවති පුරාවිද්‍යාවෙහි විවිධ කාලපරාසයන් අපට දැකගත හැකිය. විශේෂයෙන්ම ඈත අතීතයෙහි සිට පැවති පුරාවිද්‍යාවට ක්‍රමානුකූල පදනමක් වැටුණේ 19 වන සියවසේ අගභාගයේ සහ 20 වන සියවසෙහි ආරම්භයත් සමඟ ය. මෙම කාලයේදී පුරාවිද්‍යාවේ විධිනියම වර්ධනය සදහා පසුබිම් වූ හේතු සාධක රැසක් අපට දැකගත හැකිය. එහිදී පුරාවිද්‍යා විෂය ක්ෂේත්‍රයේ ඉතාම වැදගත් ම අංශය වන ගවේෂණය සදහා හිමිවනුයේ සුවිශේෂී ස්ථානයකි.
පුරාවිද්‍යා විෂය ක්ෂේත්‍රය තුළ වැලලී පවතින අතීතය නැවත අනාවරණය කර ගැනීමේදී පුරාවිද්‍යාඥයන් ඇතුළු එම කටයුතු සදහා සම්බන්ධ වන පිරිස් හට ඇති වන ප්‍රධානම ගැටළු දෙකක් දක්නට පුළුවනි. එනම්, පුරාවිද්‍යා කැණීමක් සිදු කළ යුත්තේ කොතැනකද ? කැණීම් සදහා පුරාවිද්‍යාත්මක ක්ෂේත්‍රයන් හදුනා ගන්නේ කෙසේද ? යන ගැටළු දෙකයි. ඒ නිසා කැණීමකට ප්‍රථමයෙන් මෙම ඉහත සදහන් කරන ලද ගැටළු දෙක සදහා පිළිතුරු සොයා ගැනීම අනිවාර්ය වේ. මේ සදහා ගවේෂණය යන විෂය ක්ෂේත්‍රය ඉතාම වැදගත් වේ.
මේ අනුව ගවේෂණය යනුවෙන් සරලවම අදහස් කරනු ලබන්නේ සැගවුණු යමක් පිළිබඳව හරියාකාරව සොයා බලා ඒ පිළිබඳව නිවැරදි කරුණු හෙලිකර ගැනීමය. ඒ අතින් බලන කළ ගවේෂණය යනු පුරාවිද්‍යා විෂය ක්ෂේත්‍රයේ පදනම ලෙසින් හදුන්වා දිය හැකිය. එයට හේතුව පුරාවිද්‍යාවේ අරමුණ වනුයේද සැගවී තිබෙන උරුමය නැවත ප්‍රතිනිර්මාණය කිරීම වන නිසාය. විශේෂයෙන්ම පුරාවිද්‍යා කැණීම් කටයුක්තක් සිදු කිරීමට පෙර එම පුරාවිද්‍යා ක්ෂේත්‍රය සම්බන්ධව විශේෂ සොයා බැලීමක් සිදු කළ යුතුය. ඒ අනුව ගවේෂණ ක්‍රියාවලිය පුරාවිද්‍යාවේ වැදගත්ම ක්‍රියාවලිය බවට පත් වී තිබේ. ගවේෂණයක් සිදු කිරීමේදී ප්‍රධාන පියවර කිහිපයකින් සිදු කළ යුතුය.
