ලෝකයේ ඕනෑම භූගෝලීය පරිසරයක ජීවත් වන සෑම ජන කොටසකටම තමන්ගේ අදහස් එකිනෙකා අතර සන්නිවේදන කටයුතු සිදු කිරීම සදහා භාෂාව යන සාධකය ප්‍රබල ලෙස බලපානු ලබයි. එහිදී මෙම භාෂාව තුළ ප්‍රධාන වශයෙන් අංශ ද්විත්වයක් හදුනාගත හැකිය. එනම්, කථන භාෂාව සහ ලේඛන භාෂාවයි. විශේෂයෙන්ම සිංහල ලේඛන කලාවෙහි ආරම්භය දේවානම්පියතිස්ස රජු දවස ( ක්‍රි.පූ. 250-210 ) සිදු වූ මහින්දාගමනය නිසා වූ බව විද්වත් පිළිගැනීම වී තිබේ. තත් සමකාලීන ඉන්දියාවේ මෞර්යය අධිරාජයා වූ අශෝක රජු සහ දේවානම්පියතිස්ස රජු අතර පැවති මිත්‍රත්වය මෙයට පදනම විය. මෙම සබදතාවය නිසාම ඉන්දියාවෙහි භාවිත කරන ලද බ්‍රාහ්මී අක්ෂර කලාවෙහි ආභාසය හරහා දේවානම්පියතිස්ස රජුගේ රාජ්‍ය කාලයේ සිටම ලංකාවේ ශිලා ලේඛන කලාවෙහි ආරම්භය සිදු වූ බව දැකගත හැකිය.
කෙසේ වෙතත් පුරාවිද්‍යාත්මක සාධක වලට අනුව දේවානම්පියතිස්ස රාජ්‍ය කාලයේ සිට ලේඛන කලාවක ආරම්භය සිදු වූ බව දැකගත හැකි වුවත් බොහෝ සාහිත්‍යය මූලාශ්‍ර වල සදහන් තොරතුරු වලට අනුව විජයාගමන කාලපරිච්ඡේදයෙහි සිටම ලාංකේය වැසියන් අතර ලේඛන කලාවක් පැවති බවට විවිධ සාධක හමුවී තිබේ . විශේෂයෙන්ම මහාවංසයෙහි සදහන් තොරතුරු වලට අනුව විජය රජු අභිෂේක උත්සවය සදහා අවශ්‍ය ක්ෂත්‍රීය කුමාරිකාවන් ගෙන්වා ගැනීම සදහා හසුන්පත් යැව් බව සදහන් වේ . මෙහිදී සංස්කෘතික සම්බන්ධතාවයකටත් වඩා දේශපාලනික සම්බන්ධතාවක් ගොඩනංවා ගැනීමේ අභිප්‍රායෙන් සිදු වූ බව පෙනේ . මේ කටයුතු වලදී ලේඛන කාර්‍යය සදහා යොදා ගත් අක්ෂර හෝ සංකේත විශේෂය කුමක්ද යන්න නිශ්චිතවම කිව නොහැකි වුවද දෙරටට පොදු වූ ලේඛන ක්‍රමයක් පවතින්නට ඇතැයි සිතිය හැකිය. මෙලෙස කුමන හෝ ලේඛන ක්‍රමයක් හරහා දකුණු ඉන්දියාව සමඟ සබදතා පැවැත්වූ බව දැකගත හැකිය. එනම් , විජය කුමරහට පඩි රජු දියණියන් පිණිසත්, ඇමති වර්ගයාහට සෙස්සන් දුන් පිණිසත් මිණිමුතු ආදී බොහෝ පඩුරු ගන්වා මදුරාපුරයට දූතයන් යැවූහ. ඒ රාජ දූතයෝ වහා නැවින් මදුරාපුරයට ගොස් පඩුරු ද , ලියුම් ද රජහට දැක්වූහ.
විජය රජුගේ ඇවෑමෙන් ලංකාවේ රජ බවට පත්වීමට ඉන්දියාවේ සිටි විජය රජුගේ සහෝදරයා වූ සුමිත්ත කුමරු ගෙන්වා ගැනීම සදහා ද හසුන්පත් යැවූ බවක් සාහිත්‍යය මූලාශ්‍රවල සදහන් වේ . එසේම පණ්ඩුකාභය කුමරු රාජ්‍යත්වයට පත් වීමට ප්‍රථම මාමාවරුන් අතර සිදු වූ සටන් අවස්ථාවේදී අභය රජු සහ පණ්ඩුකාභය කුමරු අතර හසුන්පත් හුවමාරු වූ බවක් දැකගත හැකිය . මීට අමතරව දේවානම්පියතිස්ස රජු මහින්දාගමනයටත් පෙර සිට අශෝක අධිරාජ්‍යයා සමඟ හසුන්පත් හුවමාරු කරගත් බව පෙනේ . නමුත් මේ ආකාරයට මහින්දාගමනයට පෙර සිටම ලාංකේය සමාජය තුළ ලේඛන කලාවක් භාවිත කළ බවට තොරතුරු හමුවුවද එම කටයුතු වලදී යොමු ගන්නා ලද අක්ෂර හෝ සංකේත කෙබඳු වූවාදැයි නිශ්චිතවම පුරාවිද්‍යාත්මක සාධක නොමැති නිසා දේවානම්පියතිස්ස රාජ්‍ය කාලයේ සිදු වූ මහින්දාගමනයට පෙර ලංකාවේ අක්ෂර භාවිතයක් සිදු වූ බව පිළිගැනීම අසීරුය .
