Tuesday, August 18, 2020

පාහියන් වාර්තා තුළින් හෙළිදරව් කෙරෙන ඉන්දියානු ඉතිහාසය


                 රටක ඉතිහාසය හැදෑරීම යනු හුදෙක්ම නිශ්ඵල කාර්‍යයක් නොවනු ඇත . මක් නිසාද යත් මෙහිදී අපට අතීත සිදුවීම් තුලින් වර්තමානය තේරුම් ගෙන එමගින් අනාගතය හැඩගස්වා ගත හැකි වීමයි . මෙම ඉතිහාසය පිළිබඳව කතා කිරීමේදී අපට භාරතීය ඉතිහාසය කිසිසේත් අමතක කළ නොහැකිය. විශේෂයෙන්ම පුරාතන ඉන්දියානු ඉතිහාසය විවිධ විෂයන් යටතේ පුළුල් ලෙස ව්‍යාප්ත වී තිබෙන අතර විවිධ දෘෂ්ටීන් යටතේ මෙම ඉතිහාසය අධ්‍යයනය කළ හැකිය .  මෙම ඉතිහාසය පිළිබඳව අවධානය යොමු කිරීමේදී මූලාශ්‍ර සදහා ප්‍රධාන ස්ථානයක් හිමි වී තිබෙන අතර එහිදී විදේශීය සාහිත්‍යය මූලාශ්‍ර ඉතා වැදගත් ය . ඒ අතුරින් චීන දේශාටක භික්ෂුවක් වූ පාහියන් හිමිගේ වාර්තාවන් සුවිශේෂී ස්ථානයක් ගනු ලබන බව දැකගත හැකිය . 

              එහිදී පාහියන් හිමිගේ වාර්තාවන්හි ඓතිහාසිකත්වය පිළිබඳව අවධානය යොමු කිරීමට ප්‍රථමයෙන් එම වාර්තාවන්හි කේන්ද්‍රීය චරිතය වන පාහියන් හිමියන් පිළිබඳව යම් අවබෝධයක් ලබා ගැනීම යුක්ති සහගත බව පෙනේ . විශේෂයෙන්ම පාහියන් හිමියන් චීනයේ ෂාන් - හ්සි ජනපදයේ පිං - යාං පළාතේ වූ වු-යාං හි උපන් අයෙකි. ක්‍රි.ව 334 දී මෙලොව එළිය දුටු ඔහු ත්සිං වංශයට අයත් වූ බව කියනු ලැබේ . ඔහුගේ ගිහි නම වූයේ කුං යනුයි. මෙම පාහියන් හිමි කුඩා කාලයේ ඔහුගේ පවුලේ සිදු වූ ඛේදනීය සිදුවීම් නිසාම මොහු ඉතා කුඩා වියේදීම ශාසනයට භාර කර තිබේ . එනම් වයස අවු 3 දීය . මෙලෙස බෞද්ධ ශාසනයට ඇතුලත් වීමෙන් පසුව මෙම කුඩා කුං දරුවා පාහියන් නමට පරිවර්තනය විය . මෙම පාහියන් යන නමෙහි තේරුම වූයේ ධර්ම මූර්ති යන්නය . එමෙන්ම එම නමෙහි තේරුම ධර්මයේ බැබලීම නොහොත් ධර්මයේ ව්‍යාප්තිය ලෙසින් අර්ථ දක්වා තිබේ . කුඩා කාලයේ ඉතා දුෂ්කර ජීවිතයක් ගත කර තිබෙන උන් වහන්සේ විවිධ භාදක වලට මුහුණ දෙමින් ඉතා විනයගරුකව වැඩ වාසය කළහ. බොහෝ ශාසනික කටයුතු කළ පාහියන් හිමියන්ට චීනයේදී සම්පූර්ණ විනය පිටකය ලබාගත නොහැකි වීම නිසා ඉන්දියාවට පැමිණ හෝ එකී අඩුව සම්පුර්ණ කරගැනීමට අදිටන් කරගෙන තිබුණි . කෙසේ හෝ වයස අවු 65 වන විට පාහියන් හිමිට ගමන පිටත් වීමට අවස්ථාව ලැබුණි . වයස්ගත වුවද උන්වහන්සේගේ කාය ශක්තිය , ධෛර්යය හෝ බුද්ධිය පිරිහී නොපැවති බව පෙනේ . 