• දත්ත හදුනා ගැනීම
• අනාවරණය කිරීම
• වර්ගීකරණය
• විශ්ලේෂණය
• ප්‍රකාශනය
ගවේෂණය නම් සංකීර්ණ ක්‍රියාවලිය තුළ අපට අරමුණු රැසක් හදුනාගත හැකිය. මෙම අරමුණු නිසාම පුරාවිද්‍යා ගවේෂණය විවිධත්වයක් ගනු ඇත. ඇතැම් ගවේෂණ අවස්ථා වලදි එක් අරමුණක් පදනම් කර ගෙන සිදුකරනු ලබන අතර ඇතැම් අවස්ථා වලදි අරමුණු කිහිපයක්ම එක් කර ගත් ගවේෂණ ක්‍රියාවලීන් දැකගත හැකිය. ගවේෂණයක් සදහා බලපානු ලබන අරමුණු කවරේදැයි බැලීමේදී ,
• ශාස්ත්‍රාභිලාශය
• වෘත්තීය අවශ්‍යතා
• සංවර්ධන පූර්ව අවශ්‍යතා
• අවදානමින් මුදවා ගැනීම
• ශක්‍යතා ඇගයීම්
පුරාවිද්‍යා විෂය ක්ෂේත්‍රය තුළ අන්තර්ගත ගවේෂණ ක්‍රියාවලිය තුළ විධික්‍රම ගණනාවක් දැකගත හැකිය. එම සමස්ත ගවේෂණ ක්‍රම සියල්ල එක්තැන් කරමින් පහත සදහන් අයුරින් බෙදා වෙන් කළ හැකිය. එනම්,
• පොළොව මතුපිට ගවේෂණය
• පොළොව අභ්‍යන්තරය ගවේෂණය
• ගුවන ආශ්‍රය කර ගනිමින් සිදුකරන ගවේෂණය
• ජලය ආශ්‍රය කරගත් ගවේෂණය
පොළොව මතුපිට ගවේෂණය
විසිවන සියවසෙහි ආරම්භ වූ නව පුරාවිද්‍යාව යටතේ 1970න් පසු කාලයේ පොළොව මතුපිට ගවේෂණය සදහා භාවිත කරන ක්‍රම කිහිපයක් හදුන්වා දී තිබේ. මෙම ක්‍රමයන් එහි උපයෝගීතාවය මත විවිධ අන්දමින් භාවිතයට ගෙන ඇත. මෙහිදී පුරාවස්තූන් පුරාවිද්‍යාඥයන් හට ක්‍රම 3කින් හමුවේ. එනම්,
• අහම්බෙන්
• හදිසි ආපදා වලින්
• ඕනෑකමින් සහ උත්සහයෙන් සොයා ගනු ලබන පුරාකෘති වශයෙනි .
පොළොව මතුපිට ගවේෂණයේදී අගලේ සිතියම්, මෙට්‍රික් සිතියම් ආදිය භාවිතයෙන් නිවැරදිව දිශාව හදුනා ගනිමින් සිදු කිරීම ඉතාම වැදගත් වේ.
• ක්‍රමික ආකාරයට නියැදි ලබා ගැනීමේ ගවේෂණය
මෙම ක්‍රමික නියැදි ලබා ගැනීමේ ගවේෂණයේදී අනිවාර්යයෙන්ම ගවේෂණයට අරමුණු කරන්නා වූ භූමිය පිළිබඳව නිශ්චිත තීරණයක් තිබිය යුතුය. ඉන් අනතුරුව එම භූමිය තුළ කොටු දැල් සකස් කර ගත යුතුය. ඒ සදහා අවස්ථාව පරිදි තාවකාලික ලී කණු භාවිත කළ හැකිය. පසුව සකස් කර ගත් කොටු දැල් ඉතා පිළිවෙලට ක්‍රමානුකූල සිතියමක් සාදා ගෙන ගවේෂණ කටයුතු සිදු කළ යුතුය. එම අවස්ථාවේදී ගවේෂණය මගින් පුරාවස්තු ආදිය ලැබුණහොත් ඒවා නිසි පරිමාණයට අනුව සකස් කර ගත් සිතියමේ සලකුණු කරගනු ලබයි. එපමණක් නොව නවීන විද්‍යුත් උපකරණ වල දියුණුවත් සමඟ මෙසේ හමුවන පුරාවස්තු ජායාරූප ගත කිරීමට සහ වීඩියෝ පටිගත කිරීම් කළ හැකිය. මෙම ක්‍රමික ආකාරයට ගවේෂණය මගින් කුඩා වපසරියක ක්ෂේත්‍රයක් ගවේෂණය කිරීමට හැකියාව ලැබෙනු ඇත.
