Wednesday, October 7, 2020

උඩරට කාන්තාවගේ දේපළ අයිතිය සුරක්ෂිත කිරීමට පැවති නෛතික සහ සමාජීය පසුබිම

 



         ලෝකයේ සෑම රටකම පාහේ කාන්තාව පිළිබඳව අවධානය යොමු කිරීමේදී ඒ සෑම රටකම පාහේ එම රටටම ආවේණික වූ ගති ලක්ෂණ රාශියක් හදුනාගත හැකිය . විශේෂයෙන්ම බටහිර නැතිනම් යුරෝපීය කාන්තාව පිළිබඳව අධ්‍යයනය කිරීමේදී ඔවුන් විශාල ස්වාධීනත්වයකින් යුක්තව කටයුතු කරන ආකාරයක් දැකගත හැකිය . එමෙන්ම පෙරදිග කලාපයේ , එනම් ආසියාතික කලාපය දෙස අවධානය යොමු කිරීමේදී ඊට හාත්පසින්ම වෙනස් ස්වරූපයක් අපට හදුනාගත හැකිය . විශේෂයෙන්ම මෙම ආසියාතික රටවල් පිළිබඳව අධ්‍යයනය කිරීමේදී ඉන්දියාවට සුවිශේෂී ස්ථානයක් හිමි වනු දක්නට පුළුවනි . ඉන්දියාව දෙස අවධානය යොමු කිරීමේදී උතුරු ඉන්දියානු කාන්තාව සහ දකුණු ඉන්දියානු කාන්තාව භුක්ති විදින අයිතිවාසිකම් වල බොහෝ දුරස්ථභාවයක් හදුනාගැනීමට හැකියාව ලැබේ . මෙම උතුරු ඉන්දියානු ප්‍රදේශ වල කාන්තාවට තරමක දුක්ඛිත තත්ත්වයක් උදා වී තිබෙන බව දැකගත හැකි අතර ඇය දරුණු නෛතික රාමුවකට කොටු වී සිටින බවක් දැකගත හැකිය . නමුත් දකුණු ඉන්දියානු කාන්තාවට තරමක නිදහස් ජීවිතයක් හිමි වී තිබෙන බව හදුනාගත හැකිය . මෙහිදී ලාංකේය කාන්තාව දෙස බැලීමේදී අනෙකුත් රටවල කාන්තාවන්ට සාපේක්ෂව ඇය වරදාන , වරප්‍රසාද රාශියකට හිමිකම් කියන බවක් දැක ගැනීමට පුළුවනි . විශේෂයෙන්ම ලංකාවට බුදුදහම ලැබීමත් සමඟ එහි ආභාසයෙන් කාන්තාවට උසස් තැනක් හිමි වී තිබේ . ඇයට දේශපාලනික වශයෙන් , ආගමික වශයෙන් , සාමාජීය වශයෙන් වරප්‍රසාද හිමි වී තිබෙන අයුරු දැකගත හැකිය . එහිදී ඈත අතීතයෙහි සිටම කාන්තාවට විවිධ දේපළ අයිතීන් හිමි වී තිබෙන අයුරු විවිධ මූලාශ්‍ර ඔස්සේ හදුනාගත හැකිය . 

        විශේෂයෙන්ම කහවණු දහසකට ඉඩමක් මිලදී ගත් ගජබා රජුගේ මව එහි විහාරයක් ඉදිකර තිබේ . එමෙන්ම ගජබා රජුගේම ඇමතිවරයෙකුගේ බිරිඳක් දිග අබග ගමේ වැවක් කරවා සේල චෛත්‍යයට පූජා කර තිබේ . එමෙන්ම සුමේධ නම් රාජ්‍ය නිලධාරියෙකුගේ බිරිඳක් එහි විහාරයට කළ ඉඩම් පරිත්‍යාගයක් කුරුණෑගල නාකොළගණේ විහාර ලිපියෙහි සදහන් කර තිබේ . කහටගස්දිගිලියේ පර්වත ලිපියෙහි වහබගේ දුව වූ මහසි සතු නිශ්චල දේපළ ගැන සදහන් කර තිබේ . බෙන්තර ගලපාත විහාර ලිපියෙහි මින්දල්ගේ මව සහ වෙනත් අය සතු ඉඩම් සහ වහලුන් විහාරයට පිදීමක් පිළිබඳව විස්තර කර තිබෙන බව දැකගත හැකිය . මේ අයුරින් පුරාතන සමාජය තුළදී කාන්තාවන්ට පරම්පරාවෙන් සහ මිලදී ගැනීමෙන් නිශ්චල හා චංචල දේපළ හිමි ව තිබූ බව අවබෝධ කරගත හැකිය . 

     මෙහිදී පුද්ගල සමානාත්මතා සංකල්පයෙහි නූතන දියුණුවත් සමඟ කිසිවෙකු ස්ත්‍රී පුරුෂ භාවය මෙන්ම විවාහක අවිවාහක භාවය මත නීතිය ඉදිරියේ කිසිදු වෙනසකට භාජනය නොවිය යුතු බව අද වන විට අන්තර්ජාතිකව පිළිගෙන තිබේ . මෙම සමානාත්මතා සංකල්පයෙහි යථාර්තවත්භාවයේදී දේපළ සම්බන්ධව සම අයිතිය රාජ්‍යය විසින් පිළිගෙන තිබීමද අත්‍යාවශ්‍ය වේ. මෙහිදී දේපළ අයිතිය යන්නෙන් අදහස් වන්නේ නිශ්චල හා චංචල දේපළ මෙන්ම බුද්ධිමය දේපළ අත්පත් කර ගැනීමට සහ ඒවා දරා සිටීමට මෙන්ම අන්සතු කිරීමට ඇති සමාන අයිතිවාසිකමයි. මෑත කාලීනව ලොව බොහෝ රටවල් තම නීති ක්ෂේත්‍රයේ සිදු කළ සංවර්ධනයන් මගින් කාන්තාවන්ට දේපළ සම්බන්ධව සමාන අයිතිය තහවුරු කොට තිබේ .

         ශ්‍රී ලංකාව දෙස බැලීමේදී කාන්තාවන්ට සුවිශේෂී ස්ථානයක් හිමි වන අතර ඈත කාලයේ සිට අද දක්වාම ඒ බව දැකගත හැකිය . එහිදී උඩරට කාන්තාව ගත් කළ ඇය ඉතාම ශක්තිමත් , ධෛර්‍යසම්පන්න තැනැත්තියක් ලෙසින් හදුනාගත හැකිය . එයට හේතුව වී ඇත්තේ එවක පැවති දේශපාලනික තත්ත්වයයි. විශේෂයෙන්ම මෙකල කාන්තාව එම සමාජයෙහි සුවිශේෂී කාර්‍යභාර්‍යයක් සිදු කළ අතර ඇය සතුව බොහෝ සම්පත් පැවති බව දැකගත හැකිය . ඒ අතුරින් ඉතා වැදගත්ම අංශය වූයේ ඇය සතුව පැවති දේපළ පිළිබඳ උරුමයයි. එහිදී උඩරට කාන්තාවගේ මෙම දේපළ උරුමය සුරක්ෂිත කිරීම සදහා විවිධ අංශවල දායකත්වය ලැබී ඇති අයුරු අපට හදුනාගත හැකිය . අද වන විට ලංකාව තුළ සාමාන්‍ය නීතිය , තේසවලාමේ නීතිය , මුස්ලිම් නීතිය සහ උඩරට නීතිය ආදිය මගින් මෙම සුරක්ෂිතභාවය ඇති කිරීමට මහගු දායකත්වයක් ලැබී තිබේ . මේවායින් දියණියක් වශයෙන් , බිරිඳක වශයෙන් , මවක වශයෙන් දේපළ අයිතිය ලබන ආකාරය මෙන්ම ඒවායෙහි හිමිකම් පිළිබඳව තොරතුරු ඉදිරිපත් කර තිබේ . එමෙන්ම සමකාලීන සමාජ සන්දර්භය තුලින් ද මේ සදහා විශාල දායකත්වයක් ලබා දෙන ආකාරය අපිට විවිධ මූලාශ්‍ර හරහා අවබෝධ කරගත හැකිය . 

        විශේෂයෙන්ම උඩරට කාන්තාව සම්බන්ධයෙන් නීතිරීති කටයුතු වලදී උඩරට නීතිය මූලිකවම බලපා තිබෙනු පෙනේ . මෙම උඩරට නීතිය ප්‍රාදේශීය නීතියක් නොව පුද්ගල නීතියකි. එමගින් බලපෑම් ඇති වූයේ උඩරට පළාත් වල පදිංචි උඩරට සිංහලයන් සදහා පමණකි . නමුත් උඩරට සිංහලයන් යනු කවුරුන්දැයි නිර්වචනය කිරීම අපහසුය . එයට බලපෑ මූලිකම හේතුව වූයේ මෙකල පැවති සමාජ සංකීර්ණත්වයයි. කෙසේ වෙතත් 1815 දී ඉංග්‍රීසීන් විසින් උඩරට රාජ්‍යය අත්පත් කර ගනු ලැබූ විට , උඩරට සිරිත් විරිත් අනුව උඩරට නීතිය ක්‍රියාත්මක කිරීමේ අධිකරණ ක්‍රම පවත්වාගෙන යන්නේ කෙසේ දැයි ප්‍රශ්නයක් ඉංග්‍රීසීන්ට ඇති විය. එම නිසා ඒ පිළිබඳ තොරතුරු රැස් කිරීමට ඉංග්‍රීසීන් උනන්දු විය . ශ්‍රීමත් ජෝන් ඩොයිලි විසින් උඩරට පාලනය පිළිබඳව කරුණු එකතු කර සකස් කරන ලද A sketch of the constitution of kandyan kingdom නැමති ග්‍රන්ථය ඉතාම වැදගත් ය . උඩරට සිංහලයන්ගේ නීතිය ද , පාලන ක්‍රමය ද පරම්පරාවෙන් පරම්පරාවට පවත්වා ගෙන එන ලදි . එහිදී ප්‍රධාන අධිකරණ නිලධාරියා වූයේ රජතුමාය . අනෙකුත් නිලධාරීන් රජතුමා යටතේ බොහෝ අධිකරණ කටයුතු ක්‍රියාත්මක කරන ලදි .

      උඩරට ප්‍රදේශවල ජීවත් වන උඩරැටියන්ට පමණක් බලපවත්වන උඩරට නීති ප්‍රකාශනය 1938 අංක 39 දරණ ආඥාපනතින් නීතිගත කර ඇති අතර 1944 අංක 25 දරණ ආඥාපනතින් සංශෝධනයට ලක්කර තිබේ . එපමණක්ම නොව කාන්තාවට දේපළ නීතිය අප රට තුළ බලපාන අයුරු සාකච්ඡා කිරීමේදී ප්‍රධාන වශයෙන් වැදගත් වන්නේ 1923 අංක 18 දරණ විවාහක කාන්තාවන්ගේ දේපළ ආඥාපනතයි. නමුත් මෙම ආඥාපනතෙහි ඇති විශේෂත්වය වනුයේ මෙම පනතෙහි ප්‍රතිපාදනයන් සාමාන්‍යයෙන් උඩරැටියන්ට බල නොපවත්වයි. මෙහිදී උඩරට කාන්තාවගේ දේපළ අයිතිය පිළිබඳව කතා කිරීමේදී ඉතා වැදගත්ම අංගය වූයේ විවාහයයි. උඩරට සිරිත් විරිත් වලට අනුව දීග විවාහය සහ බින්න විවාහය යනුවෙන් විවාහ ක්‍රම දෙකක් පැවති බව දැකගත හැකිය . දීග විවාහය යනු විවාහ බන්ධනයට ඇතුලත් වන මනාලිය තම මව්පියන්ගේ නිවෙස්හි පදිංචිය අතහැර විවාහ වූ සැමියාගේ වාසස්ථානයේ පදිංචියට කැදවා ගෙන යාමේ විවාහ ක්‍රමයයි. බින්න විවාහය අනුව සැමියා ඔහුගේ නිත්‍ය වාසස්ථානය අතහැර දමා තම බිරිදගේ මව්පියන්ගේ ආධිපත්‍යය ඇති වාසස්ථානයක විවාහ ජීවිතය ගත කිරීමට එකගවන විවාහ ක්‍රමයයි. 

            අප ඉහතින් සදහන් කරන ලද විවාහ ක්‍රමයන් තුළදී ඉතාමත්ම වැදගත් සමාජ සංකල්පයක් වූයේ දෑවැදි සංකල්පයයි. මෙහිදී විවාහ වන කාන්තාව සිය ස්වාමිපුරුෂයාගේ නිවසට යන විට චංචල දේපළ රැගෙන යන අතර එහිදී එම චංචල දේපළ වල වක්‍ර අයිතියක් කාන්තාවන්ට හිමි වන බවක් එකල සමාජය දෙස බැලීමේදී හදුනාගත හැකිය . මෙහිදී පරම්පරාව මගින් මෙම දේපළ හුවමාරු වීම දැකගත හැකිය . එමෙන්ම මෙම උඩරට නීතිය තුළ දේපළ අයිතිවාසිකම් හිමි වන ආකාරය සලකා බැලීමේදී දේපලේ ස්වභාවය පිළිබඳව අවබෝධ කරගත යුතුය . එහිදී එම දේපළ නිශ්චල හෝ චංචල දේපළක් ද , අත්පත් කරගත් හෝ පරවේණි දේපළක් ද යන්න හදුනා ගැනීම ඉතාම වැදගත් ය . උඩරට නීතියෙහිදී කාන්තාවක් කුමන ආකාරයේ විවාහයකට බැදී සිටියද ස්වාමිපුරුෂයා මියගොස් ඇති විටෙක චංචල දේපළ බෙදී යාමේදී ඇයට ත්‍යාග ලෙස ලබා දුන් ඇදුම් පැළදුම් හා ආභරණ වල පූර්ණ හිමිකම දරා ගත හැකිය . 

              එමෙන්ම මෙම උඩරට නීතිය තුළදී විවාහක කාන්තාවකට ඇයගේ දේපළ තමා අවිවාහකව සිටි අවස්ථාවේදී මෙන් වෙනම පරිහරණය කිරීමට , අත්කර ගැනීමට , අන්සතු කිරීමට බලය ලැබී තිබේ . එපමණක් නොව කාන්තාවගේ දේපළ සම්බන්ධව ගිවිසුම් වලට එළඹීමට , ගිවිසුමක් හෝ සිවිල් වරදක් ගැන නඩු පැවරීමට හෝ පවරනු ලැබීමට ඇයට නෛතික බලය ලැබී තිබේ . එසේම කාන්තාවක් විවාහ වන අවස්ථාවේදී ඇයට වෙනම අයිතිය තිබූ සියලු චංචල හා නිශ්චල දේපළ සහ විවාහයෙන් පසු ඇය විසින් උපයාගත් ලාභ , ප්‍රතිලාභ , දේපළ ඇයට අයත් වෙනමම දේපළ වශයෙන් පවත්වා ගැනීමට අයිතිය ලබා දී තිබේ . එමෙන්ම බිරිඳ හෝ සැමියා එකට ජීවත් වන අතරතුර හෝ එකට ජීවත්ව සිටින කාලය තුළ ද කරන ලද ක්‍රියාවක් සම්බන්ධයෙන් වෙනම ජීවත් වන විට හෝ ඇයට අයත් යැයි කියන දේපළක් සම්බන්ධයෙන් බිරිදට සැමියාට විරුද්ධව අපරාධ නඩුවක් පැවරිය නොහැකි බව උඩරට නීතියෙහි සදහන් වී තිබේ . නමුත් උඩරට කාන්තාවගේ දේපළ අයිතිය සුරක්ෂිත කිරීම සදහා සැමියා විසින් බිරිඳ අතහැර යන අවස්ථාවේදී දේපළ වැරදි සහගත ලෙස රැගෙන ගියේ නම් ඒ අවස්ථාවේදී බිරිඳ විසින් නඩු පැවරීමට අවකාශය ලැබී තිබෙන බව දැකගත හැකිය . මීට අමතරව කාන්තාව සතු දේපළ වල සුරක්ෂිතභාවය උදෙසා නෛතික තත්ත්වයන් පවතින බව හදුනාගත හැකිය . 

             මෙහිදී උඩරට කාන්තාවක් විවාහ වීමෙන් අනතුරුව ස්වාමියා අන්තිම කැමති පත්‍රයක් ලියා නොතබා මියගිය පසුව ජීවත් වන වැන්දඹු බිරිඳට හිමිවනුයේ මියගිය අය උපයාගත් දේපළ වල ජීවිත භුක්තිය පමණි . නමුත් එම දේපළ වැන්දඹුවගේ නඩත්තුව සදහා ප්‍රමාණවත් නොවේ නම් පරවේණි දේපළ වල ආදායම වැන්දඹුවට ලබා ගත හැකි පරිදි නීති සකස් කර තිබුණි . එමෙන්ම ජීවත්ව සිටින වැන්දඹුව නැවතත් දීග විවාහයකට ඇතුලත් වුවහොත් පරවේණි දේපළ වලින් නඩත්තු වීමේ අයිතිය ඇයට නැති වන නමුත් උඩරට නීතියට අනුව උපයාගත් දේපළ වලින් නඩත්තු වීමේ අයිතිය ඇයට අහිමි වී නොමැත . එමෙන්ම පියෙකුගේ මරණයෙන් පසුව ඔහුගේ දියණියක් දීග විවාහයකට ඇතුලත් වූ අවස්ථාවක ඇගේ මියගිය පියාගේ බූදලයට ඇයට ඇති උරුම අයිතිවාසිකමට බාදාවක් නොවන බවත් මෙම නීතිරීති වලින් පෙන්වා දී තිබේ . එසේම යම් මවක් දේපළ ඉතිරි කර තබා මියගිය විට ඇගේ දේපළ අවිවාහක දූවරුන් , දීග විවාහයකට බැදුණු දූවරුන් හා බින්න විවාහයකට බැදුණු දූවරුන් යන අය අතර සම සමව බෙදී යා යුතුය . එමෙන්ම පියෙකුගේ දේපළයන් ද බින්න විවාහයකට ඇතුළු වූ දියණියකට උරුම වන බවක් ද මෙහි දැකගත හැකිය . එපමණක් නොව උඩරට නීතියෙහි 24 වන වගන්තියට අනුව තම දරුවන් හෝ දරුවන්ගේ දරුවනුත් ජීවත්ව නැති පිරිමියෙකු චංචල දේපළක් ඉතිරිකර තබා මියගිය විට එම චංචල දේපළ සියල්ල ජීවත්ව සිටින බිරිඳට අයිති වේ. 

            උඩරට නීතිය තුළදී කතා කරනු ලබන දේපළ පිළිබඳව කතිකාවේදී නිශ්චල දේපළ යනුවෙන් හදුන්වනුයේ අත්පත් කරගත් දේපළ මෙන්ම පරවේණි දේපළයි. පරවේණි යනු අනුප්‍රාප්තිකයෙකුගෙන් ලැබෙන අන්තිම කැමති පත්‍රයක් රහිත දේපළක් , ත්‍යාගයක් හෝ අන්තිම කැමති පත්‍රයක් සහිත දේපළක් වේ. මෙහිදී ත්‍යාගය යන්න පනත මගින් විස්තර කර ඇත්තේ ස්වෙච්ඡාවෙන් දෙන ලද පැවරීමක් , ප්‍රධානයක් හෝ එවැනි මූල්‍යමය වටිනාකමක් සහිත දෙයක් ලෙසය. මෙහිදී විවාහය පදනම් කරගෙන හෝ විවාහය අපේක්ෂාවෙන් දෙනු ලබන ත්‍යාගයන් අවලංගු කළ නොහැකි බව දක්වා තිබේ . ඒ අනුව උඩරට නීතිය තුළ ත්‍යාගය යන්නට විශාල වටිනාකමක් හිමිවන බව දැකගත හැකිය . 

