ලෝක මට්ටමින් ගත් කළ ගුහා ආශ්‍රිතව දක්නට ලැබෙන සිතුවම් ප්‍රධාන වශයෙන් වර්ග දෙකකට බෙදා වෙන් කළ හැකිය. එනම් ඉතාමත් තාත්වික අන්දමින් නිර්මාණය කර තිබෙන වර්ණ සංකලනයන් මනාව සිදු කර ඇති නිර්මාණාත්මක බවින් උසස් ගුහා චිත්‍ර සහ ඉතාමත් සරල උපක්‍රම භාවිත කරමින් ප්‍රාථමික ගෝත්‍ර හෝ මුල්කාලීන මානවයන් නිර්මාණය කර තිබෙන ප්‍රාථමික ගුහා චිත්‍රයි. මෙහිදී අපගේ සාකච්ඡාවට බදුන් කිරීමට අපේක්ෂා කරනු ලබන්නේ ප්‍රාථමික ගුහා චිත්‍ර වර්ගීකරණය පිළිබඳවය . ඒ පිළිබඳව අධ්‍යයනය කිරීමේදී මූලික වශයෙන් ඉන්දියාවේ ගල් ගුහා ආශ්‍රිතව දක්නට ලැබෙන ප්‍රාථමික ගුහා චිත්‍ර ප්‍රධාන කොට සැලකිය හැකිය .
ලෝකයේ ප්‍රාථමික ගුහා චිත්‍ර සුලභව හමුවන රටවල් අතර සයවන ස්ථානය හිමි වන රට වනුයේ ඉන්දියාවයි. හිමාලය කදු පාමුල ඇති කුඩා කදු ආශ්‍රිතවත්, දකුණු දිග පිහිටි නිල්ගිරි කදු ආශ්‍රිතවත් මෙම ගුහා චිත්‍ර වැඩි වශයෙන් අපට නිරීක්ෂණය කළ හැකිය . ඒ අතරිනුත් බිම්බෙට්කාර් ප්‍රදේශය විශේෂ ස්ථානයක් හිමි කර ගනී. මෙම ප්‍රාථමික ගුහා චිත්‍ර නිරීක්ෂණය තුළ ආදි මානවයන්ගේ ජීවිතයේ විවිධ හැසිරීම් රටා අවබෝධ කරගත හැකිය . පුරාවිද්‍යාත්මක ගවේෂණ හරහා හමුවන අවශේෂ වලින් පමණක් ඉතිහාසය ගොඩනගා ගැනීමට ඇති හැකියාව දුෂ්කර වේ. නමුත් මෙවැනි සිතුවම් අපට එම දුෂ්කරතාව මගහරවා ගැනීමට පුළුවනි . මෙම රූප නිරීක්ෂණය තුළ ආදි මානවයන් ස්ථීර ජනාවාසකරණයට පෙර යුගයේදී , එනම් ප්‍රාග් ඓතිහාසික යුගය තුළ තම එදිනෙදා ජීවිතය ගත කළ අයුරු , දඩයම් කළ අයුරු , ආහාර ද්‍රව්‍යයන් රැස් කළ අයුරු , විවිධ අභිචාර ක්‍රම, ඔවුන් විවේකය ගත කළ ආකාරය , ලිංගික ජීවිතය , පවුල් සබදතා ආදිය පිළිබඳව මනා අවබෝධයක් ලබා ගත හැකිය . එහිදී ඔවුන් ඇද තිබෙන සිතුවම් මෙසේ වර්ග කිරීමට පුළුවනි .
• තනි සතුන් හෝ සතුන් කිහිපදෙනෙකු පමණක් දැකිය හැකි රූප
• සත්ත්ව රූප සහ මානව රූප එක තලයක ඇද ඇති රූප
• මානව රූප පමණක් ඇද ඇති අවස්ථා
විශේෂයෙන්ම මෙහිදී මෙම සිතුවම් ප්‍රාථමික ගුහා චිත්‍ර ලෙසින් නම් කරනු ලබන්නේ අන් කරුණක් නිසාම නොවේ. එනම්, මේවායේ ශෛලිය සහ නිර්මාණය කිරීම සදහා යොදා ගත් තාක්ෂණික ක්‍රමවේදය ඉතා ප්‍රාථමික ස්වභාවයක් ගන්නා නිසාය. මෙම සිතුවම්වල ස්වභාවය පිළිබඳව කතා කරන විට ප්‍රධාන වශයෙන් පහත පරිදි කරුණු වශයෙන් පෙළගැස්විය හැකිය . එනම් ,
• මෙම සිතුවම් නිර්මාණය කර ඇත්තේ ගල් ගුහා ආශ්‍රිතවය .