• අහඹු නියැදිකරණ උපාය මාර්ගය
පුරාවිද්‍යා විෂය ක්ෂේත්‍රයේදී මෙම අහඹු නියැදිකරණ ගවේෂණ ක්‍රමයද ඉතාම වැදගත් ගවේෂණ ක්‍රමයකි. විශේෂයෙන්ම කිසියම් කලාපයකට අයත් සියලුම පුරාවිද්‍යාත්මක ක්ෂේත්‍ර හෝ අතිවිශාල ක්ෂේත්‍රයක් මුළුමනින්ම පරීක්ෂා කිරීම සදහා කාලයත්, මුදලුත්, ශ්‍රමයත් වැය කිරීමට පුරාවිද්‍යාඥයන්ට නොහැකිය. ලෝකයේ බොහෝ තැන්වල මෙවැනි අතිවිශාල පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුතු ක්ෂේත්‍රයන් රැසක් දැකගත හැකිය. මෙවැනි විශාල ක්ෂේත්‍රයන් සදහා ඉතාම සුදුසු පුරාවිද්‍යා ගවේෂණ ක්‍රමයක් ලෙසින් මෙම අහඹු නියැදිකරණ උපාය මාර්ගය පෙන්වා දිය හැකිය. මෙහිදී කුඩා ප්‍රදේශයක නියැදි ලබා ගැනීමෙන් විශාල ක්ෂේත්‍රයක් උදෙසා සත්‍යවාදී ලෙස නිගමනයන් ලබා ගැනීම සිදු වේ. මේ සදහා සම්භාවිතා න්‍යාය යොදා ගැනීමට හැකියාවක් තිබේ. එම නිසාම සම්භාවිතාමය නියැදිකරණය ලෙසින් ද මෙය හදුන්වනු ලැබේ. මෙම ඉහතින් දක්වන ලද අහඹු නියැදිකරණ උපාය මාර්ගය එහි උපයෝගීතාවය අනුව වර්ග කිහිපයකට බෙදා දැක්විය හැකිය. එනම්,
• සරල සම්භාවිතාමය නියැදිකරණය
• ස්තුරීභූත අහඹු නියැදිකරණය
• ස්තුරීභූත ක්‍රමානුකූල නියැදිකරණය
මේ අතුරින් සරල සම්භාවිතාමය නියැදිකරණ ගවේෂණය ප්‍රායෝගිකව යොදා ගත් අවස්ථාවක් ලෙසින් කුඩා ගම්මානයක් වූ මෙක්සිකෝවේ ඔක්සකා කදුකරයට අයත් ටිසෙරස් ලාගාස් හි හැඩගැසෙමින් තිබූ අවධියක් සම්බන්ධයෙන් කරන ලද පර්යේෂණය මීට නිදසුන් වේ. මේ අනුව පොළොව මතුපිට ගවේෂණය සදහා එහි උපයෝගීතාවය අනුව විවිධ ක්‍රම දැකගත හැකි අතර ඉහතින් සදහන් කරන ලද ක්‍රම ද්විත්වය ඉතාම යෝග්‍ය වන බව පැහැදිලි වේ.
පොළොව අභ්‍යන්තරය ගවේෂණය
පොළොව මතුපිට ගවේෂණ ක්‍රම මෙන්ම පොළොව අභ්‍යන්තරය පිළිබඳව සොයා බැලීම සදහා විවිධ ගවේෂණ ක්‍රම ගණනාවක් දැකගත හැකිය. විශේෂයෙන්ම භූමියේ කැණීමක් සිදු නොකර පොළොව අභ්‍යන්තරයේ තිබෙන යටගිය පුරාවස්තූන් හදුනා ගැනීම සදහා මෙම ක්‍රම භාවිත කරනු ලබයි. මෙම අභ්‍යන්තර ගවේෂණ ක්‍රම වලදී විද්‍යාත්මක ක්‍රමවේද සදහා මුල් තැනක් ලැබෙනු ඇත. එහිදී භූ භෞතික විද්වතුන් විසින් ප්‍රායෝගිකව යොදා ගනු ලබන භූ භෞතික ගවේෂණයන් භාවිත කරනු ඇත. කෙසේ වෙතත් කැණීමකින් තොරව හෝ කැණීමකට පෙර පොළොව අභ්‍යන්තරය පරීක්ෂා කිරීමේ හානිදායක නොවන ක්‍රම රාශියක් අද වන විට දියුණු වී තිබේ. මෙලෙස පොළොව අභ්‍යන්තරය ගවේෂණය සදහා යොදා ගනු ලබන ක්‍රම කිහිපයක් වේ.