             කෙසේ වෙතත් ඉහතින් සදහන් කරන ලද නෛතික තත්ත්වයන් මගින් කාන්තාවන්ට දේපළ අයිතිය හිමි වන අතර ඊට අමතරව කාන්තාවන්ට අදාළ දේපළ අයිතිය සුරක්ෂිත කිරීමට ද එමගින් හැකියාව ලැබී තිබේ . එහිදී අප මුලින් කතා කළ විවාහ ක්‍රම මගින් එම අයිතිය වෙනස් වූ බවද හදුනාගත හැකිය . මෙහිදී තවත් අවස්ථාවන් මගින් කාන්තාවන්ට දේපළ උරුම වන අයුරු දැකගත හැකි අතර එහිදී පුරුෂයෙකු තමාට ලගින් ඥාති නොවන වෙනත් අයෙකුගේ දරුවෙකු ඉඩම් හිමියෙකු දරුකමට ඇති දැඩි කොට ඔහුටම ජාතක වූ දියණිය එම දරුකමට ඇති දැඩි කරගත් දරුවාට බින්න විවාහයක් අනුව විවාහ කොට දුන් පසු ඔහු අන්තිම කැමති පත්‍රයක් රහිතව මියගිය හොත් සියලුම ඉඩකඩම් ඔහුගේ ලෙයින් බිහි වූ දියණියට උරුම වන බවට නෛතිකව බලය ලැබී තිබේ . එමෙන්ම ඉඩම් හිමිකරුගේ මරණින් පසු ඉඩම් දරුවන් අතර බෙදී ගියහොත් වාර්ෂිකව තම මවගේ යැපීම් සදහා ඔවුන් විසින් වී අමුණු හතරක් සහ පෑල් දෙකක්ද දිය යුතුය . එසේ නැතහොත් එම ඉඩම් වලින් කොටසක් ඇය සදහා වගා කිරීමට ඉඩ ලබා දිය යුතු බවද දැකගත හැකිය . 

              බින්න හෝ දීග විවාහයක් අහෝසි වීමෙන් පසු කාන්තාව තම ප්‍රථම පුරුෂයා ජීවත්ව සිටින ඉඩමෙහිම පදිංචි වී සිටීනම් ඔහුගෙන් පසුව , එනම් ඔහුගේ මරණින් පසු ඔහුගේ ඉඩකඩම් සහ වෙනත් දේපළ වල ප්‍රධාන පාලකයා බවට පත් වී එම ඉඩකඩම් වලින් යැපීමේ අවකාශය ලැබී තිබේ . එමෙන්ම නෛතික තත්ත්වයන් යටතේ දරුවෙකු විසින් කරන ලද රාජද්‍රෝහී ක්‍රියාවක් සදහා මවට අයත් ඉඩම් හෝ කුමන දේපළක් රාජසන්තක කිරීමට නොහැකිය . ඉඩම් හිමිකාරිය වන මවට තමාට කැමති පරිදි තම දේපළ බැහැර දීමට හැකි අතර ඇගේ දරුවන්ට එය වැලැක්වීමට හෝ බාදා කිරීමට කිසිම අයිතියක් නොමැත . කෙසේ වෙතත් ස්වාමිපුරුෂයාගේ දේපළ සම්බන්ධව භාර්‍යාවට පවතින දුරස්ථ උරුමයම භාර්‍යාවගේ දේපළ සම්බන්ධව ස්වාමිපුරුෂයාට ද පවතිනු දැකගත හැකිය . ඊට අමතරව මියගිය ස්වාමියාගේ දේපලෙහි පරිපාලක ලෙස ස්වාමිපුරුෂයාගේ ණයකරුවන්ට ණය ගෙවීමේ වගකීම ඇය සතු වූ අතර ඒ සදහා තම බාලවයස්කාර දරුවන්ගේ දේපළ විකිණීමට ඇයට හැකි විය. මේ අනුව පෙනී යන්නේ දේපළ අත්කර ගැනීම සම්බන්ධයෙන් ස්වාමිපුරුෂයා හා සමානවම බලයක් කාන්තාවට තිබූ බවය. එහිදී ස්වාමිපුරුෂයාගේ මැදිහත්වීමෙන් තොරව ඇයට තම අත්කර ගත් දේපළ මෙන්ම පරවේණි දේපළ තබාගත හැකි වූ අතර ස්වාමිපුරුෂයා මියගිය පසු ද ඔහුට අයත් දේපළ වල ජීවිත භුක්තිය දරමින් ඔහුට අයත් දේපළ වල පරිපාලක වශයෙන් ඇය කටයුතු කළ බව දැකගත හැකිය . ඒ අනුව මෙහි පැවති දුර්වලතාවය වනුයේ ස්වාමිපුරුෂයාගේ දේපළ වල දුරස්ථ උරුමකාරියක් බවට භාර්‍යාව පත්කර තිබීමයි. 

          කෙසේ වෙතත් අවසාන වශයෙන් පෙනී යනුයේ උඩරට කාන්තාවගේ දේපළ අයිතිය සුරක්ෂිත කිරීම සදහා නෛතික සහ සාමාජීය හේතූන් රැසක් උපකාරී වී තිබෙන බවය.


Tuesday, August 18, 2020

පාහියන් වාර්තා තුළින් හෙළිදරව් කෙරෙන ඉන්දියානු ඉතිහාසය


                 රටක ඉතිහාසය හැදෑරීම යනු හුදෙක්ම නිශ්ඵල කාර්‍යයක් නොවනු ඇත . මක් නිසාද යත් මෙහිදී අපට අතීත සිදුවීම් තුලින් වර්තමානය තේරුම් ගෙන එමගින් අනාගතය හැඩගස්වා ගත හැකි වීමයි . මෙම ඉතිහාසය පිළිබඳව කතා කිරීමේදී අපට භාරතීය ඉතිහාසය කිසිසේත් අමතක කළ නොහැකිය. විශේෂයෙන්ම පුරාතන ඉන්දියානු ඉතිහාසය විවිධ විෂයන් යටතේ පුළුල් ලෙස ව්‍යාප්ත වී තිබෙන අතර විවිධ දෘෂ්ටීන් යටතේ මෙම ඉතිහාසය අධ්‍යයනය කළ හැකිය .  මෙම ඉතිහාසය පිළිබඳව අවධානය යොමු කිරීමේදී මූලාශ්‍ර සදහා ප්‍රධාන ස්ථානයක් හිමි වී තිබෙන අතර එහිදී විදේශීය සාහිත්‍යය මූලාශ්‍ර ඉතා වැදගත් ය . ඒ අතුරින් චීන දේශාටක භික්ෂුවක් වූ පාහියන් හිමිගේ වාර්තාවන් සුවිශේෂී ස්ථානයක් ගනු ලබන බව දැකගත හැකිය . 

              එහිදී පාහියන් හිමිගේ වාර්තාවන්හි ඓතිහාසිකත්වය පිළිබඳව අවධානය යොමු කිරීමට ප්‍රථමයෙන් එම වාර්තාවන්හි කේන්ද්‍රීය චරිතය වන පාහියන් හිමියන් පිළිබඳව යම් අවබෝධයක් ලබා ගැනීම යුක්ති සහගත බව පෙනේ . විශේෂයෙන්ම පාහියන් හිමියන් චීනයේ ෂාන් - හ්සි ජනපදයේ පිං - යාං පළාතේ වූ වු-යාං හි උපන් අයෙකි. ක්‍රි.ව 334 දී මෙලොව එළිය දුටු ඔහු ත්සිං වංශයට අයත් වූ බව කියනු ලැබේ . ඔහුගේ ගිහි නම වූයේ කුං යනුයි. මෙම පාහියන් හිමි කුඩා කාලයේ ඔහුගේ පවුලේ සිදු වූ ඛේදනීය සිදුවීම් නිසාම මොහු ඉතා කුඩා වියේදීම ශාසනයට භාර කර තිබේ . එනම් වයස අවු 3 දීය . මෙලෙස බෞද්ධ ශාසනයට ඇතුලත් වීමෙන් පසුව මෙම කුඩා කුං දරුවා පාහියන් නමට පරිවර්තනය විය . මෙම පාහියන් යන නමෙහි තේරුම වූයේ ධර්ම මූර්ති යන්නය . එමෙන්ම එම නමෙහි තේරුම ධර්මයේ බැබලීම නොහොත් ධර්මයේ ව්‍යාප්තිය ලෙසින් අර්ථ දක්වා තිබේ . කුඩා කාලයේ ඉතා දුෂ්කර ජීවිතයක් ගත කර තිබෙන උන් වහන්සේ විවිධ භාදක වලට මුහුණ දෙමින් ඉතා විනයගරුකව වැඩ වාසය කළහ. බොහෝ ශාසනික කටයුතු කළ පාහියන් හිමියන්ට චීනයේදී සම්පූර්ණ විනය පිටකය ලබාගත නොහැකි වීම නිසා ඉන්දියාවට පැමිණ හෝ එකී අඩුව සම්පුර්ණ කරගැනීමට අදිටන් කරගෙන තිබුණි . කෙසේ හෝ වයස අවු 65 වන විට පාහියන් හිමිට ගමන පිටත් වීමට අවස්ථාව ලැබුණි . වයස්ගත වුවද උන්වහන්සේගේ කාය ශක්තිය , ධෛර්යය හෝ බුද්ධිය පිරිහී නොපැවති බව පෙනේ . 

                 ඒ අනුව වයස අවු 65 දී උන්වහන්සේගේ ගමන පිටත් වූ අතර උන්වහන්සේ සමඟ තවත් පිරිසක් ද මේ ගමන සදහා එක් විය. එහිදී ක්‍රි.ව 399 දී හුයි-ජිං , තාඕ-චිං , හුයි-යිං සහ හුයි-වෙයි යන යහළුවන් සිව්දෙනා ද කැටුව පාහියන් හිමි ඉන්දියාව බලා ගමන් ආරම්භ කළේය . කෙසේ වෙතත් මෙම ගමනේදී මෙලෙස පැමිණි සමහරු පෙරලා චීනයටම ගොස් තිබේ . එමෙන්ම සමහරු අති දුෂ්කර මාර්ග ඔස්සේ පැමිණීමේදී මරණයට පත් වූ අතර මෙම පාහියන් හිමි සමඟ ඉන්දියාවට පැමිණි සුළු පිරිස නැවත උන්වහන්සේ සමඟ චීනය බලා නොගොස් ඉන්දියාවේ නතර විය. එහෙයින් මෙම චාරිකාවෙන් පසුව , එනම් අවුරුදු 15කට පසුව පාහියන් හිමි නැවත චීනයට යනු ලැබුවේ තනිවමය. 

            පාහියන් හිමි ඉන්දියාවට පැමිණියේ 2 වන චන්ද්‍රගුප්ත රජුගේ රාජ්‍ය කාලයේදීය . මෙකල ඉන්දියාවේ පැවතියේ ගුප්ත අධිරාජ්‍ය සමයයි. පාහියන් හිමි ඉතා දුෂ්කර ගොඩබිම් මාර්ගයක් හරහා පැමිණ ඉන්දියාවට ඇතුළු වූයේ ගන්ධාර දේශයෙනි. ඉන්පසුව ඉන්දියාවේදී උන්වහන්සේ පෙෂාවෝරය , මථුරාව , කනෞජය , ශ්‍රාවස්ති , බරණැස , කපිලවස්තුව , කුසිනාරාව , වෛශාලිය , පාටලීපුත්‍රය සහ තවත් ස්ථාන බැලීමට ගියේය . පාහියන් හිමි වැඩිවශයෙන් බුදුදහම පිළිබඳ පූජනීය ස්ථානයන් වෙතම ඇදී ගිය බව දැකගත හැකිය . 

            මෙලෙස ඉන්දියාවට පැමිණි පාහියන් හිමි මධ්‍ය ඉන්දියාවේ වසර 6ක්ද , ලංකාවෙහි වසර 2ක්ද , ඉතිරි සත් අවුරුද්ද ඔහුගේ ගමනට වැය විය . පාහියන් හිමි ලංකාවට පැමිණියේ මහානාම රජුගේ කාලයේ වන අතර ලංකාවෙහි රැදී සිටි වසර දෙක අභයගිරි විහාරයේ වැඩ විසූහ . පාහියන් හිමි ඉන්දියාවෙහි සිටි වසර 6ක කාලයේදී පාටලීපුත්‍රයේ වසර 3ක් කල් ගෙවූ අතර එම සිටි කාලසීමාව තුළදී උන්වහන්සේ සංස්කෘත භාෂාව ඉගෙනගනු ලැබීය . එසේම පාටලීපුත්‍රයේ සිටි කාලසීමාවේදී අශෝකයන්ගේ අලංකාර මාලිගයේ නටඹුන් ඔහුගේ විශ්මය දැනවීය. මෙහිදී පාහියන් හිමි ඉන්දියාවේ බොහොමයක් බෞද්ධ සිද්ධස්ථානයන් වෙත ගමන් කළ අතරම ඔහු එම ස්ථානයන් වලට ගමන් කරන විටදී එම ස්ථානයන්හි දක්නට ලැබුණු ස්වරූප පමණක්ම නොව එම සිද්ධස්ථානයන්හි ඉතිහාසය පිළිබඳව තොරතුරු පවා ඔහුගේ දේශාටන වාර්තාවන්හි සදහන් කර තිබෙනු පෙනේ . 

                     විශේෂයෙන්ම පාහියන් හිමි ඉන්දියාවට පැමිණීමේ බලාපොරොත්තු සඵල වූ බව උන්වහන්සේ නැවත චීනය බලා යන විට රැගෙන යනු ලැබූ පොත්පත් තුලින් පෙනේ . එනම් එසේ රැගෙන ගිය පොත්පත් අතර මහාසාංඝික විනය , සර්වස්තවාදී විනය , මහීසාසක විනය , නිර්වාණ සූත්‍ර ආදී ග්‍රන්ථ රැසක් විය . කෙසේ වෙතත් පාහියන් හිමි පෙරළා චීනයට යන විට ඔහුගේ වයස අවු 79ක් විය . 


දේශපාලන ඉතිහාසය 

           මෙහිදී පැරණි ඉන්දියානු දේශපාලන ඉතිහාසය පිළිබඳව හැදෑරීමේදී පාහියන් හිමිගේ දේශාටන වාර්තා ඉතා වැදගත් තැනක් ගනු ලබයි. ගුප්ත යුගයේ ඉන්දියාවට පැමිණි පාහියන්ගේ වාර්තාව ප්‍රධාන කොට ඇති අභිලේඛන සම්ප්‍රදායය ඔස්සේ ගුප්ත යුගයේ ක්‍රියාත්මක වූ පාලනය පිළිබඳව අවබෝධයක් ලැබිය හැකිය. විශේෂයෙන්ම 2වන චන්ද්‍රගුප්ත රජු කළ ඉන්දියාවට පැමිණි මෙම පාහියන් හිමි ඔහුට සමකාලීන ඉන්දියාවේ පැවති ගුප්ත අධිරාජ්‍ය සමය පිළිබඳව පුළුල් විස්තරයක් ඉදිරිපත් කර තිබේ . 

               මෙම කාලය තුළදී ගුප්ත අධිරාජ්‍ය ඉන්දියාවේ බලසම්පන්නම රාජ්‍යය බවට පත් වී තිබූ අතර ගුප්ත අධිරාජ්‍යයේ ශ්‍රේෂ්ඨත්වය ඇති වූයේ එහි විශාලත්වයෙන් පමණක් ම නොවැ, එහි රාජ්‍යය පාලනය පිළිබඳව බුද්ධිමත් පරමාර්ථය අතින් ද විය. ගුප්ත අධිරාජ්‍ය මනා ලෙස පාලනය වූ බවත් , සමෘද්ධිමත් තත්ත්වයක පැවති බවත් පාහියන් වන්දනාකරු කියයි. උන්වහන්සේගේ වාර්තාවන්ට අනුව පැහැදිලි වනුයේ ගුප්ත අධිරාජ්‍ය ප්‍රබල වීමට එහි භූගෝලීය විශාලත්වය පමණක් නොව එහි පාලන කටයුතු කරනු ලැබූ රජවරුන්ගේ බුද්ධිමත්භාවය ද බලපා තිබේ . මොහුගේ වාර්තාවන්ට අනුව දෙවන චන්ද්‍රගුප්ත රජු යටතේ ගුප්ත රාජවංශය ස්වකීය උච්චතම තත්ත්වයට පත්ව තිබූ බව පෙනේ.එසේම මෙම පාහියන් වාර්තා වලට අනුව පෙනී යන කරුණ වනුයේ මෞර්යය සහ ශුංග රාජ්‍ය පාලන කාලවලදී පැවති පාලන ක්‍රමයන් අනුගමනය කරමින් ගුප්ත අධිරාජ්‍ය ගොඩනගා තිබේ . 

             මෙම ගුප්ත අධිරාජ්‍ය සමය පිළිබඳව අධ්‍යයනය කිරීමේදී එහි දේශපාලන අංශය තුළ අධිකරණ ක්‍රමය ද ප්‍රබල දායකත්වයක් ලබා දී තිබෙන බව පෙනේ . විශේෂයෙන්ම මෙම ගුප්ත යුගයේ ක්‍රියාත්මක අධිකරණ ක්‍රමය ගැන පාහියන්ගේ වාර්තා තුලින් තොරතුරු ලැබේ . නමුත් ඒවා අතිශයෝක්තියෙන් යුක්ත වේ. පාහියන් පවසන පරිදි ගුප්ත දඩුවම් ක්‍රම ඉතා ලිහිල් වූ ඒවා විය . එහිදී මරණීය දඩුවම නොදුන් බව ද පාහියන් පවසයි . කැරලි ගැසූ අයට පවා ලිහිල් දඩුවම් දුන් බව දක්වා තිබේ . පාහියන් හිමි සදහන් කර තිබෙන මෙම තොරතුරු යම් අතිශයෝක්ති ස්වරූපයෙන් යුක්ත යැයි පැවසීමට සිදුවනුයේ ගුප්ත යුගයේ මරණීය දඩුවම නොදුන් බව පවසන හෙයිනි . ධර්මාශෝක රජුගේ කාලයේ බුදුදහමෙහි ඇති වූ සීග්‍ර ප්‍රවර්ධන කාලයේ පවා මරණ දඩුවම අවලංගු කර නොතිබුණු බව මෞර්ය අධිකරණ ක්‍රමය පිළිබඳව අධ්‍යයනය කිරීමේදී පෙනේ . එසේ නම් එවැනි කාලයකදීත් මරණ දඩුවම අවලංගු නොකලා නම් ගුප්ත යුගයේ මරණ දඩුවම ක්‍රියාත්මක නොවූ බව පැවසීම අතිශයෝක්ති ස්වරූපයක් ගනු ලබයි . 

              ගුප්ත අධිරාජ්‍ය සමයේ පැවති දේශපාලන ස්වරූපය පිළිබඳව අධ්‍යයනය කිරීමේදී මෙකල පැවති ආදායම් පාලනය පිළිබඳව ද පාහියන් වාර්තාවල සදහන් කර තිබේ . අධිරාජ්‍යයක දේශපාලන තත්ත්වය ඉතා සමෘද්ධිමත්ව පැවතීමට නම් එම රාජ්‍යයෙහි ආර්ථිකය හොදින් පැවතීම අත්‍යාවශ්‍ය කරුණකි. එහිදී ගුප්ත යුගයේ ආදායම් පාලනය ද රටවැසියාට පීඩාකාරී නොවූ බව පාහියන් හිමිගේ විස්තරයේ දැක්වේ. එනම් බඹරු මල් නොතලා රොන් ගන්නාක් මෙන් රජු රටවැසියාගෙන් බදු අය කළ බව දක්වයි . ඒ අනුව ආර්ථික කටයුතුවලදී ජනතාවට දැඩි පීඩනයක් නොදුන් බව පෙනී යන කාරණයකි . එසේම ඉන්දියාවේ සංචාරය කළ බෞද්ධ වන්දනාකරුවෙකු වූ පාහියන් ඒ රාජ්‍යය සාමාන්‍යයෙන් සතුටින් වැජඹුණු රාජ්‍යයක් වී යැයි විස්තර කරයි . ගුප්ත යුගය තුළ එහි ප්‍රධාන පාලන මධ්‍යස්ථානය වූ පාටලීපුත්‍රය පිළිබඳව ද පාහියන් හිමි තොරතුරු රැසක් ඉදිරිපත් කර තිබේ. එහිදී පාහියන් හිමි දී ඇත්තේ ශාන්තිපූර්ණ, සමෘද්ධිමත් මැනවින් පැවති දේශයක සිත්කළු විවරණයකි. එයට හේතුව වූයේ මෙතෙක් ඉන්දියාවේ පැවති ශ්‍රේෂ්ඨ අධිරාජ්‍යයන් පාටලීපුත්‍රයේ බිහිවීමය. එපමණක් නොව ගුප්ත අධිරාජ්‍යයෙහි ආරක්ෂක යුධ හමුදාව පිළිබඳව ද පාහියන් හිමියන් සිය දේශාටන වාර්තාවන්හි කරුණු සදහන් කර තිබේ . එහිදී මුලින් පැවති අධිරාජ්‍යයන්හි පැවති හමුදා පාලන ප්‍රතිපත්තිවල ස්වරූපය වෙනස් නොවූ අතර මෙකල හමුදා නිලධාරීන්ට වැටුප් වශයෙන් ඉඩම් ලබා දුන් බවක් දක්නට ලැබේ. එසේම පාහියන් හිමි දෙවන චන්ද්‍රගුප්ත රජුට සිටි අංගාරක්ෂක භටයන් ගැන ද තොරතුරු සදහන් කර තිබේ. 


