Monday, January 18, 2021

ඊජිප්තු නිම්නයේ විශ්මය - මමිකරණය




           පුරාතන ලෝක ඉතිහාසය තුළ බිහි වූ ප්‍රධානතම, පැරණි ශිෂ්ටාචාර සතර අතුරින් නයිල් නදී නිම්න ශිෂ්ටාචාරයට ප්‍රමුඛ ස්ථානයක් හිමි වන බව දක්නට ලැබේ . විශේෂයෙන්ම මෙම ශිෂ්ටාචාරය මිසර ශිෂ්ටාචාරය , ඊජිප්තු ශිෂ්ටාචාරය සහ නයිල් නදී නිම්න ශිෂ්ටාචාරය ආදී පර්‍යාය නාම රැසකින් හදුන්වා දී තිබේ . මෙම මිසර ශිෂ්ටාචාරය ව්‍යාප්ත ඊජිප්තු ප්‍රදේශය භූගෝලීය වශයෙන් අප්‍රිකාවේ ඊසාන දිගින් පිහිටා ඇත . ඇතැම් මූලාශ්‍ර වල සදහන් වී ඇත්තේ අප්‍රිකාවේ නැගෙනහිර දෙසින් මෙම ශිෂ්ටාචාරය ව්‍යාප්ත වී ඇති බවය. මෙම මිසර ශිෂ්ටාචාරය ලොව පුරා සීග්‍රයෙන් ප්‍රචලිත වීමට හේතු වූයේ ශිෂ්ටාචාරය පුරා ගුප්තමය ස්වරූපය ඉස්මතු කරන ඊජිප්තු වැසියන් විසින් නිර්මාණය කරන ලද මහා පිරමිඩ නිසාමය. 

      මෙම මිසර ශිෂ්ටාචාරය ව්‍යාප්තව පැවති ඊජිප්තු ප්‍රදේශයේ භූගෝලීය ස්වභාවය පිළිබඳව අධ්‍යයනය කිරීමේදී මෙම ශිෂ්ටාචාරය ආරම්භ වීම සදහා බලපෑ ප්‍රධාන සාධකය වූයේ මෙම ප්‍රදේශය හරහා ගලා බසින නයිල් ගංගාවයි. නමුත් ස්වභාවයෙන්ම මේ ප්‍රදේශය කාන්තාර ස්වභාවයක් ගනු ලබන අතර ගංගාව දෙපස නිම්න ප්‍රදේශය ඉතාම සශ්‍රික බවක් දක්නට ලැබේ. මෙහි පිහිටා ඇති නයිල් ගංගා මිටියාවත ලෝක ඉතිහාසයේ පැරණිතම මෙන්ම අනගිතම ශිෂ්ටාචාරයක් හදා වඩා පෝෂණය කර ඇත.

    ප්‍රකට ඉතිහාසවේදියෙකු වන හෙරඩෝටස් විසින් මෙම මිසර ශිෂ්ටාචාරය හදුන්වා දී ඇත්තේ නයිල් ගගේ දායාදයක් හෙවත් ත්‍යාගයක් ලෙසය. එයට හේතුව සාමාන්‍යයෙන් වියළි කාන්තාර ස්වභාවයක් දක්නට ලැබෙන මේ ප්‍රදේශය තුළ ජනාවාස බහුලවම ගොඩනැගී ඇත්තේ නයිල් ගංගාව දෙපස සහ නයිල් ගංගාව මුහුදට වැටෙන ඩෙල්ටා කලාපය තුළ ය. 

        මෙම ඊජිප්තු ශිෂ්ටාචාර ඉතිහාසය ඉතා පැරණි යුගයක් දක්වා විහිදී ගිය ද ඊජිප්තු සමාජය සංකීර්ණ හා දියුණු එකක් බවට පත් වූයේ ක්‍රි.පූ. 3000 දී පමණය. එසේ ගොඩනැගුණු මෙම මිසර ශිෂ්ටාචාරය තුළ අගනා ලක්ෂණ ගණනාවක් දක්නට ලැබේ. විශේෂයෙන්ම නයිල් මිටියාවත පුරාශිලා යුගයේ සිට ජනාවාස වී තිබුණු බවට සාධක පැවතියද හදුනාගත හැකි ලක්ෂණ සහිත ශිෂ්ටාචාරයක් එහි බිහිවනුයේ පශ්චාත් නව ශිලා අවධියේ පමණය. එහිදී හදුනාගත හැකි සුවිශේෂී අංග ලක්ෂණ වන මිසර සිතුවම් කලාව , මූර්ති කලාව , මිසර වාස්තු විද්‍යාව , මිසර වැසියන්ගේ මලමිනී සංරක්ෂණය හෙවත් මමිකරණ ක්‍රියාවලිය ආදී සාධක හේතු කොට ගෙන මෙම මිසර ශිෂ්ටාචාරය ලෝ වැසියන් අතර ප්‍රචලිත වී තිබේ. 

