Thursday, May 7, 2020

බුද්ධ ප්‍රතිමාවේ ප්‍රභවය ලංකාවේ සිදු වීද ?


පුරාතන මූර්ති කලා ඉතිහාසය අධ්‍යයනය කිරීමේදී අනෙකුත් මූර්ති සමඟ ගත් කළ බුද්ධ ප්‍රතිමාවට සුවිශේෂී ස්ථානයක් හිමි වන බව පෙනේ . විශේෂයෙන්ම වර්තමාන බෞද්ධ සමාජයෙහි පවා ඉතා කැපී පෙනෙන සංකේතයක් ලෙසින් මෙම බුද්ධ ප්‍රතිමාව හදුන්වා දිය හැකිය . සංස්කෘත බසින් ප්‍රතිමා ලෙසත් , පාලියෙන් පටිමා ලෙසත් , සිංහල භාෂාවෙන් පිළිම යන නමින්ද හදුන්වනු ලබන මෙමගින් නිරූපණය වනුයේ විවිධ සංකල්පීය හෝ ස්වභාවිකත්වය අනුකරණය කරමින් කරනු ලබන යම්කිසි නිර්මාණයකි . එහිදී බුද්ධ ප්‍රතිමාව දෙස අවධානය යොමු කිරීමේදී ඇත්තෙන්ම එය එක්තරා අන්දමක සංකල්පීය රූපයකි. එනම් එම ප්‍රතිමා තුලින් නිරූපණය කරනු ලබන්නේ බුදුසසුනේ ශාස්තෘන් වහන්සේය.
විශේෂයෙන්ම බුදුන් වහන්සේගේ පරිණිර්වාණයෙන් පසුව උන්වහන්සේ වෙනුවෙන් වන්දනාමාන කටයුතු කිරීම සදහා ශ්‍රී මහා බෝධිය සහ ස්ථූපය භාවිත කළ අතර සැදැහැති බෞද්ධයන් මුහුණ දුන් ප්‍රබලම ගැටළුව වූයේ බුදුන් වහන්සේ නිරූපණය කරනු ලබන්නේ කෙසේද යන්නයි. එයට හේතුව පෙළ දහමෙහි සදහන් වූයේ බුදුන් වහන්සේ අප්පටිම යනුවෙන්‍ ය. එනම් නැවත ප්‍රතිනිර්මාණය කළ නොහැකි යන්නයි. එපමණක් නොව එකල කලාකරුවන් බුදුන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ , මහා කරුණාව ආදී වූ ගුණාංග නිරූපණය කිරීමට යම් බියක් දැක්වීය . එම නිසාම මෙම කලාකරුවන් බුදුන් වහන්සේ නිරූපණය කළ යුතු වූ අවස්ථා වලදි ඒ සදහා විවිධ සංකේත භාවිත කර තිබෙනු දැකගත හැකිය . විශේෂයෙන්ම එවැනි අවස්ථා වලදි බෝධිය , සිරිපතුල , ධර්මචක්‍රය , ස්ථූපය සහ වජ්‍රාසනය ආදී ආගමික සංකේත භාවිත කර තිබේ . මෙවැනි සංකේතයන් ක්‍රි. පු 3 වන සියවසෙහි ඉන්දියාවේ සාංචි , භාරුත් ස්ථූපයන්හි තොරණවල කැටයම් මගින් හොදින් ස්මතු කර තිබෙනු දැකගත හැකිය . එපමණක් නොව ලංකාවේද ඇතැම් ස්ථාන වලින්ද මෙවැනි ආගමික සංකේතයන් දැක ගැනීමේ හැකියාව පවතී.