ආගමික ඉතිහාසය 


             පාහියන් හිමිගේ ඉන්දීය ගමන සිදු වනුයේ මූලික වශයෙන්ම ආගමික අදහසක් පෙරදැරි කොට ගෙනය. එනම් අංග සම්පූර්ණ විනය පිටකය ඇතුළු ආගමික ග්‍රන්ථ , ආගමික චින්තාවන් පිළිබඳව අධ්‍යයනය කිරීම සදහා ය. එම නිසාම පාහියන් හිමිගේ දේශාටන වාර්තා තුලින් වැඩි වශයෙන් ආගමික තොරතුරු හෙලිදරව් වන බව පෙනේ . විශේෂයෙන්ම උන්වහන්සේ ඉන්දියාවේ සෑම ප්‍රධාන සිද්ධස්ථානයක් වෙතම ගොස් එහි අතීත තොරතුරු සහ සමකාලීන කාලයෙහි තොරතුරු ඉදිරිපත් කර තිබේ . පාහියන් හිමි සදහන් කරන පරිදි පාටලීපුත්‍ර පුරය ගැන පැවසීමේදී සම්බුද්ධ ප්‍රතිමා තැන්පත් කොට නගර ප්‍රදක්ෂිණාව පිණිස මසක් පාසා ගමන් ගත් තේජාන්විත රථ යාත්‍රාවන් ගැන ද කරුණු පවසයි . ඒ සාධු ක්‍රීඩා අවස්ථාවෙහි ක්‍රීඩා , සංගීත සහ පුෂ්ප ධූප පූජා ද උතුම් දන් වැට පැවැත්වීම ද කරන ලදහ. ඒ අනුව භාරතයේ එකල පැවති ප්‍රධාන අගනගරය වූ පාටලීපුත්‍රයේ සුවිශේෂී පිංකම් සිදු කර තිබෙන බව පෙනේ . එපමණක් නොව ගන්ධාර රට, තක්සලාපුර , පුරුෂපුර ආදී වයඹදිග ඉන්දියානු ආගමික ස්ථානයන් පිළිබඳව මෙන්ම කන්‍යාකුබ්ජය , කෝසල දේශය , කපිලවස්තුව , වෛශාලිය ආදී මධ්‍ය ඉන්දියානු ප්‍රදේශයන්හි ආගමික සිද්ධස්ථානයන් පිළිබඳව ද සදහන් කර තිබේ . එහිදී එම ස්ථානයන් වල සංඥා නාම නිර්මාණය පිළිබඳව ද දක්නට පුළුවනි . එහිදී තක්සලා යන්නෙහි තේරුම සිදැලු හිස යනුයි . අප බුදුන් වහන්සේ පෙර බෝසත් සමයෙහි මෙහිදී සිය හිස සිද දුන්හ . එබැවින් මෙයට තක්ෂිලා යන නම විය. 

            පාහියන් හිමියන් ඉන්දියාවට පැමිණි සමකාලීන කාලයේ පැවති ගුප්ත අධිරාජ්‍ය සමයේ වූ ආගමික තත්ත්වය පිළිබඳව මනා විස්තරයක් උන්වහන්සේ සිදු කර තිබේ . විශේෂයෙන්ම මෙම ගුප්ත අධිරාජ්‍ය සමයේදී විවිධ ආගමික නිකායන්ගේ වර්ධනය වීමක් දැකගත හැකිය . එනම් මෙකල බුදුදහම , ශෛව ආගම , වෛශ්ණ ආගම , ශක්ති වන්දනය ආදිය පැවති බව පෙනේ . එහිදී මෙකල නොයෙක් ආගම් අදහන්නන් පොදු සහෝදරත්වයකින් බැදි මිත්‍ර ධර්මයත් , සමගිතාවත් පැවතුණු බවට පාහියන් වන්දනාකරුගේ ගමන් විස්තරය සාක්ෂි දරයි . ඒ අනුව ආගමික සහයෝගයෙන් මෙකල ජනතාව කටයුතු කර තිබෙන බව පෙනේ . එහිදී රාජ්‍යය පාලකයා ද සෑම ආගමකටම අනුග්‍රහය දක්වා තිබේ. මෙකල විෂ්ණු , ශිව , ලක්ෂ්මි , කාර්තිකේය , පාර්වති ආදී දෙවිවරු ප්‍රධාන වශයෙන් ඇදහූ අතර විෂ්ණු දෙවියන්ගේ දස අවතාරයන් පිළිබඳව සංකල්පය සහ ත්‍රිමූර්ති සංකල්පය ඉතා ප්‍රබල ලෙසින් ජනප්‍රියව පැවති බව පෙනේ . කෙසේ වෙතත් මෙම ගුප්ත අධිරාජ්‍ය සමයේදී බ්‍රාහ්මණ හින්දු ආගම ප්‍රධානම ආගම වූ බව දක්නට පුළුවනි . විශේෂයෙන්ම බුද්ධ ශාසනය අනුක්‍රමයෙන් එහි වූ ජීව ශක්තියෙන් දුබල වන්නට වන. පාහියන් සංචාරකයාගේ වශීකෘත වූ දර්ශනයට මේ ඛේදාත්මක සිද්ධිය නොපෙණුන නමුත් ගුප්ත සමයේදී බුදුදහම ඇත්ත වශයෙන්ම යටත් පිරිසෙයින් මධ්‍ය දේශයෙහි පිරිහෙමින් පැවැත්තේය. ඒ අනුව පාහියන් හිමියන්ගේ ගමන් විස්තරයන් අධ්‍යයනය කිරීමෙන් පුරාතන ඉන්දියානු ඉතිහාසයෙහි ආගමික තත්ත්වය පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා ගත හැකිය . මෙහිදී මෙම පාහියන් හිමිගේ දේශාටන වාර්තාවන්හි වටිනාකම වැඩි වනුයේ ඔවුන් ඉන්දියාව පිළිබඳව තබනු ලබන වාර්තාවන්හි අතිශයෝක්තිමය කරුණු අල්ප වීමය.


Wednesday, August 12, 2020

ඉන්දියාවේ ප්‍රාථමික ගුහා සිතුවම් වර්ගීකරණය


                ලෝක මට්ටමින් ගත් කළ ගුහා ආශ්‍රිතව දක්නට ලැබෙන සිතුවම් ප්‍රධාන වශයෙන් වර්ග දෙකකට බෙදා වෙන් කළ හැකිය. එනම් ඉතාමත් තාත්වික අන්දමින් නිර්මාණය කර තිබෙන වර්ණ සංකලනයන් මනාව සිදු කර ඇති නිර්මාණාත්මක බවින් උසස් ගුහා චිත්‍ර සහ ඉතාමත් සරල උපක්‍රම භාවිත කරමින් ප්‍රාථමික ගෝත්‍ර හෝ මුල්කාලීන මානවයන් නිර්මාණය කර තිබෙන ප්‍රාථමික ගුහා චිත්‍රයි. මෙහිදී අපගේ සාකච්ඡාවට බදුන් කිරීමට අපේක්ෂා කරනු ලබන්නේ ප්‍රාථමික ගුහා චිත්‍ර වර්ගීකරණය පිළිබඳවය . ඒ පිළිබඳව අධ්‍යයනය කිරීමේදී මූලික වශයෙන් ඉන්දියාවේ ගල් ගුහා ආශ්‍රිතව දක්නට ලැබෙන ප්‍රාථමික ගුහා චිත්‍ර ප්‍රධාන කොට සැලකිය හැකිය . 

             ලෝකයේ ප්‍රාථමික ගුහා චිත්‍ර සුලභව හමුවන රටවල් අතර සයවන ස්ථානය හිමි වන රට වනුයේ ඉන්දියාවයි. හිමාලය කදු පාමුල ඇති කුඩා කදු ආශ්‍රිතවත්, දකුණු දිග පිහිටි නිල්ගිරි කදු ආශ්‍රිතවත් මෙම ගුහා චිත්‍ර වැඩි වශයෙන් අපට නිරීක්ෂණය කළ හැකිය . ඒ අතරිනුත් බිම්බෙට්කාර් ප්‍රදේශය විශේෂ ස්ථානයක් හිමි කර ගනී. මෙම ප්‍රාථමික ගුහා චිත්‍ර නිරීක්ෂණය තුළ ආදි මානවයන්ගේ ජීවිතයේ විවිධ හැසිරීම් රටා අවබෝධ කරගත හැකිය . පුරාවිද්‍යාත්මක ගවේෂණ හරහා හමුවන අවශේෂ වලින් පමණක් ඉතිහාසය ගොඩනගා ගැනීමට ඇති හැකියාව දුෂ්කර වේ. නමුත් මෙවැනි සිතුවම් අපට එම දුෂ්කරතාව මගහරවා ගැනීමට පුළුවනි . මෙම රූප නිරීක්ෂණය තුළ ආදි මානවයන් ස්ථීර ජනාවාසකරණයට පෙර යුගයේදී , එනම් ප්‍රාග් ඓතිහාසික යුගය තුළ තම එදිනෙදා ජීවිතය ගත කළ අයුරු , දඩයම් කළ අයුරු , ආහාර ද්‍රව්‍යයන් රැස් කළ අයුරු , විවිධ අභිචාර ක්‍රම, ඔවුන් විවේකය ගත කළ ආකාරය , ලිංගික ජීවිතය , පවුල් සබදතා ආදිය පිළිබඳව මනා අවබෝධයක් ලබා ගත හැකිය . එහිදී ඔවුන් ඇද තිබෙන සිතුවම් මෙසේ වර්ග කිරීමට පුළුවනි . 

•     තනි සතුන් හෝ සතුන් කිහිපදෙනෙකු පමණක් දැකිය හැකි රූප 

•     සත්ත්ව රූප සහ මානව රූප එක තලයක ඇද ඇති රූප 

•     මානව රූප පමණක් ඇද ඇති අවස්ථා 


             විශේෂයෙන්ම මෙහිදී මෙම සිතුවම් ප්‍රාථමික ගුහා චිත්‍ර ලෙසින් නම් කරනු ලබන්නේ අන් කරුණක් නිසාම නොවේ. එනම්, මේවායේ ශෛලිය සහ නිර්මාණය කිරීම සදහා යොදා ගත් තාක්ෂණික ක්‍රමවේදය ඉතා ප්‍රාථමික ස්වභාවයක් ගන්නා නිසාය. මෙම සිතුවම්වල ස්වභාවය පිළිබඳව කතා කරන විට ප්‍රධාන වශයෙන් පහත පරිදි කරුණු වශයෙන් පෙළගැස්විය හැකිය . එනම් , 

මෙම සිතුවම් නිර්මාණය කර ඇත්තේ ගල් ගුහා ආශ්‍රිතවය . 

ගල් ගුහාවේ වියන් බිත්තිය ( වහල ), පැති බිත්තිවල නිර්මාණය කර තිබේ .

සිතුවම් තලය කිසිදු සකස් කිරීමක් නොකොට සිතුවම කුරුටු ගෑම කර තිබේ . එනම් , පිහිටි ගල් ගුහාව තුළ ස්වභාවික තත්ත්වය ප්‍රයෝජනයට ගෙන තිබේ .

සිතුවම නිර්මාණය කරන පින්සල බවට පත්වනුයේ අතේ ඇගිලි හෝ සියුම් ගල් කැබලිය. 

වර්ණ සෑදීම සදහා එක එක වර්ගයේ පාෂාණ කුඩු කොට ජලය හෝ ගස්වල යුෂ භාවිත කර තිබේ . කේඨය භාවිත කරද දිය කර ගෙන ඇත. සතුන්ගේ රුධිරය ද භාවිතයට ගෙන තිබේ . 

            මෙම ගුහා සිතුවම් නිර්මාණය කරන ලද ආකාරය අනුව තවත් ප්‍රධාන කොටස් දෙකකට බෙදා වෙන් කළ හැකිය . එනම් , 

සූරන ලද සිතුවම් - මුල් කාලීන මානවයා සීරුම් හා කැපුම් මෙවලම් භාවිත කර අදිනු ලැබූ සියුම් කැපුම් දාර සහිත සිතුවම් 

අදින ලද සිතුවම් - පසුකාලීන මානවයන් පාෂාණ කුඩු කොට අතින් ඇද ඇති සිතුවම් 

              විශේෂයෙන්ම මෙම ආදි මානවයන් නිර්මාණය කළ සිතුවම් අධ්‍යයනය කිරීමේදී ඒවා හරහා ඉස්මතු කරුණු පිළිබඳව අවධානය යොමු කිරීමේදී ඔවුන් සිතුවම් නිර්මාණය සදහා භාවිත කළ වස්තු විෂයන් කිහිපයක් හදුනාගත හැකිය . 

සත්ත්ව රූප 

මානව රූප 

විවිධ ආයුධ

මානව රූප වලට සමාන මිත්‍යා රූප 

විවිධ සැරසිලි රටා

මෙම ප්‍රධාන වස්තු විෂයන් දෙස අවධානය යොමු කර බැලීමේදී ප්‍රාග් ඓතිහාසික මානවයන්ගේ දේශපාලන , ආර්ථික , ආගමික , සංස්කෘතික ආදී වූ දිවි පැවැත්මන් පිළිබඳව මනා අවබෝධයක් ලබා ගත හැකිය . 


01. දඩයමේ යෑම නිරූපණය කරන මානව රූප 

            ඉන්දියානු අර්ධ මහද්වීපයෙහි විසිරී පවතින ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් ගුහා රාශියක පැරණි සිතුවම් රැසක් හදුනාගත හැකි අතර ඒ තුළ මානව රූප වලට හිමි වනුයේ ප්‍රධාන ස්ථානයකි. ඒ අතුරින් URDEN නම් ස්ථානයෙන් හමුවන සිතුවම් ඉතාම වැදගත් වේ . විශේෂයෙන්ම රක්ත වර්ණයෙන් ඇද ඇති මෙම සිතුවම් මෙසොලිතික යුගයට අයත් වන අතර දඩයම නිරූපණය කරන සිතුවම් රැසක් දැකගත හැකිය . එහි දක්නට ලැබෙන එක් සිතුවමක මිනිසෙකු විසින් දුනු ඊතල භාවිත කරමින් ගවයෙකු දඩයම් කරන අයුරු නිරූපණය කර තිබේ . 10cm ප්‍රමාණයෙන් යුක්ත වූ මෙම සිතුවමෙහි මානව රූපය රේඛීයව දක්වා ඇති අතර ගව රූපය ද ඉතා පැහැදිලිව හදුනාගත හැකිය . මීට අමතරව මෙම ගල් ගුහාවෙහි ඇති තවත් සිතුවමක ඌරෙකුගේ යැයි සැක කළ හැකි සිතුවමක් ද දක්නට පුළුවනි .

                  එමෙන්ම Gupha Masir නම් ස්ථානයෙන් හමුවී තිබෙන සිතුවමක ද දඩයම් කිරීම නිරූපණය කරන සිතුවමක් හදුනාගත හැකි අතරම එම චිත්‍රය ද රතු පැහැයෙන් නිර්මාණය කර තිබේ . 10cm පමණ වන මෙම සිතුවමෙහිද ගවයෙකු දක්වා ඇති අතර එම ගවයාගේ පිට මත මිනිසෙකු නැග සිටින අයුරු දක්නට ලැබේ . ඊට අමතරව තවත් මිනිසෙකු හෙල්ලක් වැනි උපකරණයක් භාවිත කරමින් එම සතාට පහර දෙන අයුරු නිරූපණය කර තිබේ . මීට සමාන තවත් සිතුවමක් ඉන්දියාවේ Dharampuri ( Bhopal ) නම් ස්ථානයෙන් හමුවී ඇත . එහිද ගවයෙකු දඩයම් කරන ආකාරයක් දක්වා ඇති අතර මිනිසුන් තිදෙනකු හෙල්ල වැනි උපකරණ යොදා ගනිමින් ඔවුන්ගේ ආහාර අවශ්‍යතාවය සපුරා ගැනීම සදහා ගවයා දඩයම් කරන අයුරු දැකගත හැකිය . මෙම දඩයම් කරන ආකාරය විදහා දක්වන සිතුවම් අතර තවත් එක් සිතුවමක් ලෙසින් Rajat Pachmari නම් ස්ථානයෙන් හමුවන සිතුවම ඉතාම වැදගත් වේ . එනම් එම ස්ථානයෙන් හමුවන සිතුවමෙහි නිරූපණය කරනු ලබන්නේ කාන්තාවක් මසුන් මැරීම සදහා යන අවස්ථාවක්ය. අතීත ජන සමාජය තුළ බොහෝ අවස්ථා වලදි ආහාර අවශ්‍යතාව සපුරනු ලැබුවේ පිරිමින් විසිනි . නමුත් මෙම ස්ථානයේ දක්නට ලැබෙන සිතුවම හරහා කාන්තාවන් ද දඩයම් කටයුතු වල යෙදී සිටි බව හදුනාගත හැකිය . 


02. සත්ත්ව ගෘහස්ථීකරණය.

            මුල්ම කාලපරිච්ඡේදයේ කැලෑබද ප්‍රදේශ වල ජීවත් වූ සතුන් දඩයම් කිරීම මානවයන්ගේ ජීවන රටාව තුළ ප්‍රධාන අංගයක්ව පැවති නමුත් ක්‍රමානුකූලව සමාජ රටාවෙහි සිදු වූ යම් යම් වෙනස්වීම් සමඟ ඔවුන්ගේ දින චර්‍යාවද වෙනස් වූ බව දැකගත හැකිය . ඒ අනුව මෙම මානවයන් සත්ත්ව ගෘහස්ථීකරණය සදහා යොමු වූ බව පෙනේ . මේ සම්බන්ධ තොරතුරු රැසක් ඉන්දියාවේ විවිධ ප්‍රදේශ වල පැවති ගල් ගුහා ආශ්‍රිතව දක්නට ලැබෙන අතර ඒ හරහා මේ පිළිබඳව තොරතුරු රැසක් හදුනාගත හැකිය . එහිදී Gupha Masir නම් ස්ථානයෙන් හමුවන සිතුවමක ගවයෙකු වැනි සතෙකු මිනිසුන් දෙදෙනෙකු විසින් අල්වා ගෙන සිටින ආකාරයක් නිරූපණය කර තිබේ . එම සත්ත්වයාගේ ශරීරය දෙස අවධානය යොමු කිරීමේදී ඉතා අලංකාර මෝස්තර රටාවකින් අලංකාර කර තිබෙන බවක් දැකගත හැකිය . මීට අමතරව Bhimbetkar සහ Shivamandar නම් ස්ථාන ද්විත්වයෙහි දක්නට ලැබෙන සිතුවම් දෙස බැලීමේදී සතුන් ගාල් කර සිටින බවට දක්නට පුළුවනි . එහිදී සත්ත්වයා වටා වැටක් නිර්මාණය කර තිබෙන අයුරු මනාව නිරූපණය කර තිබේ . 


03. පවුල් සබදතා දැක්වෙන රූප 

                මුල් අවධියේ තනි තනිව ජීවත් වූ මානවයන් පසු කාලය වන විට කණ්ඩායම් වශයෙන් ඒකරාශි වී සිය ජීවිතය පවත්වා ගෙන යාමට කටයුතු කළ ආකාරය අපට පැරණි ගුහා සිතුවම් අධ්‍යයනය කරන විට හදුනාගත හැකිය . විශේෂයෙන්ම ඉන්දියාවේ Lakhjoar නම් ස්ථානයෙන් හමුවී තිබෙන සිතුවමකට අනුව ගල් ගුහාවක් තුළ සම්පූර්ණ පවුලක් වශයෙන් ජීවත් වන ආකාරයක් නිරූපණය කරන සිතුවමක් දක්නට පුළුවනි . රක්ත වර්ණයෙන් යුතුව නිමවා ඇති මෙසොලිතික යුගයට අයත් මෙම සිතුවම හරහා මානවයන් කිහිපදෙනක් ආහාර ගැනීමක් නිරූපණය කරයි. එහි පැහැදිලි ලෙසම කාන්තාවක් ඇද තිබෙන අතර ඇයගේ කුසෙහි දරුවෙකු සිටින ආකාරය මනා ලෙස සිතුවමට නගා තිබේ . ඔවුන් ගනු ලබන ආහාර අතර මත්ස්‍යයන් ද වූ බව දැකගත හැකිය . 

         මීට අමතරව Firengi නම් ස්ථානයෙන් හමුවී තිබෙන 20cm ප්‍රමාණයෙන් යුතු සිතුවම පිළිබඳව අවධානය යොමු කිරීමේදී ඒ තුලින් පිරිසක් එකට එක් වී වාසය කළ බවට තොරතුරු හදුනාගත හැකිය . මිනිසුන් සහ සතුන් එකම රූප තලයක් දක්වා තිබෙන මෙම සිතුවමෙහි කාන්තාවන් නිරූපණය කිරීමේදී දිග කෙස් කළඹක් සහිතව ඇද ඇති බව පෙනේ . 