මිසර වාස්තු විද්‍යාව 

        ඊජිප්තු ශිෂ්ටාචාරය තුළ නිර්මාණය කර ඇති ගොඩනැගිලි දෙස අවධානය යොමු කිරීමේදී මෙම ඊජිප්තුව තුළ දක්නට ලැබෙන විවිධ පාෂාණ ද්‍රව්‍යයන්, එනම් හුණුගල් , වැලිගල්, කිරිගරුඬ , කළුගල් ආදී පාෂාණ වර්ගයන් බහුල වශයෙන් භාවිත කර තිබෙනු දැකගත හැකිය . ඊට අමතර වශයෙන් මෙකල ගොඩනැගිලි ඉදි කර ගැනීමේදී අව්වේ වේලාගන්නා ලද ගඩොල්‍ සහ පුළුස්සා ගන්නා ලද ගඩොල්‍ භාවිත කර තිබෙන බව පෙනේ . එමෙන්ම දැව දඩු භාවිත කර ඉදිකරන ලද ගොඩනැගිලි ද මෙකල අපට හදුනාගත හැකිය . විශේෂයෙන්ම මෙම මිසර ශිෂ්ටාචාරය තුළ දී මස්තබා ( මස්ටාබා ) සුසාන ගෘහ , පිරමීඩ ආදිය ඉතා වැදගත්කමක් උසුලනු පෙනේ. 

           පිරමීඩ නිර්මාණය කිරීමේදී මූලික බීජ අවස්ථාව ලෙසින් අපට මෙම මස්ටාබා සුසාන නම් ගෘහ නිර්මාණ අංගය හදුන්වා දිය හැකිය . එහිදී විශේෂයෙන්ම ඊජිප්තු ශිෂ්ටාචාරය තුළ ගොඩනැගුණු රාජවංශයන්හි රජවරුන්ගේ , උසස් කුලීන වංශිකයන් මියගිය පසුව ඔවුන්ගේ සිරුරු සහ සොහොන් වලවල් විවිධ උපද්‍රව වලින් , එනම් ස්වභාවික විපත් ආදියෙන් ආරක්ෂා කර ගැනීම සදහා එම සොහොන් වලවල් ආදියට මතුපිටින් නැතිනම් ඒවා ආවරණය කර ඉදිකරන ලද ගෘහ නිර්මාණයන් මෙකල අපට දැකගත හැකිය . විශේෂයෙන්ම මෙම මස්ටාබා සොහොන් ගෙවල් ගලින් හෝ ගඩොලින් නිර්මාණය කරන ලද ආනත බිත්ති සහිත සෘජුකෝණාශ්‍රාකාර හැඩය ගත් ගෘහ නිර්මාණයකි . මෙම මස්ටාබා සොහොනෙහි භූ අභ්‍යන්තරයේ කාමර කිහිපයක් දැකගත හැකි අතර ඉන් එකක මියගිය පුද්ගලයාගේ මමිය තැන්පත් කර තිබෙන අතර එම මිනී පෙට්ටිය තැබූ කාමරයට යාබද කාමර වල මියගිය පුද්ගලයා භාවිත කළ භාණ්ඩ , එනම් මිදි යුෂ , ආහාර , ධාන්‍ය , දඩයම් උපකරණ , රන් මැණික් තැන්පත් කර තිබුණු බවට පුරාවිද්‍යා කැණීම් මගින් සොයා ගගත් තොරතුරු වලට අනුව පැහැදිලි වේ. ඊජිප්තුවේ ඇතැම් විශාල මස්ටාබා වලට අමතරව ඊට ආසන්නයෙහි කුඩා මස්ටාබා හමුවී තිබෙන අතර ඒ අනුව නිගමනය කළ හැකි කාරණය වනුයේ මෙකල ස්වාමියාගේ මරණයත් සමඟ ඔහුගේ සේවකයන්ට ද මරණය උරුම වී ඇති බවය. 

          මෙම මස්ටාබා වලින් පසුව අපට මිසර ශිෂ්ටාචාරය තුළ දැකගත හැකි විශිෂ්ටතම නිර්මාණය වනුයේ පිරමීඩයයි. විශේෂයෙන්ම මෙම දැවැන්ත නිර්මාණ වූ පිරමීඩ ඉදි කෙරුණේ රජුගේ සොහොන් කොත් වශයෙනි. එනම් සෑම පාරා රජෙකුම මරණයේදී මෘත ශරීරයට බෙහෙත් ගල්වා පිරමීඩ නම් විශාල සොහොන් ගැබ් වල තැන්පත් කරනු ලැබීය . එයට හේතු වී ඇත්තේ ඊජිප්තු වැසියන් විශ්වාස කරනු ලැබුවේ මෙම පාරාවෝ රජවරු මියයාමෙන් පසු දේවත්වයට පත් වන බවය. එහිදී ඊලග ආත්මය වෙනුවෙන් ඔහු පරිභෝග කරන ලද භාණ්ඩයන් ද මෙම සොහොන් ගෙවල් හි තැන්පත් කර තිබේ . එනම් ඉහතින් දක්වන ලද ආකාරයට මස්ටාබා සොහොන් ගෙවල් හි මෙන් මේ භවයේ භාවිත කරන ලද විවිධ භාණ්ඩ , උපකරණ මෙම පිරමීඩ වල ද තැන්පත් කර තිබේ . 

