Monday, May 18, 2020

දෙවියන් සොයා අලුත්නුවර ගියෙමි....



     පුරාතන ශ්‍රී ලාංකේය ජන සමාජයෙහි වැසියන් සරල , සාමූහික , සීමාසහිත ජීවිත ගත කළ අතරම එදිනෙදා ජීවිතයේ ඔවුනට පැමිණි දුක් කම්කටොලු ආදී විවිධ අවස්ථාවන් වලදී නොපෙනෙන බලවේග පිළිබඳ විශ්වාස කරමින් ඔවුනට පුදපූජා පැවැත්වීමේ සිරිතක් දක්නට පුළුවනි . මේ පිළිබඳව ප්‍රාග් බෞද්ධ යුගයෙහි සිට සාධක ගණනාවක් හමුවේ . එහිදී වංශකතාගත තොරතුරු වලට අනුව පණ්ඩුකාභය රාජ්‍යය කාලයේ සිටම මෙම නොපෙනෙන බලවේග සංකල්පය ඉතා දැඩි ලෙස පැවති අතර දේව සංකල්පය ඒ තුළ ප්‍රධාන වූ බව පෙනේ . ඉන් අනතුරුව මහින්දාගමනයෙන් පසුව දේව වන්දනය බුදුදහම සමඟ බද්ධ වෙමින් ඉදිරියට පැමිණි බව පෙනෙන අතරම පසුකාලීනව විහාරාරාම ආශ්‍රිතව දේවාල ඉදිවීම දක්නට ලැබේ . ඒ අනුව ලංකාව තුළ සමන්, උපුල්වන්, කතරගම, නාථ, පත්තිනි සහ විෂ්ණු වැනි දෙවිවරුන් රැසක් උදෙසා දේවාල ඉදි වීම බහුලව සිදු වූ බව හදුනාගත හැකිය . එහිදී ජනප්‍රිය දේව සංකල්පය තුළ එන, ගැමි ජනතාවගේ හදවත් තුළ ලැගුම් ගත් ප්‍රබල දේව සංකල්පයක් වූයේ දැඩිමුණ්ඩ දේව සංකල්පයයි. 
 විශේෂයෙන්ම දැඩිමුණ්ඩ දේව සංකල්පය පිළිබඳව කතා කිරීමේදී අලුත්නුවර දැඩිමුණ්ඩ දේවාලය අතිශයින් වැදගත් වන අතර මෙම අලුත්නුවර දේවාලය ඉදි වන්නේද මෙරට ජනයා තුළ පැවති දේව විශ්වාසයෙහි ප්‍රතිඵලයක් වශයෙනි . කෙසේ වෙතත් මෙම අලුත්නුවර දේවාලය මුල්ම කාලයෙහි කැප වනුයේ උපුල්වන් දෙවියන් උදෙසාය. එනම් අලුත්නුවර දේවාලයෙහි ඉතිහාසය පිළිබඳව අවධානය යොමු කිරීමේදී සදහන් වනුයේ මෙම දේවාලය දෙවන පරාක්‍රමබාහු රාජ්‍ය කාලය දක්වා ඈතට දිවයන බවය. පද්දාවෙල නැතහොත් වර්තමානයේදී අලුත්නුවර වශයෙන් හැදින්වෙන ග්‍රාමය උපුල්වන් දෙවියන් උදෙසා පුදන ලද්දේ පරාක්‍රමබාහු රජුය. අද වන විට අලුත්නුවර ප්‍රධාන දේවාලය දැඩිමුණ්ඩ දෙවියන් උදෙසා කැප කර ඇති අතර පැරණි උපුල්වන් දේවාලය පිහිටි ස්ථානයෙහි අද රූස්ස මාර ගසක් සහ කුඩා පහන් ගෙයක් පමණක් දක්නට පුළුවනි . කෙසේ වෙතත් මෙම දේවාලයෙහි ඉපැරැණි බව කියාපාන හොදම සාක්ෂිය වනුයේ දේවාලය අසල පිහිටා තිබෙන පැරණි අම්බලමයි. මෙය ගිරිවස සුනේත්‍රාදේවි විසින් ඉදි කරවන ලද බව කියැවේ . 


   කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල නගරයෙහි හිගුල මංසන්ධියේ සිට කිලෝමීටර 5ක් පමණ ගිය කළ අලුත්නුවර දැඩිමුණ්ඩ දේවාලයට ළගා වීමට හැකියාව ලැබේ . මෙහිදී උඩ වීදිය සහ පහළ වීදිය යනුවෙන් වීදි දෙකක් දක්නට ලැබෙන අතර දේවාල භූමියට ළගා වීමේදී එහි ගුප්ත ස්වභාවය හොදින් අත් විදිය හැකිය . පහළ වීදිය ඔස්සේ දේවාලයට පිවිසීමේදී පියගැටපෙළ පසු කර වාහල්කඩින් ඇතුළු වීමේදී ප්‍රථමයෙන් හමුවනුයේ පත්තිරිප්පුවයි. මෙම පත්තිරිප්පුව ආශ්‍රිතව විවිධ කතා පුවත් ගොඩනැගී ඇති අතර ඇතැම් වැඩිහිටියන්ගේ මතය වී ඇත්තේ මෙම පත්තිරිප්පුව පිහිටා ඇති ස්ථානය අසල නිලමේ ඇදුමින් සැරසුණු කෙනෙක් පාන්දර 1ත් 2ත් අතර ගමන් කරන බවය. 