• ගල් ගුහාවේ වියන් බිත්තිය ( වහල ), පැති බිත්තිවල නිර්මාණය කර තිබේ .
• සිතුවම් තලය කිසිදු සකස් කිරීමක් නොකොට සිතුවම කුරුටු ගෑම කර තිබේ . එනම් , පිහිටි ගල් ගුහාව තුළ ස්වභාවික තත්ත්වය ප්‍රයෝජනයට ගෙන තිබේ .
• සිතුවම නිර්මාණය කරන පින්සල බවට පත්වනුයේ අතේ ඇගිලි හෝ සියුම් ගල් කැබලිය.
• වර්ණ සෑදීම සදහා එක එක වර්ගයේ පාෂාණ කුඩු කොට ජලය හෝ ගස්වල යුෂ භාවිත කර තිබේ . කේඨය භාවිත කරද දිය කර ගෙන ඇත. සතුන්ගේ රුධිරය ද භාවිතයට ගෙන තිබේ .
මෙම ගුහා සිතුවම් නිර්මාණය කරන ලද ආකාරය අනුව තවත් ප්‍රධාන කොටස් දෙකකට බෙදා වෙන් කළ හැකිය . එනම් ,
• සූරන ලද සිතුවම් - මුල් කාලීන මානවයා සීරුම් හා කැපුම් මෙවලම් භාවිත කර අදිනු ලැබූ සියුම් කැපුම් දාර සහිත සිතුවම්
• අදින ලද සිතුවම් - පසුකාලීන මානවයන් පාෂාණ කුඩු කොට අතින් ඇද ඇති සිතුවම්
විශේෂයෙන්ම මෙම ආදි මානවයන් නිර්මාණය කළ සිතුවම් අධ්‍යයනය කිරීමේදී ඒවා හරහා ඉස්මතු කරුණු පිළිබඳව අවධානය යොමු කිරීමේදී ඔවුන් සිතුවම් නිර්මාණය සදහා භාවිත කළ වස්තු විෂයන් කිහිපයක් හදුනාගත හැකිය .
• සත්ත්ව රූප
• මානව රූප
• විවිධ ආයුධ
• මානව රූප වලට සමාන මිත්‍යා රූප
• විවිධ සැරසිලි රටා
මෙම ප්‍රධාන වස්තු විෂයන් දෙස අවධානය යොමු කර බැලීමේදී ප්‍රාග් ඓතිහාසික මානවයන්ගේ දේශපාලන , ආර්ථික , ආගමික , සංස්කෘතික ආදී වූ දිවි පැවැත්මන් පිළිබඳව මනා අවබෝධයක් ලබා ගත හැකිය .
01. දඩයමේ යෑම නිරූපණය කරන මානව රූප
ඉන්දියානු අර්ධ මහද්වීපයෙහි විසිරී පවතින ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් ගුහා රාශියක පැරණි සිතුවම් රැසක් හදුනාගත හැකි අතර ඒ තුළ මානව රූප වලට හිමි වනුයේ ප්‍රධාන ස්ථානයකි. ඒ අතුරින් URDEN නම් ස්ථානයෙන් හමුවන සිතුවම් ඉතාම වැදගත් වේ . විශේෂයෙන්ම රක්ත වර්ණයෙන් ඇද ඇති මෙම සිතුවම් මෙසොලිතික යුගයට අයත් වන අතර දඩයම නිරූපණය කරන සිතුවම් රැසක් දැකගත හැකිය . එහි දක්නට ලැබෙන එක් සිතුවමක මිනිසෙකු විසින් දුනු ඊතල භාවිත කරමින් ගවයෙකු දඩයම් කරන අයුරු නිරූපණය කර තිබේ . 10cm ප්‍රමාණයෙන් යුක්ත වූ මෙම සිතුවමෙහි මානව රූපය රේඛීයව දක්වා ඇති අතර ගව රූපය ද ඉතා පැහැදිලිව හදුනාගත හැකිය . මීට අමතරව මෙම ගල් ගුහාවෙහි ඇති තවත් සිතුවමක ඌරෙකුගේ යැයි සැක කළ හැකි සිතුවමක් ද දක්නට පුළුවනි .