ක්‍රි.පූ. 3 වන ශතවර්ෂයෙහි සිදු වූ මහින්දාගමනයෙන් ලාංකිකයන්ට ලැබුණේ උතුම් දහමක් පමණක් නොවන බව පෙනේ . එහිදී ලේඛන කටයුතු සදහා අක්ෂර කලාවක් ද මෙරටට හිමි වූ බව පෙනේ. මෙලෙස හිමි වූ අක්ෂර කලාව බ්‍රාහ්මී අක්ෂර කලාව ලෙසින් හදුන්වා තිබේ. මෙම අකුරු වෛදික යුගයේ විසූ බමුණන් විසින් වේදය ලියා තැබීම සදහා යොදා ගත් හෙයින් ඒවාට බ්‍රාහ්මී අක්ෂර යනුවෙන් හදුන්වා තිබෙන අතර ඇතමෙකු විසින් මෙම අකුරු අශෝක අක්ෂර ලෙසින්ද හදුන්වනු ලැබීය. මෙහිදී අක්ෂර යනු කුමක්ද යන්න විමසා බැලීමේදී ශිෂ්ට මනුෂ්‍ය වර්ග අතර ව්‍යවහාර වන භාෂාවන්ගේ හෝඩිවල වර්ණ, අක්ෂර හෙවත් අකුරු නමින් හැදින්වේ. වර්ණයකින් උච්චාරණය කෙරෙන ශබ්දයට මෙන්ම එම ශබ්දය හගවන ලකුණට හෙවත් සංකේතයට ද අක්ෂර යන්න භාවිත වේ.
මහින්දාගමනය සමඟ ලාංකිකයන් බුදුදහම වැළදගත් අතර මෙරට භික්ෂු, භික්ෂුණී ශාසනයෙහි ආරම්භය ද ඒ සමඟ හදුනාගත හැකිය. මෙම භික්ෂුණ් විසින් බණ භාවනා කිරීම සදහා නිසසල ප්‍රදේශ තෝරා ගත් අතර ඇතැම් විට මේ සදහා ගල්ලෙන් යොදා ගනු ලැබීය. මෙම ගල්ලෙන් වාසයට සුදුසු පරිදි සකස්කර දෙනු ලැබුවේ රජ දරුවන් ඇතුළු දායක දායිකාවන්ය. මෙලෙස ගල්ලෙන් සකස් කළ දායකයින් තම පින්කම පිළිබඳව කෙටි සටහනක් ලෙනේ කටාරමට යටින් කෙටීමට අමතක නොකළහ. මෙම ලිපි බොහොමයක් අවසන් වන්නේ අගත අනගත චතුදිස සගස යන පාඨයෙනි. අගත අනගත චතුදිස සගස දිනේ යන පාඨයෙන් ඉස්මතු කෙරෙන මූලික අර්ථය නම් එම ලෙන එක් භික්ෂුවකට පමණක් නොව මුළු මහත් භික්ෂූන්ටම පූජා කරන ලදි යනුවෙනි . මෙහිදී ලාංකේය ලේඛන කලාව පිළිබඳව තොරතුරු ලබා ගැනීම සදහා සෙල්ලිපි, සන්නස් සහ ඇතැම් සාහිත්‍යය මූලාශ්‍රත් විශාල වශයෙන් වැදගත් වේ. මේ අතුරින් ආදීතම ලේඛන කලාවෙහි ආරම්භය පිළිබඳව අධ්‍යයනයේදී ලැබෙන පැරණීම සාධක අපට හමුවනුයේ ශිලාලේඛන හරහාය. මෙම ශිලා ලේඛන ප්‍රධාන වශයෙන් ලෙන් ලිපි, ටැම් ලිපි, පුවරු ලිපි සහ ගිරි ලිපි යනුවෙන් ප්‍රධාන කොටස් 4 ක් යටතේ හදුනාගත හැකිය . මෙලෙස විවිධ වර්ග යටතේ ලියන ලද ශිලා ලේඛන පිළිබඳව අධ්‍යයනය කටයුතු සිදුකරනු ලැබූවේ දහනම වන සියවස අගභාගයේදීය. ජේම්ස් ප්‍රින්සෙප් මහතා විසින් බ්‍රාහ්මී අක්ෂර මාලාව සම්පූර්ණයෙන්ම කියවා ගැනීමෙහි සමත් වීමෙන් පසුව මෙම උනන්දුව අධික විය. දිවයිනෙහි එකල සිටි ඇන්ඩෲ ආර්මර්, ජෝර්ජ් ටර්නර්, ඩැනියල් ජෝන්ස්, ගොගර්ලි, සයිමන් කාසිචෙට්ටි, රිස් ඩේවිඩ් ආදී විද්වතුන් සිංහල ශිලා ලේඛන පිළිබඳව විවිධ විමර්ශන කළහ .
මීට අමතරව ලාංකේය අක්ෂර කලාවෙහි ඈත අතීතය පිළිබඳව ගවේෂණය කළ විද්වතුන් අතර සෙනරත් පරණවිතාන මහතා ඉතාම වැදගත් වන අතර මෙතුමා විසින් ලංකාව පුරා විශාල වශයෙන් ව්‍යාප්තව ඇති ශිලා ලේඛන සිය ගණනින් අධ්‍යයනය කර ඒ සම්බන්ධ ග්‍රන්ථ රාශියක් රචනා කර තිබෙන බව දැකගත හැකිය . එහිදී ඉන්දියාවේදී බ්‍රාහ්මීය අක්ෂර සම්බන්ධව ලැබුණු දැනුම මෙතුමාට වැඩි වශයෙන් ප්‍රයෝජනවත් වූ බව පෙනේ .