   දේවාල භූමිය තුළ සුවිශේෂී ස්ථාන ගණනාවක් දැක ගැනීමට හැකියාව ලැබෙනවාක් මෙන්ම ඒ හා බැදි විවිධ සිදුවීම් ගණනාවක් ද හදුනාගැනීමට හැකියාව ලැබේ . ඉන් ප්‍රධානම ස්ථානයක් හිමිවනුයේ උඩ වීදිය හරහා පැමිණීමේදී හමුවන ඉර හද ගලයි. දේවාලය පවතින භූමියේ විශාල ගල් පර්වතයක් පැවත තිබී ඇති අතර අස්සද්දන පරිවේනාධිපති හිමියන් සහ නිලමේවරු පිරිසක් මෙහි පැමිණ දැඩිමුණ්ඩ දෙවියන්ට භාරවීමෙන් පසු එක් රැයකින් ගල් පර්වතය සුණුවිසුණු වී ගිය බව සදහන්ය . එමෙන්ම මේ සම්බන්ධව එන තවත් කතාවකට අනුව උඩරට නිලමේ ඇදුමින් සැරසී වේරැහැනක් අතින් ගෙන සිටින දැඩිමුණ්ඩ දෙවියන් යකුන්ගේ උදව් උපකාර මත මෙම ගල් පර්වතය විනාශ කළ බව කියවේ. 


     වර්තමානයේ අප අලුත්නුවර දේවාල භූමියට ගිය තැන දක්නට ලැබෙනුයේ මොල්ලිගොඩ නිලමේ විසින් ඉදි කරන ලද දේව මන්දිරයයි . අලුත්නුවර දේවාලය අංග කිහිපයකින් යුක්ත වන බව පෙනේ . එනම් , 
ප්‍රධාන පිවිසුම
වාහල්කඩ
ප්‍රධාන බරාද
හදුන්කූඩම
දිග්ගෙය
වැඩ සිටින මාලිගය 
මුළුතැන්ගෙය
ගබඩා කාමරය 
අටු මඩුව
දඩු මඩුව 
අලුත්නුවර දැඩිමුණ්ඩ දේවාලය හා බැදි තේවාවන් හා වාර්ෂික මංගල්‍යයන් දෙස බැලීමේදී අනෙකුත් දේවාලවල මෙන්ම සමාන චාරිත්‍ර වාරිත්‍ර මෙහිද දැකගත හැකිය . එහිදී දැඩිමුණ්ඩ දෙවියන් උදෙසා පවත්වනු ලබන තේවාවන් කිහිපයක් වෙයි . එනම් , 
දිනපතා තේවාව 
අලුයම් ධූරය 
හැන්දෑ ධූරය 
කෙම්මුර බෙර වැයීම
එමෙන්ම වාර්ෂිකව පවත්වනු ලබන ප්‍රධාන මංගල්‍යයන් අතර ,
අලුත් සහල් මංගල්‍යය 
නානුමුර මංගල්‍යය 
කාර්තික මංගල්‍යය 
පෙරහැර මංගල්‍යය 


තම දුක් ගැනවිලි දෙවියන් වෙත ඉදිරිපත් කර සෙතක්, ශාන්තියක්, යහපතක්, ආශිර්වාදයක් අපේක්ෂාවෙන් මෙරට සිව්දිගින් පැමිණෙන ජනයා පළතුරු පූජාවන් සිය හිස මත තබාගෙන දේව මන්දිරයට දිගු පෝලිම් මැද ගමන් කිරීම දෛනිකව දක්නට ලැබෙන සුලබ දර්ශනයකි . දේව මන්දිරයෙහි අභ්‍යන්තරය දැඩි ගුප්ත ස්වභාවයකින් යුක්ත වන අතර දේව ප්‍රතිමාව දර්ශනය කරන මොහොතේ පටන් ඇතුලාන්තයෙන් නැගෙන දෝංකාරය මැද ඇසෙන යාතිකාව තුළින් අසරණ මිනිසුන්ගේ සිතෙහි ධනාත්මක සිතුවිලි ජනිත වීම ස්වභාවයෙන්ම සිදු වනු ඇත . 

කල්හාර පුෂ්පේච දන්තා නඛාය

පද්මා මුඛා ගන්ධ ස්‌වර්ණ කාය

හෙමා ලතා ධාරණ හස්‌තකාය

බණ්‌ඩාර දේවෙන්ද්‍ර නමෝ නමාය...!