04. ලිංගික ජීවිතය නිරූපණය කරන රූප 

               ලොව වෙසෙන සෑම ජීවියෙකුගේම පොදු අරමුණක්, අපේක්ෂාවක් ලෙසින් සිය වර්ගයා බෝ කිරීම සදහන් කළ හැකිය . ඒ සදහා ලිංගික චර්‍යාවෙහි යෙදීම සිදු කළ යුතු අතර මේ පිළිබඳ සාධක රැසක් ඉන්දියාවේ පැරණි ගුහා සිතුවම් ආශ්‍රිතව දක්නට පුළුවනි . විශේෂයෙන්ම Bhimbetkar නම් ස්ථානයෙන් හමුවී තිබෙන 5cm ප්‍රමාණයේ සිතුවම් කිහිපයකම මෙවැනි ලිංගික සංසර්ග ඉරියව් නිරූපණය කර තිබේ. මෙම සිතුවම් නිර්මාණය පිළිබඳව අධ්‍යයනය කිරීමේදී පසුකාලීනව රචනා කරන ලද කාම සූත්‍රය නම් ග්‍රන්ථයෙහි දක්වන ලිංගික ඉරියව් වලට සමාන අයුරින් නිර්මාණය කර තිබෙන බව පෙනේ . ඇතැම් විට මෙම ගුහා සිතුවම්වල දිගුවක් කාම සූත්‍රය තුලින් නිරූපණය වන බව පවා සදහන් කළ හැකිය . මේවායෙහි පුරුෂ රූප තුළ ඔවුන් සිය ලිංගය ප්‍රාණවත් තබා සිටින අයුරු දක්නට ලැබේ . මෙම සිතුවම් අතර ඇතැම් ඒවායෙහි දෙදෙනාම සිට ගෙන සිටින අයුරින් නිර්මාණය කර තිබෙන අතර තවත් සිතුවම්වල කාන්තාව වැතිරී සිටින අයුරින් ද නිර්මාණය කර තිබේ . මීට අමතරව Pachmari සහ Jaora නම් ස්ථානවලින් ද ලිංගික සංසර්ග ඉරියව් දැක්වෙන රූප සටහන් හමුවී තිබෙන අතර ඒවා ඇතැම් විට Bhimbetkar වලින් හමුවූ සිතුවම් වලට වඩා සංකීර්ණ ස්වභාවයක් ගනු ලබයි . 


05. ජලාශ්‍රිත ප්‍රවාහනය 

             ප්‍රාථමික ජන සමාජයෙහි එක්තරා වර්ධිත අවස්ථාවක් මෙම සිතුවම් හරහා නිරූපණය වන බව දක්නට පුළුවනි. එනම් මොවුන් ගොඩබිම කේන්ද්‍ර කර ගනිමින් ගමනාගමන කටයුතු සිදු කර තිබෙන අතරම ඉන් ඔබ්බට යමින් ජලය කේන්ද්‍ර කර ගනිමින් ද තම අවශ්‍යතා ඉටු කරගෙන තිබෙන බව පෙනේ. විශේෂයෙන්ම Chamardi නම් ස්ථානයෙන් හමුවී තිබෙන සිතුවම් වලට අනුව ඔවුන් බෝට්ටු භාවිත කළ බවට සාධක හදුනාගත හැකිය . එහිදී ඔවුන් අලංකාර ලෙස මෙම සිතුවම් කර තිබෙන අතර බොහෝ අවස්ථා වලදි පුද්ගලයන් දෙදෙනෙකු සහිතව මේවා ඇද තිබෙන බව දක්නට පුළුවනි . මෙම සිතුවම් ඉතා හොදින් පරීක්ෂා කර බැලීමේදී ඔවුන්ගේ හස්තයන් වල කුමන හෝ උපකරණයක් ඇද ඇති අතර ඒවා කුමන උපකරණද යන්න නිශ්චිතවම හදුනාගත නොහැකිය . 


06. ගොඩබිම් ප්‍රවාහනය දැක්වෙන රූප 

             ජලය භාවිත කරමින් ප්‍රවාහන කටයුතු කලාක් මෙන්ම ආදි මිනිසා ගොඩබිම කේන්ද්‍ර කර ගනිමින් ද ඔවුන්ගේ ප්‍රවාහන කටයුතු සිදු කර තිබෙන බව පෙනේ . එනම් Adhar නම් ස්ථානයෙන් හමුවන සිතුවම් අතර ගැලක රූප සටහන් දක්නට ලැබෙන අතර ගවයන් යොදා ගනිමින් මෙම කටයුතු සිදු කර තිබේ . මෙම සිතුවමෙහි ගැලට ඉදිරියෙන් යම්කිසි උපකරණයක් අතෙහි රදවා ගෙන යන පුද්ගල රූපයක් ඇති අතර ගැල මත පුද්ගලයන් දෙදෙනෙකු සිතුවම් කර තිබෙන බව පෙනේ . මීට සමාන තවත් සිතුවම් කිහිපයක් Katiryakand, Asan යන ස්ථාන වලින් ද හමුවී ඇති අතර මෙම සිතුවම් වලද ඉදිරියෙන් පුද්ගලයෙකු ගමන් කරන බවක් නිරූපණය කර තිබේ . ඇතැම් විට මෙම කරත්ත සදහා ආරක්ෂාව සපයන පුද්ගලයෙකු ලෙසින් ඔහු හදුනාගත හැකිය . 

             මේ අනුව පැරණි ඉන්දියානු ගුහා සිතුවම් පිළිබඳව අවධානය යොමු කිරීම හරහා ඔවුන්ගේ සමාජ පසුබිමත්, අතීත මානවයන්ගේ ජන ජීවිතය පිළිබඳව ද අවබෝධයක් ලබා ගත හැකිය . මෙම සිතුවම් අතුරින් ඉන්දියාවේ Bhimbetkar ( බිම්බෙට්කාර් ) ගුහා ආශ්‍රිත චිත්‍ර සමූහයට විශේෂ වැදගත්කමක් හිමි වන අතර මෙම විග්‍රහයේදී එහි සිතුවම් සදහා ප්‍රමුඛ ස්ථානයක් ලබා දී තිබේ . එහිදී මෙම සිතුවම් නිරීක්ෂණය තුළ අපට ප්‍රාථමික මානවයන් මීට වසර දහස් ගණනකට පෙර ජීවත් වූ ආකාරය , ඔවුන් කලින් කලට තම තාක්ෂණික දැනුම දියුණු කර ගනිමින් පැමිණි ගමන්මග කුමන ආකාරයෙන් පැවතියේද යන්න මනාව හදුනා ගැනීමට හැකියාව ලැබේ .


Thursday, July 23, 2020

සමකාලීන සමාජ සන්දර්භය හමුවේ බුදුදහම



පුරාතන ඉන්දියානු මහා ඉතිහාස සම්ප්‍රදායය තුළ අපට දැකගත හැකි අංග ලක්ෂණ අතර එකල පැවති ආගමික අංශයට සුවිශේෂී ස්ථානයක් හිමි වී තිබේ . විවිධ දේශපාලන වෙනස්කම් මත ගලා ආ ඉන්දියානු ඉතිහාසය තුළ අපට ආගම් දර්ශනයන් රැසක් දැකගත හැකිය . මේ අතුරින් බුදුදහමට හිමි වූයේ සුවිශේෂී ස්ථානයකි . උතුරු ඉන්දියාව කේන්ද්‍ර කර ගනිමින් ක්‍රි.පු 6 වන සියවසෙහි ආරම්භ වූ බුදුදහම ද එකවරම සමාජගත වූ ධර්මයක් නොවේ . නැතිනම් එකවරම නිර්මාණය වූ දහමක් නොවේ . මෙම බුදුදහම පිළිබඳව පැහැදිලිව නිරීක්ෂණයක් කිරීමෙන් අපට පෙනී යන්නේ දීර්ඝ කාලපරිච්ඡේදයක වෙහෙසීමෙන් නිර්මාණය වූ දහමක් ලෙසයි. 

විශේෂයෙන්ම සමකාලීන සමාජ සන්දර්භය හමුවේ බුදුදහම යන මාතෘකාව දෙස අවධානය යොමු කිරීමේදී ක්‍රි.පු 6 වන සියවසෙහි සමාජ තත්ත්වය දෙස තියුණු දෘෂ්ටියකින් බැලිය යුතුය . එහිදී සමාජ , ආර්ථික , ආගමික , දේශපාලනික යන සෑම අංශයක් දෙසම අවධානය යොමු කළ යුතුය . ක්‍රි.පු 6 වන සියවසෙහි බිහි වූ බුදුදහම මුළු භාරතය පුරා ව්‍යාප්ත වූ අතර බොහෝ මිනිසුන්ගේ හිතසුව පිණිස පැවති ප්‍රායෝගික දහමක් විය. 

මෙහිදී ක්‍රි.පු 6 වන සියවසෙහි බුදුරදුන් ලොව පහළ වූ අවධියේ සමාජයේ ආධිපත්‍යය පතුරුවා ගෙන සිටියේ බ්‍රාහ්මණයන්ය. විශේෂයෙන්ම බ්‍රාහ්මණයන් ආගමික කටයුතු මෙහෙයවමින් මුළු මහත් සමාජයේම ප්‍රධාන නියමුවා සේ ක්‍රියා කරන ලදි . එම නිසාම දේශපාලන අධිකාරිය ද බ්‍රාහ්මණයන්ට යටත්ව සිටියහ . මෙම බ්‍රාහ්මණ පිරිස විසින් සමාජය වෙත ඒක දේවවාදයක් හදුන්වා දුන් අතර ලෝකය ඇතුළු සත්ත්වයා මවන ලද්දේ මහා බ්‍රහ්මයා යැයි සලකා ඔහු සතුටු කිරීම සදහා යාගය අනිවාර්ය කරන ලදි . එපමණක් නොව සමාජයෙහි ප්‍රබලතම පිරිස වූ බමුණන් එම තත්ත්වය වඩාත් හොදින් තහවුරු කිරීම සදහා සමාජයට වර්ණ ක්‍රමය ඉදිරිපත් කරන ලදි . ඒ හරහා බමුණන් සමාජයේ බලසම්පන්න වූ අතර ඔවුන් සමාජයේ අනෙක් පිරිස් හට බොහෝ පීඩා සිදු කරන ලදි . එමෙන්ම කිසිදු සාධාරණත්වයකින් තොරව මේ හරහා සමාජය බෙදීමකට ලක් කරන ලදි . 
නමුත් බුදුදහම තුලින් මෙම බෙදීම තදින් හෙලා තිබේ . විශේෂයෙන්ම බ්‍රාහ්මණ ආධිපත්‍යය හරහා පීඩාවට පත්ව සිටි බොහෝ පිරිසකට බුදුදහම තුළ පිළිසරණ ලැබිණි . එහිදී බ්‍රාහ්මණයන් විසින් ශුද්‍ර කුලය ලෙසින් හදුන්වා තිබූ සමාජයේ පහත්ම කුලයේ සිටි සුනීත , සෝපාක වැනි අයට බුදුදහම තුළ පිහිට ලැබුණි. එමෙන්ම වසල සූත්‍රය , අග්ගඤ්ඤ සූත්‍රය , වාසෙට්ඨ සූත්‍රය ආදිය මගින් මෙම වර්ණ ක්‍රමය ප්‍රබල ලෙස විවේචනය කළේය . බුදුරදුන් විසින් බ්‍රාහ්මණයන්ගේ චතුර් වර්ණය ප්‍රතික්ෂේප කරමින් සමාජය වෙතට භික්ෂු , භික්ෂුණී , උපාසක , උපාසිකා යන සිව්වනක් පිරිස හදුන්වා දෙන ලදි . මෙය ඉතාම ප්‍රායෝගික බෙදීමක් වූ අතර බ්‍රාහ්මණයන් විසින් පීඩාවට ලක්ව සිටි ජනතාවට මෙය මහත් අස්වැසිල්ලක් විය . ඒ හරහා ක්‍රමිකව බුදුදහමට සමාජ සන්දර්භය තුළ විශේෂ තැනක් හිමි විය . 

එපමණක් නොව බුදුරදුන් ලොව පහළ වූ අවධියේ භාරතීය කාන්තාවට හිමිව තිබූ තත්ත්වය ඉතාම ශෝචනීයයි. එනම් බ්‍රාහ්මණ ආධිපත්‍යය යටතේ වනිතාව පහත් තත්ත්වයකට පත් කර තිබුණි . ඇයට සමාජය තුළ කිසිදු නිදහසක් හිමි නොවීය . බමුණන් ප්‍රකාශ කර තිබූ ආකාරයට ස්ත්‍රීය සලකනු ලැබුවේ වැරදි කිරීම අතින් ශුද්‍රයන් , සුනඛයන් , කපුටන් ට සම තත්ත්වයකිනි . එසේම කාන්තාව සැබැවින්ම අපවිත්‍ර ජාතියක් ලෙසින් සලකා තිබුණි . මෙලෙස බ්‍රාහ්මණ සමාජය තුළ කාන්තාවට කිසිදු වරප්‍රසාදයක් හිමි නොවීය . නමුත් බුදුදහම තුළ මීට වඩා හාත්පසින්ම වෙනස් තත්ත්වයක් දැකගත හැකිය . එහිදී කාන්තාවට අත් වී තිබූ අන්ත අසරණ තත්ත්වය වටහා ගත් බුදුන් වහන්සේ භාරතීය වනිතාව කෙරෙහි සියලු වරප්‍රසාද ලබා දීම සදහා කටයුතු කර තිබේ . විශේෂයෙන්ම දියණියක ලෙස , බිරිඳක ලෙස , උපාසිකාවක් ලෙස සහ භික්ෂුණීයක් ලෙස ලබා දිය යුතු වරප්‍රසාදයන් කාන්තාවට බුදුදහම තුලින් ලැබුණි . ඒ අනුව ඇයට අහිමි වී තිබුණු සියලු අධ්‍යාපනික , ආගමික , ආර්ථික යන සියලු අංශයන්හි වරප්‍රසාදයන් හිමි විය . මේ නිසාම සමකාලීන සමාජය තුළ බුදුදහමෙහි විශාල වර්ධනයක් මෙන්ම බුදුදහම පිළිබඳව මිනිසුන් තුළ විශාල පැහැදීමක් ද ඇති විය. 
භාරතීය ඉතිහාසය තුළ මෙලෙසින් යාගය ප්‍රධාන කොට ගනිමින් භක්ති මාර්ගයේ හැසිරුණු ජනතාවක් මෙන්ම ක්‍රි.පු 6 වන සියවසෙහි බුදුදහමට සමකාලීනව ඥාන මාර්ගය මූලික කරගත් ආගමික කොට්ඨාසයන් ගණනාවක් දැකගත හැකිය . විශේෂයෙන්ම මෙකල ආජීවක , අචේලක , සචේලක , ජටිල ආදීන් මෙන්ම පූර්ණ කස්සප , මක්ඛලී ගෝසාල , නිගන්ඨනාත , අජිත කේසකම්බල වැනි ශාස්තෘවරුන් ද මෙම සමකාලීන සමාජය තුළ දැකගත හැකිය . මේ අතුරින් ඇතැම් ආගමික පිරිස් පව් ක්ෂමා කර ගැනීම සදහා නිර්වස්ත්‍ර වීම , ජටා මඩුලු දැරීම , මඩ තවරා ගැනීම , අජව්‍රත , කුක්කුර ව්‍රත , ගෝව්‍රත ආදිය කෙරෙහි නැඹුරු වූ බවක් දක්නට පුළුවනි . නමුත් මේ සියල්ලම ඉතා නිශ්ඵල ක්‍රියාවන් විය . බුදුදහම තුළ මීට වඩා හාත්පසින්ම වෙනස් ක්‍රියාවලියක් සිදු වූ අතර කුසල් ක්‍රියාවල යෙදෙමින් පින් රැස් කිරීම හරහා නිර්වාණය සාක්ෂාත් කර ගත හැකි බව පෙන්වා දුන්හ . මෙහි තිබූ සුවිශේෂත්වය වනුයේ මෙම නිවන මෙලොවදීම අත්විදිය හැකි වීමයි. එම නිසාම මෙම ප්‍රායෝගික දහම වෙත සමකාලීන ජනතා ආකර්ශනය නිරායාසයෙන්ම ලැබුණි . 

එපමණක් නොව බුදුදහම සමගින් සමකාලීනව පැවති ජෛන දහම තුළ ප්‍රධාන වශයෙන් දැකගත හැකි වූයේ අවිහිංසාවාදි ධර්මයකි. විශේෂයෙන්ම මොවුන්ගේ අදහස වූයේ සියලුම සතෙකුම ප්‍රාණියෙකු බවත් , ගස්වැල් වලට පවා ජීවයක් පවතින බවත්ය . එම නිසා මොවුන් උග්‍ර අවිහිංසාවාදි ප්‍රතිපත්තියක් අනුගමනය කළහ . මොවුන් ප්‍රකාශ කළේ කෘෂිකර්මය සදහා පොළොව කෙටීම පවා අකුසල් සිදුවන ක්‍රියාවක් ලෙසයි. එයට හේතුව වූයේ පොළොව කොටන විට පාංශු ජීවීන්ට හානි සිදුවේ යැයි විශ්වාස කළ හෙයිනි . නමුත් බුදුදහම තුළ මෙවැනි සංකල්පයක් නොවීය . බුදුදහම තුළ කෘෂිකර්මය අගය කර තිබේ . කෘෂිකර්මය මූලික කරගෙන විවිධ දේශනාවන් රැසක් සිදු කර තිබේ . එම නිසා සාමාන්‍ය ජනතාව පවා ක්‍රමයෙන් බුදුදහම වෙත ඇදී ආහ. විශේෂයෙන්ම මෙම බුදුදහමට සමකාලීනව පැවති ආගම් දර්ශනයන් හේතුවෙන් පීඩාවට පත්ව සිටි ජනතාවට මෙය සහනයක් විය . 

මෙම සමකාලීන සමාජ සන්දර්භය තුළ පැවති ආගම් සමඟ බුදුදහම ගණුදෙනු කළ ආකාරය සහ ඒවාත් සමඟ ගත් කළ බුදුදහමට හිමි වූ ස්ථානය ගැන කතා කළාක් මෙන්ම දේශපාලනික වශයෙන් බුදුදහම පිළිබඳව හෙලූ දෘෂ්ටිකෝණය ගැන ද අවධානය යොමු කළ යුතුය . එනම් ක්‍රි.පු 6 වන සියවසෙහි බුදුන් වහන්සේට සමකාලීන කාලපරාසය තුළ උතුරු ඉන්දියාව කේන්ද්‍ර කර ගනිමින් ජනපද 16 ක් බිහිවී තිබෙනු දැකගත හැකිය . විශේෂයෙන්ම අංග , මගධ , කාසි , කෝසල , වජ්ජි , මල්ල ආදී වූ රාජ්‍යයන් බිහි විය . ඒ අතුරින් මගධ , කෝසල , වත්ස , අවන්ති යන රාජ්‍යයන් ප්‍රබල ලෙස නැගී සිටියහ . 
මෙයින් මගධ රාජ්‍යය බුදුන් වහන්සේ සමඟ සෘජුව සබදතා පවත්වනු ලැබීය . විශේෂයෙන්ම මගධාධිපති බිම්බිසාර රජු බුදුන් වහන්සේගේ ප්‍රධාන දායකයෙකු බවට පත් වූ අතර රාජ්‍යය අනුශාසනා වලදී බුදුදහමට හිමි වූයේ සුවිශේෂී ස්ථානයකි . විශේෂයෙන්ම බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද දසරාජ ධර්ම , දස සක්විති වත් , සතර සංග්‍රහ වස්තු ආදී ධර්ම කොටස් මෙම පාලකයා සිය රාජ්‍ය පාලනය සදහා යොදා ගනු ලැබිය . එමෙන්ම මගධ පාලක වූ අජාසත් රජු ද පසුකාලීනව බුදුදහම සමඟ අත්වැල් බැදගත් අතර පීතෘඝාතක පාලකයෙකු වූ මොහුට තම සිත සැහැල්ලු කර ගැනීම සදහා උපකාරී වූ එකම දහම වූයේ ද බුදුදහමය. එසේම කෝසල රාජ්‍යයේ පාලක කොසොල් රජු ද නිරන්තරයෙන් බුදුරදුන් හමුවී දහම් අසා එම ධර්ම කොටස් ප්‍රායෝගික ජීවිතයේදී අත්හදා බලන ලදි . එමෙන්ම වජ්ජි රාජ්‍යයේ පාලකයන් බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද සප්ත අපරිහානී ධර්ම මනාව පිළිපැදීම නිසා මෙකල බුදුන් වහන්සේටත් , බුදුදහමටත් ප්‍රමුඛ ස්ථානයක් ලැබී ඇති බව පෙනේ . එහිදී මෙම රාජ්‍ය පාලකයන් ගුණධර්ම වලින් පෝෂණය කිරීමට බුදුදහමට හැකි වූ අතර එය සෘජුවම යටත්වැසි ජනතාවටද යහපතක් විය . එම නිසාම සමකාලීනව අනෙකුත් ආගම් සමඟ ගත් කළ බුදුදහමට දේශපාලනික අංශයෙහිද විශේෂ අවධානයක් යොමු වී තිබූ බව පෙනේ .  

