Sunday, May 10, 2020

තං අධිරාජ්‍ය යුගයේ අවසානය දක්වා චීන බුදුදහමෙහි වර්ධනය


  ලෝකයේ ඉපැරැණි ශිෂ්ටාචාර පිළිබඳව අවධානය යොමු කරන විට අපට සුවිශේෂී ශිෂ්ටාචාර 4ක සාධක හදුනාගත හැකිය . එහිදී පුරාතන ලෝක ඉතිහාස සන්දර්භය තුළ ඉතාම කැපී පෙනුන ශිෂ්ටාචාරයක් වූයේ චීන ශිෂ්ටාචාරය යි. මෙම චීන ඉතිහාසය පිළිබඳව අධ්‍යයනය කිරීමේදී විවිධ අංශ රැසක් ඔස්සේ අවධානය යොමු කළ හැකිය . එහිදී චීන බුදුසමයට හිමිවනුයේ සුවිශේෂී තත්ත්වයකි. විශේෂයෙන්ම ක්‍රි.පු 6 වන සියවසෙහිදී උතුරු ඉන්දියාව කේන්ද්‍ර කර ගනිමින් බුදුදහම ආරම්භ වූ අතර මෙම මානවවාදී බුදුදහම ටික කලක් ඇතුලත විවිධ රටවල මුල් බැසගත් අන්දම දැකගත හැකිය. එහිදී ලංකාව සේම චීනයද ප්‍රධාන ස්ථානයක් ගනු ලැබිය . කෙසේ වෙතත් වර්තමානය වන විට චීනය ලෝක ආර්ථිකය තුළ , නැතිනම් කාර්මික ලෝකයෙහි පෙරමුණ ගෙන තිබෙන රටකි. මෙලෙස කාර්මීකරණයට ලක්වන රටවල් තුළ ආගමික පරිසරය යටපත් වන බවට ඇතමුන් විශ්වාස කළද චීනය දෙස බැලීමේදී එම මතය වෙනස් වන බව දක්නට පුළුවනි . එයට හේතුව වන්නේ රටක් කාර්මික වන්නේ යම් සේද එපමණම ආගමික හැගීම් ද අධික වීම ස්වාභාවිකය. 
  චීනයෙහි ඉතිහාසය පිළිබඳව අවධානය යොමු කිරීමේදී චීනයට බුදුදහම පිවිසීමට පෙර එරට තාඕ දහම සහ කොන්ෆියුසියස් දහම ආදී දර්ශනයන් ඉතා තදින්ම මුල් බැසගෙන තිබුණි . එහිදී එම දර්ශනයන් සමඟ බුදුදහම පිළිබඳව බැලීමේදී මුල්ම කාලයෙහි බුදුදහම ප්‍රචාරය කිරීම පහසු කාර්‍යයක් නොවිය . වරක් රටේ රාජ්‍ය ආගම බවට පත්වන මෙම බුදුදහම තවත් පාලකයෙකු යටතේ සම්පූර්ණයෙන්ම පාහේ නැති වන බවක් දැකගත හැකිය . ඉන් පසුව හිස ඔසවා නැවත වතාවක් ක්‍රියාත්මක වන අවස්ථා ද දක්නට ලැබේ . මෙලෙස චීනයේ බුදුදහම ප්‍රචාරය වීම පිළිබඳ කතාව ඉතාම දිගු ඉතිහාසයක් සහිත කතාන්දරයකි . 