කාරවේල රජුන්ගේ හත්ථිගුම්ඵා ශිලා ලේඛනය


     පුරාතන ඉන්දීය ඉතිහාසය පිළිබඳව අධ්‍යයනය කිරීමේදී රාජ්‍ය මධ්‍යස්ථාන විශාල ප්‍රමාණයක් හමුවනු ඇත. එමෙන්ම මෙම රාජවංශවල කැපී පෙනෙන සුවිශේෂී රාජ චරිත පිළිබඳව ද විස්තර විවිධ ඓතිහාසික මූලාශ්‍ර ඔස්සේ අපට හමුවනු ඇත. පුරාතන ඉන්දියාව තුළ දක්නට ලැබෙන මෞර්යය , ගුප්ත , කුෂාණ , සාතවාහන වැනි රාජවංශ මෙන්ම කාලිංගය මුල් කරගෙන ගොඩනැගුණු චේදි රාජවංශයද ඉන්දියානු ඉතිහාසය තුළ සුවිශේෂී මං සලකුණු රැසක් ඉතිරි කළ රාජවංශයකි. එම රාජවංශයෙහි ශ්‍රේෂ්ඨතම රජු ලෙස ඉතිහාසයේ සදහන් වන්නේ කාලිංගාධිපති කාරවේල රජතුමාය. මෙම කාරවේල රජු විසින් ඔරිස්සා අසල උදයගිරි ගුහා පර්වතයක කොටා තිබෙන හත්ථිගුම්ඵා ශිලා ලේඛනය කාලිංගයේ ඉතිහාසය පිළිබඳවත් , කාරවේල රජු පිළිබඳවත් , විශේෂයෙන්ම ඉන්දීය ඉතිහාසය පිළිබඳවත් අධ්‍යයනය කිරීමේදී මහගු පිටුවහලක් වී තිබේ . මෙහි දැකගත හැකි විශේෂත්වය වනුයේ කාරවේල රජුගේ එක් එක් රාජ්‍ය වර්ෂයන් තුළ සිදු කරනු ලැබූ කාර්‍ය්ය සාඵල්‍යයන් වෙන වෙනම විස්තර කර තිබීමය . නැතිනම් කාරවේල රජු පිළිබඳව සෑම තොරතුරක්ම පාහේ ඔහුගේ එකම ශිලා ලිපියකින් දැන ගැනීමට හැකි වී තිබේ . 
    මහා නදිය සහ ගෝදාවරී ගංගා දෙගංමැදියේ පිහිටා තිබෙන මෙම කාලිංගය ද විවිධ ආක්‍රමණ වලට මුහුණ දුන් ප්‍රදේශයකි. කෙසේ වුවද මගධය මුල් කර ගනිමින් ප්‍රබල බලයක් ගොඩනැංවූ නන්ද අධිරාජ්‍යයේ නැගීමට පෙර කාලිංගයේ මුල් කාලීන ඉතිහාසය පිළිබඳව පැහැදිලි තොරතුරු හමු නොවනු ඇත . විශේෂයෙන්ම මෙම නන්ද අධිරාජ්‍ය සමය තුළ කාලිංගය නන්දවරුන්ට යටත්ව නන්දවරුන්ගේ ආධිපත්‍යයේ පැවති බවට සිතිය හැකි තොරතුරු කිහිපයක්ම මෙම හත්ථිගුම්ඵා ලේඛනයේ සදහන් වී තිබේ . ඒ අතුරින් වැදගත් සාක්ෂියක් වනුයේ කාරවේල රජු විසින් ඔහුට අවුරුදු 300 කට හෝ 103 කට ( ත්‍රි වස සතම් ) පෙර නන්ද රජකෙනෙකු විසින් ඉදි කරන ලද ඇළක් ප්‍රතිසංස්කරණය කළ බව මෙම ලිපියෙහි සදහන් කර තිබේ . මෙලෙස නන්ද රජ කෙනෙකු විසින් කාලිංගයේ ඇළක් ඉදි කරවන ලද්දේ නම් කාලිංගයේ ආධිපත්‍යය නන්දවරු යටතේ පැවති බව පෙනේ . 
   එපමණක් නොව නන්ද රාජවංශයෙහි රජ කෙනෙකු විසින් කාලිංගය ආක්‍රමණය කර කාලිංගයේ තිබූ ජෛන මහා වීරයන්ගේ ප්‍රතිමා කිහිපයක්ම මගධයට රැගෙන ගිය බව හත්ථිගුම්ඵා ලේඛනයේ සදහන් වී තිබේ . මේ අනුව නන්ද රාජවංශ සමයේදී කාලිංගය නන්දවරුන් යටතේ පැවති බව පෙනේ . කෙසේ වෙතත් කාලිංගය නන්දවරුන්ගෙන් පසු කාලයෙහි ස්වාධීනව පැවති බව පෙනේ . නමුත් අශෝක අධිරාජ්‍යයා කාලිංගයට එරෙහිව යුධ කටයුතු ආරම්භ කළ අතර විශාල මිනිස් ඝාතනයක් එයින් සිදු විය. 
   මෙම හත්ථිගුම්ඵා ශිලා ලේඛනය තුලින් කාරවේල රජුගේ යුවරජ කළ සිට රාජ්‍ය චර්යාව පිළිබඳව ඉතා ක්‍රමානුකූලව තොරතුරු ඇතුලත් කර තිබුණද කාලයාගේ ඇවෑමෙන් විවිධ ස්වාභාවික අභියෝගයන්ට මුහුණ දුන් මෙම ශිලා ලිපියෙහි අක්ෂර තැනින් තැන මැකී ගොස් තිබීම නිසා කාරවේල පිළිබඳව ඉතිහාසය අධ්‍යයනයේදී එය යම් තරමක බාධාවක් වී තිබේ . මෙම ලිපියට අනුව කාරවේල රජු අභිෂේකයෙන් දෙවන වසරේ සාතවාහන රාජ්‍යයේ 1 වන ශාතකර්ණීන්ට හමුදා ආක්‍රමණයක් එල්ල කළ බව පෙනේ . ඒ අනුව කාරවේලගේ යුධ කටයුතු සාතවාහනයන් හරහා ඇති වූ බව දැකගත හැකිය . එසේම කාරවේල රජු විශාල සේනාවක් රැගෙන ගොස් රජගහ නුවරට බලපෑම් එල්ල කලහ . මෙතුමාගේ මෙම යුධ ජයග්‍රහණ සම්බන්ධ කීර්තිය නිසාම එවකට රජගහ නුවර පාලකයා වූ යවන රජු මථුරාව දක්වා පලාගිය බව සදහන් වේ . එසේම ශිලා ලිපියෙහි සදහන් තොරතුරු අනුව කාරවේල රජු භාරතවාස ප්‍රදේශයට හමුදා යවා ප්‍රදේශ අල්ලා ගත්හ. එපමණක් නොව රජුගේ අභිෂේකයෙන් දොළොස් වන රාජ්‍ය වර්ෂයේදී උත්තරාපථයේ සිටි රජවරු භීතියට පත් කරන ලදි . එයින් නොනැවතුණ කාරවේල රජු අංග සහ මගධ වාසීන් ලවා තමන්ගේ පාද වන්දනා කරවූ බව සදහන් කර තිබේ . මෙය එක්තරා අන්දමක පළිගැනීමක් ලෙසින් ද සැලකිය හැකිය. 