මෙහිදී බුද්ධ ප්‍රතිමාවේ ප්‍රභවය පිළිබඳව අධ්‍යයනය කිරීමේදී වර්තමානයේ පවා එම කරුණ පිළිබඳව ශාස්ත්‍රීය වාද විවාදයන් සිදු වෙමින් පවතී. කෙසේ වෙතත් අද වන තුරුම ඒ පිළිබඳව නිශ්චිත මතවාදයක් ගොඩ නැගීමට හැකියාවක් ලැබී නොමැති බව පෙනී යන කාරණයකි . එහිදී ඇතැම් ඉතිහාසඥයන්ට සහ විචාරකයන්ට අනුව බුද්ධ ප්‍රතිමාවේ ප්‍රභවය ලාංකේය ප්‍රතිමා කලාකරුවාගේ දක්ෂතා මත ගොඩනැගුණු අගනා නිර්මාණයක් ලෙසත් , ඇතැම් මතවාදයන්ට අනුව ලාංකේය බුද්ධ ප්‍රතිමා සම්ප්‍රදායය ඉන්දියානු බුද්ධ ප්‍රතිමා සම්ප්‍රදායේ ආභාසය මත ගොඩනැගුණු වූවක් ලෙසින් මත පළ කර තිබේ . එය එලෙස ප්‍රකාශ කිරීමට හේතු වූයේ ලක්දිව අනෙකුත් කලා අංග කෙරෙහි ඉන්දියානු ආධිපත්‍යය පැතිරවූවා සේම බුද්ධ ප්‍රතිමා කලාව කෙරෙහීත් එම ආභාසයම හේතු වූ බවට කරනු ලබන විශ්වාසයයි.
මෙම බුද්ධ ප්‍රතිමාවේ ප්‍රභවය පිළිබඳව ලැබෙන යම් යම් තොරතුරු වල ඓතිහාසිකත්වය පිළිබඳව අධ්‍යයනය කිරීමේදී එම ලැබෙන සාධක ප්‍රධාන කොටස් දෙකක් යටතේ වර්ග කර දැක්විය හැකිය . එනම් සාහිත්‍යය මූලාශ්‍ර සහ පුරාවිද්‍යාත්මක මූලාශ්‍රයි. එහිදී බුද්ධ ප්‍රතිමාවේ ප්‍රභවය ලංකාවේ සිදු වී ඇති බවට තර්ක කරන උගතුන් ඒ සදහා ප්‍රමුඛ ලෙසින් සාහිත්‍යය මූලාශ්‍රගත තොරතුරු පිළිබඳව වැඩි නැඹුරුවක් දක්වනු පෙනේ .
විශේෂයෙන්ම ඩී.ටි දේවේන්ද්‍ර , නන්දදේව විජේසේකර , ආචාර්ය සිරි ගුණසිංහ , කඹුරුපිටියේ වනරතන හිමි ආදී විද්වතුන් විසින් මෙම බුද්ධ ප්‍රතිමාවේ ප්‍රභවය ශ්‍රී ලංකාවේ සිදු වූ බවට තොරතුරු ඉදිරිපත් කර තිබේ . ඔවුන්ගේ විශ්වාසයට සහ ඉදිරිපත් කරනු ලබන තොරතුරු වලට අනුව ශ්‍රී ලංකාවේ බුද්ධ ප්‍රතිමා නිර්මාණය පිළිබඳව තොරතුරු ක්‍රි.පු 3 වන සියවස තරම් ඈත අතීතයකට දිවයන බවට කරුණු ඉදිරිපත් කර තිබේ . ඒ අනුව මෙහි ඉතිහාසය දේවානම්පියතිස්ස රාජ්‍ය කාලය දක්වා ඈතට යන අයුරු දැකගත හැකිය .