                 ඒ අනුව වයස අවු 65 දී උන්වහන්සේගේ ගමන පිටත් වූ අතර උන්වහන්සේ සමඟ තවත් පිරිසක් ද මේ ගමන සදහා එක් විය. එහිදී ක්‍රි.ව 399 දී හුයි-ජිං , තාඕ-චිං , හුයි-යිං සහ හුයි-වෙයි යන යහළුවන් සිව්දෙනා ද කැටුව පාහියන් හිමි ඉන්දියාව බලා ගමන් ආරම්භ කළේය . කෙසේ වෙතත් මෙම ගමනේදී මෙලෙස පැමිණි සමහරු පෙරලා චීනයටම ගොස් තිබේ . එමෙන්ම සමහරු අති දුෂ්කර මාර්ග ඔස්සේ පැමිණීමේදී මරණයට පත් වූ අතර මෙම පාහියන් හිමි සමඟ ඉන්දියාවට පැමිණි සුළු පිරිස නැවත උන්වහන්සේ සමඟ චීනය බලා නොගොස් ඉන්දියාවේ නතර විය. එහෙයින් මෙම චාරිකාවෙන් පසුව , එනම් අවුරුදු 15කට පසුව පාහියන් හිමි නැවත චීනයට යනු ලැබුවේ තනිවමය. 

            පාහියන් හිමි ඉන්දියාවට පැමිණියේ 2 වන චන්ද්‍රගුප්ත රජුගේ රාජ්‍ය කාලයේදීය . මෙකල ඉන්දියාවේ පැවතියේ ගුප්ත අධිරාජ්‍ය සමයයි. පාහියන් හිමි ඉතා දුෂ්කර ගොඩබිම් මාර්ගයක් හරහා පැමිණ ඉන්දියාවට ඇතුළු වූයේ ගන්ධාර දේශයෙනි. ඉන්පසුව ඉන්දියාවේදී උන්වහන්සේ පෙෂාවෝරය , මථුරාව , කනෞජය , ශ්‍රාවස්ති , බරණැස , කපිලවස්තුව , කුසිනාරාව , වෛශාලිය , පාටලීපුත්‍රය සහ තවත් ස්ථාන බැලීමට ගියේය . පාහියන් හිමි වැඩිවශයෙන් බුදුදහම පිළිබඳ පූජනීය ස්ථානයන් වෙතම ඇදී ගිය බව දැකගත හැකිය . 

            මෙලෙස ඉන්දියාවට පැමිණි පාහියන් හිමි මධ්‍ය ඉන්දියාවේ වසර 6ක්ද , ලංකාවෙහි වසර 2ක්ද , ඉතිරි සත් අවුරුද්ද ඔහුගේ ගමනට වැය විය . පාහියන් හිමි ලංකාවට පැමිණියේ මහානාම රජුගේ කාලයේ වන අතර ලංකාවෙහි රැදී සිටි වසර දෙක අභයගිරි විහාරයේ වැඩ විසූහ . පාහියන් හිමි ඉන්දියාවෙහි සිටි වසර 6ක කාලයේදී පාටලීපුත්‍රයේ වසර 3ක් කල් ගෙවූ අතර එම සිටි කාලසීමාව තුළදී උන්වහන්සේ සංස්කෘත භාෂාව ඉගෙනගනු ලැබීය . එසේම පාටලීපුත්‍රයේ සිටි කාලසීමාවේදී අශෝකයන්ගේ අලංකාර මාලිගයේ නටඹුන් ඔහුගේ විශ්මය දැනවීය. මෙහිදී පාහියන් හිමි ඉන්දියාවේ බොහොමයක් බෞද්ධ සිද්ධස්ථානයන් වෙත ගමන් කළ අතරම ඔහු එම ස්ථානයන් වලට ගමන් කරන විටදී එම ස්ථානයන්හි දක්නට ලැබුණු ස්වරූප පමණක්ම නොව එම සිද්ධස්ථානයන්හි ඉතිහාසය පිළිබඳව තොරතුරු පවා ඔහුගේ දේශාටන වාර්තාවන්හි සදහන් කර තිබෙනු පෙනේ . 