එසේම ක්‍රි.පු 6 වන සියවසෙහි බුදුරදුන්ට සමකාලීන කාලය වන විට සමාජයේ වෙළදාමෙහි දියුණුවක් දක්නට ලැබුණු අතර වෙළද නගර බිහිවනු දැකගත හැකිය . මේ හරහා ක්‍රමවත් මාර්ග පද්ධතීන් රැසක් නිර්මාණය විය . එහිදී ජන සම්මිශ්‍රණයක් සිදු වීම නිසාම ජනතාවගේ භාෂාව , බුද්ධිය , සිතුම් පැතුම් යන සෑම අංශයකම වර්ධනයක් ඇති වූ බව දක්නට ලැබේ . විශේෂයෙන්ම මෙකල සිටුවරු ප්‍රබල ලෙස නැගී ආ අතර රජවරු පවා සිටුවරුන්ගෙන් ආධාර ලබා ගත් අවස්ථා දැකගත හැකිය . එපමණක් නොව මෙලෙස ප්‍රබල වූ සිටුවරුන් සමකාලීන සමාජයෙහි පැවති ආගම් , දර්ශනයන් වලට අනුග්‍රහය දැක්වූ අතර ඒ අතුරින් බුදුදහමට සුවිශේෂී ස්ථානයක් හිමි විය. එහිදී අනේපිඩු සිටුතුමා , මිගාර සිටුතුමා , ධනංජය , පූර්ණ වර්ධන ආදී සිටුවරුන් රැසකගේ නම් සූත්‍ර දේශනාවන් තුළ අන්තර්ගත වී තිබේ . මේ අනුව සැවැත්නුවර , රජගහ නුවර , සාකේත , කෝසම්භ ආදී වෙළද නගර වල බුදුදහමෙහි සුවිශේෂී වර්ධනයක් සිදුවී තිබෙන බව මූලාශ්‍ර සාධක වලට අනුව පෙනේ . 

ඒ අනුව ක්‍රි.පු 6 වන සියවස තුළ සමකාලීන සමාජ සන්දර්භය තුළ බුදුදහම තුලින් බ්‍රාහ්මණ සංකල්පය ඉතා බලවත් ලෙස විවේචනයට ලක් කළහ . අනෙකුත් සමකාලීන ආගම්හි එන කරුණු තර්කයට බදුන් කළ අතර වැරදි දේශපාලන , සමාජ ක්‍රියාකලාපයන් උපහාසයට මෙන්ම අපහාසයට පාත්‍ර කළේය. බුදුදහම හරහා සමකාලීන සමාජයෙහි සියලු දෙනාට සමානත්වයක් උදා කළහ . එමගින් නවතම සමාජ ක්‍රමයකට පදනම වැටුණි. එහිදී පුරාතන භාරතීය ඉතිහාසය සකස් වීමේදී ද මෙම සාධකය ප්‍රබල ලෙස බලපෑ අතර ඒ අනුව සමකාලීන සමාජ සන්දර්භය තුළ බුදුදහම වඩාත් ප්‍රමුඛ ආගමක් බවට පත් වූ බව දැකගත හැකිය . 

Thursday, July 16, 2020

ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය කණපිට පෙරළු පාණ්ඩ්‍ය සහ කාලිංග රාජවංශ සබදතා



පොදුවේ ගත් කළ ඉතිහාසය යනු බහු විෂයමය එකතුවක් සේම එය සමාජ විද්‍යා විෂයක් ලෙසින් ද අර්ථකථනය කළ හැකිය . එම නිසාම එවැනි විෂයන් වල නියතීන්, ස්ථීර සීමා දැකගත නොහැකිය . විශේෂයෙන්ම ලෝකයේ කවර හෝ රටක ඉතිහාසය හැදෑරීමේදී විවිධ දෘෂ්ටීන් යටතේ එය අධ්‍යයනය කළ හැකි අතර එලෙස විවිධ දෘෂ්ටීන් යටතේ ඉතිහාසය අධ්‍යයනය කිරීමේදී පුරාතන ශ්‍රී ලාංකේය ඉතිහාස සන්දර්භය පිළිබඳව කතා කරන විට සුවිශේෂී ගති ලක්ෂණ රැසක් හදුනාගත හැකිය . එහිදී ලාංකේය ඉතිහාසය තුළ දේශපාලනික වශයෙන් , ආර්ථික වශයෙන් , ආගමික සංස්කෘතික ආදී අංග හරහා මෙම  සිදු කළ හැකිය . ඒ අනුව ඉහත සදහන් කරන ලද අංග අතුරින් දේශපාලනික අංශය පුළුල් ලෙස වැදගත් වූ බව දැකගත හැකිය.
 
විශේෂයෙන්ම ශ්‍රී ලංකාවෙහි පිහිටීම සමඟ මෙරට ඉතිහාසයට නවීන අංග එකතු වෙමින් මෙරට ඉතිහාසය ගලා ගිය අන්දම දැකගත හැකිය . එහිදී ඉන්දියානු සාගරයේ මුතු ඇටය යන අන්වර්ථ නාමයෙන් හදුන්වන ශ්‍රී ලංකාව ඉන්දියානු අර්ධ මහද්වීපයට දකුණින් පිහිටා තිබේ . කෙසේ වෙතත් මුලින් සදහන් කළ පරිදි ඉතා ඈත අතීතයෙහි පටන් ශ්‍රී ලංකාවේ පිහිටීම සමඟ අනෙකුත් රටවල අවධානය වැඩි වශයෙන් යොමු වී ඇති අන්දම හදුනාගත හැකිය . ස්වභාවයෙන්ම සශ්‍රීක ලංකාව අතීතයෙහි පටන් වාණිජ කටයුතු වලදී ද ප්‍රමුඛස්ථානයක් ගෙන තිබෙන බව එම කාලපරාසය පිළිබඳව තොරතුරු ඉදිරිපත් කරන සාහිත්‍යය මූලාශ්‍ර වල සදහන් වී තිබේ . විශේෂයෙන්ම පුරාතනයේ නාවික කටයුතු වලදී අතරමැදි රටක් වූ ශ්‍රී ලංකාව එම කටයුතු වලදී සුවිශේෂී කාර්‍යභාර්‍යයක් ඉටු කර තිබෙන බව දැකගත හැකිය . එහිදී පිරිසිදු ජලය , පොල් තෙල් , කොහු ලණු , නැව් අලුත්වැඩියා කටයුතු වලට අවශ්‍ය වල්දෙල් වැනි ශාක ලංකාව තුළ පැවති හෙයින් බොහෝ වෙළෙන්දන් පෙරඅපර දෙදිග වෙළද කටයුතු වලදී ලංකාව භාවිත කර තිබේ . මෙලෙස අතරමැදි හවුල් කරුවෙකු වුවද ලංකාවට විශාල ආර්ථික වාසි රැසක් හිමි වී තිබෙන බව දැකගත හැකිය. එම නිසාම අනෙකුත් බොහෝ රටවල් ලංකාව කෙරෙහි විශාල අවධානයකින් සිටි බව පෙනේ. 

මෙම ඉහත සදහන් කරන ලද රටවල් අතුරින් ඉන්දියාවට සුවිශේෂී ස්ථානයක් හිමි වන අතර පුරාතනයේ සිට ඉන්දියාව ලංකාව සමඟ සම්බන්ධතා ඇති කර ගැනීමට උත්සහ දරා ඇති බව දැකගත හැකිය . එනම් විශේෂයෙන්ම දෙරට අතර ඇති භූගෝලීය සම්බන්ධතාවය නිසා ඉන්දියාව වැඩි වශයෙන් ලංකාව කෙරෙහි අවධානය යොමු කර තිබෙන බව දක්නට පුළුවනි . එහිදී ලංකාව ඉන්දියාවට ආසන්නව පිහිටා තිබීම නිසා විවිධ ආක්‍රමණික සහ සංක්‍රමණ හරහා ලංකාව සමඟ සබදතා ඇති කර ගෙන තිබේ . මේ අතුරින් කැපී පෙනෙනුයේ දකුණු ඉන්දියාවයි . දකුණු ඉන්දියාව දෙස අවධානය යොමු කිරීමේදී ප්‍රාදේශිය රාජ්‍යය ගණනාවක් හදුනාගත හැකිය . මෙහිදී පුරාතන යුගයේ ලංකාව ආක්‍රමණය කළ , ලංකාවට සංක්‍රමණය වූ සියලු දෙනාම පාහේ දකුණු ඉන්දියානු දෙමළුන් ලෙසින් හැදින්වීමට පුරුදුව සිටි බව පෙනේ . කෙසේ වෙතත් ඉන්දියාවේ දකුණුම තුඩුව ගත් කළ පුරාතනයෙහි ලංකාව යම් සේ රාජ්‍යය 3කට බෙදී තිබුණේ ද , එලෙසින්ම ද්‍රවිඩ දේශයද චෝල , පාණ්ඩ්‍ය සහ කේරළ යන රාජ්‍යයන් තුනකින් යුක්ත විය . මේ රාජ්‍යය ත්‍රිත්ත්වය අතුරින් ලංකාවට ඉතා ආසන්න පාණ්ඩ්‍ය දේශය වෛගෙයි සහ තාම්‍රපණ්ණි යන ගංගා දෙක ආසන්න ප්‍රදේශය විය. මෙම ගංගා දෙකම ලංකාවේ වයඹදිග වෙරළට ප්‍රතිමුඛව දකුණු ඉන්දියාවේ ගිණිකොණ දිගින් මුහුදට ගලා බසී.

පුරාතන අවධියෙහිදී ලංකාව සමඟ සම්බන්ධතා පැවැත්වූ තවත් රාජ්‍යයක් වූයේ මහා නදියත්, ගෝදාවරී නදියත් අතර පිහිටි කාලිංග දේශයයි. මෙම කාලිංග දේශය පිළිබඳව අවධානය යොමු කිරීමේදී ඉතාම රණකාමී ජනතාවක් ජීවත් වූ බව හදුනාගත හැකිය . විශේෂයෙන්ම කාලිංග දේශය වූ කලී අශෝක අධිරාජ්‍යයාගේ ජීවන ගමන වෙනස් කළ දේශයකි. එයට හේතුව මෙම කාලිංගය යටත් කර ගැනීමට ගිය ගමනේදී වංශකතා වල සදහන් තොරතුරු වලට අනුව 150000ක පිරිසක් මරණයට පත් වූ අතර තවත් 150000ක පිරිසක් සිරකරුවන් බවට පත් වූ බවට තොරතුරු සදහන් කර තිබේ . ඊට අමතරව කාලිංගයේ කාරවේල රජු ද ඉතා සුවිශේෂී පාලකයෙකු ලෙසින් හදුනාගත හැකිය . 

මෙහිදී පාණ්ඩ්‍ය රාජවංශය ශ්‍රී ලාංකේය දේශපාලන කටයුතු වලට සම්බන්ධ වූ ආකාරය පිළිබඳව අධ්‍යයනය කිරීමේදී ඒ පිළිබඳව තොරතුරු මුලින්ම සදහන් වනුයේ වට්ඨගාමිණි අභය රාජ්‍ය කාලයේදීය. එනම් , වට්ඨගාමිණි අභය රාජ්‍ය කාලයේදී ඔහු රජ වී ටික දිනකින් තිස්ස නම් බ්‍රාහ්මණිකයෙකු අනුරාධපුර ආක්‍රමණය කළ අතර එම කාලයේම ද්‍රවිඩයන් සත් දෙනෙකු අනුරාධපුර ආක්‍රමණය කළේය. මෙම ද්‍රවිඩ කුමාරවරු හත් දෙනාගෙන් එක් අයෙකු සෝමා දේවිය ද , තවත් අයෙක් පාත්‍රා ධාතුව ද රැගෙන නැවත ඉන්දියාවට ගිය අතර ඉතිරි ද්‍රවිඩ කුමාරවරු පස් දෙනා වූ පුලහත්ත, බාහිය, පනයමාර, පිලියමාර, දාඨිය යන අය මෙරට දේශපාලන ක්ෂේත්‍රයට සම්බන්ධ වූ බව දැකගත හැකිය . මෙම ද්‍රවිඩ නායකයන්ගේ නාමයන්හි මාර ලෙසින් අවසන් වන නිසා ආචාර්ය මැන්දිස් රෝහණධීර මහතාගේ අදහස වන්නේ මොවුන් පාණ්ඩ්‍ය වංශයට අයත් බවය. කෙසේ වෙතත් මෙම ද්‍රවිඩ නායකයන් පස් දෙනා අවුරුදු 14 මාස 7ක් පමණ කාලයක් ලංකාවේ දේශපාලන කටයුතුවලට සම්බන්ධව සිටි බව වංශකතාගත තොරතුරු වලට අනුව පැහැදිලි වේ. 
ඉන් අනතුරුව පාණ්ඩ්‍ය - ලංකා සබදතා පිළිබඳව අධ්‍යයනය කිරීමේදී ක්‍රි.ව 5 වන සියවස් කාලපරිච්ඡේදයේදී තොරතුරු හදුනාගත හැකිය . විශේෂයෙන්ම ක්‍රි.ව 5 වන සියවසේ ලංකාව සහ පාණ්ඩ්‍ය රාජ්‍යය අතර සමීප සම්බන්ධතා ගොඩනැගුණු අතරම එහි ප්‍රතිඵලයක් වශයෙන් පාණ්ඩ්‍යයන් මෙරට දේශපාලන කටයුතු වලට අත පොවනු දැකගත හැකිය . ඒ අනුව ක්‍රි.ව 433 – 461අතර දක්වා ආසන්න අවුරුදු 26 පමණ කාලය තුළ අනුරාධපුරයෙහි දෙමළ පාලනයක් පැවති බව ඉතිහාසයෙහි සදහන් වේ . එහිදී පිළිවෙලින් දෙමළ රජුන් 6 දෙනෙකු සිටි බව ද සදහන් කර තිබේ . එහෙත් එම දෙමළ රජුන් දකුණු ඉන්දියාවේ කුමන ප්‍රදේශයකින් පැමිණියා දැයි පැහැදිලි නැත. මහාවංසයේ මේ පිළිබඳව සදහන් කර තිබෙන තොරතුරු වලට අනුව “ පඩු නම් දෙමළ තෙමේ පරතෙරින් ආයේ යුධයෙහි දී මිත්සෙන් රජු මරා ලක්දිව රජය කරවී” යනුවෙනි . එයින් හැගෙනුයේ “ පඩු ” ලංකාවට ඉතාමත් ආසන්න වූ පාණ්ඩ්‍ය දේශයේ සිට පැමිණි බවය . මෙකල වාණිජ කටයුතු අතින් ඉතා දියුණු තත්ත්වයක් ලංකාව හිමිකර ගෙන සිටි නිසා බලය ලබා ගැනීම පිණිස ද්‍රවිඩයන් උත්සුක වූහ . මෙහිදී පණ්ඩු, පාරින්ද, ඛුද්ද පාරින්ද , තිරිතර, දාඨිය , පීඨිය යන සදෙනා ලාංකේය දේශපාලන කටයුතු වලට සම්බන්ධ විය. ලංකාවේ බලය අත්පත් කරගත් මොවුන් දේශීයත්වය ගරු කරමින් පාලන කටයුතු ගෙන ගිය බව දැකගත හැකිය . එම නිසාම මොවුන්ට දේශීය සිංහල ප්‍රභූන්ගේ සහයෝගය හිමි වී තිබේ . 

ක්‍රි.ව 5 වන සියවසෙන් පසුව දෙරටෙහි දේශපාලන සබදතා පිළිබඳව අවධානය යොමු කිරීමේදී වෙනස්ම මුහුණුවරක් ගනු ලබන බව දක්නට පුළුවනි .එහිදී දකුණු ඉන්දියාවේ අධිරාජ්‍ය ගොඩනැගූ සෑම පාලකයෙකුම පාහේ ශ්‍රී ලංකාවේ දේශපාලන කටයුතු කෙරෙහි දැඩි අවධානයක් යොමු කර තිබුණි . ඉන් අනතුරුව ක්‍රි.ව නවවැනි සියවසේ මධ්‍ය භාගයේ සිට ලංකා ඉතිහාසයෙහි දේශපාලන අංශයෙහි තීරණාත්මක කාලපරිච්ඡේදයක් විය . එමෙන්ම දකුණු ඉන්දියාවේ බල තුල්‍යතාවය පවත්වා ගැනීමේ අවශ්‍යතාවය මත සිංහල පාලකයන් ක්‍රියා කිරීම විශේෂ ලක්ෂණයකි . එහිදී චෝලයන්ට විරුද්ධව පාණ්ඩ්‍යයන් සමඟ රාජතාන්ත්‍රික සම්බන්ධතා ඇති කර ගත්තේය . මේ අනුව මෙතෙක් කල් සතුරන්ව සිටි දකුණු ඉන්දියාවේ පාණ්ඩ්‍යයන් සිංහලයන්ගේ මිතුරන් බවට පත් වූ බව දැකගත හැකිය . මේ අනුව දකුණු ඉන්දියාවේ බලය ගොඩනගමින් සිටි චෝලයන් සිංහලයන්ගේ සතුරන් බවට පත් වෙමින් සිටියහ. 