• සිංහල භාෂාවේ යුගකරණය
පුරාතන ශ්‍රී ලංකාවේ ලේඛන කලාව පිළිබඳව අවධානය යොමු කිරීමේදී එහි ප්‍රධාන අංගයක් වූ අක්ෂර කලාවෙහි විකාශනය දෙස බැලීමේදී ඒ සදහා විවිධ හේතු සාධක හදුනාගත හැකිය . විශේෂයෙන්ම සිංහල භාෂාවේ ආරම්භය පිළිබඳව සාකච්ඡා කිරීමේදී මෙය එකවර නිර්මාණය වූ භාෂාවක් නොවන බව පැහැදිලිය . එනම් විවිධ කාලවලදී විවිධ අංගයන් එකතු වෙමින් මෙහි වර්ධනයක් සිදුවී ඇති බව පෙනේ . එහිදී මහින්දාගමනයත් සමඟ උතුරු ඉන්දියානු ආභාසය ලාංකේය භාෂාවේ වර්ධනයට බලපෑ අතර පසුකාලීනව දකුණු ඉන්දියාව සමඟ ඇති වූ සබදතාවල ප්‍රතිඵලයක් ලෙස දකුණු ඉන්දියානු ආභාසය ද ලාංකේය අක්ෂර කලාවට ලැබී ඇති බව දැකගත හැකිය . මේ අනුව බලන කළ ලංකාව භාරතයත් සමඟ පැවැත්වූ දේශපාලනික සම්බන්ධතා අපට කිසි ලෙසකින් අමතක කළ නොහැකිය . විශේෂයෙන්ම බ්‍රාහ්මී අක්ෂර කලාව මෞර්ය අධිරාජ්‍යයෙන් ලැබුණු දායාදයක් ලෙස සැලකීමට වඩා දූරදර්ශි ලාංකේය පාලකයන් භාරතය සමඟ පැවැත්වූ මිත්‍රශීලී දේශපාලනික සබදතා නිසා ලැබුණු දෙයක් ලෙස සැලකීම සාධාරණය.
සමකාලීන ඉන්දියාවේ ලේඛන කලාව දෙස අවධානය යොමු කිරීමේදී අශෝක යුගයේදී මුළු ඉන්දියාව පුරා එකවර ලේඛන කලාව පැතිරී ගිය බව දැකගත හැකිය. නමුත් බ්‍රාහ්මී අක්ෂර කලාවෙහි ආරම්භය අශෝක යුගයේ ඇති වී යයි ප්‍රකාශ කිරීම විචාර පූර්වක නොවේ. එනම් ඊට පෙරාතු කාලයේ සිට ඉන්දියාවෙහි අක්ෂර කලාව පවතින්නට ඇති බවත් අශෝක රජු එම අක්ෂර ටැම්වල හා පර්වත වල ලේඛනගත කිරීමෙන් එම අවධියේ ඒවා දක්නට ලැබෙන බවත් සිතිය හැකිය . මහින්දාගමනය සම්බන්ධ සිදුවීමේදීත් එම සිදුවීමම සිදුවන්නට ඇතැයි සිතිය හැකිය . විශේෂයෙන්ම ඇතැම් විට මහින්දාගමනයට පෙර ලංකාවේ ලේඛන කටයුතු කල් නොපවතින අමුද්‍රව්‍ය ඇසුරු කොට ගෙන සිදුකරන්නට ඇති බව පෙනේ . නමුත් ක්‍රි.පූ 3 වන සියවසෙහි මෞර්ය ආභාසය මෙරටට ලැබීම හරහා ගල් පර්වතවල ලේඛන කටයුතු සිදු කිරීමේ කලාව ලැබී තිබේ . කෙසේ වුවත් මහින්දාගමනය හේතුවෙන් ලැබුණු බුදුදහම සහ පාලි භාෂාවත්, මෞර්ය සංස්කෘතියත් නිසා සිංහල අක්ෂර කලාවේත්, භාෂාවේත් විශාල ප්‍රගමනයක් සිදු වූ බව දැකගත හැකිය .
මෙම සිංහල භාෂාවේ යුගකරණය පිළිබඳව අවධානය යොමු කිරීමේදී ලාංකේය භාෂාවෙහි මුල්ම සාධක අපට හමුවනුයේ ශිලා ලේඛන ආශ්‍රය කොට ගෙනය. එහිදී මුල්ම අවධියේ ශිලා ලේඛන ගණනාවක් මිහින්තලය සහ ඒ අවට ප්‍රදේශ වලින් හදුනාගෙන තිබේ . විශේෂයෙන්ම මහින්දාගමනයෙන් මසකට පමණ පසු දෙවන පෑතිස් රජතුමා ලෙන් 68ක් සකස් කරවන්නට පටන් ගත් බව මහාවංසයේ සදහන් වේ . මිහින්තලා කන්දේ සහ එයට අයත් රාජගිරිලෙන කන්දේ ද , ආනයික්කුට්ටි කන්දේ ද ඇති පැරණි ලෙන්වල බ්‍රාහ්මී අක්ෂර වලින් කොටවා ඇති ලිපි 85ක් පමණ සොයා ගෙන තිබේ . මේ අනුව ලංකාවේ ලේඛන කලාවෙහි , භාෂාවෙහි ආරම්භය දෙස බැලීමේදී ඒවා යම්කිසි ප්‍රධානයක් සිදු කිරීම සදහා මුල්කාලයේ භාවිත කර තිබෙන බව දැකගත හැකිය . විශේෂයෙන්ම සිංහල භාෂාව පිළිබඳව අදහස් ඉදිරිපත් කළ විද්වතුන් මෙය විවිධ භාෂාවන්ට නෑකම් දක්වන බව කියයි. එහිදී සෙනරත් පරණවිතාන මහතාට අනුව සිංහල භාෂාව ඉන්දු - ආර්‍ය ගණයේ භාෂාවක් ලෙස හදුන්වා ඇත . කෙසේ වෙතත් කිනම් වකවානුවක සිට අක්ෂර භාවිත කර තිබේද යන්න තවමත් ගැටළු සහගතය . මේ නිසා 19 වන සියවසෙහි බොහෝ උගතුන් මේ පිළිබඳව අවධානය යොමු කළ අතර ඒ හරහා ඔවුන් නිගමන දෙකකට එළඹුණු බව දැකගත හැකිය . එනම් සිංහල භාෂාව ඉන්දු ආර්‍ය ගණයට අයත් භාෂාවක් මෙන්ම ඇතැම් උගතුන් ඉන්දු ආර්‍ය භාෂාවෙන් අන්‍යතර වූ බසක් යන්නට අදහස් ඉදිරිපත් කරන ලදි .