                     විශේෂයෙන්ම පාහියන් හිමි ඉන්දියාවට පැමිණීමේ බලාපොරොත්තු සඵල වූ බව උන්වහන්සේ නැවත චීනය බලා යන විට රැගෙන යනු ලැබූ පොත්පත් තුලින් පෙනේ . එනම් එසේ රැගෙන ගිය පොත්පත් අතර මහාසාංඝික විනය , සර්වස්තවාදී විනය , මහීසාසක විනය , නිර්වාණ සූත්‍ර ආදී ග්‍රන්ථ රැසක් විය . කෙසේ වෙතත් පාහියන් හිමි පෙරළා චීනයට යන විට ඔහුගේ වයස අවු 79ක් විය . 


දේශපාලන ඉතිහාසය 

           මෙහිදී පැරණි ඉන්දියානු දේශපාලන ඉතිහාසය පිළිබඳව හැදෑරීමේදී පාහියන් හිමිගේ දේශාටන වාර්තා ඉතා වැදගත් තැනක් ගනු ලබයි. ගුප්ත යුගයේ ඉන්දියාවට පැමිණි පාහියන්ගේ වාර්තාව ප්‍රධාන කොට ඇති අභිලේඛන සම්ප්‍රදායය ඔස්සේ ගුප්ත යුගයේ ක්‍රියාත්මක වූ පාලනය පිළිබඳව අවබෝධයක් ලැබිය හැකිය. විශේෂයෙන්ම 2වන චන්ද්‍රගුප්ත රජු කළ ඉන්දියාවට පැමිණි මෙම පාහියන් හිමි ඔහුට සමකාලීන ඉන්දියාවේ පැවති ගුප්ත අධිරාජ්‍ය සමය පිළිබඳව පුළුල් විස්තරයක් ඉදිරිපත් කර තිබේ . 

               මෙම කාලය තුළදී ගුප්ත අධිරාජ්‍ය ඉන්දියාවේ බලසම්පන්නම රාජ්‍යය බවට පත් වී තිබූ අතර ගුප්ත අධිරාජ්‍යයේ ශ්‍රේෂ්ඨත්වය ඇති වූයේ එහි විශාලත්වයෙන් පමණක් ම නොවැ, එහි රාජ්‍යය පාලනය පිළිබඳව බුද්ධිමත් පරමාර්ථය අතින් ද විය. ගුප්ත අධිරාජ්‍ය මනා ලෙස පාලනය වූ බවත් , සමෘද්ධිමත් තත්ත්වයක පැවති බවත් පාහියන් වන්දනාකරු කියයි. උන්වහන්සේගේ වාර්තාවන්ට අනුව පැහැදිලි වනුයේ ගුප්ත අධිරාජ්‍ය ප්‍රබල වීමට එහි භූගෝලීය විශාලත්වය පමණක් නොව එහි පාලන කටයුතු කරනු ලැබූ රජවරුන්ගේ බුද්ධිමත්භාවය ද බලපා තිබේ . මොහුගේ වාර්තාවන්ට අනුව දෙවන චන්ද්‍රගුප්ත රජු යටතේ ගුප්ත රාජවංශය ස්වකීය උච්චතම තත්ත්වයට පත්ව තිබූ බව පෙනේ.එසේම මෙම පාහියන් වාර්තා වලට අනුව පෙනී යන කරුණ වනුයේ මෞර්යය සහ ශුංග රාජ්‍ය පාලන කාලවලදී පැවති පාලන ක්‍රමයන් අනුගමනය කරමින් ගුප්ත අධිරාජ්‍ය ගොඩනගා තිබේ . 