මෙහිදී ලංකා ඉතිහාසය තුළ මුල්ම වතාවට බුද්ධ ප්‍රතිමාවක් නිර්මාණය වීම පිළිබඳව තොරතුරු සදහන් වනුයේ මහාවංසය නම් සාහිත්‍යය මූලාශ්‍රය තුලය. විශේෂයෙන්ම ශ්‍රී ලාංකේය ඉතිහාස සන්දර්භය තුළ වැදගත්ම මූලාශ්‍රය වන මහාවංසයේ සදහන් වන්නේ දේවානම්පියතිස්ස රජු විසින් උරුසිලා පටිමා , එනම් මහගල් පිළිමයක් කරවා ථූපාරාමයෙහි තැන්පත් කරවූ බවය . දේවානම්පියතිස්ස රජු කළ ලංකාවේ සිදු වූ සීග්‍ර බුදුසමයේ ව්‍යාප්තියත් සමගම මෙලෙස බුද්ධ ප්‍රතිමාව නිර්මාණය වන්නට ඇතැයි විශ්වාස කරන අතරම මෙම මහාවංසයේ සදහන් තොරතුරු සම්බන්ධව විවිධ මතවාදයන් ඉදිරිපත් වී තිබේ . එහිදී වල්පොල රාහුල හිමි , කඹුරුපිටියේ වනරතන හිමි ආදී උගතුන්ගේ පැනය වී ඇත්තේ ලාංකේය කලා ශිල්පීන්ගේ කලාත්මක දැනුමෙන් මෙබඳු ප්‍රතිමාවක් බිහිවිය නොහැකි දැයි ලෙසය . එමෙන්ම යමුනා හේරත් මහත්මියගේ මතයට අනුව ද මෙම පිළිමයේ ඓතිහාසික සත්‍යයක් පවතින බව දක්වා තිබේ . එසේම එතැනින් නොනැවතුණ නන්දදේව විජේසේකර මහතා මෙන්ම ඩී.ටි දේවේන්ද්‍ර යන උගතුන් දෙදෙනා පෙන්වා දෙනුයේ දේවානම්පියතිස්ස රජු කළ නිර්මාණය කරන ලද මෙම උරුසිලා පටිමාව දැනට අනුරාධපුර දක්නට ලැබෙන සමාධි ප්‍රතිමාව ලෙසින් මතවාදය ඉදිරිපත් කර තිබේ .
මෙම දේවානම්පියතිස්ස රජුගේ කාලයේ කරවන ලද උරුසිලා පටිමා නම් බුද්ධ ප්‍රතිමාවන්ට පසුව ලක්දිව බුද්ධ ප්‍රතිමා නිර්මාණකරණය පිළිබඳව තොරතුරු හමුවනුයේ දුටුගැමුණු රජුගේ කාලයේදීය . විශේෂයෙන්ම වසර 44 ක් රජරට පැවති එළාර පාලනයෙන් ලක්දිව නිදහස් කර ගැනීමෙන් පසුව දුටුගැමුණු රජු විසින් ඉදිකරනු ලැබූ මහාථූපය හෙවත් රුවන්වැලිසෑය පිළිබඳව තොරතුරු ඉදිරිපත් කරනු ලබන වංශකතාකරු ඒ සමයෙහිදී ඉදිකරන ලද බුද්ධ ප්‍රතිමා සම්බන්ධයෙන් තොරතුරු ඉදිරිපත් කර තිබේ . එම තොරතුරු වලට අනුව දුටුගැමුණු රජු මහාථූපය ඉදිකිරීමේදී එහි ධාතු ගර්භය මැද බෝධි වෘක්ෂයක් කරවා එය යට පර්‍යංකාසනයෙන් වැඩ සිටින බුදුරුවක් රනින් නිම කරවූ බව දක්වා තිබේ . මෙහිදී සදහන් කරන ලද බුද්ධ ප්‍රතිමාව පිළිබඳව ථූපවංසය , වංසත්තප්පකාසිනීය ආදී සාහිත්‍යයමය මූලාශ්‍රයන්හී ද තොරතුරු සදහන් කර තිබේ . එම තොරතුරු වලට අනුව මෙම බුද්ධ ප්‍රතිමාව රියන් දොළසක් පමණ උස බවත් , එම ප්‍රතිමාවේ යම් යම් කොටස් විවිධ වර්ණ මාණික්‍ය වලින් අලංකාර කර තිබූ බවත් සදහන් කර තිබේ . ඒ අනුව ලංකාවේ ලෝහමය පිළිමයක් පිළිබඳ මුල්ම සාධකය මෙයයි . විශේෂයෙන්ම ලක්දිව පටිමාඝර හෙවත් පිළිම ගෙවල් නිර්මාණය කිරීමට පෙර කාලවකවානුවන්හි මෙලෙස බෝධි වෘක්ෂයන් යට බුද්ධ ප්‍රතිමාවන් තැන්පත් කිරීම සිදු කර තිබේ .