මෙහිදී සිංහල භාෂාවේ යුගකරණය පිළිබඳව අවධානය යොමු කිරීමේදී විවිධ මූලාශ්‍රයන් තුළ විවිධ වර්ගීකරණයන් සිදු කර තිබෙන බව දැකගත හැකිය . විශේෂයෙන්ම ලක්දිව සෙල්ලිපි නැමති කෘතියේ මෙම යුග භේදය දක්වා ඇත්තේ මෙසේය .
• පූර්ව බ්‍රාහ්මී යුගය - ක්‍රි.පූ. 3 වන ශතකයේ සිට ක්‍රි.ව. 1 වන ශතකයේ පූර්ව භාගය තෙක්
• අපර බ්‍රාහ්මී යුගය - ක්‍රි.ව. 1 වන ශතකයේ දෙවන භාගයේ සිට ක්‍රි.ව. 7 වන ශතකය දක්වා
• පශ්චාත් බ්‍රාහ්මී යුගය - ක්‍රි.ව. 8 වන ශතකයේ සිට ක්‍රි.ව. 15 වන ශතකයේ අවසානය දක්වා
එමෙන්ම සිංහල අක්ෂර සම්භවය සහ එහි විකාශනය නම් ග්‍රන්ථය තුළ තවත් වර්ගීකරණයක් දැකගත හැකිය . එනම් ,
• පූර්ව බ්‍රාහ්මී අවධිය - ක්‍රි.පූ. 3 වන සියවසෙහි සිට ක්‍රි.පූ. 1 වන ශතවර්ෂය දක්වා
• පශ්චාත් බ්‍රාහ්මී අවධිය - ක්‍රි.පූ. 1 වන ශතවර්ෂයෙහි සිට ක්‍රි.ව. 5 වන ශතවර්ෂයෙහි මුල් භාගයේ අවසානය දක්වා
• සංක්‍රමණික අවධිය - ක්‍රි.ව. 6-7 සියවස් අවධිය
ඉහත සදහන් කරන ලද සිංහල භාෂාවේ යුගකරණයට තරමක් වෙනස් වර්ගීකරණයක් ද මේ සම්බන්ධව අධ්‍යයනය කිරීමේදී දැකගත හැකිය . එනම් ,
• සිංහල ප්‍රකෘතය
• පුරාතන සිංහලය
• මධ්‍යතන සිංහලය
• නූතන සිංහලය
මෙහි සිංහල ප්‍රකෘත යනුවෙන් හැදින්වෙන්නේ ක්‍රි.පූ. දෙවන සියවසෙහි සිට හතරවන හෝ පස්වන සියවසට අයත් සිංහලය . මෙම අවධියට අයත් වන්නේ බ්‍රාහ්මී අක්ෂරයන් භාවිතයෙන් ලියා ඇති සෙල්ලිපියි. ඉනුත් පැරණිතම ලෙන් ලිපිය. මේවා එකම ආකෘතියක් මත රචනා කර තිබෙන බව පෙනේ. එමෙන්ම පුරාතන සිංහල අවධිය ක්‍රි.ව 4 හෝ 5 වන සියවසෙහි සිට අටවන සියවස දක්වා දිවයයි. මේ අවධියට අයත් ශිලා ලිපි සංඛ්‍යාව සීමා වුවත් මධ්‍යතන සහ නූතන සිංහල භාෂාවේ මූලික ව්‍යාකරණ රීති වැඩි ප්‍රමාණයක් මේවායෙහි දැකගත හැකිය . තුන්වන අවධිය වන මධ්‍යතන සිංහලය ක්‍රි.ව. 8 වන සියවසෙහි සිට 13 වන සියවස දක්වා විහිදී යයි. දැනට ශේෂ වී ඇති සියබස්ලකර, දම්පියා අටුවා ගැටපදය සහ සිඛවලද හා සිඛවළද විනිස ග්‍රන්ථ අයත් වන්නේ මේ අවධියටය. එමෙන්ම හතරවන අවධිය ඇරඹෙන්නේ 13 වන සියවසෙහි මැද භාගයෙන් පසුවය . එම සිංහලය නම් කොට ඇත්තේ නූතන සිංහලය යනුවෙනි . මෙලෙස සිංහල භාෂාවෙහි යුගකරණය පිළිබඳව දක්නට ලැබෙන විවිධ මතවාද හදුනාගත හැකිය .