          එපමණක් නොව මෙම ඉදි කර තිබෙන පිරමීඩ වල ස්වභාවය අනුව එකල සිටි රජවරුන්ගේ ශක්ති සම්පන්නභාවය , තරාතිරම ආදී සාධක ඉස්මතු වන අයුරු දක්නට ලැබේ . එහිදී ඊජිප්තු ශිෂ්ටාචාරය තුළ මුලින්ම පිරමීඩයක් ඉදි කර ඇත්තේ Djoser රජු විසිනි . එනම් Sakkarah වල ඔහු විසින් ඉදිකරන ලද මාලක පිරමීඩයයි. එය දැනට බොහෝ සේ විනාශ වී ඇති බවක් දක්නට ලැබේ . මෙම මිසර ශිෂ්ටාචාරයේ දක්නට ඇති විශිෂ්ටතම පිරමීඩය වනුයේ Khufu  රජු විසින් ඉදි කරන ලද ගීසා හි මහා පිරමීඩයයි . මෙම එක් පිරමීඩයක් තනා නිම කිරීමට ලක්ෂයක් පමණ ජනයාගේ ශ්‍රමය සමඟ අවුරුදු 20ක් ගත වී ඇති බව කියනු ලැබේ . 

මමියක් යනු කුමක්ද ?

        පුරාණ ඊජිප්තු ශිෂ්ටාචාරය ගත් කළ එය ලෝකය තුළ ප්‍රචලිත වීම සදහා ප්‍රබල ලෙස බලපෑ එක් සාධකයක් වූයේ ඊජිප්තු වැසියා තුළ පැවති මෙම මමිකරණ තාක්ෂණයයි. විශේෂයෙන්ම ඊජිප්තු පිරමීඩ සහ මස්ටාබා සුසාන ආශ්‍රිතව කරන ලද පුරාවිද්‍යා ගවේෂණ හරහා මෙවැනි මමී ගණනාවක් හමුවී තිබෙන අතර ශිෂ්ටාචාරය පුරා ව්‍යාප්ත වූ ගුප්තමය ස්වභාවය සදහා මෙම මමිකරණය ප්‍රබල පිටුවහලක් වී තිබේ. එහිදී සදහන් කළ යුතු කරුණ වනුයේ මෙම මමිකරණ ක්‍රියාවලිය මුල්ම කාලයෙහි ජනප්‍රියව පැවතියේ ඊජිප්තුවේ ප්‍රභූන්, කුලීනයන් අතරය . එනම් එහිදී ඊජිප්තු වැසියන් විශ්වාස කරනු ලැබුවේ ඔවුන්ගේ පාලකයන් , නැතිනම් රජවරු මිහිපිට දෙවිවරු වශයෙන් ය. එමෙන්ම එම පාලකයන් පාරාවෝ නමින්ද හදුන්වා තිබේ . කෙසේ වෙතත් මෙම පාරාවෝ රජවරු මරණින් පසු දේවත්වයට පත් වන බවට විශ්වාස කළ ඊජිප්තු වැසියන් මොවුන්ගේ මළසිරුරු ආරක්ෂා කර ගැනීමට කටයුතු කරන ලදි . 

            ක්‍රි.පූ 3500 තරම් ඈතට දිවයන මෙම මමිකරණ ක්‍රියාවලියට පෙර කාලයේදී විවිධ ප්‍රාථමික ක්‍රම මගින් මෙම ඊජිප්තු වැසියන් මළසිරුරු ආදාහනය කර තිබේ . එනම් , මෙම ඊජිප්තුව ස්වභාවයෙන්ම කාන්තාර ස්වභාවයක් ගනු ලැබූ අතර එහිදී කෙනෙකු මියගිය පසුව ඔහුගේ සිරුර කාන්තාරයේ වැලි යට තැන්පත් කිරීමේ සිරිතක් මොවුන් අතර පැවත තිබේ . එහිදී කාන්තාරයේ පවතින අධික වියළි දේශගුණය හේතුවෙන් මළසිරුර විජලන තත්ත්වයට පත්ව ආරක්ෂා වීම සිදු වුවද එයට ද භාදක රැසක් තිබෙනු දක්නට ලැබේ . එනම් එසේ විජලන තත්ත්වයට පත්ව සිරුර ආරක්ෂා වුවද කාන්තාරයේ විවිධ සතුන් විසින් මෙම මළසිරුරු අනුභවයට ගෙන තිබේ . එය වැලැක්වීම සදහා මෙම ඊජිප්තු වැසියන් මළසිරුරු දැවයෙන් තනන ලද පෙට්ටි තුළ තැන්පත් කර වැලි යට සගවන ලදි . නමුත් දැව පෙට්ටිය තුළ ඇති වන පීඩන ක්‍රියාවලිය නිසා මළසිරුරු ආරක්ෂා කර ගත නොහැකි විය . එම නිසාම මෙම මළසිරුරු ආරක්ෂා කර ගැනීමට ඊජිප්තු වැසියන්ට විකල්ප මාර්ගයක අවශ්‍යතාව දැනෙන්නට විය . එහි ප්‍රතිඵලයක් වශයෙන් මමිකරණ ක්‍රියාවලියේ ආරම්භය අපට දැක්විය හැකිය . 