එපමණක් නොව රුවන්වැලිසෑය නිර්මාණය පිළිබඳව තොරතුරු දක්වන මහාවංස කතු සහ ථූපවංස කතු සදහන් කරනුයේ මෙම රුවන්වැලිසෑයෙහි ගර්භය නිර්මාණය කිරීමේදී දාගැබේ අභ්‍යන්තර බිත්ති වල විවිධ ජාතක කතා , බුද්ධ චරිතයේ විවිධ කතා චිත්‍රණය කර තිබූ බවය . එහිදීත් බුද්ධ රූපය මානව රූපීයව නිර්මාණය කර තිබෙන බව පෙනී යයි . මේ අනුව පෙනී යන කාරණය වනුයේ දුටුගැමුණු රජුගේ කාලය වන විටත් ලක්දිව බුද්ධ ප්‍රතිමා කලාවේ ආරම්භය සිදුවී තිබෙන බවය . විශේෂයෙන්ම ලංකාවේ ප්‍රාග් බෞද්ධ ඇදහීම් පැවති කාලයේ පටන්ම මෙම ප්‍රතිමා කලාව පැවත , ඉන් පසුව ක්‍රි.පු 3 වන සියවසෙහි දේවානම්පියතිස්ස රජුගේ කාලයේ සිදු වූ මහින්දාගමනයෙන් පසුව ලක්දිව ඇති වූ බෞද්ධ ප්‍රබෝධය සමඟ මුල් කාලයේ විවිධ ප්‍රාථමික දෙවොල් වල ප්‍රතිමා නිර්මාණකරණයේ යෙදී සිටි ශිල්පීන් මෙම බුද්ධ ප්‍රතිමා කලාවට යොමු වූ බවට උගතුන් විශ්වාස කරනු ලබයි . කෙසේ වෙතත් බුද්ධ ප්‍රතිමාවේ ප්‍රභවය ලංකාවේ සිදු වූ බවට සාහිත්‍යයමය වශයෙන් ලැබෙන සාධක බහුල වුවත් එම සාහිත්‍යය කෘතීන්ගේ පශ්චාත් කාලීන භාවය නිසාම බොහෝ විචාරකයන් එම සාධක වල නිරවද්‍යතාවය පිළිගැනීමට මැලිබවක් දක්වනු පෙනේ .
කෙසේ වෙතත් ප්‍රථම ලාංකික පුරාවිද්‍යා කොමසාරිස් ධූරයට පත් වූ පරණවිතාන මහතා සහ කලා ශිල්ප පිළිබඳව විදිමත් විචාරයන් ඉදිරිපත් කරන ලද ආනන්ද කුමාරස්වාමි මහතාගේ මතය වී ඇත්තේ ලක්දිව බුද්ධ ප්‍රතිමා කලාව ඉන්දියාවෙන් උකහා ගන්නා ලද කලාවක් බවය . ඒ අනුව ඉන්දියාවේ බුද්ධ ප්‍රතිමා කලාව පිළිබඳව අධ්‍යයනය කිරීමේදී හමුවන පුරාවිද්‍යාත්මක සාධක වලට අනුව එහි ඉතිහාසය ක්‍රි.පු 1 වන සියවස අගදී හෝ ක්‍රි.ව 1 වන සියවස මුලට දිවයන බව දැකගත හැකිය . එහිදී වයඹදිග ඉන්දියාවේ පාලන කටයුතු කරන ලද ශක පර්තියන් කාලපරාසය තුළදී මෙම බුද්ධ ප්‍රතිමාවේ ප්‍රභවය පිළිබඳව යම් යම් තොරතුරු දක්නට පුළුවනි . විශේෂයෙන්ම ක්‍රි.පු 2 වන සියවසෙහි පමණ මාවුස් , 1 වන අසේස් සහ 2 වන අසේස් යන රජවරුන් විසින් නිකුත් කරන ලද කාසි වල බුද්ධ ප්‍රතිමාවන් හෝ ඊට සමාන රුවක් නිරූපණය කර තිබෙනු පෙනේ . මෙහිදී ඉතිහාසය අධ්‍යයනය කිරීමේදී පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර අතර එන මෙම නාණක මූලාශ්‍ර මගින් ශක පර්තියන් කාලයේ බුද්ධ ප්‍රතිමාවේ යම්කිසි ආරම්භයක් වූ බව දැකගත හැකිය .