• පූර්ව බ්‍රාහ්මී අවධිය
ක්‍රි.පූ. 3 වන ශතවර්ෂයෙහි සිට ක්‍රි.ව. 1 වන ශතවර්ෂ කාලවකවානුවට අයත් භාෂා විලාසය පූර්ව බ්‍රාහ්මී අවධිය ලෙසින් හදුන්වනු ලබයි . එමෙන්ම මෙම කාලපරාසය තුළ භාවිත භාෂාව ප්‍රාකෘත නමින් හදුන්වා තිබෙන අතර මෙම ප්‍රාකෘත භාෂාව ප්‍රථමයෙන්ම ඉන්දියාවෙන් හදුනාගත හැකිය . විශේෂයෙන්ම මෙම ප්‍රාකෘත භාෂාවෙහි ස්වරූප ගණනාවක් දැකගත හැකි අතර එහි අනු කොටසක් ලංකාව තුළ ද භාවිත කළ බව පෙනේ . කෙසේ වෙතත් මෙම පූර්ව බ්‍රාහ්මී අවධියෙහිදී ප්‍රදේශ දෙකකින් භාෂාව ලංකාවට ලැබී ඇති බව දැකගත හැකිය . එනම් ,
• උතුරු ඉන්දියානු අක්ෂර ආභාසය
• දකුණු ඉන්දියානු අක්ෂර ආභාසය
මේ අතුරින් උතුරු ඉන්දියානු ආභාසය පිළිබඳව විමසා බැලීමේදී එහි මූලය අශෝක රජු කළ සිදු වූ ධර්මදූත කණ්ඩායම් පිටත් කර හැරීම දක්වා දිවයන බව දැකගත හැකිය . මෙහිදී මෙම ආරම්භක අවධියෙහි ලැබෙන ලෙන්ලිපි වල භාෂාවත්, අක්ෂරත් ඉන්දියානු අශෝක ලිපි වලට සමානය. එමෙන්ම දකුණු ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට හදුන්වා දෙනු ලැබූ බ්‍රාහ්මී අක්ෂර මාලාව ලක්දිව බෞද්ධ ධර්මදූතයන් පැමිණි පසුව වෙනත් මූලයන්ගේ බලපෑමට හසුවන්නට ඇති බව පෙනේ . ඉන්දියාවෙහි බටහිර සහ දකුණු කොටස් වලට අයත් ගිර්නාර් , සිද්ධපූර්, බ්‍රහ්මගිරි යන ස්ථාන වල ලේඛන සමඟ මෙරට මුල් ලෙන් ලිපි වල ලක්ෂණ සමාන කළ හැක්කේ එම නිසාය .
විශේෂයෙන්ම පූර්ව බ්‍රාහ්මී අවධියෙහි ලංකාවේ භාවිත කරන ලද ප්‍රාකෘත භාෂාව සමඟ ඉතා ආසන්නම භාෂාව ලෙස මාගධී ප්‍රාකෘතය හැදින්විය හැකිය . මෙහිදී ඇතැම් විට පාලි භාෂාවෙන් අර්ධ ස්වරූපීව මෙන්ම සම්පූර්ණ ලෙසින්ම පාලි භාෂාවෙහි භාවිත වචන ද මේවා තුළදී දැකගත හැකිය . මෙම පූර්ව බ්‍රාහ්මී අවධියේදී බෙහෙවින්ම විභක්ති ප්‍රත්‍යයන් යොදා නොගෙන ශබ්ද ප්‍රකෘතියම සෑම විභක්තියකම පාහේ යොදා තිබෙන බව පෙනේ . විශේෂයෙන්ම ශ, ස අකුරු යෙදීමේදී ශබ්ද විද්‍යාත්මක නීතියක් සලකා නැත. ( ශගශ, සගශ, සගස ) ඇතැම් තැනක හකාරාදේශව සගහ වශයෙන් ද පෙනේ .
• අපර බ්‍රාහ්මී අවධිය
ශ්‍රී ලාංකේය සිංහල භාෂාවෙහි යුගකරණය පිළිබඳව අවධානය යොමු කිරීමේදී තවත් එක් වැදගත් අවධියක් ලෙසින් අපර බ්‍රාහ්මී අවධිය හදුන්වා දිය හැකිය . මෙහිදී විශේෂයෙන්ම ක්‍රි.පූ. පළමුවන ශතවර්ෂයෙහි දෙවන භාගයේ සිට ක්‍රි.ව. පස්වන ශතවර්ෂය පමණ දක්වා වූ කාලපරාසය මෙම අවධියට ඇතුලත් වන බව පෙනේ . ඇතැම් අවස්ථා වලදි මෙම අපර බ්‍රාහ්මී අවධිය ක්‍රි.ව. 7 වන ශතවර්ෂය දක්වා වූ කාලපරාසයක් ඈතට දිවයන බවට මත ඉදිරිපත් වී තිබුණ ද එම 5 - 7 ශතවර්ෂ දෙක බ්‍රාහ්මී අක්ෂර ක්‍රමයෙන් සිංහල අකුරු ක්‍රමයට හැරී යන නිසා අන්තර් යුගයක් ලෙස සැලකීම සාධාරණය . මහාචූලික මහාතිස්සගේ රාජ්‍ය කාලයෙහි අවසානයෙහි පටන් පළමුවන කාශ්‍යප රාජ්‍ය කාලය තෙක් යුගය අපර බ්‍රාහ්මී යුගය ලෙස සාමාන්‍යයෙන් සැලකිය හැකිය .