එමෙන්ම Gupha Masir නම් ස්ථානයෙන් හමුවී තිබෙන සිතුවමක ද දඩයම් කිරීම නිරූපණය කරන සිතුවමක් හදුනාගත හැකි අතරම එම චිත්‍රය ද රතු පැහැයෙන් නිර්මාණය කර තිබේ . 10cm පමණ වන මෙම සිතුවමෙහිද ගවයෙකු දක්වා ඇති අතර එම ගවයාගේ පිට මත මිනිසෙකු නැග සිටින අයුරු දක්නට ලැබේ . ඊට අමතරව තවත් මිනිසෙකු හෙල්ලක් වැනි උපකරණයක් භාවිත කරමින් එම සතාට පහර දෙන අයුරු නිරූපණය කර තිබේ . මීට සමාන තවත් සිතුවමක් ඉන්දියාවේ Dharampuri ( Bhopal ) නම් ස්ථානයෙන් හමුවී ඇත . එහිද ගවයෙකු දඩයම් කරන ආකාරයක් දක්වා ඇති අතර මිනිසුන් තිදෙනකු හෙල්ල වැනි උපකරණ යොදා ගනිමින් ඔවුන්ගේ ආහාර අවශ්‍යතාවය සපුරා ගැනීම සදහා ගවයා දඩයම් කරන අයුරු දැකගත හැකිය . මෙම දඩයම් කරන ආකාරය විදහා දක්වන සිතුවම් අතර තවත් එක් සිතුවමක් ලෙසින් Rajat Pachmari නම් ස්ථානයෙන් හමුවන සිතුවම ඉතාම වැදගත් වේ . එනම් එම ස්ථානයෙන් හමුවන සිතුවමෙහි නිරූපණය කරනු ලබන්නේ කාන්තාවක් මසුන් මැරීම සදහා යන අවස්ථාවක්ය. අතීත ජන සමාජය තුළ බොහෝ අවස්ථා වලදි ආහාර අවශ්‍යතාව සපුරනු ලැබුවේ පිරිමින් විසිනි . නමුත් මෙම ස්ථානයේ දක්නට ලැබෙන සිතුවම හරහා කාන්තාවන් ද දඩයම් කටයුතු වල යෙදී සිටි බව හදුනාගත හැකිය .
02. සත්ත්ව ගෘහස්ථීකරණය.
මුල්ම කාලපරිච්ඡේදයේ කැලෑබද ප්‍රදේශ වල ජීවත් වූ සතුන් දඩයම් කිරීම මානවයන්ගේ ජීවන රටාව තුළ ප්‍රධාන අංගයක්ව පැවති නමුත් ක්‍රමානුකූලව සමාජ රටාවෙහි සිදු වූ යම් යම් වෙනස්වීම් සමඟ ඔවුන්ගේ දින චර්‍යාවද වෙනස් වූ බව දැකගත හැකිය . ඒ අනුව මෙම මානවයන් සත්ත්ව ගෘහස්ථීකරණය සදහා යොමු වූ බව පෙනේ . මේ සම්බන්ධ තොරතුරු රැසක් ඉන්දියාවේ විවිධ ප්‍රදේශ වල පැවති ගල් ගුහා ආශ්‍රිතව දක්නට ලැබෙන අතර ඒ හරහා මේ පිළිබඳව තොරතුරු රැසක් හදුනාගත හැකිය . එහිදී Gupha Masir නම් ස්ථානයෙන් හමුවන සිතුවමක ගවයෙකු වැනි සතෙකු මිනිසුන් දෙදෙනෙකු විසින් අල්වා ගෙන සිටින ආකාරයක් නිරූපණය කර තිබේ . එම සත්ත්වයාගේ ශරීරය දෙස අවධානය යොමු කිරීමේදී ඉතා අලංකාර මෝස්තර රටාවකින් අලංකාර කර තිබෙන බවක් දැකගත හැකිය . මීට අමතරව Bhimbetkar සහ Shivamandar නම් ස්ථාන ද්විත්වයෙහි දක්නට ලැබෙන සිතුවම් දෙස බැලීමේදී සතුන් ගාල් කර සිටින බවට දක්නට පුළුවනි . එහිදී සත්ත්වයා වටා වැටක් නිර්මාණය කර තිබෙන අයුරු මනාව නිරූපණය කර තිබේ .