             මෙම ගුප්ත අධිරාජ්‍ය සමය පිළිබඳව අධ්‍යයනය කිරීමේදී එහි දේශපාලන අංශය තුළ අධිකරණ ක්‍රමය ද ප්‍රබල දායකත්වයක් ලබා දී තිබෙන බව පෙනේ . විශේෂයෙන්ම මෙම ගුප්ත යුගයේ ක්‍රියාත්මක අධිකරණ ක්‍රමය ගැන පාහියන්ගේ වාර්තා තුලින් තොරතුරු ලැබේ . නමුත් ඒවා අතිශයෝක්තියෙන් යුක්ත වේ. පාහියන් පවසන පරිදි ගුප්ත දඩුවම් ක්‍රම ඉතා ලිහිල් වූ ඒවා විය . එහිදී මරණීය දඩුවම නොදුන් බව ද පාහියන් පවසයි . කැරලි ගැසූ අයට පවා ලිහිල් දඩුවම් දුන් බව දක්වා තිබේ . පාහියන් හිමි සදහන් කර තිබෙන මෙම තොරතුරු යම් අතිශයෝක්ති ස්වරූපයෙන් යුක්ත යැයි පැවසීමට සිදුවනුයේ ගුප්ත යුගයේ මරණීය දඩුවම නොදුන් බව පවසන හෙයිනි . ධර්මාශෝක රජුගේ කාලයේ බුදුදහමෙහි ඇති වූ සීග්‍ර ප්‍රවර්ධන කාලයේ පවා මරණ දඩුවම අවලංගු කර නොතිබුණු බව මෞර්ය අධිකරණ ක්‍රමය පිළිබඳව අධ්‍යයනය කිරීමේදී පෙනේ . එසේ නම් එවැනි කාලයකදීත් මරණ දඩුවම අවලංගු නොකලා නම් ගුප්ත යුගයේ මරණ දඩුවම ක්‍රියාත්මක නොවූ බව පැවසීම අතිශයෝක්ති ස්වරූපයක් ගනු ලබයි . 

              ගුප්ත අධිරාජ්‍ය සමයේ පැවති දේශපාලන ස්වරූපය පිළිබඳව අධ්‍යයනය කිරීමේදී මෙකල පැවති ආදායම් පාලනය පිළිබඳව ද පාහියන් වාර්තාවල සදහන් කර තිබේ . අධිරාජ්‍යයක දේශපාලන තත්ත්වය ඉතා සමෘද්ධිමත්ව පැවතීමට නම් එම රාජ්‍යයෙහි ආර්ථිකය හොදින් පැවතීම අත්‍යාවශ්‍ය කරුණකි. එහිදී ගුප්ත යුගයේ ආදායම් පාලනය ද රටවැසියාට පීඩාකාරී නොවූ බව පාහියන් හිමිගේ විස්තරයේ දැක්වේ. එනම් බඹරු මල් නොතලා රොන් ගන්නාක් මෙන් රජු රටවැසියාගෙන් බදු අය කළ බව දක්වයි . ඒ අනුව ආර්ථික කටයුතුවලදී ජනතාවට දැඩි පීඩනයක් නොදුන් බව පෙනී යන කාරණයකි . එසේම ඉන්දියාවේ සංචාරය කළ බෞද්ධ වන්දනාකරුවෙකු වූ පාහියන් ඒ රාජ්‍යය සාමාන්‍යයෙන් සතුටින් වැජඹුණු රාජ්‍යයක් වී යැයි විස්තර කරයි . ගුප්ත යුගය තුළ එහි ප්‍රධාන පාලන මධ්‍යස්ථානය වූ පාටලීපුත්‍රය පිළිබඳව ද පාහියන් හිමි තොරතුරු රැසක් ඉදිරිපත් කර තිබේ. එහිදී පාහියන් හිමි දී ඇත්තේ ශාන්තිපූර්ණ, සමෘද්ධිමත් මැනවින් පැවති දේශයක සිත්කළු විවරණයකි. එයට හේතුව වූයේ මෙතෙක් ඉන්දියාවේ පැවති ශ්‍රේෂ්ඨ අධිරාජ්‍යයන් පාටලීපුත්‍රයේ බිහිවීමය. එපමණක් නොව ගුප්ත අධිරාජ්‍යයෙහි ආරක්ෂක යුධ හමුදාව පිළිබඳව ද පාහියන් හිමියන් සිය දේශාටන වාර්තාවන්හි කරුණු සදහන් කර තිබේ . එහිදී මුලින් පැවති අධිරාජ්‍යයන්හි පැවති හමුදා පාලන ප්‍රතිපත්තිවල ස්වරූපය වෙනස් නොවූ අතර මෙකල හමුදා නිලධාරීන්ට වැටුප් වශයෙන් ඉඩම් ලබා දුන් බවක් දක්නට ලැබේ. එසේම පාහියන් හිමි දෙවන චන්ද්‍රගුප්ත රජුට සිටි අංගාරක්ෂක භටයන් ගැන ද තොරතුරු සදහන් කර තිබේ. 