    එපමණක් නොව කාරවේල රජුගේ ආගමික කාර්‍ය් සංසිද්ධිය කුමක්ද යන්න අවබෝධ කර ගැනීම සදහා හත්ථිගුම්ඵා ලිපිය ඉතා වැදගත් වේ . එනම් එහි සදහන් තොරතුරු වලට අනුව රජු විසින් යාග හෝම කළ බවත් , බ්‍රාහ්මණයන්ට තෑගි දුන් බවත් , මහා අග්නි පූජාවක් සිදු කළ බවත් ලිපියෙහි සදහන් වේ . ඊට අමතරව නන්දවරුන් රැගෙන ගිය ජෛන මහා වීරගේ ප්‍රතිමා නැවත වරක් පෙරහැරකින් කාලිංගයට වැඩම කරවූ බව පෙනේ . කාරවේල රජුගේ ආගමික ප්‍රතිපත්තිය අන්තවාදී නොවූ අතර එතුමා කෝවිල් , විහාරස්ථාන , පන්සල් අලුත්වැඩියා කළ රජෙකු විය. විශේෂයෙන්ම මෙම හත්ථිගුම්ඵා ලේඛනය දෙස බැලීමේදී එය ජෛන ප්‍රාකෘත භාෂාවෙන් ලියා තිබේ . 
  භාරතීය ඉතිහාසයෙහි රජවරුන් පිළිබඳව තොරතුරු අධ්‍යයනය කිරීමට සෙල්ලිපි රාශියක් උපයෝගී කර ගැනීමට සිදු වුවද කාරවේල රජුගේ සෑම තොරතුරක් පිළිබඳවම මෙම හත්ථිගුම්ඵා ලේඛනය හරහා අධ්‍යයනය කිරීමට හැකියාව ලැබී තිබේ . වර්තමානයේ පුද්ගලයන් විසින් තමන්ගේ කාර්‍යයන් පිළිවෙලින් සටහන් තබන අයුරින්ම කාරවේල රජු හත්ථිගුම්ඵා ලේඛනයේ ඔහුගේ සියළු තොරතුරු සදහන් කර තිබේ . ඒ අනුව කාලිංගයේ ඉතිහාසය පිළිබඳවත් , කාරවේල රජු පිළිබඳවත් තොරතුරු අධ්‍යයනයේදී හමුවන ප්‍රධානතම මූලාශ්‍රය ලෙස හත්ථිගුම්ඵා ශිලා ලේඛනය හදුනාගත හැකිය . 