විශේෂයෙන්ම චෝල බලපෑම් ලංකාවෙහි දේශපාලන කටයුතු වලට පමණක් නොව දකුණු ඉන්දීය සෙසු රාජ්‍යය වලටත් තර්ජනයක් ඇති කළේය . 4වන දප්පුල රජුගේ කාලයේදී පාණ්ඩ්‍ය රජතුමා ලංකාවෙහි සහය ලබා ගනු ලැබීය . එයට හේතුව 2වන පරන්තක නම් චෝල රජු පාණ්ඩ්‍ය රට ආක්‍රමණය කළ අවස්ථාවේ ලංකාවේ 5වන කාශ්‍යප රජු පාණ්ඩ්‍ය රජුට උපකාරක සේනාවක් යවනු ලැබීය . එහෙත් සිංහල සේනාව සහ පාණ්ඩ්‍ය සේනා මේ අවස්ථාවේදී පරාජයට පත් විය . ඉන් පසු රාජසිංහ නම් පාණ්ඩ්‍ය රජු ස්වකීය රාජ කකුධ භාණ්ඩ රැගෙන ලංකාවට පැන ආවේය. මෙහිදී නැවත උපකාරක සේනාවක් යැවීමට සිංහල රජු සූදානම් වූ නමුත් සෙනවිවරු ඊට විරුද්ධ විය. රාජසිංහ රජු මෙරට සිටීම ගැන ද ඔවුන් කැමති නොවීය . එම නිසා රාජසිංහ රජු සිය රාජාභරණ ලංකාවේ තබා නැවත ඉන්දියාවට ගියහ . මේ නිසාම චෝල රජුන්ගේ අවධානය වැඩිපුරම ලංකාව දෙසට යොමු වන බව දක්නට ලැබේ . මෙලෙස පාණ්ඩ්‍ය වංශිකයන් මෙරටට පැමිණ තම රාජකකුධ භාණ්ඩ ආරක්ෂාව පතා සැගවීමට කටයුතු කළ අතර දේශපාලනික සම්බන්ධතා මේ සදහා බලපා තිබෙන බව පෙනේ . 
එපමණක් නොව චෝලයන් ලංකාව ආක්‍රමණය කර අනුරාධපුර රාජ්‍යය යටත් කර ගැනීමෙන් අනතුරුව රාජධානිය පොලොන්නරුවට මාරු කරන ලදි . මෙලෙස රාජරාජ චෝල සහ රාජේන්ද්‍ර චෝල පොලොන්නරුව කේන්ද්‍ර කර ගනිමින් පාලන කටයුතු සිදු කළ අතර ඔවුන් පොලොන්නරුව ජනනාථපුරම් ලෙස නම් කරන ලදි . මෙලෙස චෝලයන් පොලොන්නරුව කේන්ද්‍ර කර ගනිමින් පාලන කටයුතු සිදු කළ අතර රුහුණු පළාත කේන්ද්‍ර කර ගනිමින් රාජ කුමාරවරු කිහිපදෙනකු පාලන කටයුතු සිදු කළ අයුරු දැකගත හැකිය . එහිදී වික්‍රම පාණ්ඩ්‍ය , පරාක්‍රම පාණ්ඩ්‍ය , ලෝකේශ්වර සහ කේෂධාතු කාශ්‍යප යනාදීන් වැදගත් වූ අතර මොවුන් රුහුණේ ප්‍රදේශ කිහිපයක් මූලික කරගෙන පාලනය කර තිබේ . මෙම ඉහත සදහන් කරන ලද කුමාරවරු අතර වික්‍රම පාණ්ඩ්‍ය සහ පරාක්‍රම පාණ්ඩ්‍ය යන කුමාරවරු දෙදෙනා පාණ්ඩ්‍ය වංශික කුමාරවරුන් බව හදුනාගත හැකිය . එවකට පැවති චෝල පාලනයට එරෙහිව කටයුතු කළ සිංහල පාණ්ඩ්‍ය මිත්‍ර සබදතාවෙහි ප්‍රතිඵලයක් ලෙස ඔවුනට එසේ මෙරට බලය ලබා ගැනීමට හැකි වූ බව සිතිය හැකිය . මොවුන් රුහුණේ ජනතාවට නායකත්වය ලබා දුන්න ද චෝල බලය හමුවේ ඒවා යටපත් විය . මෙම චෝල පාලන සමය තුළදී ද පාණ්ඩ්‍ය රාජවංශිකයන් මෙරට දේශපාලන කටයුතු වලට සම්බන්ධ වූ බව දැකගත හැකිය . 
එමෙන්ම පොලොන්නරු රාජධානියෙහි මුල් කාලපරිච්ඡේදයේ හින්දු සංස්කෘතියට අනුව කටයුතු කළ චෝල පාලකයන්ගේ බලය මර්දනය කොට නැවත වරක් මෙහි සිංහල බෞද්ධ බලවේගය ශක්තිමත් කිරීමට සමත් වූ 1වන විජයබාහු රජු තම සහෝදරිය වූ මිත්තා කුමරිය පාණ්ඩ්‍ය රාජ කුමාරයෙකුට සරණපාවා දෙනු ලබන්නේ මෙම පසුබිම යටතේ බව දක්නට පුළුවනි . 1වන විජයබාහු රජුගේ කාලයේදී චෝලයන් මෙරටදී පරාජයට පත් වූ නමුත් ඔවුන් දකුණු ඉන්දියාවේ තවමත් බලවත් තත්ත්වයක සිටි බැවින් එකල ලංකාව මුළුමනින්ම චෝල බලයෙන් ආරක්ෂා වී නොතිබූ බව පෙනේ . එබැවින් විජයබාහු රජුගේ විදේශ ප්‍රතිපත්තිය මෙම පසුබිමට අනුකූලව මෙකල සකස් කොට තිබුණ අතර චෝලයන්ට එරෙහි කණ්ඩායම් සමඟ මිත්‍ර සබදතා පැවැත්වීම ප්‍රධාන උපක්‍රමය විය . 
1වන පරාක්‍රමබාහු රජුගේ කාලයේදී දකුණු ඉන්දියාවේ කුලශේකර නම් සොලී රජු පඩි රජු මරා දමා මදුරාපුරය අල්වා ගත්තේය . මේ නිසා පරාක්‍රමබාහු රජුට හසුන්පත් ලැබුණු අතර පාණ්ඩ්‍ය රාජ්‍යයේ උදව්වට සිංහල හමුදාවක් යවනු ලැබීය . ඉන් පසුව සිංහල සේනා චෝල රජු පරාජය කර මියගිය පඩි රජුගේ පුත් වීරපාණ්ඩ්‍ය කුමාරයා මෙම මදුරාපුරයේ රජකමට පත් කළේය . මෙහිදී දකුණු ඉන්දියාවට ගිය සිංහල සේනාව සිදු කර තිබෙනුයේ එක් දෙමළ රාජ්‍යයක් වෙනුවෙන් අනෙක් දෙමළ රාජ්‍යයකට විරුද්ධ යුද්ධයකි. මෙහිදී මහා පරාක්‍රමබාහු රජුගේ උත්සහය වී තිබෙනුයේ තමාට හිතවත් පාණ්ඩ්‍ය වංශික කුමාරයෙකුට පාණ්ඩ්‍ය දේශයේ බලය ලබා දීමය. මෙය දේශපාලනික වශයෙන් ලාංකේය කටයුතු වලට සම්බන්ධ වීමකි. මෙලෙස පාණ්ඩ්‍ය රාජවංශ ශ්‍රී ලාංකේය දේශපාලන කටයුතු වලට සම්බන්ධ වූ ආකාරය විවිධ අවස්ථාවන් ඔස්සේ අපට හදුනාගත හැකිය . 

මෙම පාණ්ඩ්‍ය රාජ වංශිකයන් සේම කාලිංග වංශිකයන් ද මෙරට දේශපාලන කටයුතු වලට සම්බන්ධ වූ අවස්ථාවන් රැසක් අපට පුරාතන ශ්‍රී ලාංකේය ඉතිහාස සංස්ථාව අධ්‍යයනය කිරීමේදී හදුනා ගැනීමට හැකියාව ලැබේ . මෙම කාලිංග රාජවංශය දකුණු ඉන්දියාවට තරමක් ඉහලින් පිහිටි මහා නදිය සහ ගෝදාවරී යන ගංගා ද්විත්වය අතර පිහිටා තිබෙන බව දැකගත හැකිය . විශේෂයෙන්ම අප මුලින් සදහන් කළ පරිදි මෙම කාලිංග වංශිකයන් දරුණු ශක්ති සම්පන්න පිරිසක් බව හදුනාගත හැකිය . එහිදී මොවුන් පිළිබඳව ක්‍රි.පු 3වන සියවසේදී බහුල වශයෙන් කතා බහට ලක් විය . මෙකල කාලිංගයේ කාරවේල රජුගේ හත්ථිගුම්ඵා ශිලා ලේඛනයෙන් ඔවුන් කෙබඳු පුද්ගලයන් ද යන්න හදුනාගත හැකිය . කෙසේ වෙතත් පුරාතන ශ්‍රී ලාංකේය ඉතිහාසය තුළ මෙම කාලිංග වංශිකයන් විවාහ සබදතා , සංක්‍රමණ සහ ආක්‍රමණ ආදිය මගින් දේශපාලන කටයුතු සදහා සම්බන්ධ වී තිබේ . 

බොහෝ උගතුන්ගේ මතය බවට පත්ව තිබෙනුයේ කාලිංග වංශිකයන් ලංකාව සමඟ සම්බන්ධතා ඇති කර ගනුයේ පොලොන්නරු යුගයේදී බවය . නමුත් පොලොන්නරු යුගයට පෙරාතුවම, එනම් අනුරාධපුර යුගයෙහි අවසාන කාලයේ සිටම මෙම සම්බන්ධතා ගොඩනැගෙන බව දැකගත හැකිය . අනුරාධපුර යුගයේ 4වන මිහිදු රජුගේ කාලයේ සිට ලංකාවෙහි රජ පෙළපත් සහ කාලිංග රජ පෙළපත් අතර විවාහ සම්බන්ධතා පැවති බව මේ පිළිබඳව අධ්‍යයනය කිරීමට ඇති වැදගත්ම සාහිත්‍යය මූලාශ්‍රයක් වන චූලවංශයෙහි සදහන් වී තිබේ . විශේෂයෙන්ම කාලිංග වංශයෙන් රාජ කුමාරිකාවක් ගෙන්වා ගත් 4වන මිහිදු රජු ඇය තම අගමෙහෙසිය බවට පත් කර ගත්තේය . මෙම දෙදෙනාට දියණියක් සහ පුතුන් දෙදෙනෙකු සිටි අතර පුතුන් දෙදෙනාට ඈපා තනතුර සහ දියණියට යුවරාජිණී තනතුර ලබා දුන් බව සදහන් වේ . එමගින් සිංහල වංශය පිහිට වූ බව සදහන් කොට තිබේ . ඒ අනුව කාලිංග වංශිකයන් මෙරට දේශපාලනයට සම්බන්ධ වූ බව දැකගත හැකිය. 

චූලවංශයට අමතරව මේ කාලයට අයත් සමහර සෙල්ලිපි වලදී කාලිංග වංශිකයන් පිළිබඳව තොරතුරු සදහන් කොට තිබෙනු දක්නට ලැබේ . උදාහරණ වශයෙන් ක්‍රි.ව 10වන සියවසට අයත් පොලොන්නරුවෙන් සොයා ගෙන තිබෙන 4වන මිහිදු රජු විසින් පිහිටවූ සෙල්ලිපියක “ කලිගු කුලගොත් මහින්ද් ” යනුවෙන් සදහන් වී තිබේ . එසේම 4වන මිහිදු රජුගෙන් පසුව මෙරට රජකමට පත් වන ඔහු පුත් 5වන සේන සහ 5වන මිහිදු දෙදෙනාද කාලිංග වංශිකයන් ලෙස සලකන්නට ඇති බව පෙනේ . ඉන් අනතුරුව පොලොන්නරුවේ 1වන විජයබාහු රජුගේ කාලයේ සිට නැවතත් කාලිංග වංශිකයන් පිළිබඳව විවිධ තොරතුරු ලාංකේය වංශකතා තුලින් හදුනාගත හැකිය . විශේෂයෙන්ම 1වන විජයබාහු රජු චෝලයන්ට එරෙහිව කටයුතු කළ පාලකයන් සමඟ සමීප සබදතා ඇති කර ගැනීමට දැරූ උත්සහයේ ප්‍රතිඵලයක් වශයෙන් කාලිංග වංශිකයන් සමඟ සම්බන්ධතා ඇති කර ගෙන තිබේ . මෙකල කාලිංග වංශිකයන්ට චෝලයන්ගෙන් හිරිහැර සිදු වූ අතර කාලිංගය තුළ පැවති මෙම අනාරක්ෂිත දේශපාලන තත්ත්වය ඔවුනට ලංකාව සමඟ සබදතා ඇති කර ගන්නට ප්‍රධාන හේතුවක් වූ අතර චෝල විරෝධී 1වන විජයබාහු රජුටත් එම තත්ත්වය බෙහෙවින් ප්‍රයෝජනවත් වූ බව දක්නට ලැබේ . ඒ අනුව 1වන විජයබාහු රජු කාලිංග වංශික තිලෝක සුන්දරී කුමරිය විවාහ කර ගත් බව දක්නට පුළුවනි . ඉන් අනතුරුව මෙම දෙදෙනාගේ පුත්‍රයා වූ වික්‍රමබාහු කුමාරයා ද මෙරට රජවීමෙන් පසුව කාලිංග වංශිකයන්ට මෙරට දේශපාලනයෙහි උරුමය හිමි වූ බව පෙනේ . මෙම 1වන වික්‍රමබාහු රජු ද පොලොන්නරුවෙහි රජවීමෙන් අනතුරුව ඔහුද විවාහ කර ගනුයේ කාලිංග වංශික කුමාරියක්ය. ඒ සුන්දරී දේවි කුමරියයි. එමෙන්ම මිත්තා කුමරියගේ පුත්‍රයෙකු ද විවාහ කරගනු ලැබුවේ කාලිංග කුමාරියක්ය . මේ අනුව පොලොන්නරු යුගයේ මුල් කාලපරිච්ඡේදයේදීම කාලිංග වංශිකයන්ට දේශපාලන උරුමය හිමි වූ බව දක්නට පුළුවනි . 

ඉන් අනතුරුව පොලොන්නරු යුගයේ කාලිංග වංශිකයන් පිළිබඳව තොරතුරු හමුවනුයේ 1වන පරාක්‍රමබාහු රජුගේ කාලයෙන් පසුවය. විශේෂයෙන්ම පරාක්‍රමබාහු රජුට පුතුන් නොසිටි හෙයින් මහා පරාක්‍රමබාහු රජුගේ බෑණා කෙනෙකු ලෙසින් හදුන්වනු ලැබූ විජයබාහු නම් කුමාරයෙකු 2වන විජයබාහු නමින් පොලොන්නරුවේ රජ වූ බව සදහන් වේ . මෙම විජයබාහු කුමාරයා කාලිංග දේශයේ සිට පැමිණි බව සදහන් වන අතර එලෙස පරාක්‍රමබාහු රජුගේ බෑණා කෙනෙකු කාලිංග දේශයේ වාසය කළේ ඇයි දැයි ප්‍රශ්න සහගතය . මෙම 2වන විජයබාහු රජුගෙන් පසුව පොලොන්නරු රාජධානියෙහි රාජ්‍යත්වයට පත් වූයේ ඔහුගේ යුවරජ වූ කීර්ති ශ්‍රී නිශ්ශංකමල්ලය. නිශ්ශංකමල්ල රජු ලක්දිව රජ කිරීම සදහා කාලිංගයේ සිට පැමිණි බව කියනු ලැබේ . ඔහු කාලිංගයේ උපන් කුමාරයෙකු බව මහාවංසයේ ද කියනු ලැබේ . මොහු පිළිබඳව සවිස්තර තොරතුරු ඔහු විසින් කරන ලද ගල්පොත සෙල්ලිපියේ සදහන් වී තිබේ. මේ වන විට කාලිංග කුමාරවරු පිළිබඳව ලංකාවාසීන්ගේ ප්‍රසාදයක් නොතිබූ අතර කාලිංග වංශයට ලංකාවේ රජකමේ අයිතිය තහවුරු කිරීමට නිශ්ශංකමල්ල රජු දැරූ ප්‍රයත්නයන් ඉහත සදහන් කරන ලද ගල්පොත සෙල්ලිපියේ සදහන් වී තිබේ. ඒ අනුව අබෞද්ධ වූ සොලී හෝ කේරළ රාජ කුමාරවරුන් ලංකා රාජ්‍යය සදහා තෝරා නොගත යුතුයැයි රටවැසියාට අවවාද කරන ලදි . 

නිශ්ශංකමල්ල රජු ස්වකීය රාජ්‍යයෙහි සාමය ආරක්ෂා කිරීමට සෑම පියවරක්ම ගත්තේය . හෙතෙම රුහුණු , පිහිටි , මායා යන ත්‍රි සිංහලයෙහිම සංචාරය කළ බව පෙනේ . මෙම රජතුමා ජනහිතකාමී පාලකයෙකු විය . හෙතෙම තුලාභාර දෙමින් උත්සව පැවැත්වූ බව දක්නට පුළුවනි . බෞද්ධයෙකු වූ නිශ්ශංකමල්ල රජු බුද්ධාගමේ චිරස්ථිතියට බොහෝ ආගමික කටයුතු සිදු කළ බව පෙනේ . පොලොන්නරුවේ රන්කොත් වෙහෙර , හැටදාගය ආදිය මොහු ඉදිකරන ලදි . නිශ්ශංකමල්ල රජුගේ බිසෝවරු දෙදෙනා ද කාලිංග වංශික කුමරියන්ය. මොහු වසර 9ක් රජකම් කළ අතර ඉන් පසුව ඔහු පුත් වීරබාහු කුමරු රජ විය . 

කෙසේ වෙතත් පොලොන්නරු යුගය ගෘහ කලහ අධික කාලපරිච්ඡේදයක් ලෙස සලකනු ලැබේ. අභ්‍යන්තර කැරලි කෝලාහල , රජවාසල විප්ලව වැඩිපුර දක්නට පුළුවනි . මෙම පසුබිම හරහා ක්‍රි.ව 1215 දී කාලිංග මාඝ නම් සාහසිකයා ලංකාව ආක්‍රමණය කොට පොලොන්නරුව මුළුමනින්ම විනාශ කර බලය ලබා ගත් බව පෙනේ . මේ අනුව අනුරාධපුර යුගයෙහි සිට විවිධ විවාහ සබදතා , එම විවාහ සබදතා හරහා ඥාති උරුමයන් හරහා සිදු වූ සංක්‍රමණ මෙන්ම ආක්‍රමණ රැසක් සිදු වී තිබෙන බව දක්නට පුළුවනි . මෙහිදී පාණ්ඩ්‍යයන් සහ කාලිංගයන් වැඩි වශයෙන් ඒ සදහා යොමුව ඇති බව පෙනෙන අතර ඒ හරහා මොවුන් ලාංකේය දේශපාලනයට විශාල මැදිහත් වීමක් සිදු කර තිබෙන බව දැකගත හැකිය .

Saturday, June 6, 2020

පොත්ගුල් විහාර ශෛලමය ප්‍රතිමාව තුළින් නිරූපණය වනුයේ කවුරුන් ද ?

පොත්ගුල් විහාර ප්‍රතිමාව 

  ශ්‍රී ලාංකේය ප්‍රතිමා නිර්මාණ කලාවෙහි සුවිශේෂී ගති ලක්ෂණ රැසක් හදුනාගත හැකි ප්‍රතිමාවක් ලෙසින් පොත්ගුල් විහාර ශෛලමය ප්‍රතිමාව හදුන්වා දිය හැකිය . අතීත ලංකාවේ ගල් වඩුවන්ගේ දෑතින් නිර්මාණය වූ මෙම ප්‍රතිමාව පොත්ගුල් විහාර සංකීර්ණය ආසන්නයෙහි පිහිටා තිබෙන පර්වතයක කැටයම් කර තිබේ . උසින් අඩි 11 අගල් 08 ක පමණ උසකින් යුතු මෙම ප්‍රතිමාව තුළින් නිරූපණය කරනු ලබන පුද්ගලයා කවරෙක්දැයි නිශ්චිතවම හදුනාගෙන නොමැති අතර ඒ නිසාම මෙය පොත්ගුල් විහාර ශෛලමය ප්‍රතිමාව නමින් හදුන්වා තිබේ . නමුත් මෙය පොලොන්නරු රාජධානි සමයේ සිටි බලසම්පන්නම නරපතියා වූ පරාක්‍රමබාහු රජුගේ ප්‍රතිමාවක් බවට ජනප්‍රිය මතවාදයක් වූ බව පෙනේ. හිටපු පුරාවිද්‍යා කොමසාරිස් සෙනරත් පරණවිතාන මහතා ද මෙය රාජකීය ස්වරූපයකින් යුතු රුවක් බවට පිළිගෙන තිබේ .

පොත්ගුල් විහාරය 

   මීට අමතරව මෙම ප්‍රතිමාව සම්බන්ධව තවත් මත කිහිපයක් ඇති අතර ඒ අතුරින් දක්නට ලැබෙන තවත් මතයක් වූයේ මෙය පුලස්ති ඍෂිවරයාගේ රුවක් බවය. එමෙන්ම මේ තුලින් කපිල ඍෂිවරයාගේ හෝ අගස්ති ඍෂිවරයාගේ රුව පිළිඹිබු වන බවට ද ඇතැම් උගතුන් විශ්වාස කරනු ලබයි . ජනප්‍රවාද ගත තොරතුරු වලට අනුව පොළොන්නරුව පුලස්ති ඍෂිවරයාගේ පුරවරය ලෙසින් සලකා පුලතිසිපුර ලෙසින් හදුන්වනු ලබන අතර ඒ නිසාම ඉහත සදහන් කළ ආකාරයට මෙම ප්‍රතිමාව පුලස්ති ඍෂිවරයාගේ රුව ලෙසින් සදහන් කරයි . ඉතිහාසය තුළ නිසි ලෙස සාධක සහිතව සනාථ කරගෙන නොමැති , නමුත් ලාංකේය ඇතැම් ජනතාව විසින් විශ්වාස කරනු ලබන රාවණ සංකල්පය තුළ පුලස්ති ඍෂිවරයා යනුවෙන් සදහන් වනුයේ රාවණගේ සීයා ලෙසය.

    කෙසේ වෙතත් මෙම පොත්ගුල් විහාර ප්‍රතිමාවෙහි අංග ලක්ෂණ පිළිබඳව අවධානය යොමු කිරීමේදී මෙය ත්‍රිභංග ඉරියව්වෙන් නිරූපණය කර ඇති අතර දෑතින් යමක් දරා සිටින ආකාරයෙන් නිර්මාණය කර තිබේ . මෙම දෑතින් රැගෙන සිටින දේ පිළිබඳව නිශ්චිතවම හදුනාගෙන නොමැති නමුත්  ඇතැමුන් එය පුස්කොළ පොතක් ලෙසින් අර්ථ ගන්වා ඇති බව පෙනේ . පරණවිතාන මහතා කියනුයේ එය රාජධූරය නැමති විය ගස බවයි . එසේම මෙම ප්‍රතිමාවෙන් නිරූපිත පුද්ගලයාගේ හිසෙහි හිස්වැස්මක් දැකගත හැකි අතර පිරිපුන් මුව මඩලත්, නිසි අයුරින් කපා හැඩ කරන ලද උඩු හා යටි රැවුලත් , ලම්බකර්ණ දෙසවන් ආදිය තුලින් ඉතා බලසම්පන්න පුද්ගලයෙකු ඒ තුළ නිරූපණය වන බව පෙනේ . ඒ අනුව මෙම පොත්ගුල් විහාර ශෛලමය ප්‍රතිමාව තුලින් කවරෙකු නිරූපණය වුවද ඒ තුලින් සැබෑ ලෙසම නිරූපණය වනුයේ ලාංකේය හෙළ ගල් වඩුවන්ගේ නිර්මාණ කෞශල්‍යයත් , තාක්ෂණයේ බුද්ධිමය පරිචයත්ය. 