ආගමික ඉතිහාසය 


             පාහියන් හිමිගේ ඉන්දීය ගමන සිදු වනුයේ මූලික වශයෙන්ම ආගමික අදහසක් පෙරදැරි කොට ගෙනය. එනම් අංග සම්පූර්ණ විනය පිටකය ඇතුළු ආගමික ග්‍රන්ථ , ආගමික චින්තාවන් පිළිබඳව අධ්‍යයනය කිරීම සදහා ය. එම නිසාම පාහියන් හිමිගේ දේශාටන වාර්තා තුලින් වැඩි වශයෙන් ආගමික තොරතුරු හෙලිදරව් වන බව පෙනේ . විශේෂයෙන්ම උන්වහන්සේ ඉන්දියාවේ සෑම ප්‍රධාන සිද්ධස්ථානයක් වෙතම ගොස් එහි අතීත තොරතුරු සහ සමකාලීන කාලයෙහි තොරතුරු ඉදිරිපත් කර තිබේ . පාහියන් හිමි සදහන් කරන පරිදි පාටලීපුත්‍ර පුරය ගැන පැවසීමේදී සම්බුද්ධ ප්‍රතිමා තැන්පත් කොට නගර ප්‍රදක්ෂිණාව පිණිස මසක් පාසා ගමන් ගත් තේජාන්විත රථ යාත්‍රාවන් ගැන ද කරුණු පවසයි . ඒ සාධු ක්‍රීඩා අවස්ථාවෙහි ක්‍රීඩා , සංගීත සහ පුෂ්ප ධූප පූජා ද උතුම් දන් වැට පැවැත්වීම ද කරන ලදහ. ඒ අනුව භාරතයේ එකල පැවති ප්‍රධාන අගනගරය වූ පාටලීපුත්‍රයේ සුවිශේෂී පිංකම් සිදු කර තිබෙන බව පෙනේ . එපමණක් නොව ගන්ධාර රට, තක්සලාපුර , පුරුෂපුර ආදී වයඹදිග ඉන්දියානු ආගමික ස්ථානයන් පිළිබඳව මෙන්ම කන්‍යාකුබ්ජය , කෝසල දේශය , කපිලවස්තුව , වෛශාලිය ආදී මධ්‍ය ඉන්දියානු ප්‍රදේශයන්හි ආගමික සිද්ධස්ථානයන් පිළිබඳව ද සදහන් කර තිබේ . එහිදී එම ස්ථානයන් වල සංඥා නාම නිර්මාණය පිළිබඳව ද දක්නට පුළුවනි . එහිදී තක්සලා යන්නෙහි තේරුම සිදැලු හිස යනුයි . අප බුදුන් වහන්සේ පෙර බෝසත් සමයෙහි මෙහිදී සිය හිස සිද දුන්හ . එබැවින් මෙයට තක්ෂිලා යන නම විය. 