        ඇතැම් විට දක්නට ලැබෙන සාධක වලට අනුව මමියක් යනු බෙහෙත් ද්‍රව්‍ය මගින් ශරීරය වියලා රෙදි වලින් ඔතන ලද සිරුරක් ලෙසින් අර්ථකථනය කළ හැකි වුවද එය පිළිබඳව පැහැදිලිව සොයා බැලීමේදී සංකීර්ණ ක්‍රියාවලීන් රැසක ප්‍රතිඵලයක් ලෙසින් හදුනාගත හැකිය . නමුත් මළසිරුරක් මමියක් යනුවෙන් හැදින්වීමට නම් එම සිරුරෙහි සමත්, අභ්‍යන්තර ඓන්ද්‍රීය කොටසුත් රසායනික ද්‍රව්‍ය, අධික ශීතල සහ අඩු ආර්ද්‍රතාවයක් සහිත , සුළං නොවදින පරිසරයක සංරක්ෂණය වී පැවතිය යුතුය.

     විශේෂයෙන්ම මෙම මමිකරණ ක්‍රියාවලිය සදහා බහුල වශයෙන් යොමු වී ඇත්තේ රාජකීයයන්‍ ය. එම රාජකීයයන්‍ අතර සෙඛනෙන්රේ , පළමුවන ආමෝසේ , පළමුවන අමෙන්හොටෙප් , පළමුවන තොට්මෝසේ , දෙවන රැමසිස් සහ තුන්වන රැමසිස් යන අයගේ සහ රැජිණියන් කිහිපදෙනකුගේ සහ නායක පූජකවරුන්ගේ ද මමියන් අන්තර්ගත විය. මෙලෙස සොයා ගන්නා ලද මමියන් 53 ක් දැනට කයිරෝ කෞතුකාගාරයේ තබා ඇති අතර එහි පැමිණෙන ආගන්තුකයින් සදහා ප්‍රදර්ශනයේ පවතී . 

          මෙලෙස සදහන් කරන ලද රාජකීය මමි අතුරින් වැදගත්ම මමිය වනුයේ 1922 පෙබරවාරි 23 වනදා සොයා ගන්නා ලද ටූටන්කාමන් රජුගේ මමියයි. මෙම රජුගේ මමිය තිබී ඇත්තේ තනි රත්තරනින් කරන ලද මිනී පෙට්ටියක් තුළය. 1925 නොවැම්බර් 11 වන දින මෙම ටුටන්කාමන්ගේ මෘත ශරීරය පරීක්ෂා කිරීම ආරම්භ කළ උපාධිධාරී ඩග්ලස් මමිය එතීම සදහා පාවිච්චි කරන ලද ලිනන් රෙදි වර්ගය කදිමතම කේම්බ්‍රික් වර්ගයක් බව පවසා තිබේ . මෙම රජු ඉතාම තරුණ වියේදීම මියගොස් ඇති අතර ඔහුගේ මමිය පරික්ෂා කිරීම තුලින් පෙනී ගොස් ඇත්තේ වසර 18දී පමණ වන අතර ඉතිහාස වේදීන්ගේ මතය වී ඇත්තේ ඔහු රාජ්‍යත්වයට පත් වන්නට ඇත්තේ වසර 9 දී බවය. ඉහත සදහන් කළ පරිදි 1925 දී මෙම රජුගේ මමියේ වෙළුම් පටි ඉවත් කළ අතර එය ඉතාම අසීරු කටයුක්තක් වී තිබේ . එයට හේතුව රජුගේ සිරුර මමිකරණය සිදුකරන අවස්ථාවේ ගැල්වූ තෙල් නිසා වෙළුම් පටි ඇලී තිබීමය . වර්තමානය වන විට ටුටන්කාමන් රජුගේ මමියේ දත්ත උපයෝගී කර ගෙන ඔහුගේ රූපය නිර්මාණය කර ඇති අතර හිස සම්පූර්ණයෙන්ම බූ ගා ඇති අතර දෑස් අඩවන්ව ඇසිපිය දික්ව තිබුණි . එසේම එම මමියේ රූපයට අනුව රජු අඩි 5 අගල් 6 ක් පමණ උස හීන්දෑරී අයෙකු බව අනුමාන කළ හැකි අතර පාදයේ යම් අස්ථි බිදීමක් දක්නට ලැබේ . 