03. පවුල් සබදතා දැක්වෙන රූප
මුල් අවධියේ තනි තනිව ජීවත් වූ මානවයන් පසු කාලය වන විට කණ්ඩායම් වශයෙන් ඒකරාශි වී සිය ජීවිතය පවත්වා ගෙන යාමට කටයුතු කළ ආකාරය අපට පැරණි ගුහා සිතුවම් අධ්‍යයනය කරන විට හදුනාගත හැකිය . විශේෂයෙන්ම ඉන්දියාවේ Lakhjoar නම් ස්ථානයෙන් හමුවී තිබෙන සිතුවමකට අනුව ගල් ගුහාවක් තුළ සම්පූර්ණ පවුලක් වශයෙන් ජීවත් වන ආකාරයක් නිරූපණය කරන සිතුවමක් දක්නට පුළුවනි . රක්ත වර්ණයෙන් යුතුව නිමවා ඇති මෙසොලිතික යුගයට අයත් මෙම සිතුවම හරහා මානවයන් කිහිපදෙනක් ආහාර ගැනීමක් නිරූපණය කරයි. එහි පැහැදිලි ලෙසම කාන්තාවක් ඇද තිබෙන අතර ඇයගේ කුසෙහි දරුවෙකු සිටින ආකාරය මනා ලෙස සිතුවමට නගා තිබේ . ඔවුන් ගනු ලබන ආහාර අතර මත්ස්‍යයන් ද වූ බව දැකගත හැකිය .
මීට අමතරව Firengi නම් ස්ථානයෙන් හමුවී තිබෙන 20cm ප්‍රමාණයෙන් යුතු සිතුවම පිළිබඳව අවධානය යොමු කිරීමේදී ඒ තුලින් පිරිසක් එකට එක් වී වාසය කළ බවට තොරතුරු හදුනාගත හැකිය . මිනිසුන් සහ සතුන් එකම රූප තලයක් දක්වා තිබෙන මෙම සිතුවමෙහි කාන්තාවන් නිරූපණය කිරීමේදී දිග කෙස් කළඹක් සහිතව ඇද ඇති බව පෙනේ .
04. ලිංගික ජීවිතය නිරූපණය කරන රූප
ලොව වෙසෙන සෑම ජීවියෙකුගේම පොදු අරමුණක්, අපේක්ෂාවක් ලෙසින් සිය වර්ගයා බෝ කිරීම සදහන් කළ හැකිය . ඒ සදහා ලිංගික චර්‍යාවෙහි යෙදීම සිදු කළ යුතු අතර මේ පිළිබඳ සාධක රැසක් ඉන්දියාවේ පැරණි ගුහා සිතුවම් ආශ්‍රිතව දක්නට පුළුවනි . විශේෂයෙන්ම Bhimbetkar නම් ස්ථානයෙන් හමුවී තිබෙන 5cm ප්‍රමාණයේ සිතුවම් කිහිපයකම මෙවැනි ලිංගික සංසර්ග ඉරියව් නිරූපණය කර තිබේ. මෙම සිතුවම් නිර්මාණය පිළිබඳව අධ්‍යයනය කිරීමේදී පසුකාලීනව රචනා කරන ලද කාම සූත්‍රය නම් ග්‍රන්ථයෙහි දක්වන ලිංගික ඉරියව් වලට සමාන අයුරින් නිර්මාණය කර තිබෙන බව පෙනේ . ඇතැම් විට මෙම ගුහා සිතුවම්වල දිගුවක් කාම සූත්‍රය තුලින් නිරූපණය වන බව පවා සදහන් කළ හැකිය . මේවායෙහි පුරුෂ රූප තුළ ඔවුන් සිය ලිංගය ප්‍රාණවත් තබා සිටින අයුරු දක්නට ලැබේ . මෙම සිතුවම් අතර ඇතැම් ඒවායෙහි දෙදෙනාම සිට ගෙන සිටින අයුරින් නිර්මාණය කර තිබෙන අතර තවත් සිතුවම්වල කාන්තාව වැතිරී සිටින අයුරින් ද නිර්මාණය කර තිබේ . මීට අමතරව Pachmari සහ Jaora නම් ස්ථානවලින් ද ලිංගික සංසර්ග ඉරියව් දැක්වෙන රූප සටහන් හමුවී තිබෙන අතර ඒවා ඇතැම් විට Bhimbetkar වලින් හමුවූ සිතුවම් වලට වඩා සංකීර්ණ ස්වභාවයක් ගනු ලබයි .