            පාහියන් හිමියන් ඉන්දියාවට පැමිණි සමකාලීන කාලයේ පැවති ගුප්ත අධිරාජ්‍ය සමයේ වූ ආගමික තත්ත්වය පිළිබඳව මනා විස්තරයක් උන්වහන්සේ සිදු කර තිබේ . විශේෂයෙන්ම මෙම ගුප්ත අධිරාජ්‍ය සමයේදී විවිධ ආගමික නිකායන්ගේ වර්ධනය වීමක් දැකගත හැකිය . එනම් මෙකල බුදුදහම , ශෛව ආගම , වෛශ්ණ ආගම , ශක්ති වන්දනය ආදිය පැවති බව පෙනේ . එහිදී මෙකල නොයෙක් ආගම් අදහන්නන් පොදු සහෝදරත්වයකින් බැදි මිත්‍ර ධර්මයත් , සමගිතාවත් පැවතුණු බවට පාහියන් වන්දනාකරුගේ ගමන් විස්තරය සාක්ෂි දරයි . ඒ අනුව ආගමික සහයෝගයෙන් මෙකල ජනතාව කටයුතු කර තිබෙන බව පෙනේ . එහිදී රාජ්‍යය පාලකයා ද සෑම ආගමකටම අනුග්‍රහය දක්වා තිබේ. මෙකල විෂ්ණු , ශිව , ලක්ෂ්මි , කාර්තිකේය , පාර්වති ආදී දෙවිවරු ප්‍රධාන වශයෙන් ඇදහූ අතර විෂ්ණු දෙවියන්ගේ දස අවතාරයන් පිළිබඳව සංකල්පය සහ ත්‍රිමූර්ති සංකල්පය ඉතා ප්‍රබල ලෙසින් ජනප්‍රියව පැවති බව පෙනේ . කෙසේ වෙතත් මෙම ගුප්ත අධිරාජ්‍ය සමයේදී බ්‍රාහ්මණ හින්දු ආගම ප්‍රධානම ආගම වූ බව දක්නට පුළුවනි . විශේෂයෙන්ම බුද්ධ ශාසනය අනුක්‍රමයෙන් එහි වූ ජීව ශක්තියෙන් දුබල වන්නට වන. පාහියන් සංචාරකයාගේ වශීකෘත වූ දර්ශනයට මේ ඛේදාත්මක සිද්ධිය නොපෙණුන නමුත් ගුප්ත සමයේදී බුදුදහම ඇත්ත වශයෙන්ම යටත් පිරිසෙයින් මධ්‍ය දේශයෙහි පිරිහෙමින් පැවැත්තේය. ඒ අනුව පාහියන් හිමියන්ගේ ගමන් විස්තරයන් අධ්‍යයනය කිරීමෙන් පුරාතන ඉන්දියානු ඉතිහාසයෙහි ආගමික තත්ත්වය පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා ගත හැකිය . මෙහිදී මෙම පාහියන් හිමිගේ දේශාටන වාර්තාවන්හි වටිනාකම වැඩි වනුයේ ඔවුන් ඉන්දියාව පිළිබඳව තබනු ලබන වාර්තාවන්හි අතිශයෝක්තිමය කරුණු අල්ප වීමය.


No comments:

Post a Comment

ශ්‍රී ලාංකේය ශාන්තිකර්ම පද්ධතිය ආශ්‍රිත කාන්තා සලකුණ

  පුරාතන ශ්‍රී ලාංකේය ජන සමාජය පිළිබඳව අවධානය යොමු කිරීමේදී ගැමි ජන මානවයා නිරන්තරයෙන් ම ශාන්තිකර්ම සමඟ සහසම්බන්ධ වී සිටි බව දැකගත හැකිය ...