මමිකරණ තාක්ෂණය

          ඊජිප්තු ශිෂ්ටාචාරය ජනප්‍රිය වීම සදහා බලපෑ එක් ප්‍රධාන සාධකයක් වූයේ මෙම ශිෂ්ටාචාරයේ තිබී සොයා ගන්නා ලද මියගිය පුද්ගලයන්ගේ මළසිරුරු හෙවත් මමීය. විශේෂයෙන්ම මිසර වැසියන්ගේ ආගමේ සදහන් වන ඔසිරිස් දෙවියන්ගේ කතා පුවතට අනුව පරලොවදී මරණයෙන් නැගිටීමට නම් මුළු සිරුරම හොදින් ආරක්ෂා වී තිබීම අත්‍යවශ්‍ය කරුණක් විය . එම නිසාම මෙම මියගිය පුද්ගලයන්ගේ මළසිරුරු විනාශ නොවී තබා ගැනීම අනිවාර්ය විය . එම ගැටළුවට පිළියමක් සෙවූ මිසර වැසියන් මෙම මමිකරණ ක්‍රියාවලිය සදහා යොමු වූ බව සිතීමට හැකියාව ලැබේ . 

       විශේෂයෙන්ම අප මුලින් සදහන් කළ පරිදි මෙම මමිකරණ ක්‍රියාවලිය සදහා යොමු වී ඇත්තේ රාජකීය පුද්ගලයන් , සමාජයේ උසස් කුලයේ සාමාජිකයන් ය. එහිදී කෙනෙකු මියගිය පසුව ඔහු වෙනුවෙන් ශෝකය පළ කරන ආකාරය තුළ ද මිසර වැසියන් තුළ විශේෂත්වයක් දැකගත හැකිය . එහිදී ප්‍රභූ පවුලක සාමාජිකයෙකු මියගිය බවට නිවේදනය කිරීමෙන් පසු එම රාජකීයයාගේ ගෘහවාසී සියලුම කාන්තාවෝ ස්වකීය හිස් සහ මුහුණුවල මඩ තැවරීමෙන් වසා ගනිති. පසුව මියගිය පුද්ගලයා නිවසෙහි තබා ඇදුම් මේඛලාවකින් සිර කොට ස්වකීය නග්න පයෝදර පෙදෙසට දෑතින් ගසා ගනිමින් නගරය වටා ගමන් ගනී. මෙසේ ශෝකය පල කිරීමෙන් අනතුරුව සිරුර සංරක්ෂණය සදහා යොමු කළ අතර එහිදී මළමිනී නරක් නොවී කල් තබා ගැනීමේ ක්‍රම ඔවුන් දැන සිටියහ. 

           එහිදී පුරාණ ඊජිප්තු ශිෂ්ටාචාරවාසීන් සිරුරක් මමිකරණය හෙවත් සංරක්ෂණ කටයුතු කිරීම සදහා භාවිත කරන ලද මූලික ද්‍රව්‍ය කිහිපයක් අපට දැකගත හැකිය . විශේෂයෙන්ම සෝඩියම් ක්ලෝරයිඩ් , සෝඩියම් කාබනේට් , සෝඩියම් බයිකාබනේට්, සෝඩියම් සල්ෆේට් වලින් සාදනු ලැබූ නේට්‍රන් නම් ලවණ මිශ්‍රණය මෙම භාවිත කරන ද්‍රව්‍ය අතුරින් ප්‍රමුඛ ස්ථානයෙහිලා සැලකිය හැකිය . මෙලෙස ඉහත සදහන් කරන ද්‍රව්‍ය භාවිත කරමින් මමිකරණ ක්‍රියාවලිය සිදු කරන ලද අතර එහිදී ප්‍රධානම භූමිකාව සංරක්ෂකයින් විසින් සිදු කරන ලදි . එහිදී මළසිරුරු එම්බාම් කිරීම විශේෂ වෘත්තියක් වූ අතර එහි නියැලෙන ලද්දේ පූජකයින් සහ එම ශිල්පය , චාරිත්‍ර වාරිත්‍ර සහ ඒහා බැදුණු මන්ත්‍ර සහ යාතිකා විෂයෙහි කිසියම් ප්‍රවීණතාවයක් සතු පුද්ගලයන් පමණකි. ඔවුන් මෙම කාර්‍යයෙහි අති දක්ෂයන් වූහ. 