• විද්‍යුත් ප්‍රතිරෝධක ගවේෂණය
• නිධි අනාවරක ගවේෂණය
• චුම්භක ගවේෂණ ක්‍රමය
• අවගාරය භාවිත කර ගවේෂණය
• දියෙක්සීම ගවේෂණ ක්‍රමය
• සිස්මීක් සහ ධ්වනි ක්‍රමය
විද්‍යුත් බලය ආධාර කර ගනිමින් පොළොව අභ්‍යන්තරයේ තැන්පත් වී තිබෙන පුරාවස්තු ගවේෂණය මගින් සොයා ගැනීමේ හැකියාවක් තිබේ. විදුලි මීටරයක ආධාරයෙන් විදුලිය පොළොව තුළට යැවීම හරහා මෙම ක්‍රියාවලිය සිදු කරනු ලබයි. මෙම ක්‍රමය විද්‍යුත් ප්‍රතිරෝධක ගවේෂණය යන නමින් හදුන්වනු ලබයි. මෙම විද්‍යුත් ප්‍රතිරෝධක ගවේෂණය හරහා අභ්‍යන්තරයේ පවතින තාප්ප, බිත්ති වැනි දෑ සොයා ගෙන ඇත. එසේම මෙම ක්‍රමය උපයෝගී කර ගෙන පසෙහි ස්වභාවය පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමේ හැකියාවක් තිබේ.
අභ්‍යන්තර ගවේෂණ ක්‍රම අතර නිධි අනාවරක ගවේෂණ ක්‍රමය ද ඉතා වැදගත් වේ. මෙම ක්‍රමය උපයෝගී කර ගනිමින් පොළොව මතුපිට සිට අගල් කිහිපයක් යට ඇති ලෝහමය ද්‍රව්‍ය සොයා ගැනීම සදහා භාවිත කර තිබේ. එසේම පස් තට්ටුවෙන් තට්ටුව පරීක්ෂා කර බැලීමේදී ද මෙම නිධි අනාවරක ගවේෂණ ක්‍රමය ඉවහල් කර ගත හැකිය. මීට අමතරව චුම්භක ගවේෂණ ක්‍රමය ද සුලබ ලෙස යොදා ගන්නා අභ්‍යන්තර ගවේෂණ ක්‍රමයකි. මේ හරහා පොළෝ අභ්‍යන්තරයේ ඇති ලෝහමය පුරාවස්තු ගවේෂණය කිරීමේ හැකියාව තිබේ. එනම් අතීතයෙහි පොළොව තුළ වැලලී තිබූ කඩු, පිහි, උදළු තල ආදිය සොයා ගැනීම සදහා මෙම චුම්භක ගවේෂණ ක්‍රමය උපයෝගී කර ගත හැකිය. මෙහිදී එම පුරාවස්තුවල ඇති යකඩ ඔක්සයිඩයන් මගින් විහිදෙන ඉතා සුළු චුම්භක ක්ෂේත්‍රයන් ග්‍රහණය කර එමගින් අභ්‍යන්තරයේ ඇති ද්‍රව්‍ය වල ගැඹුර යනාදිය නිරීක්ෂණය කළ හැකිය.