බ්‍රාහ්මී අක්ෂරවල වැදගත්ම සිදුවීම් කිහිපයක්ම දැකිය හැකි කාලපරිච්ඡේදයක් ලෙසින් මෙම ක්‍රිස්තු පූර්ව පළමුවන ශතවර්ෂය හැදින්විය හැකිය . බ්‍රාහ්මී අක්ෂර නූතන සිංහල අක්ෂරවල ස්වරූපය ගැනීම ආරම්භ වූයේ මෙම ශතකයේ දී යැයි කිව හැකිය . මෙහිදී මෙම අපර බ්‍රාහ්මී කාලපරිච්ඡේදය තුළ බ්‍රාහ්මී අක්ෂර විකාශය වීම කෙරෙහි දක්ෂිණ භාරතීය ආභාසය වැඩි වශයෙන් ලැබී ඇති බව දැකගත හැකිය . මෙයට ප්‍රධාන වශයෙන්ම හේතු වී ඇත්තේ මෙම යුගය තුළ දක්ෂිණ භාරතය සමඟ පැවැත්වූ දේශපාලනික සහ සංස්කෘතික සබදතාය. මෙහිදී විශේෂයෙන්ම දකුණු ඉන්දියාවේ ආන්ද්‍ර ප්‍රදේශයත් සමඟ ලංකාව පැවැත්වූ සංස්කෘතික සම්බන්ධතා සිංහල අක්ෂර කලාවෙහි විකාශනයට බලපෑමක් සිදු කොට ඇති බව පෙනේ . නාසික්, කාර්ලේ, නාගර්ජුනකොණ්ඩ, අමරාවතී යන ස්ථාන වල ඇති ශිලා ලිපි මේ පිළිබඳව අතිශය වැදගත්කමක් උසුලනු ඇත . විශේෂයෙන්ම මේ අවධියට අයත් ලංකාවේ ශිලා ලිපි වල අ, ක, ර යන අක්ෂරවල සිරස් රේඛාවේ පහළ කෙළවර වමට වක්‍ර කොට ලිවීමට හේතුකාරක වී ඇත්තේ නාගර්ජුනකොණ්ඩ ආභාසය මත බව දැකගත හැකිය .
මෙම අපර බ්‍රාහ්මී අවධිය වන විට අකුරුවල සිරස් රේඛා මුදුනේ ඉහක් වැනි කෙටි හරස් ඉරක් ඇති වීම , " ල " යන්නේ දකුණු සිරස් රේඛාව ඉහළට දික් වී මුලදී දකුණටත්, පසුව වමටත් නැමී යාම ආදී වෙනස්කම් කිහිපයක් සිදු වී ඇති බව දැකගත හැකිය . මීට අමතරව මෙම ලක්ෂණයන්ගෙන් තොර වූ අකුරු තිබෙන සෙල්ලිපි ද , සංවර්ධිත වූ සහ නොවූ අක්ෂර මිශ්‍ර වූ ලිපි ද අපර බ්‍රාහ්මී අවධියේදී දක්නට පුළුවනි . මේ හේතුව නිසාම ඇතැම් විට අක්ෂරයන්ගේ හැඩතලයන් අනුව කාලනිර්ණ කටයුතු කිරීම තරමක් ගැටළු සහගතය . එමෙන්ම ගුරු පරම්පරා අනුව ද අක්ෂරයන්ගේ හැඩය වෙනස් වූ අවස්ථා හදුනාගත හැකිය . විශේෂයෙන්ම බුද්ධදාස රජුගේ රාජ්‍ය කාලයේදී ලියැවුණු සේ සැලකිය හැකි රුවන්වැලි ටැම් ලිපියෙහි ද , මහානාම කාලයට අයත් වේරගොඩ සෙල්ලිපියෙහි ද , අකුරු මල් ලියකම් වැනි අලංකාරයන්ගෙන් යුක්ත වීම විශේෂිතව සැලකිය හැකිය . මීට අමතරව පාලි , සංස්කෘත භාෂාවල මෙන් ව්‍යාකරණ ලිංගය පදනම් කොට ගෙන වරනැගුණු රූප භාවිත කළ බව පෙනේ .
ක්‍රි.ව 3 වන සියවසේ පමණ සිට සචේතන - අචේතන යන කාල්පනික ලිංගය දෙසට සංක්‍රමණය වීම දක්නට ලැබේ . උදාහරණ ලෙස පුසගුතෙන කරිතෙ බද තුබෙ, පුසගුත තෙරෙන ඛරපිතෙ ලෙණෙ, සිවෙන කරිතෙ මනපදශනෙ, තෙන කරිතෙ ශුදශනෙ දැක්විය හැකිය . මෙම අපර බ්‍රාහ්මී යුගයෙහි අක්ෂර පරිණාමය කෙරෙහි බලපෑ හේතුවක් වශයෙන් නාගිරිකන්ද සෙල්ලිපි විවරණයේදී සෙනරත් පරණවිතාන මහතා දක්වනුයේ තල් පත් හි ලියන්නට වීම විය හැකිය කියාය. ලිවීමට භාවිත කරන උපකරණ අක්ෂර වල ස්වරූපය වෙනස් වීමට බලපා ඇති බව පෙනේ .
• සංක්‍රාන්තික අවධිය
සිංහල භාෂාවෙහි යුගකරණය පිළිබඳව අවධානය යොමු කිරීමේදී අපර බ්‍රාහ්මී යුගයෙහි අවසාන අවධියෙහිදී, එනම් ක්‍රි.ව. 6 – 7 ශතවර්ෂ අතර කාලයෙහිදී ලංකාවේ අක්ෂර වර්ධන වේගය මෙන්ම නව්‍ය අංග එකතු වුණ බව දැකගත හැකිය . එම නිසාම මෙම කාලපරිච්ඡේදය සංක්‍රාන්තික අවධියක් ලෙසත්, සංක්‍රමණික අවධියක් ලෙසත් හදුන්වනු ලැබේ . විශේෂයෙන්ම මෙම අවධිය වන විට අළුත් අක්ෂරයන් සිංහල භාෂාවට එක් වූ අතර ඒ නිසාම සීග්‍ර වර්ධනයක් සිදු වූ බව දැකගත හැකිය .