නමුත් බුද්ධ ප්‍රතිමා නිර්මාණය කෙරෙහි නිශ්චිත සාධක හමුවනුයේ ක්‍රි.ව 1 වන සියවස් කාලයේදීය . එනම් එහිදී වයඹදිග ඉන්දියානු ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් පාලන කටයුතු මෙහෙයවන ලද කුෂාණ රාජවංශයෙන් මේ සම්බන්ධ තොරතුරු හමුවී තිබේ . විශේෂයෙන්ම කණිෂ්ක රජුගේ කාලයේ එතුමා විසින් නිකුත් කරන ලද රන් කහවණු වල එක් පැත්තක බුද්ධ රූපය මානව රූපීයව නිර්මාණය කර තිබේ . එය බුද්ධ ප්‍රතිමාවක් ලෙසින් නිසැකයෙන් හදුනාගනු ලබන්නේ එම රූපයට පහළින් ග්‍රීක අක්ෂර මගින් බුඩ්ඩෝ ලෙසින් සදහන් කර තිබෙන හෙයිනි . එමෙන්ම එම කාසියෙහි අනෙක් පසෙහි කණිෂ්ක රජුගේ රුව නිර්මාණය කර තිබේ . එහෙයින් එම කාසි නිසැක වශයෙන්ම කණිෂ්ක රජුගේ රාජ්‍ය කාලයට අයත් බවට පිළිගනු ලැබේ . එසේම භීමාරාන් , ෂාජිකිඩේරි යන ස්ථාන වලින් ලැබී ඇති ධාතු කරඩු වලද බුද්ධ රූප නිරූපණය කර තිබෙනු දැකගත හැකිය . විශේෂයෙන්ම මෙම ඉහත සදහන් කරන ලද බුද්ධ ප්‍රතිමාවන්ට පෙර ඉන්දියාවේ බුද්ධ ප්‍රතිමා නිර්මාණය පිළිබඳව සාධක හමු නොවේ. නමුත් ඇතැම් විචාරකයන්ගේ අදහස වූයේ අශෝක අධිරාජ්‍ය සමයේදී සිදු වූ බුදුදහමෙහි විශාල ප්‍රබෝධය හේතුවෙන් එකල බුද්ධ ප්‍රතිමාව නිර්මාණය වූ බවය . නමුත් එකල නිර්මාණය වූ කලා නිර්මාණ වලදී බුදුන් වහන්සේ නිරූපණය කිරීමට අවශ්‍ය වූ විට ඒ සදහා සංකේත භාවිත කර තිබෙනු දැකගත හැකිය . ඒ අනුව නිසැක වශයෙන්ම බුද්ධ ප්‍රතිමාවේ ප්‍රභවය ක්‍රි.ව 1 වන සියවස ආසන්න කාලයෙහි සිදු වූ බව පෙනේ . එම නිසාම බොහෝ ඉන්දියානු උගතුන්ගේ මතය වූයේ බුද්ධ ප්‍රතිමාවේ ප්‍රභවය කුෂාණ අවධියෙහි සිදු වූ බවය .