අවගාරය හරහා සිදු කරනු ලබන ගවේෂණ කටයුතු වලදී පොළොව අභ්‍යන්තරය පිළිබඳව සොයා බැලිය හැකිය. එහිදී අවගාරය නැමති උපකරණය මාර්ගයෙන් පොළොව යට ඇති පස් ඉවතට ගත හැකි අතර ඒ හරහා ඉවතට ගන්නා පස් විශ්ලේෂණය කිරීම හරහා පුරාවස්තු පිළිබඳව සොයා බැලිය හැකිය. මෙම අවගාරය උපයෝගී කර ගැනීම ඉතා සුදුසු වුවද ඒ හරහා පොළෝ අභ්‍යන්තරයේ තිබෙන මැටි බදුන් ආදිය විනාශ වීමේ හැකියාවක් ද තිබේ.
ගුවන ආශ්‍රිත සිදු කරන ගවේෂණ
පුරාවිද්‍යා විෂය ක්ෂේත්‍රය තුළ අන්තර්ගත ගවේෂණ ක්‍රියාවලිය තුළ ගුවන ආශ්‍රිතව සිදු කරන ගවේෂණ කටයුතු වලට ප්‍රමුඛ ස්ථානයක් ලැබී තිබේ. මෙහිදී අතීත මානව ක්‍රියාකාරකම් සහ පරිසරය සමඟ තිබූ සහ සම්බන්ධතාවය අධ්‍යයනය කිරීම සදහා සාම්ප්‍රදායික ගවේෂණ ක්‍රම භාවිත කිරීමේදී කාලයත්, ශ්‍රමයත් වැය වීම සිදු වේ. ඒ නිසාම ගුවන් ජායාරූප භාවිතය සහ චන්ද්‍රිකා ප්‍රතිරූප මගින් එම කාර්යය වඩා කාර්යක්ෂමව හා සාපේක්ෂව ආර්ථික වාසි සැලසෙන අයුරින් කළ හැකිය.
මෙම ගුවන් ජායාරූපකරණය පිළිබඳව අවධානය යොමු වූයේ 20 වන සියවසෙහි මුල් භාගයේදීය. එනම් ලෝක යුද්ධ අතරතුර කාලයේදීය. ශ්‍රී ලංකාව තුළ මෙම ගුවන් ජායාරූපකරණය 1956 දී කැනඩාවේ හන්ටින් සහ සර්වෙයාර් ආයතනය විසින් සිදු කර තිබේ. මෙම ගුවන් ජායාරූප ආදිය මගින් මිනිසා සහ පරිසරය අතර අනෝන්‍ය සම්බන්ධය විවිධ මට්ටම් වලින් වාර්තා කරනු ලැබේ. මෙහිදී යොදා ගන්නා උපකරණ සහ පරිමාණ මත එම තොරතුරු වල ප්‍රමිතිය තීරණය වේ. මීටර 3000 වඩා ඉහල සිට ගනු ලබන ජායාරූප මගින් සිතියම් සකස් කර ගත හැකිය. පුරාවිද්‍යාවේ මූලික අරමුණ වනුයේ අතීත මානව සමාජය නැවත ප්‍රතිරූප කිරීමය. ගුවන් ජායාරූප මගින් එම කාරණය සදහා පිටුවහලක් ලැබේ.
ගුවන් ජායාරූප ආධාරයෙන් කිසියම් පුරාස්ථාන හදුනා ගැනීම එහි මෝස්තර සහ වර්ණ අනුව සිදු කළ හැකිය. විශේෂයෙන්ම මෙම ගුවන් ජායාරූප වර්ග 2ක් දක්නට ලැබේ. එනම්,
• තිරස් ගුවන් ජායාරූප
• කෝණාකාර ගුවන් ජායාරූප
එපමණක් නොව මෙම ගුවන් ජායාරූප හරහා යම්කිසි ප්‍රදේශයකම තිබෙන සම්පූර්ණ වපසරියම දර්ශනය කර ගත හැකිය. එනම් සීගිරි ආලකමන්දාවේ ඉහළ පැතිරී තිබෙන නටඹුන් සියල්ලම පාහේ එකවර ගොනුකර ගැනීමට අවශ්‍ය වුවහොත් ඒ සදහා වඩාත්ම යෝග්‍ය වනුයේ මෙම ගුවන් ජායාරූප ගවේෂණ ක්‍රමයයි. එමෙන්ම ඇතමෙකුට අනුරාධපුර රාජධානිය සම්බන්ධව ක්‍රමානුකූල ගවේෂණයක් සිදු කිරීමට අවශ්‍ය නම් ඒ සදහා ගුවන් ජායාරූපයක් මහත් සේ ප්‍රයෝජනවත් වේ. එසේම මෙහිදී අවධානය යොමු කළ යුතු වන්නේ ගුවන ආශ්‍රිතව සිදු කරනු ලබන ගවේෂණ ක්‍රම වන ගුවන් ජායාරූපකරණය, චන්ද්‍රිකා ජායාරූප ආදිය උපයෝගී කර ගැනීමේදී ඇති වන අපහසුතා ද තිබේ. ඒ අතර වෘක්ෂලතාදිය, වලාකුළු වලින් ඇති වන බාධක, ජායාරූප විකෘති වීම් ආදිය ප්‍රබල ලෙස බලපානු ඇත.