Monday, May 18, 2020

දෙවියන් සොයා අලුත්නුවර ගියෙමි....



     පුරාතන ශ්‍රී ලාංකේය ජන සමාජයෙහි වැසියන් සරල , සාමූහික , සීමාසහිත ජීවිත ගත කළ අතරම එදිනෙදා ජීවිතයේ ඔවුනට පැමිණි දුක් කම්කටොලු ආදී විවිධ අවස්ථාවන් වලදී නොපෙනෙන බලවේග පිළිබඳ විශ්වාස කරමින් ඔවුනට පුදපූජා පැවැත්වීමේ සිරිතක් දක්නට පුළුවනි . මේ පිළිබඳව ප්‍රාග් බෞද්ධ යුගයෙහි සිට සාධක ගණනාවක් හමුවේ . එහිදී වංශකතාගත තොරතුරු වලට අනුව පණ්ඩුකාභය රාජ්‍යය කාලයේ සිටම මෙම නොපෙනෙන බලවේග සංකල්පය ඉතා දැඩි ලෙස පැවති අතර දේව සංකල්පය ඒ තුළ ප්‍රධාන වූ බව පෙනේ . ඉන් අනතුරුව මහින්දාගමනයෙන් පසුව දේව වන්දනය බුදුදහම සමඟ බද්ධ වෙමින් ඉදිරියට පැමිණි බව පෙනෙන අතරම පසුකාලීනව විහාරාරාම ආශ්‍රිතව දේවාල ඉදිවීම දක්නට ලැබේ . ඒ අනුව ලංකාව තුළ සමන්, උපුල්වන්, කතරගම, නාථ, පත්තිනි සහ විෂ්ණු වැනි දෙවිවරුන් රැසක් උදෙසා දේවාල ඉදි වීම බහුලව සිදු වූ බව හදුනාගත හැකිය . එහිදී ජනප්‍රිය දේව සංකල්පය තුළ එන, ගැමි ජනතාවගේ හදවත් තුළ ලැගුම් ගත් ප්‍රබල දේව සංකල්පයක් වූයේ දැඩිමුණ්ඩ දේව සංකල්පයයි. 
 විශේෂයෙන්ම දැඩිමුණ්ඩ දේව සංකල්පය පිළිබඳව කතා කිරීමේදී අලුත්නුවර දැඩිමුණ්ඩ දේවාලය අතිශයින් වැදගත් වන අතර මෙම අලුත්නුවර දේවාලය ඉදි වන්නේද මෙරට ජනයා තුළ පැවති දේව විශ්වාසයෙහි ප්‍රතිඵලයක් වශයෙනි . කෙසේ වෙතත් මෙම අලුත්නුවර දේවාලය මුල්ම කාලයෙහි කැප වනුයේ උපුල්වන් දෙවියන් උදෙසාය. එනම් අලුත්නුවර දේවාලයෙහි ඉතිහාසය පිළිබඳව අවධානය යොමු කිරීමේදී සදහන් වනුයේ මෙම දේවාලය දෙවන පරාක්‍රමබාහු රාජ්‍ය කාලය දක්වා ඈතට දිවයන බවය. පද්දාවෙල නැතහොත් වර්තමානයේදී අලුත්නුවර වශයෙන් හැදින්වෙන ග්‍රාමය උපුල්වන් දෙවියන් උදෙසා පුදන ලද්දේ පරාක්‍රමබාහු රජුය. අද වන විට අලුත්නුවර ප්‍රධාන දේවාලය දැඩිමුණ්ඩ දෙවියන් උදෙසා කැප කර ඇති අතර පැරණි උපුල්වන් දේවාලය පිහිටි ස්ථානයෙහි අද රූස්ස මාර ගසක් සහ කුඩා පහන් ගෙයක් පමණක් දක්නට පුළුවනි . කෙසේ වෙතත් මෙම දේවාලයෙහි ඉපැරැණි බව කියාපාන හොදම සාක්ෂිය වනුයේ දේවාලය අසල පිහිටා තිබෙන පැරණි අම්බලමයි. මෙය ගිරිවස සුනේත්‍රාදේවි විසින් ඉදි කරවන ලද බව කියැවේ . 


   කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල නගරයෙහි හිගුල මංසන්ධියේ සිට කිලෝමීටර 5ක් පමණ ගිය කළ අලුත්නුවර දැඩිමුණ්ඩ දේවාලයට ළගා වීමට හැකියාව ලැබේ . මෙහිදී උඩ වීදිය සහ පහළ වීදිය යනුවෙන් වීදි දෙකක් දක්නට ලැබෙන අතර දේවාල භූමියට ළගා වීමේදී එහි ගුප්ත ස්වභාවය හොදින් අත් විදිය හැකිය . පහළ වීදිය ඔස්සේ දේවාලයට පිවිසීමේදී පියගැටපෙළ පසු කර වාහල්කඩින් ඇතුළු වීමේදී ප්‍රථමයෙන් හමුවනුයේ පත්තිරිප්පුවයි. මෙම පත්තිරිප්පුව ආශ්‍රිතව විවිධ කතා පුවත් ගොඩනැගී ඇති අතර ඇතැම් වැඩිහිටියන්ගේ මතය වී ඇත්තේ මෙම පත්තිරිප්පුව පිහිටා ඇති ස්ථානය අසල නිලමේ ඇදුමින් සැරසුණු කෙනෙක් පාන්දර 1ත් 2ත් අතර ගමන් කරන බවය. 


   දේවාල භූමිය තුළ සුවිශේෂී ස්ථාන ගණනාවක් දැක ගැනීමට හැකියාව ලැබෙනවාක් මෙන්ම ඒ හා බැදි විවිධ සිදුවීම් ගණනාවක් ද හදුනාගැනීමට හැකියාව ලැබේ . ඉන් ප්‍රධානම ස්ථානයක් හිමිවනුයේ උඩ වීදිය හරහා පැමිණීමේදී හමුවන ඉර හද ගලයි. දේවාලය පවතින භූමියේ විශාල ගල් පර්වතයක් පැවත තිබී ඇති අතර අස්සද්දන පරිවේනාධිපති හිමියන් සහ නිලමේවරු පිරිසක් මෙහි පැමිණ දැඩිමුණ්ඩ දෙවියන්ට භාරවීමෙන් පසු එක් රැයකින් ගල් පර්වතය සුණුවිසුණු වී ගිය බව සදහන්ය . එමෙන්ම මේ සම්බන්ධව එන තවත් කතාවකට අනුව උඩරට නිලමේ ඇදුමින් සැරසී වේරැහැනක් අතින් ගෙන සිටින දැඩිමුණ්ඩ දෙවියන් යකුන්ගේ උදව් උපකාර මත මෙම ගල් පර්වතය විනාශ කළ බව කියවේ. 


     වර්තමානයේ අප අලුත්නුවර දේවාල භූමියට ගිය තැන දක්නට ලැබෙනුයේ මොල්ලිගොඩ නිලමේ විසින් ඉදි කරන ලද දේව මන්දිරයයි . අලුත්නුවර දේවාලය අංග කිහිපයකින් යුක්ත වන බව පෙනේ . එනම් , 
ප්‍රධාන පිවිසුම
වාහල්කඩ
ප්‍රධාන බරාද
හදුන්කූඩම
දිග්ගෙය
වැඩ සිටින මාලිගය 
මුළුතැන්ගෙය
ගබඩා කාමරය 
අටු මඩුව
දඩු මඩුව 
අලුත්නුවර දැඩිමුණ්ඩ දේවාලය හා බැදි තේවාවන් හා වාර්ෂික මංගල්‍යයන් දෙස බැලීමේදී අනෙකුත් දේවාලවල මෙන්ම සමාන චාරිත්‍ර වාරිත්‍ර මෙහිද දැකගත හැකිය . එහිදී දැඩිමුණ්ඩ දෙවියන් උදෙසා පවත්වනු ලබන තේවාවන් කිහිපයක් වෙයි . එනම් , 
දිනපතා තේවාව 
අලුයම් ධූරය 
හැන්දෑ ධූරය 
කෙම්මුර බෙර වැයීම
එමෙන්ම වාර්ෂිකව පවත්වනු ලබන ප්‍රධාන මංගල්‍යයන් අතර ,
අලුත් සහල් මංගල්‍යය 
නානුමුර මංගල්‍යය 
කාර්තික මංගල්‍යය 
පෙරහැර මංගල්‍යය 


තම දුක් ගැනවිලි දෙවියන් වෙත ඉදිරිපත් කර සෙතක්, ශාන්තියක්, යහපතක්, ආශිර්වාදයක් අපේක්ෂාවෙන් මෙරට සිව්දිගින් පැමිණෙන ජනයා පළතුරු පූජාවන් සිය හිස මත තබාගෙන දේව මන්දිරයට දිගු පෝලිම් මැද ගමන් කිරීම දෛනිකව දක්නට ලැබෙන සුලබ දර්ශනයකි . දේව මන්දිරයෙහි අභ්‍යන්තරය දැඩි ගුප්ත ස්වභාවයකින් යුක්ත වන අතර දේව ප්‍රතිමාව දර්ශනය කරන මොහොතේ පටන් ඇතුලාන්තයෙන් නැගෙන දෝංකාරය මැද ඇසෙන යාතිකාව තුළින් අසරණ මිනිසුන්ගේ සිතෙහි ධනාත්මක සිතුවිලි ජනිත වීම ස්වභාවයෙන්ම සිදු වනු ඇත . 

කල්හාර පුෂ්පේච දන්තා නඛාය

පද්මා මුඛා ගන්ධ ස්‌වර්ණ කාය

හෙමා ලතා ධාරණ හස්‌තකාය

බණ්‌ඩාර දේවෙන්ද්‍ර නමෝ නමාය...!

කාරවේල රජුන්ගේ හත්ථිගුම්ඵා ශිලා ලේඛනය


     පුරාතන ඉන්දීය ඉතිහාසය පිළිබඳව අධ්‍යයනය කිරීමේදී රාජ්‍ය මධ්‍යස්ථාන විශාල ප්‍රමාණයක් හමුවනු ඇත. එමෙන්ම මෙම රාජවංශවල කැපී පෙනෙන සුවිශේෂී රාජ චරිත පිළිබඳව ද විස්තර විවිධ ඓතිහාසික මූලාශ්‍ර ඔස්සේ අපට හමුවනු ඇත. පුරාතන ඉන්දියාව තුළ දක්නට ලැබෙන මෞර්යය , ගුප්ත , කුෂාණ , සාතවාහන වැනි රාජවංශ මෙන්ම කාලිංගය මුල් කරගෙන ගොඩනැගුණු චේදි රාජවංශයද ඉන්දියානු ඉතිහාසය තුළ සුවිශේෂී මං සලකුණු රැසක් ඉතිරි කළ රාජවංශයකි. එම රාජවංශයෙහි ශ්‍රේෂ්ඨතම රජු ලෙස ඉතිහාසයේ සදහන් වන්නේ කාලිංගාධිපති කාරවේල රජතුමාය. මෙම කාරවේල රජු විසින් ඔරිස්සා අසල උදයගිරි ගුහා පර්වතයක කොටා තිබෙන හත්ථිගුම්ඵා ශිලා ලේඛනය කාලිංගයේ ඉතිහාසය පිළිබඳවත් , කාරවේල රජු පිළිබඳවත් , විශේෂයෙන්ම ඉන්දීය ඉතිහාසය පිළිබඳවත් අධ්‍යයනය කිරීමේදී මහගු පිටුවහලක් වී තිබේ . මෙහි දැකගත හැකි විශේෂත්වය වනුයේ කාරවේල රජුගේ එක් එක් රාජ්‍ය වර්ෂයන් තුළ සිදු කරනු ලැබූ කාර්‍ය්ය සාඵල්‍යයන් වෙන වෙනම විස්තර කර තිබීමය . නැතිනම් කාරවේල රජු පිළිබඳව සෑම තොරතුරක්ම පාහේ ඔහුගේ එකම ශිලා ලිපියකින් දැන ගැනීමට හැකි වී තිබේ . 
    මහා නදිය සහ ගෝදාවරී ගංගා දෙගංමැදියේ පිහිටා තිබෙන මෙම කාලිංගය ද විවිධ ආක්‍රමණ වලට මුහුණ දුන් ප්‍රදේශයකි. කෙසේ වුවද මගධය මුල් කර ගනිමින් ප්‍රබල බලයක් ගොඩනැංවූ නන්ද අධිරාජ්‍යයේ නැගීමට පෙර කාලිංගයේ මුල් කාලීන ඉතිහාසය පිළිබඳව පැහැදිලි තොරතුරු හමු නොවනු ඇත . විශේෂයෙන්ම මෙම නන්ද අධිරාජ්‍ය සමය තුළ කාලිංගය නන්දවරුන්ට යටත්ව නන්දවරුන්ගේ ආධිපත්‍යයේ පැවති බවට සිතිය හැකි තොරතුරු කිහිපයක්ම මෙම හත්ථිගුම්ඵා ලේඛනයේ සදහන් වී තිබේ . ඒ අතුරින් වැදගත් සාක්ෂියක් වනුයේ කාරවේල රජු විසින් ඔහුට අවුරුදු 300 කට හෝ 103 කට ( ත්‍රි වස සතම් ) පෙර නන්ද රජකෙනෙකු විසින් ඉදි කරන ලද ඇළක් ප්‍රතිසංස්කරණය කළ බව මෙම ලිපියෙහි සදහන් කර තිබේ . මෙලෙස නන්ද රජ කෙනෙකු විසින් කාලිංගයේ ඇළක් ඉදි කරවන ලද්දේ නම් කාලිංගයේ ආධිපත්‍යය නන්දවරු යටතේ පැවති බව පෙනේ . 
   එපමණක් නොව නන්ද රාජවංශයෙහි රජ කෙනෙකු විසින් කාලිංගය ආක්‍රමණය කර කාලිංගයේ තිබූ ජෛන මහා වීරයන්ගේ ප්‍රතිමා කිහිපයක්ම මගධයට රැගෙන ගිය බව හත්ථිගුම්ඵා ලේඛනයේ සදහන් වී තිබේ . මේ අනුව නන්ද රාජවංශ සමයේදී කාලිංගය නන්දවරුන් යටතේ පැවති බව පෙනේ . කෙසේ වෙතත් කාලිංගය නන්දවරුන්ගෙන් පසු කාලයෙහි ස්වාධීනව පැවති බව පෙනේ . නමුත් අශෝක අධිරාජ්‍යයා කාලිංගයට එරෙහිව යුධ කටයුතු ආරම්භ කළ අතර විශාල මිනිස් ඝාතනයක් එයින් සිදු විය. 
   මෙම හත්ථිගුම්ඵා ශිලා ලේඛනය තුලින් කාරවේල රජුගේ යුවරජ කළ සිට රාජ්‍ය චර්යාව පිළිබඳව ඉතා ක්‍රමානුකූලව තොරතුරු ඇතුලත් කර තිබුණද කාලයාගේ ඇවෑමෙන් විවිධ ස්වාභාවික අභියෝගයන්ට මුහුණ දුන් මෙම ශිලා ලිපියෙහි අක්ෂර තැනින් තැන මැකී ගොස් තිබීම නිසා කාරවේල පිළිබඳව ඉතිහාසය අධ්‍යයනයේදී එය යම් තරමක බාධාවක් වී තිබේ . මෙම ලිපියට අනුව කාරවේල රජු අභිෂේකයෙන් දෙවන වසරේ සාතවාහන රාජ්‍යයේ 1 වන ශාතකර්ණීන්ට හමුදා ආක්‍රමණයක් එල්ල කළ බව පෙනේ . ඒ අනුව කාරවේලගේ යුධ කටයුතු සාතවාහනයන් හරහා ඇති වූ බව දැකගත හැකිය . එසේම කාරවේල රජු විශාල සේනාවක් රැගෙන ගොස් රජගහ නුවරට බලපෑම් එල්ල කලහ . මෙතුමාගේ මෙම යුධ ජයග්‍රහණ සම්බන්ධ කීර්තිය නිසාම එවකට රජගහ නුවර පාලකයා වූ යවන රජු මථුරාව දක්වා පලාගිය බව සදහන් වේ . එසේම ශිලා ලිපියෙහි සදහන් තොරතුරු අනුව කාරවේල රජු භාරතවාස ප්‍රදේශයට හමුදා යවා ප්‍රදේශ අල්ලා ගත්හ. එපමණක් නොව රජුගේ අභිෂේකයෙන් දොළොස් වන රාජ්‍ය වර්ෂයේදී උත්තරාපථයේ සිටි රජවරු භීතියට පත් කරන ලදි . එයින් නොනැවතුණ කාරවේල රජු අංග සහ මගධ වාසීන් ලවා තමන්ගේ පාද වන්දනා කරවූ බව සදහන් කර තිබේ . මෙය එක්තරා අන්දමක පළිගැනීමක් ලෙසින් ද සැලකිය හැකිය. 


    එපමණක් නොව කාරවේල රජුගේ ආගමික කාර්‍ය් සංසිද්ධිය කුමක්ද යන්න අවබෝධ කර ගැනීම සදහා හත්ථිගුම්ඵා ලිපිය ඉතා වැදගත් වේ . එනම් එහි සදහන් තොරතුරු වලට අනුව රජු විසින් යාග හෝම කළ බවත් , බ්‍රාහ්මණයන්ට තෑගි දුන් බවත් , මහා අග්නි පූජාවක් සිදු කළ බවත් ලිපියෙහි සදහන් වේ . ඊට අමතරව නන්දවරුන් රැගෙන ගිය ජෛන මහා වීරගේ ප්‍රතිමා නැවත වරක් පෙරහැරකින් කාලිංගයට වැඩම කරවූ බව පෙනේ . කාරවේල රජුගේ ආගමික ප්‍රතිපත්තිය අන්තවාදී නොවූ අතර එතුමා කෝවිල් , විහාරස්ථාන , පන්සල් අලුත්වැඩියා කළ රජෙකු විය. විශේෂයෙන්ම මෙම හත්ථිගුම්ඵා ලේඛනය දෙස බැලීමේදී එය ජෛන ප්‍රාකෘත භාෂාවෙන් ලියා තිබේ . 
  භාරතීය ඉතිහාසයෙහි රජවරුන් පිළිබඳව තොරතුරු අධ්‍යයනය කිරීමට සෙල්ලිපි රාශියක් උපයෝගී කර ගැනීමට සිදු වුවද කාරවේල රජුගේ සෑම තොරතුරක් පිළිබඳවම මෙම හත්ථිගුම්ඵා ලේඛනය හරහා අධ්‍යයනය කිරීමට හැකියාව ලැබී තිබේ . වර්තමානයේ පුද්ගලයන් විසින් තමන්ගේ කාර්‍යයන් පිළිවෙලින් සටහන් තබන අයුරින්ම කාරවේල රජු හත්ථිගුම්ඵා ලේඛනයේ ඔහුගේ සියළු තොරතුරු සදහන් කර තිබේ . ඒ අනුව කාලිංගයේ ඉතිහාසය පිළිබඳවත් , කාරවේල රජු පිළිබඳවත් තොරතුරු අධ්‍යයනයේදී හමුවන ප්‍රධානතම මූලාශ්‍රය ලෙස හත්ථිගුම්ඵා ශිලා ලේඛනය හදුනාගත හැකිය . 