Friday, May 15, 2020

වස්සාන කාලයයි - කඨින චීවරයයි



   ඉන්දියානු ඉතිහාසයෙහි ඈත අතීතයේ සිටම පරිසරය පිළිබඳව අවධානය යොමු කිරීමේදී එහි දේශගුණය තුළ ප්‍රධාන ඍතු තුනක් හදුනාගත හැකිය . එනම් හේමන්ත , ගිම්හාන සහ වස්සාන ඍතූන් ය. මේ අතුරින් ඉන්දියාවෙහි වස්සාන ඍතුවේ ආරම්භය ඇසළ මාසය උදාවත් සමඟ සිදුවන බව දැකගත හැකිය . මේ නිසාම එම වස්සාන කාලයෙහි මිනිසුන් මෙන්ම සතා සිවුපාවුන් ද නොතෙමී සිටීමට හැකියාව ලැබෙන වාසස්ථාන කරා යෑම ස්වභාවිකය. මෙයට හේතු වූයේ ඉන්දියාවෙහි වස්සාන ඍතුවේදී ගංගා , යමුනා , අචිරවති යන මහා ගංගා පවා පිටාර ගලා යන සමයක් වන හෙයින් වර්ෂා කාලය එළඹීමත් සමඟ ඉන්දියානුවන් ඒ සදහා සූදානම් වන ආකාරයෙන් මෙම අවධියේදී සිදුවන අසීරුතා හදුනාගෙන තිබෙන බව දක්නට පුළුවනි . එවැනි කාලගුණික තත්ත්වයක් ඇති ඉන්දියාවේ බුදුරජාණන් වහන්සේගේ සමයේ ද ආර්ථික , සෞඛ්‍ය ආදී සමාජීය ප්‍රශ්න රැසක් ඇති වන කාලයක් ලෙස අධික වැසි සහිත කාලය හැදින්විය හැකිය . මේ අතර ආගමික ප්‍රශ්න ද උද්ගත වූ බව දක්නට ලැබේ . එනම් මෙම වස්සාන කාලය ආරම්භ වන විට ඉන්දියාවෙහි සිටි බොහෝ ආගමික නිකායික පිරිස් පිඩු සිගා යෑමෙන් පවා වැලකී ඔවුනොවුන්ගේ ආරාම වලට වී සිට තිබේ . නමුත් මෙකල බුදුසසුනේ භික්ෂුණ් වහන්සේලා ඔවුන් අවබෝධ කර ගත් ශ්‍රී සද්ධර්මය ගම් දනව්හි සැරිසරමින්  ප්‍රචාරය කළහ . එයට ප්‍රධාන හේතුව වූයේ පළමු ධර්මදූත පිරිස අමතා බුදුන් වහන්සේ ලබා දුන් අවවාදයයි. එනම් මහණෙනි බොහෝ දෙනාගේ හිත , සැප , අර්ථය පිණිස දෙවියන් සහිත ලෝකයාට අනුකම්පාවෙන් චාරිකාවේ හැසිරෙන්න . මුල , මැද , අග පරිපූර්ණ ධර්මය දේශනා කරන්න යනුවෙනි . 
         කෙසේ වෙතත් මෙකල ඉන්දියාවේ බොහෝ  අන්‍ය ආගමික සිටි බව දක්නට පුළුවනි . එනම් අජිත කේසකම්බල , පූර්ණ කස්සප , මක්ඛලී ගෝසාල , සංජය බෙල්ලට්ටිපුත්ත , පකුට කච්චායන හා නිගන්ඨනාතපුත්ත ආදීන්‍ ය. මොවුන්ගෙන් ඇතමෙකු අවිහිංසාවාදය පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ අතර එහිදී වස්සාන කාලයෙහි ධර්ම ප්‍රචාරක කටයුතු වල  යෙදුණු භික්ෂුණ් වහන්සේලාට දෝෂාරෝපණය එල්ල කරන ලදි . එනම් ‘‘ කුමක් හෙයින් ශාක්‍ය පුත්‍ර ශ්‍රමණයන් පණ ඇති තෘණ පැළෑටි පොඩි කරමින් නොයෙක් ක්ෂුද්‍ර ප්‍රාණීන් මිරිකාගෙන ගමින් ගමට ඇවිදින්නා වූද ? මිසදිටු තවුසෝ පවා වැසි කාලයේ එක්තැනකට වී වෙසෙති . කුමක් නිසා මේ සස්නෙහි භික්ෂූහු පමණක් එසේ නොකරන්නේ ද ? ’’ විශේෂයෙන්ම මේ වන විට බුදුන් වහන්සේ තම භික්ෂුණ් වහන්සේලාට මෙබඳු ශික්ෂා පදයක් අනුමත කොට නොතිබුණු බැවින් භික්ෂුණ් වහන්සේලා මෙම වැසි සමයෙහි අතන මෙතන ඇවිදීම නවත්වා එක තැනක විසීමේ ඇති වටිනාකම පිළිබඳව බෞද්ධයන් ද බුදුන් වහන්සේට සැලකර සිටියහ .  මේ පිළිබඳව තොරතුරු ඇසූ බුදුන් වහන්සේ තම උපසම්පදා භික්ෂුණ් වහන්සේලාට වස්සාන කාලයෙහි වස් සමාදන් වන ලෙසට නියම කළහ .
    අනුජානාමි භික්ඛවේ වස්සානේ වස්සං උපගන්තුං ‘‘ මහණෙනි , වස් තුන් මාසයෙහි වස් සමාදන් වන ලෙස අනුදැන වදාරමි ’’ 