ජලාශ්‍රිත පුරාවිද්‍යා ගවේෂණය
පුරාවිද්‍යා විෂය ක්ෂේත්‍රයට එක් වුණ නවතම අංශයක් ලෙසින් මෙම ජලාශ්‍රිත පුරාවිද්‍යාව හදුන්වා දිය හැකිය. නමුත් මෙම ජලාශ්‍රිත පුරාවිද්‍යා වැඩ කටයුතු වලට ගොඩබිම සිදු කරනු ලබන පුරාවිද්‍යා ගවේෂණ වලට වඩා කාලයත්, මුදලුත් වැය වීම දැකගත හැකිය. එයට හේතුව ජලය තුළ සිදු කරන ගවේෂණ සදහා වැඩිපුර කාලයක් ගත වන හෙයිනි. විශේෂයෙන්ම මෙම ජලාශ්‍රිත පුරාවිද්‍යාව සාගරය, වැව්, විල් ආදිය ආශ්‍රය කර ගනිමින් සිදු කරනු ලබයි. එහිදී ශ්‍රී ලංකාව තුළ සිදු කරන ලද ජලාශ්‍රිත ගවේෂණ හරහා ගාල්ල වරාය ආශ්‍රිත බිදුනු නැව් රාශියක් තිබෙන බැව් සොයා ගෙන තිබේ. එසේම ලංකාව ආශ්‍රිත මුහුදේ , විශේෂයෙන්ම මහා රාවණා කොටුව සහ කුඩා රාවණා කොටුව ආශ්‍රිතව පැරණි නැව් රාශියක් ගිලී තිබෙන බව සමුද්‍රීය පුරාවිද්‍යා ගවේෂණ හරහා අනාවරණය කර ගෙන තිබේ.
ගොඩබිම මෙන් නොව ජලය ආශ්‍රිතව කෙරෙන පුරාවිද්‍යා ගවේෂණ වලදී ජලය යටට යාමට ප්‍රථමව ඒ හා සම්බන්ධ තොරතුරු අධ්‍යයනය කළ යුතුය. විශේෂයෙන්ම ජල මට්ටම, කාලගුණික තත්ත්ව ආදිය, වංශකතා වල තොරතුරු, ජනප්‍රවාදයේ තොරතුරු ආදිය පිළිබඳව විශේෂ අවදානමක් යොමු කළ යුතුය. මෙම ජලාශ්‍රිත ගවේෂණයේදී අනිවාර්යයෙන්ම ඒ සදහා සුදුසු සිතියම් භාවිත කළ යුතු අතර එමගින් සොයා ගන්නා ලද ද්‍රව්‍ය හමු වූ ස්ථානයන් හි පිහිටීම, ගැඹුර ආදිය ඉතා නිවැරදිව සටහන් කර තැබිය යුතුය. පොළොව මතුපිට ඇති පුරාවිද්‍යාත්මක ක්ෂේත්‍ර සොයා ගැනීමට භූ භෞතික ක්‍රම උපකාරී වන්නා සේම දිය යට තිබෙන පුරාවිද්‍යාත්මක ක්ෂේත්‍ර සොයා ගැනීමට ද මෙම ක්‍රම භාවිත කළ හැකිය. නිදසුනක් ලෙස 1929 දී පාර්ශවීය ස්කෑන් සෝනාර් උපකරණයට සම්බන්ධ කරන මැග්නටෝ මීටරයක ආධාරයෙන් කැනඩාවේ ඔස්ටීරියෝ විලේ 1812 යුධ සමයේදී අඩි 295ක් යට ගිලී ගිය හැමිල්ටන් රුවල් නැව සොයා ගන්නා ලදි.