     මෙම සංරක්ෂකයින් මියගිය පුද්ගලයාගේ නෑදෑයන් වෙත වියදම් දැරිය හැකි ආකාරයේ ක්‍රමයන් පිළිබඳව හැදින්වීමක් කරනු ලබන අතර එමගින් නෑදෑයන්ට තමන්ගේ තත්ත්වයේ, ස්වභාවය අනුව කුමන මමිකරණ ක්‍රියාවලිය සදහා යොමුවන්නේ දැයි සිතාගත හැකිය. විශේෂයෙන්ම ක්‍රි.පූ 450 දී පමණ හෙරඩෝටස්ගේ කාලයේදී විවිධ සංකීර්ණත්වයෙන් යුතු ක්‍රම තුනක් යොදා ගනු ලැබිණි . මෙහිදී මිල අධිකම ක්‍රමයේදී මළ දෙවි ඔසිරිස්ගේ සිරුර තරමටම උසස් ලෙසින් මියගිය පුද්ගලයාගේ සිරුර මමිකරණය කළ අතර දෙවන ක්‍රමයෙන් ඊට මදක් මිල අඩුවෙන් සහ තත්ත්වයෙන් ද අඩුවෙන් සකස් කෙරිණි. එසේම තුන්වෙනි ක්‍රමයෙන් දුප්පතුන්ට ගැලපෙන පරිදි මූලික සංරක්ෂණ ක්‍රම පමණකුත් ඉටුකර තිබේ . මෙම මමිකරණය තුලින් එකල සමාජයෙහි පැවති සමාජ ස්ථරගත වීම පිළිබඳව ද අවබෝධයක් ලබා ගත හැකිය . මෙහිදී තෝරා ගන්නා ක්‍රමය අනුව සිරුරේ ඉන්ද්‍රීයය කොටස් කල්තබා ගැනීම , සිරුර තුලට පුරවනු ලබන ඖෂධ ද්‍රව්‍ය සහ මමිකරණ ක්‍රියාවලියේ පසු සිරුර හැඩ කරන ආකාරයේ වෙනසක් දැකගත හැකිය .

      පුරාණ කාලයේ ඊජිප්තු වැසියන්ගේ ආගමික විශ්වාසයට අනුව මරණයෙන් පසුව මුළු සිරුරම සුරක්ෂිත වීම වැදගත් වුවත් මෙම මමිකරණ ක්‍රියාවලිය සිදු කිරීමේදී එය එසේ සිදු කිරීම අපහසු කාර්‍යයක් විය . එම නිසාම සිරුරෙහි අභ්‍යන්තර ඉන්ද්‍රියයන් ඉවත් කිරීමට සිදු වූ අතර එලෙස ඉවත් කරනු ලබන අභ්‍යන්තර ඉන්ද්‍රියන් ඉවත නොදමන ලදි . ඒවා මිදි සුරා වලින් ධෝවනය කොට නේට්‍රන් වලින් වියලා ගනු ලැබීය . ඉන් පසුව එම ඉන්ද්‍රීය කොටස් විශාල බුජම් වල දමා මියගිය පුද්ගලයාගේ නෑදෑයන් වෙත ලබා දෙනු ඇත . මෙලෙස අභ්‍යන්තර ඉන්ද්‍රියන් ඉවත් කිරීමේදී විශේෂත්වයක් වනුයේ හෘදය ඉවත් නොකර සිටීමය. එයට හේතුව පුරාණ ඊජිප්තු වැසියන්ගේ විශ්වාසයක් වූයේ කෙනෙකු මියගිය පසුව වුවද හෘදයේ ප්‍රාණයෙන් කොටසක් ඇතැයි යනුවෙනි.  මෙය එකල පැවති ආගමික සංකල්පයන් සමඟ ද බද්ධ වන අතර ඒ පිළිබඳව පසුව සාකච්ඡා කරනු ඇත . මෙම බුජම් පිළිබඳව අවධානය යොමු කිරීමේදී ඒවා විවිධ අමුද්‍රව්‍ය යොදා ගනිමින් නිර්මාණය කර තිබෙනු දැකගත හැකි අතර ලෝහයෙන් තැනූ බුජම් පොහොසතුන් සදහාම භාවිත කර තිබේ . කෙසේ වෙතත් ඉහතින් සදහන් කරන ලද පරිදි නේට්‍රන් වලින් වියලා ගනු ලබන අභ්‍යන්තර ඉන්ද්‍රියන් බැබුන්, සිවල්, උකුසු සහ මිනිස් සිරස් යන දෙවිවරුන් සතර දෙනාගේ ආරක්ෂාව යටතේ බුජම් වල තැන්පත් කරගනු ලැබීය . 