  චීන දේශයට බුදුදහම ලැබුණේ කවරදාකදැයි නිශ්චිතවම කිව නොහැකි වුවද චීනයට බුදුදහම ලැබීම පිළිබඳව පළමුවන සාක්ෂිය හමුවනුයේ ක්‍රි.ව 239-267 කාලයේ යු.හුවාන් විසින් ලියන ලද වායර්‍ය ලියාවෝ නම් ඓතිහාසික ග්‍රන්ථයෙහිය. එහිදී චීනයෙහි පෙරදිග ඉතිහාසය සහ සිද්ධාර්ථ ගෞතමයන්ගේ උපත පිළිබඳව තොරතුරු සදහන් කර තිබෙනු දැකගත හැකිය . කෙසේ වෙතත් චීනය සහ ඉන්දියාව අතර සම්බන්ධතාවය පිළිබඳව කරුණු සදහන් වන්නේ ක්‍රි.පු 46 සිටය. චීනයට බුදුදහම ලැබීම පිළිබඳව කතා කිරීමේදී මහාධිරාජ මිංති පාලකයා වැදගත් වේ. එතුමාගේ රාජ්‍යපද ප්‍රාප්තියෙන් හත්වන වර්ෂයෙහි එතුමා එක් සිහිනයක් දුටු බව සදහන් වේ . එම සිහිනය වූයේ එක්තරා රන්වන් පුරුෂයෙකුගේ බොටුව දිලිසි දිලිසි තිබෙන බවය . එම පුරුෂයා පැමිණියේ පියාඹන මාලිගාවකින් බවද සදහන් වේ . පසුදින රජතුමා ඇමතිවරුන් කැදවා සිහිනය පිළිබඳව විමසූ අතර ඔවුන්ගේ අදහස වූයේ එම ස්වර්ණමය පුරුෂයා පෙරදිග උත්පත්තිය ලද ගෞතම බුදුන් වහන්සේ බවය . මේ පිළිබඳව තොරතුරු ඇසූ මිංති රජු බොහෝ සේ සතුටට පත් වී සේනාපති ඇතුළු 26 දෙනෙකු බුදුදහම රැගෙන ඒම සදහා දඹදිවට පිටත් කොට තිබේ . මෙලෙස ඉන්දියාව දක්වා ගමන් කළ මේ පිරිසට අතරමගදී මධ්‍ය ආසියාවේ යුම්හ චී ප්‍රදේශයේ දී දඹදිව භික්ෂුණ් වහන්සේලා දෙනමක් මුණගැසුණු අතර මෙම භික්ෂුණ් වහන්සේලා දූත පිරිසට බුදුපිළිම හා බෞද්ධ පොත්පත් රාශියක් පරිත්‍යාග කරන ලදි . 
   ඉන්පසුව එම භික්ෂුණ් දෙනම සුදු අශ්වයන් පිට හිදුවා ගෙන ලෝයං ප්‍රදේශයට කැදවා ගෙන ගිය අතර අධිරජු හමුවී අදහස් ප්‍රකාශ කිරීමෙන් පසුව හෝලු නම් විහාරයේ වැඩ වාසය කළහ . මිංති රජු විසින් ලෝයං නගරයෙන් පෙරදිග පන්සලක් සෑදීම සදහා අනුමැතිය දුන් අතර එය ස්වේතඅස්වත නම් විය . කෙසේ වෙතත් චීනයට බුදුදහම නියම ආකාරයෙන් ලැබීම පිළිබඳව සලකනු ලබන්නේ බෞද්ධ පොත් චීන භාෂාවට පරිවර්තනයේ සිටය . චීනයට මුලින්ම බුදුදහම ලැබී ඇත්තේ මධ්‍ය ආසියාව හරහාය . එහිදී උත්තර කාලීන හන් රාජවංශ ඉතිහාසයට අනුව මහාධිරාජ හුඅන්ති විසින් බුදුන්ගේ සහ ලාඕත්සගේ ප්‍රතිමා දෙකක් සාදවා තම මාලිගාවෙහි විහාරයක් කරවා එහි තැන්පත් කර පූජාවන් කළ බව පෙනේ . මෙම හන් රාජවංශයෙන් පසුව චීන බෞද්ධ ධර්මය ධ්‍යාන ධර්ම සහ ප්‍රඥා පාරමිතා ලෙස කොටස් දෙකකට බෙදී ගියේය . තාවෝ ආන් මෙම අංශ දෙකම නියෝජනය කලේය . 