       මේ අනුව භික්ෂුණ් වහන්සේලා වැසි සමය තුළ අතන මෙතන ඇවිදීමෙන් , ගමන් බිමන් යාමෙන් වැළකී පිළිවෙතට මුල් තැන දී වාසය කිරීමේ ඇති අගනා බව පැහැදිලි කරමින් එහි උසස් බව දක්වාලීම නිසා මේ වස් විසීමේ චාරිත්‍රය භික්ෂුණ් වහන්සේලා ද ආරම්භ කරන ලදි . කෙසේ වෙතත් යම් භික්ෂුවක් වස් සමාදන් නොවී සිටීමෙන් ඇවැත් සිදු වන බවද බුදුන් වහන්සේ  දේශනා කළ සේක. ‘‘ න භික්ඛවේ වස්සං න උපගන්තබ්බං , යෝ න උපගච්ජෙය්‍ය ආපත්ති දුක්කටස්ස ’’. මෙහිදී යම් භික්ෂුණ් වහන්සේ නමකට වස් එළඹීමේ පහසුව සදහා පෙරවස් සහ පසුවස් ලෙස නියමයන් දෙකක් හදුනාගත හැකිය . එනම් ඇසළ පොහෝ දින භික්ෂුවක් පෙරවස් සමාදන් වන අතර යම් හේතුවකින් එම පොහෝ දින වස් සමාදන් වීමට නොහැකි වූ භික්ෂුවක් නිකිණි පොහෝ දින පසුවස් සමාදන් විය යුතුය . 
  විශේෂයෙන්ම වස් කාලය තුළ භික්ෂුණ් වහන්සේ නමක් විහාරයේ වැඩ වාසය කළ යුතුය . එහිදී භික්ෂුවකට වස් විසීමට තැනක් නොමැති නම් දායකයන්ට දැනුම් දී වැස්සෙන් පින්නෙන් නොතෙමී ජීවත් වීමට තැනක් සකසා ගත යුතුය . මෙලෙස වස් වසන භික්ෂුව වස් විසීමට තෝරාගත් කුමන ස්ථානයක දී වුවද වස් එළඹීමට ප්‍රථම බුදු වදන සිහිපත් කරන බව පෙනේ . එනම් ඉමස්මිං විහාරේ ඉමං තේමාසං වස්සං උපේමි ,  ඉධ වස්සං උපේමි . මේ අයුරින් වස් විසීම ආරම්භ කරන භික්ෂුණ් වහන්සේ එදින පටන් තුන් මාසය සතිකරණය ඇතිව කල් ගෙවිය යුතුය . එනම් වස් විසූ භික්ෂුව සත්තාහකරණය ඇතිව තම අවශ්‍යතාවයන්ට ආරාමයෙන් බැහැර විය යුතුය . එහිදී සවේ මේ අන්තරායෝ න භවිස්ස සත්තාහබ්බන්තරේ පටිනිවත්තිස්සාමි යන වැකිය සිහිපත් කර යළි දින හතක් ඇතුලත විහාරයට වැඩම කළ යුතුය . මෙම වස් කාලය මගින් අර්ථවත් කරන්නේ ගිහි පැවිදි දෙපක්ෂයටම  අධ්‍යාත්මික කටයුතු කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීමට කාලය එළැඹ ඇති බවය . භික්ෂුණ් වහන්සේලා තමන්ගේ විමුක්තිය සදහා වෙර වීර්‍ය දරන අතර ගිහි දායකයන්ද ඒ සදහා යොමු කරමින් ඔවුනට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරමින් මෙම වස් කාලය ගත කරනු ඇත . එහිදී ගිහි ජනතාව භික්ෂුණ් වහන්සේලාට සිව්පසයෙන් උපස්ථාන කරන බව දැකගත හැකිය . 
     වස් කාලයෙහි ආරම්භයත් සමඟ බෞද්ධ පින්වතුන් විහාරස්ථාන කරා ගොස් වැසි සළුව පිළිගන්වා භික්ෂුණ් වහන්සේලාට වස් ආරාධනා කරන අතර මෙය මිහිදු හිමි ලංකාවට බුදුදහම රැගෙන වැඩම කරවීමත් සමඟ ලංකාවේ ප්‍රතිෂ්ඨාපනය වූ බව පෙනේ . එහිදී අතීතයෙහි රජවරුන් පවා මෙම වස් ආරාධනාව සිදු කළ බව දැකගත හැකි අතර දේවානම්පියතිස්ස රජු ලෙන් විහාර ඉදි කර මිහිදු හිමි ප්‍රධාන භික්ෂුණ් වහන්සේලාට වස් ආරාධනා කර තිබේ . මෙලෙස ඉහත සදහන් කළ පරිදි වස් සමාදන් වූ භික්ෂුණ් වහන්සේලා මාස තුනක් වස් විසූ ස්ථානයේම වැඩ වාසය කරයි. එසේ තුන් මසක් වැඩ සිට නිවැරදි ලෙස වස් ශික්ෂාපද ආරක්ෂා කරගෙන සිටි බවට වන පොරොන්දුව ඉන් අනතුරුව සිදු කරන වස් පවාරණයේදී සිදු කරනු ඇත . මෙහිදී ආපත්ති වලින් තොරව සිටි භික්ෂුණ් වහන්සේලා පවාරණ කර්මය සිදු කරයි. විකාල භෝජනා ආදී ආපත්ති වලින් යුත් භික්ෂූන් වස් පවාරණය සිදු කළ යුත්තේ අනෙකුත් සංඝයාගේ අනුමැතිය අනුවය . විශේෂයෙන්ම බුදුන් වහන්සේ මුල් අවධියේදී වස් විසීම පමණක් දේශනා කළ ද පසු කාලයෙහි කඨිනයක් පිළිගැනීමට අවසර දී තිබේ .   ‘‘ අනුජානාමි භික්ඛවේ වස්සං වුත්ථානං භික්ඛූනං කඨිනං අත්ථරීතුං ’’
මෙහිදී සදහන් කරන ලද කඨිනය පිළිබඳව අවධානය යොමු කිරීමේදී එය බුදුසසුනේ කළ හැකි පිංකම් අතර අග්‍ර පිංකමක් ලෙස සදහන් කළ හැකිය . විශේෂයෙන්ම බුදුදහමෙහි එන අටමහ කුසල් අතර එක් කුසලයක් ලෙස මෙය හදුන්වා දිය හැකිය . මෙම අට මහා කුසල් අතර ,