         මෙම බුජම්වල මූඩි ඔසිරිස් දෙවියන්ගේ පුතා වූ හෝරස්ගේ දරුවන් සිව් දෙනාගේ හිස්වල හැඩයන්ට සකස් කර ගැනීම සිරිත වූ අතර එයින් උකුස්සෙකුගේ හිසක් ඇති බුජමෙහි අන්ත්‍රයන් සහ බහිස්‍රාවී පද්ධති කොටස් ද , සිවල් හිසක් ඇති බුජමෙහි ආමාශය ද , මිනිස් හිසක් ඇති බුජමෙහි අක්මාව ද , බැබුන් හිසක් ඇති බුජමෙහි පෙනහළු ද බහාලනු ලැබීය . 

         මෙම මමිකරණ ක්‍රියාවලියේදී අප මුලින් සදහන් කරන ලද ආකාරයට හෙරඩෝටස්ගේ කාලයේ සංරක්ෂණ ක්‍රම ත්‍රිත්ත්වයක් තිබුණු බව දැකගත හැකිය . ඒ අතුරින් වැඩිම මිලට කරනු ලබන උසස්ම සංරක්ෂණයේදී මුලින්ම මළසිරුර සෝදා එය ගල් ලෑල්ලක් මත තැන්පත් කරනු ලැබීය . ඉන් අනතුරුව සංරක්ෂණය කරනු ලබන පූජකයින් විසින් කොකු උපකාරී කර ගෙන මළසිරුරේ මොළය, නාසය තුලින් පිටතට ගනු ලබන අතර එසේ පිටතට නොඑන කොටස් ඖෂධ ආධාරයෙන් සෝදා හරිනු ලබයි . මේ සදහා මමී කොක්කක් භාවිත කර ඇති අතර ඇතුල් පැත්තේ තියුණු දාරයක් සහිත වක් වූ තඹ උපකරණයක් වන මෙවැන්නක් බ්‍රිතාන්‍යය කෞතුකාගාරයේ තිබී ඇත. මෙම උපකරණයම යකඩ හාක්කයක් නමින් ද හදුන්වා තිබේ . 

        ඉන් අනතුරුව උරස් සහ උදර කුහරයන් විවෘත කර හෘදය හැර එහි ඇති අනෙකුත් සියලුම ඉන්ද්‍රියන් පිටතට ගනු ලැබීය . මෙහිදී තියුණු කැපෙන ආයුධයකින් යටි බඩ කපා පලා විවෘත කරනු ලැබීය. ඉන්පසුව උදර කුහරය පාම් සුරා වලින් හොදින් ශුද්ධ පවිත්‍ර කරගනු ලබන අතර පසුව මීර් නම් ශාක රෙසින, කුරුදු සහ අනෙකුත් සුගන්ධ ද්‍රව්‍ය වලින් එම කුහරය පුරවා මසා ගනු ලැබීය . එහෙත් මේ අවස්ථාවේ භාවිත කරන්නට ඇත්තේ ලිනන් වලට වැඩි දෙයක් සහ ලී කුඩු පොදි ආදියයි. මෙලෙස උදර කුහරය පුරවා මසා ගැනීමෙන් අනතුරුව එම සිරුර දින 70 ක් පමණ නේට්‍රන් මිශ්‍රණයේ බහා තබනු ලබයි. මෙලෙස දින 70 ගත වූ පසුව එම සිරුර යටි පැත්තේ මැලියම් විශේෂයක් තවරනු ලැබූ ලිනන් තීරු වලින් ඔතන අතර එහිදී සෑම අවයවයක්ම වෙන වෙනම ඔතා ඉන්පසුව මුළු සිරුරම ඔතනු ලැබේ . මෙහිදී ලියන ලද වශීකරණ සහ යාතිකා ඇතුලත් සුර සමඟම මෙලෙස ඔතන අතර මෙම වෙලීම සම්බන්ධයෙන් එවැනි විද්වතෙකු වන ටරිකෙයුටේස් නම් කෙනෙකු පිළිබඳව ඩයෝඩෝරස් සදහන් කරයි. විශේෂයෙන් ටුටන්කාමන්ගේ මමිය හොද වර්ගයේ ලිනන් ස්ථරයන් දහසයකට නොඅඩු ගණනකින් වෙලා තිබුණි . මෙම ක්‍රියාවලියෙන් අනතුරුව සංරක්ෂණය කරන ලද සිරුර නෑදෑයන් අතට භාර දෙන අතර සිරුර මිනිස් රූපී ලී පෙට්ටියක බහා අවමංගල්‍යය භාණ්ඩ සමඟ සොහොන් ගෙයි තැන්පත් කරනු ලැබීය . 