    මෙකල පෙර අපර දෙදිග සම්බන්ධ කරමින් ගොඩනැගුණු වෙළද මාර්ගය හෙවත් සේද මාර්ගය චීනයේ බුදුසමයේ ව්‍යාප්තියට , දියුණුවට මහත් දායකත්වයක් ලබා දෙනු ලැබීය . චීන භික්ෂුණ් වහන්සේලා බුදුදහම පිළිබඳව ඉගෙන ගැනීමටත් , සිද්ධස්ථානයන් වන්දනා කිරීමටත් , බෞද්ධ ධර්ම ග්‍රන්ථ රැගෙන යාමටත් ඉන්දියාව වැනි රටවලට පැමිණි බව දක්නට පුළුවනි . මෙලෙස පැමිණි භික්ෂුණ් අතර මූලිකත්වය හිමි වූයේ පාහියන් හිමිටය. පාහියන් හිමි ඉන්දියාවේ සෑම සිද්ධස්ථානයක්ම දැක බලා ගැනීමට සංචාරය කළ අතර මෙම පාහියන් හිමිට පෙර හූඊ චාංචිං , හූඊ චිචන් ආදීන්ද මෙලෙස පැමිණ ඇති අතර ඔවුන් නැවත චීනයට ගිය බවක් නෙපෙනේ. ඉන්දියාවට පැමිණි පාහියන් හිමි එහි බුදුදහම පිළිබඳව උසස් අධ්‍යාපනයක් ලැබුවා පමණක් නොව වටිනා ධර්ම ග්‍රන්ථ රැසක්ද රැගෙන ගොස් තිබේ . උන් වහන්සේ ඉන්දියාවේ වසර 4ක් පමණ කාලයක් සිට පසුව ලංකාවටද වැඩම කර වසර දෙකක් පමණ අභයගිරි විහාරයේ වැඩ වාසය කරමින් ධර්මය පිළිබඳව හැදෑරීම සිදුකරනු ලැබීය . මෙකල චීන බුදුදහම සාමාන්‍ය ජනතාව අතර පවා ජනප්‍රිය වූ අතර එයට හේතු වූයේ ඉන්දියාව ආදී රටවලින් රැගෙන ගිය පොත්පත් චීන භාෂාවට පරිවර්තනය කළ නිසාය . 
චීනයේ චී රාජවංශ සමයෙහිදී චිංලිං රජ කුමාරයා සුවිශේෂී සාහිත්‍යයකාමියෙකු වූ අතර බුද්ධාගමට ද ලැදියාවක් දැක්වීය . ඔහු බුදුදහම ප්‍රචාරය කිරීම සදහා උගත් , උසස් භික්ෂුණ්ගෙන් නිතරම උපදේශ ලබා ගත්තේය . සෑම විටම බෞද්ධයන් සමඟ හැසිරීම ප්‍රිය කළ මෙතුමා දාර්ශනික වාද විවාද සදහා සහභාගි විය . චී රාජවංශයේ 26 වෙනි වර්ෂයෙහි සංස්කෘතියෙන් තිබුණ බෞද්ධ ග්‍රන්ථ චීන භාෂාවට පරිවර්තනය කරවිම සදහා භාරතයෙන් බෞද්ධ භික්ෂුණ් චීනයට වැඩම කර තිබේ . එහිදී ප්‍රථමයෙන් ඉන්දියානු භික්ෂුණ් 5 නමක් චීනයට වැඩම කොට තිබේ . එසේම ලියං වංශයෙහි පාලකයෙකු වූ වුති රාජ්‍ය සමයේ මුළු රටේම බුදුදහම පිළිබඳව දියුණුවක් ඇති විය . යෙකිං නගරයේ පමණක් පන්සල් හත්සියයක් මෙකල තිබුණි .