1. කඨින සිවුරක් පූජා කිරීම .
2. අටපිරිකර පූජා කිරීම .
3. ආවාස ගෙයක් තනවා සගසතු කර පූජා කිරීම .
4. බුදුපාමොක් මහ සගනට සගසතු කර දන් දීම.
5. බුද්ධ ධර්මය ලිවීම හා ලියවීම , දහම් පොත්පත් මුද්‍රණය කර දීම.
6. සගසතු කර හෝ බුද්ධ පූජා වශයෙන් කෙත්වතු පිදීම .
7. බුදු පිළිම සෑදවීම , චෛත්‍යය හා විහාර ගෙවල් සෑදවීම .
8. වැසිකිළි තනවා සගසතු කර පිදීම යන මේ පිංකම් අට මහා කුසල් ලෙසින් හදුන්වනු ලැබේ .

   විශේෂයෙන්ම මෙම කඨින චීවර පූජාවක් දායකයන්ට සිදු කළ හැක්කේත් , කඨිනයක් පිළිගත හැක්කේත් ඇසළ පොහෝ දින වස් සමාදන් වී වප් පුර පොහෝ දින වන තුරු මාස තුනක කාලයක් වස් සමාදන් වී පවාරණය සිදු කළ භික්ෂුණ් වහන්සේ නමකට පමණි .  මෙහිදී කඨිනය යන වචනයේ පදානුගත අර්ථය දෙස බැලීමේදී ‘‘ දුකසේ ජීවත් වීම , උසස් කිරීම ’’ වැනි අරුත් ඇති බව ව්‍යාකරණ ග්‍රන්ථ වල සදහන් වේ . කඨින ශබ්දයේ ආගමික අර්ථය අනුව සලකා බැලූ විට ඉතා දුෂ්කර වූ කාර්‍යයන් මෙන්ම ප්‍රශංසාර්භ වූවක් ද වන බව සැලකිය හැකිය . කෙසේ වෙතත් මෙම වස් කාලයෙහි අවසාන ඵලය වන කඨින චීවර පූජාවේදි දායකයින් විසින් පුදනු ලැබූ වස්ත්‍රය මසා ( පඩු පොවා ) , කප් බින්දු තබා සකස් කර ගත් චීවරය ආරාමයේ වස් විසූ සුදුසු භික්ෂුණ් වහන්සේ නමකට පවරනු ලබයි . විශේෂයෙන්ම මෙම කඨින සිවුර සදහා භාවිත කරන වස්ත්‍රය පිළිබඳව අවධානය යොමු කිරීමේදී වර්තමානය තුළ නොමසන ලද වස්ත්‍රයක් පූජා කරන අතර අතීතයෙහි මේ සදහා විවිධ ක්‍රම හරහා වස්ත්‍ර සොයා ගත් අන්දම දැකගත හැකිය . ඒ අතුරින් අලුත් වස්ත්‍ර , පාංශුකූල වස්ත්‍ර ආදිය යොදා ගෙන තිබේ . මෙහිදී මෙම කඨින චීවරය වස් විසූ භික්ෂුණ් වහන්සේලාගේ පහසුව පිණිස තුන් සිවුරට අතිරේකව භාවිත කර තිබෙන අතර මෙය වස් වසා අවසානයෙහි මහා පවාරණයෙන් පවාරණය කළ භික්ෂුවට වප් පුර පොහෝ දින සිට ඉල් පොහෝ දින දක්වා මසක් ඇතුලත කාල සීමාවේදී පූජා කිරීම දැකගත හැකිය .


    මේ අනුව බුදුදහම තුළ ඉතාම වැදගත් පුණ්‍ය කටයුක්තක් ලෙසින් වස් සමාදන් වීමේ කාර්‍යය සහ ඉන් අනතුරුව සිදු කරන කඨින චීවර පූජාව හදුන්වා දිය හැකිය. විශේෂයෙන්ම මෙහිදී ලාංකේය භික්ෂූ සමාජය තුළ භික්ෂුණ් වහන්සේලා ශාසනික මාර්ගය පිළිබඳව මනාව අවබෝධ කර ගෙන සිටින අතර එහිදී තම විහාරස්ථානය කේන්ද්‍ර කොට ගෙන ශ්‍රද්ධා සම්පන්න ජනතාව ඒකරාශී කොට ගනිමින් වස් තුන් මස් කාලසීමාව තුළදී ගිහි පැවිදි සම්බන්ධතාවයන් වඩාත් තීව්‍ර කරමින් සාරධර්ම මගින් යහපත් සමාජයක් නිර්මාණය කිරීමට කටයුතු කරන ආකාරය දක්නට පුළුවනි  . මේ අනුව වස් කාලය මෙන්ම කඨින චීවර මාසය ආගම සහ සමාජය සම්බන්ධ කරන පුරුකක් බවට පත් වී තිබෙන බව දැකගත හැකිය . 