      මෙලෙස ඉතාම මිල අධික මමිකරණයන් රාජකීයයන්‍ සිදු කළ අතර ඊජිප්තුවේ සාමාන්‍ය වැසියන් සදහා ද මිලෙන් අඩු මමිකරණ ක්‍රියාවලීන් ද්විත්වයක් ද අපට දැකගත හැකිය . එයින් දෙවැනියට මිල අඩු ක්‍රමයේදී සිරුරේ උදර කුහරය විවෘත කිරීමක් දැකගත නොහැකිය . මෙම දෙවැනි ක්‍රමයේදී සිදු කෙරෙනුයේ මළසිරුරෙහි අධෝමාර්ගය තුලින් සීඩර් නම් ශාක තෙල් වර්ගය ඇතුළු කරන අතර එය පිටතට ඒම වැලැක්වීම සදහා ඇබයක් සවි කරනු ඇත . ඉන් අනතුරුව ඉහත සදහන් ක්‍රමයේදී මෙන් මෙම ක්‍රමයේදීත් සිරුර දින 70 ක් නේට්‍රන් මිශ්‍රණයේ තබනු ලැබේ . පසුව දින 70 ගත වීමෙන් අනතුරුව සිරුරට ඇතුළු කරන ලද සීඩර් තෙල් නිසා අභ්‍යන්තර මෘදු සිරුරු කොටස් , එනම් උදරය , බඩවැල් ආදිය දිය වී ගොස් ඇබ ඉවත් කිරීමෙන් පසුව ඒවා පිටතට ගලා ඒම සිදු වේ. ඉන්පසුව මළසිරුරෙහි ඉතුරු වනුයේ සිරුරෙහි සම සහ අස්ථි කොටස් පමණි . මෙසේ සංරක්ෂණය කරන ලද සිරුර පසුව ඔහුගේ නෑදෑයන් වෙතට භාර දෙනු ලැබේ . 

          මමිකරණ ක්‍රියාවලියේ දක්නට ලැබෙන තුන්වෙනි ක්‍රමයේදී ඉතාම ප්‍රාථමික මට්ටමේ ක්‍රියාවලියක් සිදු කරන අතර එහිදී විරේක ක්‍රම මගින් මළසිරුරෙහි අභ්‍යන්තර කොටස් පිටතට ගන්නා අතර පසුව දින 70 ක් නේට්‍රන් මිශ්‍රණයේ බහා තබනු ලබයි . එසේ වුවද ඇතැම් විට මිලෙන් අඩු සාමාන්‍ය ලුණු ද ප්‍රතිකාරය සදහා භාවිත කරනු ඇත . මෙම ප්‍රතිකාරයෙන් පසුව එම මළසිරුර නෑදෑයන් අතට භාර දී තිබේ . මෙම ක්‍රමය එකල ඊජිප්තු සමාජයෙහි සමාජ තත්ත්වයෙන් පහළම පිරිස භාවිත කර තිබේ . 

      කෙසේ නමුත් මෙම ඊජිප්තු ශිෂ්ටාචාරයේ ප්‍රභූ පැලැන්තියේ භාර්‍යාවන් මියගිය කල්හි ඔවුන්ගේ සිරුරු ඒ සැනින් බෙහෙත් ගල්වන්නය දෙනු නොලැබේ . එමෙන්ම විශේෂ රූමත්කමක් ඇති ප්‍රකට කාන්තාවන් ද මෙලෙස මියගිය සැනින් බෙහෙත් ගල්වන්නට දී නොමැත . ඔවුන් මියගොස් දින තුනක් පමණ ගිය පසු බෙහෙත් ගල්වන්නට සැලැස්වූයේ ඇතැම් සංරක්ෂකයින් විසින් මළසිරුරු දූෂණය කරනු ලැබීම නිසා එය වැලැක්වීම සදහාය. 

        මේ ආකාරයෙන් පැරණි ඊජිප්තු වැසියන් සිදුකරනු ලැබූ මමිකරණ ක්‍රියාවලීන් ත්‍රිත්ත්වයේ තාක්ෂණය යම්‍ යම් විධීන් වලින් වෙනස් වුවද මෙම සෑම ක්‍රියාවකින්ම ඊජිප්තු වැසියන් බලාපොරොත්තු වූයේ කෙනෙකු මියගිය පසුව ඔහුගේ මළසිරුර සුරක්ෂිතව තබා ගැනීමය. එය ඉතා සාර්ථක ක්‍රියාවලියක් වූයේ මෙතෙක් හමුවී තිබෙන ඇතැම් මමී වසර 3000 කටත් වඩා කාලයක් සුරක්ෂිතව පැවතීමයි.


1 comment:

ශ්‍රී ලාංකේය ශාන්තිකර්ම පද්ධතිය ආශ්‍රිත කාන්තා සලකුණ

  පුරාතන ශ්‍රී ලාංකේය ජන සමාජය පිළිබඳව අවධානය යොමු කිරීමේදී ගැමි ජන මානවයා නිරන්තරයෙන් ම ශාන්තිකර්ම සමඟ සහසම්බන්ධ වී සිටි බව දැකගත හැකිය ...