මෙම කුෂාණ යුගය සම්බන්ධව තොරතුරු ඉදිරිපත් කරන ලද උගතුන්ගේ ද මත ද්විත්වයක් හදුනාගත හැකිය . එනම් කොඩ්‍රින්ටන් , ජෝන් මාර්ෂල් , වින්සන්ට් ස්මිත් ආදීන්ගේ මතය වූයේ බුද්ධ ප්‍රතිමාවේ ප්‍රභවය ග්‍රීක ආභාසයෙන් සිදු වූ බවය . එමෙන්ම ආනන්ද කුමාරස්වාමි , අග්‍රවාල් , ගංගුලි ආදී උගතුන්ගේ මතය වූයේ බුද්ධ ප්‍රතිමා නිර්මාණය ඉන්දීය කලා ශිල්පීන්ගේ නිර්මාණ ශක්තිය තුලින් නිර්මාණය වූ බවය. ඒ අනුව මෙම කුෂාණ අවධිය තුළදී ගන්ධාර සහ මථුරා යනුවෙන් බුද්ධ ප්‍රතිමා නිර්මාණයේ ප්‍රධාන සම්ප්‍රදායයන් ද්විත්වයක් දැකගත හැකිය . මෙම සදහන් කරන ලද බුද්ධ ප්‍රතිමා සම්ප්‍රදායයන් ද්විත්වයෙහිත් එක්තරා ගැටළුවක් පැන නැගුණි. එනම් මෙම සම්ප්‍රදායයන් දෙකෙන් කුමක් මුලින් ආරම්භ වූයේද යන්නයි. කෙසේ වෙතත් මෙම කලා සම්ප්‍රදායයන් දෙක පිළිබඳව අධ්‍යයනය කිරීමේදී පෙනී යනුයේ මෙම සම්ප්‍රදායයන් ද්විත්වය සමකාලීනව වර්ධනය වී ඇති බවය. එහිදී ගන්ධාර ප්‍රතිමා කලාවේදී ඒ සදහා ග්‍රීක ආභාසය ලැබී ඇති අතර ග්‍රීසියේ බහු සම්මානිත දෙවි කෙනෙකු වූ ඇපලෝ දෙවියන්ගේ ලක්ෂණ ගන්ධාර ප්‍රතිමාවේ මුහුණ සදහා භාවිත කර තිබේ . එසේම සිවුරේ ග්‍රීක ටෝගාවේ ලක්ෂණ දක්නට ලැබේ . එමෙන්ම සූර්ය දෙවියන්ගේ ආභාසය ද ලැබී තිබෙනු පෙනේ .
එසේම බුද්ධ ප්‍රතිමාවේ ප්‍රභවය පිළිබඳව අධ්‍යයනය කිරීමේදී ඉන්දියානු දේශීය අනන්‍යතාවයන් ප්‍රකට කෙරෙන කලා සම්ප්‍රදායයක් ලෙසින් මථුරා කලා සම්ප්‍රදායය දැක්විය හැකිය . එහිදී සමකාලීන ඉන්දියාවේ යක්ෂ රූප නිර්මාණය කිරීමේ ලක්ෂණයන් මථුරා කලා සම්ප්‍රදායයට යොදා ගෙන ඇති බවක් දැකගත හැකිය . විශේෂයෙන්ම ගන්ධාර කලාවේ බුද්ධ ප්‍රතිමා තුලින් බාහිර සෞන්දර්යට මුල් තැන දුන් නමුත් මථුරා සම්ප්‍රදායේදී බුදුන් වහන්සේගේ අධ්‍යාත්මික ගුණ සම්භාරයන් ප්‍රකට වන අයුරින් නිර්මාණය කර තිබෙන බවක් දක්නට ලැබේ . මෙම ඉහත සදහන් කරන ලද කලා සම්ප්‍රදායන් ද්විත්වයෙහි ආභාසය ලබා ගෙන නිර්මාණය වූ අමරාවතී කලා සම්ප්‍රදායය ද ඉන්දියානු බුද්ධ ප්‍රතිමා කලාවේදී වැදගත් වන අතර එමගින් ඉතා කලාත්මක ස්වභාවයක් නිරූපණය කරනු ලබයි . එහිදී විවිධත්වයෙන් යුතු ප්‍රතිමාවන් ගණනක් නිර්මාණය වී ඇති අතර විවිධ මුද්‍රා සහ ආසනයන් ද මෙහි දැකගත හැකිය .