මෙහිදී ක්‍රි.ව. 6 වන ශතවර්ෂ කාලවකවානුව වන විට ලාංකේය ශාස්ත්‍රීය කටයුතු වල සීග්‍ර වර්ධනයක් සිදු වූ බව දැකගත හැකි අතරම මෙකල සාහිත්‍යය ග්‍රන්ථ කිහිපයක්ම රචනා වී තිබුණු බව දක්නට පුළුවනි . එම නිසාම මෙකල ලාංකේය සමාජය තුලට ක්‍රමානුකූල අක්ෂර මාලාවක අවශ්‍යතාවය තිබූ බව පෙනේ . මෙහිදී දියුණු අක්ෂර මාලාවක් භාවිත කළ ජාතියක් වන දකුණු ඉන්දියාවේ විසූ පල්ලවයන් සමඟ සම්බන්ධකම් පැවැත්වීමට ලක්දිව ජනතාවට මෙකල අවකාශය ලැබුණි . මෙම සම්බන්ධකම් වැඩෙමින් ඉක්බිති ශතවර්ෂ කිහිපය ලංකාවේ අක්ෂර වලට පමණක් නොව විවිධ සංස්කෘතික අංශ වලට බලපෑ ආකාරය ඉතිහාසය තුළ ප්‍රකාශිතය . විශේෂයෙන්ම ලංකාවේ මානවම්ම රජු පල්ලව රාජසභාව සමඟ සබදතා පැවැත්වූ බව දක්නට ලැබෙන අතර පල්ලව සංස්කෘතියේ ආභාසයන් ද ලංකාවට ලැබුණු බව දැකගත හැකිය . එහිදී නාලන්දා ගෙඩිගේ , ඉසුරුමුණි කැටයමට පල්ලව ආභාසය ලැබී ඇති බව පෙනේ.
• පශ්චාත් බ්‍රාහ්මී අවධිය
සිංහල භාෂාවෙහි යුගකරණය පිළිබඳව අවධානය යොමු කිරීමේදී පශ්චාත් බ්‍රාහ්මී අවධිය ද ඉතාම සුවිශේෂී වන අතර අක්ෂර මාලාවේ සීග්‍ර වර්ධනයක් සිදු වූ බව දැකගත හැකිය . මෙහිදී විශේෂයෙන්ම බ්‍රාහ්මී අක්ෂර රූප සියල්ලම පාහේ මෙකල වෙනස් වූ අතර වර්තමාන සිංහල අක්ෂර වල හැඩයට ආසන්න ස්වරූපයක් දක්නට පුළුවනි . එමෙන්ම මෙම අවධිය වන විට අක්ෂර වල ස්වභාවය පමණක් නොව සිංහල භාෂාවේ දියුණුවක් ද හදුනාගත හැකි අතරම ශාස්ත්‍රීය කටයුතු වල වර්ධනයක් ද සිදු වූ බව පෙනේ . එහිදී ක්‍රි.ව. 8 වන ශතවර්ෂ කාලපරිච්ඡේදය වන විට ලාංකේය සිංහල භාෂාව හලන්ත වූ බව දැකගත හැකිය . එහෙයින් හල් අකුරු භාවිතයට ආ බව පෙනේ . මෙකල සංස්කෘත භාෂාව භාවිතයට ඒමත් සමඟම සංයුක්තාක්ෂර හා බැදි අකුරු බහුලව ව්‍යවහාරයට පැමිණි අතර මහප්‍රාණ අක්ෂර රාශියක් සිංහල භාෂාවට අභිනවයෙන් එක් වූ බව දැකගත හැකිය .
අටවන ශතවර්ෂයේදී සිංහල භාෂාවෙහි ආකෘතිය සම්පූර්ණයෙන්ම වෙනස් වූ බව පෙනෙන අතර තිරියාය , ඉදිකටු සෑය , අම්බස්තල ලිපි හරහා මේ බව දැකගත හැකිය . සංස්කෘත ශබ්ද ලක්ෂණ අනුව අක්ෂර මාලාව විකාශනයට ලක් විය . සීගිරියෙහි දක්නට ලැබෙන සීගිරි කුරුටු ගී වල පවා සංයුක්තාක්ෂර විශාල ප්‍රමාණයක් දැකගත හැකිය . මෙසේ අකුරු කිහිපයක් එකට බැදෙන විට ඒ සදහා යෙදෙන ඉඩත්, අක්ෂරයන්ගේ හැඩයත් සලකා අක්ෂර ශිල්පීන් අලංකාරවත් ලෙස ඒවා යෙදූ බව තිරියාය සහ සීගිරි ගී වලින් දක්නට පුළුවනි .
එමෙන්ම ක්‍රි.ව 9 – 10 ශතවර්ෂ වන විට මිශ්‍ර සිංහල හෝඩියේ අක්ෂර දෙක තුනක් හැර අන් සියලුම අක්ෂර සදහා සංකේත පිළියෙල වී තිබීම භාෂාවේ සහ අක්ෂර මාලාවේ විශේෂ දියුණුව හගවන බව පෙනේ . මෙම අවධියේ අක්ෂරයන්හි ස්වභාවය පිළිබඳව අවධානය යොමු කරන විට ක්‍රි.ව. 8 වන ශතවර්ෂයෙහි අක්ෂර කලාවේ වූ පරිණාමය මෙකල තවදුරටත් වර්ධනය වූ බව දක්නට පුළුවනි . ක්‍රි.ව 8,9 සියවස් වන විට දීර්ඝ අක්ෂර භාවිතය වඩාත් ප්‍රකට ලෙස දැකගත හැකිය . ඒ බව මෙම කාලවකවානුවලට අයත් ලෙස සැලකෙන මිහින්තලා පුවරු ලිපියේ ඈපා, තුමා, බෑ, තුබූ, වටී, ඉසා යනුවෙන් යෙදී ඇති පද වලින් පෙනේ . මේ හැරෙන්නට " ඇ " කාරය බහුල ලෙස සිංහල භාෂාවෙහි භාවිතය ඇරඹී ඇත්තේ ද මේ යුගයේ බව දැකගත හැකිය . එමෙන්ම සිංහල භාෂාවේ එන න, ණ, ල, ළ මැනවින් ව්‍යවහාර කර තිබෙනු පෙනී යයි.