05. ජලාශ්‍රිත ප්‍රවාහනය
ප්‍රාථමික ජන සමාජයෙහි එක්තරා වර්ධිත අවස්ථාවක් මෙම සිතුවම් හරහා නිරූපණය වන බව දක්නට පුළුවනි. එනම් මොවුන් ගොඩබිම කේන්ද්‍ර කර ගනිමින් ගමනාගමන කටයුතු සිදු කර තිබෙන අතරම ඉන් ඔබ්බට යමින් ජලය කේන්ද්‍ර කර ගනිමින් ද තම අවශ්‍යතා ඉටු කරගෙන තිබෙන බව පෙනේ. විශේෂයෙන්ම Chamardi නම් ස්ථානයෙන් හමුවී තිබෙන සිතුවම් වලට අනුව ඔවුන් බෝට්ටු භාවිත කළ බවට සාධක හදුනාගත හැකිය . එහිදී ඔවුන් අලංකාර ලෙස මෙම සිතුවම් කර තිබෙන අතර බොහෝ අවස්ථා වලදි පුද්ගලයන් දෙදෙනෙකු සහිතව මේවා ඇද තිබෙන බව දක්නට පුළුවනි . මෙම සිතුවම් ඉතා හොදින් පරීක්ෂා කර බැලීමේදී ඔවුන්ගේ හස්තයන් වල කුමන හෝ උපකරණයක් ඇද ඇති අතර ඒවා කුමන උපකරණද යන්න නිශ්චිතවම හදුනාගත නොහැකිය .
06. ගොඩබිම් ප්‍රවාහනය දැක්වෙන රූප
ජලය භාවිත කරමින් ප්‍රවාහන කටයුතු කලාක් මෙන්ම ආදි මිනිසා ගොඩබිම කේන්ද්‍ර කර ගනිමින් ද ඔවුන්ගේ ප්‍රවාහන කටයුතු සිදු කර තිබෙන බව පෙනේ . එනම් Adhar නම් ස්ථානයෙන් හමුවන සිතුවම් අතර ගැලක රූප සටහන් දක්නට ලැබෙන අතර ගවයන් යොදා ගනිමින් මෙම කටයුතු සිදු කර තිබේ . මෙම සිතුවමෙහි ගැලට ඉදිරියෙන් යම්කිසි උපකරණයක් අතෙහි රදවා ගෙන යන පුද්ගල රූපයක් ඇති අතර ගැල මත පුද්ගලයන් දෙදෙනෙකු සිතුවම් කර තිබෙන බව පෙනේ . මීට සමාන තවත් සිතුවම් කිහිපයක් Katiryakand, Asan යන ස්ථාන වලින් ද හමුවී ඇති අතර මෙම සිතුවම් වලද ඉදිරියෙන් පුද්ගලයෙකු ගමන් කරන බවක් නිරූපණය කර තිබේ . ඇතැම් විට මෙම කරත්ත සදහා ආරක්ෂාව සපයන පුද්ගලයෙකු ලෙසින් ඔහු හදුනාගත හැකිය .
මේ අනුව පැරණි ඉන්දියානු ගුහා සිතුවම් පිළිබඳව අවධානය යොමු කිරීම හරහා ඔවුන්ගේ සමාජ පසුබිමත්, අතීත මානවයන්ගේ ජන ජීවිතය පිළිබඳව ද අවබෝධයක් ලබා ගත හැකිය . මෙම සිතුවම් අතුරින් ඉන්දියාවේ Bhimbetkar ( බිම්බෙට්කාර් ) ගුහා ආශ්‍රිත චිත්‍ර සමූහයට විශේෂ වැදගත්කමක් හිමි වන අතර මෙම විග්‍රහයේදී එහි සිතුවම් සදහා ප්‍රමුඛ ස්ථානයක් ලබා දී තිබේ . එහිදී මෙම සිතුවම් නිරීක්ෂණය තුළ අපට ප්‍රාථමික මානවයන් මීට වසර දහස් ගණනකට පෙර ජීවත් වූ ආකාරය , ඔවුන් කලින් කලට තම තාක්ෂණික දැනුම දියුණු කර ගනිමින් පැමිණි ගමන්මග කුමන ආකාරයෙන් පැවතියේද යන්න මනාව හදුනා ගැනීමට හැකියාව ලැබේ .
No comments:
Post a Comment