ඉහත සදහන් කරන ලද සමස්ත තොරතුරු වලට අනුව පෙනී යන කරුණ වනුයේ සාහිත්‍යයගත තොරතුරු වලට අනුව බුද්ධ ප්‍රතිමාවෙහි ප්‍රභවය ලංකාවේ සිදු වී ඇති බව දක්නට ලැබුණත් මෙම බුද්ධ ප්‍රතිමාවෙහි ප්‍රභවය පිළිබඳව ප්‍රබල පුරාවිද්‍යාත්මක සාධක හමුවනුයේ ඉන්දියාවෙන්‍ ය. විශේෂයෙන්ම පරණවිතාන මහතාගේ සහ ආනන්ද කුමාරස්වාමි මහතාගේ මතය වනුයේද බුද්ධ ප්‍රතිමාවේ ප්‍රභවය ඉන්දියාවේ සිදු වී පසුව එම නිර්මාණ කෞෂල්‍යය ලංකාවට ලැබුණු බවයි . එහිදී ඔවුන් පෙන්වා දෙන තොරතුරු වලට අනුව ලංකාවේ පැරණි අවධියට අයත්ව නිර්මාණය වූ බුද්ධ ප්‍රතිමාවන්හි කාල නිර්ණය ක්‍රි.ව 3-5 සියවස් අතර කාලයට අයත් වන බව පෙනේ . විශේෂයෙන්ම ඉන්දියාවේ ගොඩනැගුණු මථුරා , ගන්ධාර , අමරාවතී ආදී කලා සම්ප්‍රදායන්හි ආභාසය ලක්දිව ප්‍රතිමා නිර්මාණයේදී බෙහෙවින් බලපා ඇති අතර අනුරාධපුර යුගයේ අග්‍රගන්‍ය බුද්ධ ප්‍රතිමාවක් ලෙසින් හදුන්වනු ලබන අව්කන හිටි බුද්ධ ප්‍රතිමාව නිර්මාණයේදීත් අමරාවතී කලා සම්ප්‍රදායය තදින් බලපා තිබේ . ඒ අනුව සමස්ත සාධකයන් පිළිබඳව අධ්‍යයනය කිරීමේදී සාහිත්‍යය මූලාශ්‍ර තොරතුරු මගින් බුද්ධ ප්‍රතිමාවේ ප්‍රභවය සම්බන්ධ ගෞරවය ලංකාවට ලබා දීමට උත්සහ ගත්තද පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර පිළිබඳව පුළුල්ව සහ සියුම්ව අධ්‍යයනය කිරීමේදී බුද්ධ ප්‍රතිමාවේ ප්‍රභවයෙහි මූලයන් භාරතය දෙසට දිවයන බව දැකගත හැකිය .

No comments:

Post a Comment

ශ්‍රී ලාංකේය ශාන්තිකර්ම පද්ධතිය ආශ්‍රිත කාන්තා සලකුණ

  පුරාතන ශ්‍රී ලාංකේය ජන සමාජය පිළිබඳව අවධානය යොමු කිරීමේදී ගැමි ජන මානවයා නිරන්තරයෙන් ම ශාන්තිකර්ම සමඟ සහසම්බන්ධ වී සිටි බව දැකගත හැකිය ...