      චීනයේ සුයි අධිරාජ්‍ය සමයේදී එම සුයි අධිරාජ්‍යයා බෞද්ධ ධර්මය ප්‍රචාරය කිරීම සදහා මහත් වෙහෙසක් දැරූහ . මෙම අධිරාජ්‍ය සමයේදී සිදු වූ විශේෂිත කාර්‍යයන් අතර රජතුමාගේ නියෝග පරිදි ෆාචීන් විසින් බෞද්ධ ධර්ම ග්‍රන්ථ සුචිය සම්පාදනය කරන ලදි . ඉන් අනතුරුව චීන ඉතිහාසයෙහි බලයට පත් තං අධිරාජ්‍ය සමයේ බුදුදහම පිළිබඳව අවධානය යොමු කිරීමේදී මහාධිරාජ තාඊත්සුං වැදගත් වේ . මෙතුමාද බුදුදහමෙහි දියුණුවට මහත් උපකාර කළ අයෙකි. සිංහාසනයට පත් වීමෙන් පසුව සරදාර්වරු සමඟ සටන් කර තම හමුදාව මියයන ආකාරය දුටු මෙතුමා මහත් වේදනාවට පත් ව තිබේ. ඒ අනුව මියගිය අය සිහිවීම පිණිස මෙතුමා විහාර දහයක් ඉදිකරවන ලදි . එම විහාර දහයෙන් හතක් අදවන විටද දැකගත හැකිය . මෙකල ද ඉන්දියාවෙන් භික්ෂුණ් කිහිපනමක් චීනයට වැඩම කර බුදුදහමෙහි කටයුතු සිදු කර තිබේ . 
    තං අධිරාජ්‍ය සමයෙහි හියුංසියාන් හිමි ඉන්දියාවට පැමිණි බව දක්නට පුළුවනි . හියුංසියාන් හිමි ඉන්දියාවේ හර්ෂවර්ධන රජුගේ කාලයේ ඉන්දියාවට පැමිණි අතර එහිදී කනෞජ් මහා සම්මේලනයට ද සහභාගි වූ බව ද සදහන් වේ . අධ්‍යාපනය ලබමින් ග්‍රන්ථ රචනය කරමින් හියුංසියාන් භාරතයේ අවුරුදු දහයක් ගත කලේය . 
   මෙම තං අධිරාජ්‍ය අවධිය තුළ බෞද්ධාගමික සමාජයෙහි ඇති වූ දියුණුව පිළිබඳව අවධානය යොමු කිරීමේදී විවිධ අංශ යටතේ හදුනාගත හැකිය . එහිදී මෙකල චීනයේ චිත්‍ර කලාව පිළිබඳව අවධානය යොමු කිරීමේදී තුන්හුවං ස්ථානය වැදගත් වේ . ඊට අමතරව ලුංමන්ෂතු නම් ගුහාවන් ද සුවිශේෂී වන අතර මේවා ඉන්දියාවේ අජන්තා ගුහාවන්ට සමාන බවක් දැකගත හැකිය . මෙකල බුදුපිළිම ආදිය නෙලීම ද ඉතාම වැදගත් වේ . මෙම බුද්ධ ප්‍රතිමා නිර්මාණයේදී ඉන්දියානු ගති ලක්ෂණ වලට වඩා මොංගෝලියානු ගති ලක්ෂණ දක්නට ලැබීම සුවිශේෂී වී තිබේ . එයට හේතුව මොංගෝලියාව චීනයට ඉතාම සමීප නිසා විය යුතුය . කෙසේ වෙතත් මෙම තං අධිරාජ්‍ය යුගයේ දී බුදුදහමෙහි වර්ධනීය ලක්ෂණ දැකගත හැකි අතරම පරිහානිකර ලක්ෂණද හදුනාගත හැකිය . එහිදී තං යුගයෙහි රජවරු වැඩි වශයෙන් බුදුදහමට අනුග්‍රහය දැක්වීමත් සමඟම විහාරස්ථානයන් වල ධනය වැඩි වූ බවක් දැකගත හැකිය . එහිදී ධනය වැඩි වීමත් සමඟ භික්ෂුණ් වහන්සේලා වැඩි වශයෙන් ලෞකික කටයුතු වලට යොමුවන අයුරු දක්නට පුළුවනි . මේත් සමගම ඇතැම් පාලකයන් එවැනි භික්ෂුණ්ගේ සිවුරු හැර පන්සල් වලින් බැහැර කරන ලද අවස්ථා දැකගත හැකිය . 
     මේ අනුව ක්‍රි.පු 6 වන සියවසෙහිදී උතුරු ඉන්දියාව කේන්ද්‍ර කර ගනිමින් ගොඩනැගුණු බුදුදහම ඉන් සියවස් කිහිපයකට පසුව ලෝකයේ විවිධ රටවලට ව්‍යාප්ත වූ අයුරු දැකගත හැකිය . මේ අතුරින් චීන අධිරාජ්‍ය ඉතාම වැදගත් වූ අතර චීනයේ හන් අධිරාජ්‍ය සමයේදී බුදුදහම චීනයට ලැබුණු බව පෙනේ . ඉන් අනතුරුව විවිධ යුග පසුකරමින් චීන බුදුදහම වර්ධනය වූ අතර එම ගමන් මගේදී තං අධිරාජ්‍ය සමය සුවිශේෂී ලෙස කැපී පෙනෙන බව දැකගත හැකිය . 

No comments:

Post a Comment

ශ්‍රී ලාංකේය ශාන්තිකර්ම පද්ධතිය ආශ්‍රිත කාන්තා සලකුණ

  පුරාතන ශ්‍රී ලාංකේය ජන සමාජය පිළිබඳව අවධානය යොමු කිරීමේදී ගැමි ජන මානවයා නිරන්තරයෙන් ම ශාන්තිකර්ම සමඟ සහසම්බන්ධ වී සිටි බව දැකගත හැකිය ...