• සිංහල භාෂාවේ අතීත , වර්තමාන ස්වරූප
01. අද සංයුක්තව යෙදෙන අක්ෂර එදා යෙදුණේ කේවල ය.
උත්තිය - උති
ගුත්ත - ගුත
ධම්ම - දම
රක්ඛිත - රකිත
සංඝස්ස - සගස
02. අතීතයෙහි දීර්ඝ ප්‍රාණාක්ෂර භාවිත නොවීම නිසා කෙටි ස්වරූප දැකිය හැකිය .
ආගත - අගත
අනාගත - අනගත
උපාසක - උපසක
නාග - නග
භාණ්ඩාගාරික - බඩගරික
03. ඇ සහ ඈ ආකාර දක්නට නොලැබුණ අතර ඒ වෙනුවට අ සහ එ භාවිත කර තිබේ .
ඇළ - අඩි
පැණි - පෙණි
බැව් - බෙව්
වැඩ - වෙඩ
04. අතීතයේ මහාප්‍රාණ වෙනුවට අල්පප්‍රාණ යොදා ඇත .
සංඝ - සග
ථෙර - තෙර
ධම්ම - දම
භාර්‍යා - බරිය
ජත්ත - චත
05. දන්තජ " ස " යන්න වෙනුවට තාලුජ " ශ " යන්න විකල්ප වශයෙන් යොදා තිබීම .
උපසික - උපශික
තෙරස - තෙරශ
පුසගුත - පුශගුත
සගස - ශගශ
සුමන - ශුමනශුමන
මේ අනුව ලෝකයේ ඕනෑම රටක ශිෂ්ට සම්පන්න ජනතාව අතර සාක්ෂරතාවය පිළිබඳව අවධානය යොමු කිරීමේදී එම රටෙහි භාෂාව , අක්ෂර කලාවට ප්‍රධාන තැනක් හිමිවන බව දැකගත හැකිය . මේ මග ගමන් කරමින් පුරාතන ශ්‍රී ලාංකේය ජන සමාජය දෙස බැලීමේදී එහි සනාථ කර ගත හැකි සාධක සහිතව ලේඛන කලාවක ආරම්භයක් හමුවනුයේ ක්‍රි.පූ 3 වන සියවසෙන් පසුවය. එනම් මහින්දාගමනයෙන් අනතුරුවය. එහිදී මුල්ම අවධියේ ප්‍රාකෘත භාෂාව මූලික කරගෙන ලේඛන කලාව ආරම්භ වූ අතර ප්‍රධාන කඩයිම් අවස්ථා රැසක් දැකගත හැකිය . විශේෂයෙන්ම පූර්ව බ්‍රාහ්මී අවධිය , අපර බ්‍රාහ්මී අවධිය , සංක්‍රාන්තික අවධිය සහ පශ්චාත් බ්‍රාහ්මී අවධිය ලෙසින් එම කඩයිම් හදුනාගත හැකිය .
මෙහිදී විශේෂයෙන්ම බ්‍රාහ්මී අක්ෂර මාලාව කේන්ද්‍ර කර ගනිමින් ලේඛන කලාව ආරම්භ වී ඇති අතර මුල්ම කාලයෙහි මෙරට භාෂාව ප්‍රාකෘත ලෙසින් හදුන්වා තිබේ . එමෙන්ම සංක්‍රාන්තික අවධිය ලෙසින් හදුන්වනු ලබන ක්‍රි.ව 6 – 7 සියවස් වන විට ප්‍රාග් සිංහලය යන භාෂාව නිර්මාණය වන අතර ක්‍රි.ව 9 – 10 පමණ වන විට නූතන සිංහලයේ ස්වරූපය දැකගත හැකිය . මේ අනුව ක්‍රි.ව 10 සියවසෙන් පසුකාලය වන විට සිංහල අකුරු වල වර්තමානයේ ස්වරූපය සකස් වී ඇති බව පෙනේ . මෙලෙස ක්‍රි.පූ 3 වන ශතවර්ෂයෙහි සිට සිංහල භාෂාවේ යුගකරණය තුළ භාෂාවෙහි විවිධ වර්ධනයන් සිදු වී ඇති බව දැකගත හැකිය.
ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය
මහාවංශය ( සිංහල ), සංස්. ශ්‍රී සුමංගල හිමි, බටුවන්තුඩාවේ දේවරක්ෂිත, එස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ, 1996.
සිංහල විශ්වකෝෂය, සංස්. ඩී.ඊ. හෙට්ටිආරච්චි, " අක්ෂර මාලාව ", අබය ආරියසිංහ, සංස්කෘතික දෙපාර්තමේන්තුව, බත්තරමුල්ල, 1997.
අමරවංශ හිමි, කොත්මලේ, ලක්දිව සෙල්ලිපි, සීමාසහිත ඇම්.ඩී. ගුණසේන සහ සමාගම, කොළඹ, 1969.
ඉන්ද්‍රසේන, දෙ.ආ, සිංහල අක්ෂර කලාව, සීදේවි ප්‍රින්ටර්ස් ලිමිටඩ්, දෙහිවල, 2001.
ගුණසේකර, බන්දුසේන, සිංහල අක්ෂර සම්භවය හා එහි විකාශනය, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ, 1996.
ගුණසේකර, බන්දුසේන, පී.ඇම්. සේනාරත්න, අකුරු උපත, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ, 1997.
දිසානායක, ජේ.බී, සිංහල අක්ෂර විචාරය, සුමති ප්‍රකාශකයෝ, කළුබෝවිල, 2006.
විමලානන්ද, තෙන්නකෝන්, පැරණි ලංකාව හා ශිලා ලිපි, සීමාසහිත ඇම්.ඩි. ගුණසේන සහ සමාගම, කොළඹ, 1957.
No comments:
Post a Comment