Friday, May 15, 2020

වස්සාන කාලයයි - කඨින චීවරයයි



   ඉන්දියානු ඉතිහාසයෙහි ඈත අතීතයේ සිටම පරිසරය පිළිබඳව අවධානය යොමු කිරීමේදී එහි දේශගුණය තුළ ප්‍රධාන ඍතු තුනක් හදුනාගත හැකිය . එනම් හේමන්ත , ගිම්හාන සහ වස්සාන ඍතූන් ය. මේ අතුරින් ඉන්දියාවෙහි වස්සාන ඍතුවේ ආරම්භය ඇසළ මාසය උදාවත් සමඟ සිදුවන බව දැකගත හැකිය . මේ නිසාම එම වස්සාන කාලයෙහි මිනිසුන් මෙන්ම සතා සිවුපාවුන් ද නොතෙමී සිටීමට හැකියාව ලැබෙන වාසස්ථාන කරා යෑම ස්වභාවිකය. මෙයට හේතු වූයේ ඉන්දියාවෙහි වස්සාන ඍතුවේදී ගංගා , යමුනා , අචිරවති යන මහා ගංගා පවා පිටාර ගලා යන සමයක් වන හෙයින් වර්ෂා කාලය එළඹීමත් සමඟ ඉන්දියානුවන් ඒ සදහා සූදානම් වන ආකාරයෙන් මෙම අවධියේදී සිදුවන අසීරුතා හදුනාගෙන තිබෙන බව දක්නට පුළුවනි . එවැනි කාලගුණික තත්ත්වයක් ඇති ඉන්දියාවේ බුදුරජාණන් වහන්සේගේ සමයේ ද ආර්ථික , සෞඛ්‍ය ආදී සමාජීය ප්‍රශ්න රැසක් ඇති වන කාලයක් ලෙස අධික වැසි සහිත කාලය හැදින්විය හැකිය . මේ අතර ආගමික ප්‍රශ්න ද උද්ගත වූ බව දක්නට ලැබේ . එනම් මෙම වස්සාන කාලය ආරම්භ වන විට ඉන්දියාවෙහි සිටි බොහෝ ආගමික නිකායික පිරිස් පිඩු සිගා යෑමෙන් පවා වැලකී ඔවුනොවුන්ගේ ආරාම වලට වී සිට තිබේ . නමුත් මෙකල බුදුසසුනේ භික්ෂුණ් වහන්සේලා ඔවුන් අවබෝධ කර ගත් ශ්‍රී සද්ධර්මය ගම් දනව්හි සැරිසරමින්  ප්‍රචාරය කළහ . එයට ප්‍රධාන හේතුව වූයේ පළමු ධර්මදූත පිරිස අමතා බුදුන් වහන්සේ ලබා දුන් අවවාදයයි. එනම් මහණෙනි බොහෝ දෙනාගේ හිත , සැප , අර්ථය පිණිස දෙවියන් සහිත ලෝකයාට අනුකම්පාවෙන් චාරිකාවේ හැසිරෙන්න . මුල , මැද , අග පරිපූර්ණ ධර්මය දේශනා කරන්න යනුවෙනි . 
         කෙසේ වෙතත් මෙකල ඉන්දියාවේ බොහෝ  අන්‍ය ආගමික සිටි බව දක්නට පුළුවනි . එනම් අජිත කේසකම්බල , පූර්ණ කස්සප , මක්ඛලී ගෝසාල , සංජය බෙල්ලට්ටිපුත්ත , පකුට කච්චායන හා නිගන්ඨනාතපුත්ත ආදීන්‍ ය. මොවුන්ගෙන් ඇතමෙකු අවිහිංසාවාදය පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ අතර එහිදී වස්සාන කාලයෙහි ධර්ම ප්‍රචාරක කටයුතු වල  යෙදුණු භික්ෂුණ් වහන්සේලාට දෝෂාරෝපණය එල්ල කරන ලදි . එනම් ‘‘ කුමක් හෙයින් ශාක්‍ය පුත්‍ර ශ්‍රමණයන් පණ ඇති තෘණ පැළෑටි පොඩි කරමින් නොයෙක් ක්ෂුද්‍ර ප්‍රාණීන් මිරිකාගෙන ගමින් ගමට ඇවිදින්නා වූද ? මිසදිටු තවුසෝ පවා වැසි කාලයේ එක්තැනකට වී වෙසෙති . කුමක් නිසා මේ සස්නෙහි භික්ෂූහු පමණක් එසේ නොකරන්නේ ද ? ’’ විශේෂයෙන්ම මේ වන විට බුදුන් වහන්සේ තම භික්ෂුණ් වහන්සේලාට මෙබඳු ශික්ෂා පදයක් අනුමත කොට නොතිබුණු බැවින් භික්ෂුණ් වහන්සේලා මෙම වැසි සමයෙහි අතන මෙතන ඇවිදීම නවත්වා එක තැනක විසීමේ ඇති වටිනාකම පිළිබඳව බෞද්ධයන් ද බුදුන් වහන්සේට සැලකර සිටියහ .  මේ පිළිබඳව තොරතුරු ඇසූ බුදුන් වහන්සේ තම උපසම්පදා භික්ෂුණ් වහන්සේලාට වස්සාන කාලයෙහි වස් සමාදන් වන ලෙසට නියම කළහ .
    අනුජානාමි භික්ඛවේ වස්සානේ වස්සං උපගන්තුං ‘‘ මහණෙනි , වස් තුන් මාසයෙහි වස් සමාදන් වන ලෙස අනුදැන වදාරමි ’’ 
       මේ අනුව භික්ෂුණ් වහන්සේලා වැසි සමය තුළ අතන මෙතන ඇවිදීමෙන් , ගමන් බිමන් යාමෙන් වැළකී පිළිවෙතට මුල් තැන දී වාසය කිරීමේ ඇති අගනා බව පැහැදිලි කරමින් එහි උසස් බව දක්වාලීම නිසා මේ වස් විසීමේ චාරිත්‍රය භික්ෂුණ් වහන්සේලා ද ආරම්භ කරන ලදි . කෙසේ වෙතත් යම් භික්ෂුවක් වස් සමාදන් නොවී සිටීමෙන් ඇවැත් සිදු වන බවද බුදුන් වහන්සේ  දේශනා කළ සේක. ‘‘ න භික්ඛවේ වස්සං න උපගන්තබ්බං , යෝ න උපගච්ජෙය්‍ය ආපත්ති දුක්කටස්ස ’’. මෙහිදී යම් භික්ෂුණ් වහන්සේ නමකට වස් එළඹීමේ පහසුව සදහා පෙරවස් සහ පසුවස් ලෙස නියමයන් දෙකක් හදුනාගත හැකිය . එනම් ඇසළ පොහෝ දින භික්ෂුවක් පෙරවස් සමාදන් වන අතර යම් හේතුවකින් එම පොහෝ දින වස් සමාදන් වීමට නොහැකි වූ භික්ෂුවක් නිකිණි පොහෝ දින පසුවස් සමාදන් විය යුතුය . 
  විශේෂයෙන්ම වස් කාලය තුළ භික්ෂුණ් වහන්සේ නමක් විහාරයේ වැඩ වාසය කළ යුතුය . එහිදී භික්ෂුවකට වස් විසීමට තැනක් නොමැති නම් දායකයන්ට දැනුම් දී වැස්සෙන් පින්නෙන් නොතෙමී ජීවත් වීමට තැනක් සකසා ගත යුතුය . මෙලෙස වස් වසන භික්ෂුව වස් විසීමට තෝරාගත් කුමන ස්ථානයක දී වුවද වස් එළඹීමට ප්‍රථම බුදු වදන සිහිපත් කරන බව පෙනේ . එනම් ඉමස්මිං විහාරේ ඉමං තේමාසං වස්සං උපේමි ,  ඉධ වස්සං උපේමි . මේ අයුරින් වස් විසීම ආරම්භ කරන භික්ෂුණ් වහන්සේ එදින පටන් තුන් මාසය සතිකරණය ඇතිව කල් ගෙවිය යුතුය . එනම් වස් විසූ භික්ෂුව සත්තාහකරණය ඇතිව තම අවශ්‍යතාවයන්ට ආරාමයෙන් බැහැර විය යුතුය . එහිදී සවේ මේ අන්තරායෝ න භවිස්ස සත්තාහබ්බන්තරේ පටිනිවත්තිස්සාමි යන වැකිය සිහිපත් කර යළි දින හතක් ඇතුලත විහාරයට වැඩම කළ යුතුය . මෙම වස් කාලය මගින් අර්ථවත් කරන්නේ ගිහි පැවිදි දෙපක්ෂයටම  අධ්‍යාත්මික කටයුතු කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීමට කාලය එළැඹ ඇති බවය . භික්ෂුණ් වහන්සේලා තමන්ගේ විමුක්තිය සදහා වෙර වීර්‍ය දරන අතර ගිහි දායකයන්ද ඒ සදහා යොමු කරමින් ඔවුනට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරමින් මෙම වස් කාලය ගත කරනු ඇත . එහිදී ගිහි ජනතාව භික්ෂුණ් වහන්සේලාට සිව්පසයෙන් උපස්ථාන කරන බව දැකගත හැකිය . 
     වස් කාලයෙහි ආරම්භයත් සමඟ බෞද්ධ පින්වතුන් විහාරස්ථාන කරා ගොස් වැසි සළුව පිළිගන්වා භික්ෂුණ් වහන්සේලාට වස් ආරාධනා කරන අතර මෙය මිහිදු හිමි ලංකාවට බුදුදහම රැගෙන වැඩම කරවීමත් සමඟ ලංකාවේ ප්‍රතිෂ්ඨාපනය වූ බව පෙනේ . එහිදී අතීතයෙහි රජවරුන් පවා මෙම වස් ආරාධනාව සිදු කළ බව දැකගත හැකි අතර දේවානම්පියතිස්ස රජු ලෙන් විහාර ඉදි කර මිහිදු හිමි ප්‍රධාන භික්ෂුණ් වහන්සේලාට වස් ආරාධනා කර තිබේ . මෙලෙස ඉහත සදහන් කළ පරිදි වස් සමාදන් වූ භික්ෂුණ් වහන්සේලා මාස තුනක් වස් විසූ ස්ථානයේම වැඩ වාසය කරයි. එසේ තුන් මසක් වැඩ සිට නිවැරදි ලෙස වස් ශික්ෂාපද ආරක්ෂා කරගෙන සිටි බවට වන පොරොන්දුව ඉන් අනතුරුව සිදු කරන වස් පවාරණයේදී සිදු කරනු ඇත . මෙහිදී ආපත්ති වලින් තොරව සිටි භික්ෂුණ් වහන්සේලා පවාරණ කර්මය සිදු කරයි. විකාල භෝජනා ආදී ආපත්ති වලින් යුත් භික්ෂූන් වස් පවාරණය සිදු කළ යුත්තේ අනෙකුත් සංඝයාගේ අනුමැතිය අනුවය . විශේෂයෙන්ම බුදුන් වහන්සේ මුල් අවධියේදී වස් විසීම පමණක් දේශනා කළ ද පසු කාලයෙහි කඨිනයක් පිළිගැනීමට අවසර දී තිබේ .   ‘‘ අනුජානාමි භික්ඛවේ වස්සං වුත්ථානං භික්ඛූනං කඨිනං අත්ථරීතුං ’’
මෙහිදී සදහන් කරන ලද කඨිනය පිළිබඳව අවධානය යොමු කිරීමේදී එය බුදුසසුනේ කළ හැකි පිංකම් අතර අග්‍ර පිංකමක් ලෙස සදහන් කළ හැකිය . විශේෂයෙන්ම බුදුදහමෙහි එන අටමහ කුසල් අතර එක් කුසලයක් ලෙස මෙය හදුන්වා දිය හැකිය . මෙම අට මහා කුසල් අතර ,

1. කඨින සිවුරක් පූජා කිරීම .
2. අටපිරිකර පූජා කිරීම .
3. ආවාස ගෙයක් තනවා සගසතු කර පූජා කිරීම .
4. බුදුපාමොක් මහ සගනට සගසතු කර දන් දීම.
5. බුද්ධ ධර්මය ලිවීම හා ලියවීම , දහම් පොත්පත් මුද්‍රණය කර දීම.
6. සගසතු කර හෝ බුද්ධ පූජා වශයෙන් කෙත්වතු පිදීම .
7. බුදු පිළිම සෑදවීම , චෛත්‍යය හා විහාර ගෙවල් සෑදවීම .
8. වැසිකිළි තනවා සගසතු කර පිදීම යන මේ පිංකම් අට මහා කුසල් ලෙසින් හදුන්වනු ලැබේ .

   විශේෂයෙන්ම මෙම කඨින චීවර පූජාවක් දායකයන්ට සිදු කළ හැක්කේත් , කඨිනයක් පිළිගත හැක්කේත් ඇසළ පොහෝ දින වස් සමාදන් වී වප් පුර පොහෝ දින වන තුරු මාස තුනක කාලයක් වස් සමාදන් වී පවාරණය සිදු කළ භික්ෂුණ් වහන්සේ නමකට පමණි .  මෙහිදී කඨිනය යන වචනයේ පදානුගත අර්ථය දෙස බැලීමේදී ‘‘ දුකසේ ජීවත් වීම , උසස් කිරීම ’’ වැනි අරුත් ඇති බව ව්‍යාකරණ ග්‍රන්ථ වල සදහන් වේ . කඨින ශබ්දයේ ආගමික අර්ථය අනුව සලකා බැලූ විට ඉතා දුෂ්කර වූ කාර්‍යයන් මෙන්ම ප්‍රශංසාර්භ වූවක් ද වන බව සැලකිය හැකිය . කෙසේ වෙතත් මෙම වස් කාලයෙහි අවසාන ඵලය වන කඨින චීවර පූජාවේදි දායකයින් විසින් පුදනු ලැබූ වස්ත්‍රය මසා ( පඩු පොවා ) , කප් බින්දු තබා සකස් කර ගත් චීවරය ආරාමයේ වස් විසූ සුදුසු භික්ෂුණ් වහන්සේ නමකට පවරනු ලබයි . විශේෂයෙන්ම මෙම කඨින සිවුර සදහා භාවිත කරන වස්ත්‍රය පිළිබඳව අවධානය යොමු කිරීමේදී වර්තමානය තුළ නොමසන ලද වස්ත්‍රයක් පූජා කරන අතර අතීතයෙහි මේ සදහා විවිධ ක්‍රම හරහා වස්ත්‍ර සොයා ගත් අන්දම දැකගත හැකිය . ඒ අතුරින් අලුත් වස්ත්‍ර , පාංශුකූල වස්ත්‍ර ආදිය යොදා ගෙන තිබේ . මෙහිදී මෙම කඨින චීවරය වස් විසූ භික්ෂුණ් වහන්සේලාගේ පහසුව පිණිස තුන් සිවුරට අතිරේකව භාවිත කර තිබෙන අතර මෙය වස් වසා අවසානයෙහි මහා පවාරණයෙන් පවාරණය කළ භික්ෂුවට වප් පුර පොහෝ දින සිට ඉල් පොහෝ දින දක්වා මසක් ඇතුලත කාල සීමාවේදී පූජා කිරීම දැකගත හැකිය .


    මේ අනුව බුදුදහම තුළ ඉතාම වැදගත් පුණ්‍ය කටයුක්තක් ලෙසින් වස් සමාදන් වීමේ කාර්‍යය සහ ඉන් අනතුරුව සිදු කරන කඨින චීවර පූජාව හදුන්වා දිය හැකිය. විශේෂයෙන්ම මෙහිදී ලාංකේය භික්ෂූ සමාජය තුළ භික්ෂුණ් වහන්සේලා ශාසනික මාර්ගය පිළිබඳව මනාව අවබෝධ කර ගෙන සිටින අතර එහිදී තම විහාරස්ථානය කේන්ද්‍ර කොට ගෙන ශ්‍රද්ධා සම්පන්න ජනතාව ඒකරාශී කොට ගනිමින් වස් තුන් මස් කාලසීමාව තුළදී ගිහි පැවිදි සම්බන්ධතාවයන් වඩාත් තීව්‍ර කරමින් සාරධර්ම මගින් යහපත් සමාජයක් නිර්මාණය කිරීමට කටයුතු කරන ආකාරය දක්නට පුළුවනි  . මේ අනුව වස් කාලය මෙන්ම කඨින චීවර මාසය ආගම සහ සමාජය සම්බන්ධ කරන පුරුකක් බවට පත් වී තිබෙන බව දැකගත හැකිය . 

Thursday, May 14, 2020

අලංකෘතම වටදාගෙය - මැදිරිගිරිය


      ශ්‍රී ලංකාවේ ඇතැම් ස්ථූපයන්හි , ස්ථූපය වටා උස් මට්ටම් කිහිපයකට පිහිටන පරිදි ගල් කණු නිර්මාණය කර ඒ මත දැව මාධ්‍යය උපයෝගී කොට ගෙන වහළයක් නිර්මාණය කිරීමෙන් වටදාගෙය නිර්මාණය කරනු ලබයි . මේ ආකාරයෙන් වටදාගෙයක් නිර්මාණය කිරීමට හේතු වූයේ වන්දනාකරුවන්ගේ රැකවරණය පිණිසය . ථූපඝරය, දාගෙය, චේතියඝරය, චේතිය ගෘහ, සෑ ගෙය ආදී වූ නම් වලින් මෙම වටදාගෙය හදුන්වනු ලබන අතර එය ශ්‍රී ලාංකේය ගෘහ නිර්මාණ ශිල්පයේ අද්විතීය නිර්මාණයකි. මෙහිදී අපට ථූපාරාමය, ලංකාරාමය, මැදිරිගිරිය, තිරියාය, මිහින්තලය, අත්තනගල්ල සහ පොලොන්නරුව ආදී ස්ථාන ගණනාවකදී වටදාගෙවල් හමුවන අතර ඒ අතුරින් විශාල ජනප්‍රියත්වයක් නොමැති, නමුත් අලංකාර ගෘහ නිර්මාණ අංග ලක්ෂණ වලින් සමන්විත වටදාගෙයක් ලෙසින් මැදිරිගිරිය වටදාගෙය හැදින්විය හැකිය.



     හිගුරක්ගොඩ සිට කිලෝමීටර 14 පමණ දුර ගෙවා මැදිරිගිරිය නගරයට පැමිණ එතැන් සිට කිලෝමීටර 3.5 පමණ අඹගස්වැව ප්‍රදේශයට ගමන් කිරීමේදී මෙම මැදිරිගිරිය වටදාගෙය හමුවේ . මණ්ඩලගිරිය, මැදිරිගිරිය ආදී නම් කිහිපයකින් හදුන්වන මෙය නිර්මාණය කර ඇත්තේ නොඋස් ස්වභාවික ගල් කුලක් මතය. මෙම මැදිරිගිරිය වටදාගෙය පොලොන්නරු දිස්ත්‍රික්කයේ පිහිටා තිබුණ ද , මෙහි ඉතිහාසය අනුරාධපුර රාජ්‍යය යුගය දක්වා ඈතට දිවයන බව දැකගත හැකිය . එනම් , මහාවංසයේ සදහන් තොරතුරු වලට අනුව කණිට්ඨතිස්ස රජු විසින් මණ්ඩලගිරි විහාරයේ උපෝසථාඝරයක් ඉදි කරවූ බව දැකගත හැකි අතරම ඉන් පසුව විවිධ රජවරුන්ගේ කාලවකවානු වලදී මෙහි විවිධ ඉදිකිරීම් , ප්‍රතිසංස්කරණ සිදුවී ඇති බව දැකගත හැකිය . ඒ අතර දෙවන අග්බෝ රජු , දෙවන සේන රජු , මහා පරාක්‍රමබාහු ආදී රජවරුන් මෙහිදී ප්‍රධාන වේ. එමෙන්ම වරින්වර ලක්දිවට ඇති වූ විදේශීය ආක්‍රමණයන් හේතු කොට ගෙන මැදිරිගිරිය වටදාගෙය ඇතුළු ආරාම සංකීර්ණය විනාශයට පත් කර ඇති බව පෙනෙන අතරම එහිදී කාලිංග මාඝ ආක්‍රමණයෙන් සහ චන්ද්‍රබානු ආක්‍රමණයෙන් විශාල හානියක් සිදුවී තිබේ .




   ඇතැම් ඉතිහාසඥයන් විසින් ලංකාවේ අලංකාරතම වටදාගෙය ලෙසින් හදුන්වනු ලබන මෙම මැදිරිගිරිය වටදාගෙය ආශ්‍රිතව නශ්ඨාවශේෂ ගණනාවක් හදුනාගත හැකිය . ශ්‍රී ලාංකේය ගල් වඩුවන්ගේ දක්ෂතාවය මැනවින් නිරූපණය කෙරෙන වටදාගෙය ආශ්‍රිතව අද වන විට ඉතිරි වී තිබෙන ගල්කණු ඉතා විශිෂ්ට ලෙස නිර්මාණය කර තිබෙන අතර ඒ මධ්‍යයේ කුඩා ස්ථූපයක නටඹුන් හා බුද්ධ ප්‍රතිමාවක් දැකගත හැකිය . මෙම පුරාවිද්‍යා භූමි ප්‍රදේශය තුළ වටදාගෙයට අමතරව ප්‍රතිමාඝර දෙකක් දක්නට ලැබෙන අතර ඒවා ගඩොල්‍ සහ බදාම උපයෝගී කර ගනිමින් නිර්මාණය කර තිබේ . මීට අමතරව තැනින් තැන විසිරී ඇති බෙහෙත් ඔරු ආදිය මගින් කියාපානුයේ මෙම ආරාම සංකීර්ණය තුළ වෛද්‍ය කටයුතු ද සිදු කළ බවකි.





ශ්‍රී ලාංකේය ශාන්තිකර්ම පද්ධතිය ආශ්‍රිත කාන්තා සලකුණ

  පුරාතන ශ්‍රී ලාංකේය ජන සමාජය පිළිබඳව අවධානය යොමු කිරීමේදී ගැමි ජන මානවයා නිරන්තරයෙන් ම ශාන්තිකර්ම සමඟ සහසම්බන්ධ වී සිටි බව දැකගත හැකිය ...