මීට අමතරව රේඛීය කිමිදුම් නිරීක්ෂණය, දිශාගත කිමිදුම් නිරීක්ෂණය, තීරුගත නිරීක්ෂණය, කොටු දැල් ක්‍රමයට ගවේෂණය, වෘත්තාකාර රැහැන් ගවේෂණය ආදී ක්‍රම ගණනාවක් හරහා මෙම ජලාශ්‍රිත ගවේෂණ කටයුතු සිදු කළ හැකිය. මෙහිදී වැඩි වශයෙන් කිමිදෙමින් ගවේෂණ කටයුතු සිදු කර තිබේ. මධ්‍යධරණි ප්‍රදේශයේ බොහොමයක් සොයා ගැනීම් සිදු කරන ලද්දේ ඉතා සරල කිමිදීමේ ක්‍රම උපකාරයෙනි. ඒ සදහා කිමිදුම් කරුවන් පැය දහස් ගණනක් දිය යට ගත කළේය.
මේ අනුව අතීත මානවයාගේ හැසිරීම සහ සංස්කෘතික වෙනස්කම් පිළිබඳව හදාරනු ලබන පුරාවිද්‍යා විෂය ක්ෂේත්‍රය තුළ දක්නට ලැබෙන ඉතා වටිනාකමකින් යුතු විෂය පථයක් ලෙසින් ගවේෂණ ක්‍රියාවලිය හදුන්වා දිය හැකිය. මෙම සංකීර්ණ ගවේෂණය තුළ විවිධ අංශ යටතේ සිදුකරනු ලබන ගවේෂණ වර්ග රැසක් දැකගත හැකිය. එහිදී එක් එක් ගවේෂණ ක්‍රියාවලියේ උපයෝගීතාවය ද මේ හරහා පෙන්වා දිය හැකිය.
ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය
පුරාවිද්‍යාවේ සිද්ධාන්ත ක්‍රම සහ භාවිතය, රෙන්ෆෘ, කොලින්, ඛාන් පෝල්, ( පරි ) රාජ් සෝමදේව, කොළඹ, 2000.
ජීවි පරිණාමය සහ පුරාවිද්‍යාව, සූරතිස්ස, ඩී.එම්, ෆාස්ට් පබ්ලිෂින් ප්‍රයිවට් ලිමිටඩ්, කොළඹ.
ගවේෂණ 1 කලාපය, අනුර මනතුංග, පුරාවිද්‍යා ගවේෂණ එහි විෂය ක්ෂේත්‍රය සහ අරමුණු, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, කොළඹ, 2004.
නිශ්ශංක 1 කලාපය, සමරතුංග, සුනීතා ශ්‍රියානි, පුරාවිද්‍යා ගවේෂණ වලදී දුරස්ථ සන්නිවේදන ක්‍රම භාවිතය, පොළොන්නරුව ව්‍යාපෘතිය, මධ්‍යම සංස්කෘතික අරමුදල, 2000.
පුරාවිද්‍යා ප්‍රවේශය, උදාහෙට්ටි, එච්.ටි බස්නායක, එස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ, 1992.
පුරාවිද්‍යා විධිනියම, ඇඩ්කින්ස්, ලෙස්ලි, රෝයි.ඒ. ඇඩ්කින්ස්, (පරි) විජය දිසානායක, අනුරාධා ප්‍රකාශකයෝ, දෙල්ගොඩ, 1997.
No comments:
Post a Comment