Thursday, May 14, 2020

අලංකෘතම වටදාගෙය - මැදිරිගිරිය


      ශ්‍රී ලංකාවේ ඇතැම් ස්ථූපයන්හි , ස්ථූපය වටා උස් මට්ටම් කිහිපයකට පිහිටන පරිදි ගල් කණු නිර්මාණය කර ඒ මත දැව මාධ්‍යය උපයෝගී කොට ගෙන වහළයක් නිර්මාණය කිරීමෙන් වටදාගෙය නිර්මාණය කරනු ලබයි . මේ ආකාරයෙන් වටදාගෙයක් නිර්මාණය කිරීමට හේතු වූයේ වන්දනාකරුවන්ගේ රැකවරණය පිණිසය . ථූපඝරය, දාගෙය, චේතියඝරය, චේතිය ගෘහ, සෑ ගෙය ආදී වූ නම් වලින් මෙම වටදාගෙය හදුන්වනු ලබන අතර එය ශ්‍රී ලාංකේය ගෘහ නිර්මාණ ශිල්පයේ අද්විතීය නිර්මාණයකි. මෙහිදී අපට ථූපාරාමය, ලංකාරාමය, මැදිරිගිරිය, තිරියාය, මිහින්තලය, අත්තනගල්ල සහ පොලොන්නරුව ආදී ස්ථාන ගණනාවකදී වටදාගෙවල් හමුවන අතර ඒ අතුරින් විශාල ජනප්‍රියත්වයක් නොමැති, නමුත් අලංකාර ගෘහ නිර්මාණ අංග ලක්ෂණ වලින් සමන්විත වටදාගෙයක් ලෙසින් මැදිරිගිරිය වටදාගෙය හැදින්විය හැකිය.



     හිගුරක්ගොඩ සිට කිලෝමීටර 14 පමණ දුර ගෙවා මැදිරිගිරිය නගරයට පැමිණ එතැන් සිට කිලෝමීටර 3.5 පමණ අඹගස්වැව ප්‍රදේශයට ගමන් කිරීමේදී මෙම මැදිරිගිරිය වටදාගෙය හමුවේ . මණ්ඩලගිරිය, මැදිරිගිරිය ආදී නම් කිහිපයකින් හදුන්වන මෙය නිර්මාණය කර ඇත්තේ නොඋස් ස්වභාවික ගල් කුලක් මතය. මෙම මැදිරිගිරිය වටදාගෙය පොලොන්නරු දිස්ත්‍රික්කයේ පිහිටා තිබුණ ද , මෙහි ඉතිහාසය අනුරාධපුර රාජ්‍යය යුගය දක්වා ඈතට දිවයන බව දැකගත හැකිය . එනම් , මහාවංසයේ සදහන් තොරතුරු වලට අනුව කණිට්ඨතිස්ස රජු විසින් මණ්ඩලගිරි විහාරයේ උපෝසථාඝරයක් ඉදි කරවූ බව දැකගත හැකි අතරම ඉන් පසුව විවිධ රජවරුන්ගේ කාලවකවානු වලදී මෙහි විවිධ ඉදිකිරීම් , ප්‍රතිසංස්කරණ සිදුවී ඇති බව දැකගත හැකිය . ඒ අතර දෙවන අග්බෝ රජු , දෙවන සේන රජු , මහා පරාක්‍රමබාහු ආදී රජවරුන් මෙහිදී ප්‍රධාන වේ. එමෙන්ම වරින්වර ලක්දිවට ඇති වූ විදේශීය ආක්‍රමණයන් හේතු කොට ගෙන මැදිරිගිරිය වටදාගෙය ඇතුළු ආරාම සංකීර්ණය විනාශයට පත් කර ඇති බව පෙනෙන අතරම එහිදී කාලිංග මාඝ ආක්‍රමණයෙන් සහ චන්ද්‍රබානු ආක්‍රමණයෙන් විශාල හානියක් සිදුවී තිබේ .




   ඇතැම් ඉතිහාසඥයන් විසින් ලංකාවේ අලංකාරතම වටදාගෙය ලෙසින් හදුන්වනු ලබන මෙම මැදිරිගිරිය වටදාගෙය ආශ්‍රිතව නශ්ඨාවශේෂ ගණනාවක් හදුනාගත හැකිය . ශ්‍රී ලාංකේය ගල් වඩුවන්ගේ දක්ෂතාවය මැනවින් නිරූපණය කෙරෙන වටදාගෙය ආශ්‍රිතව අද වන විට ඉතිරි වී තිබෙන ගල්කණු ඉතා විශිෂ්ට ලෙස නිර්මාණය කර තිබෙන අතර ඒ මධ්‍යයේ කුඩා ස්ථූපයක නටඹුන් හා බුද්ධ ප්‍රතිමාවක් දැකගත හැකිය . මෙම පුරාවිද්‍යා භූමි ප්‍රදේශය තුළ වටදාගෙයට අමතරව ප්‍රතිමාඝර දෙකක් දක්නට ලැබෙන අතර ඒවා ගඩොල්‍ සහ බදාම උපයෝගී කර ගනිමින් නිර්මාණය කර තිබේ . මීට අමතරව තැනින් තැන විසිරී ඇති බෙහෙත් ඔරු ආදිය මගින් කියාපානුයේ මෙම ආරාම සංකීර්ණය තුළ වෛද්‍ය කටයුතු ද සිදු කළ බවකි.





Tuesday, May 12, 2020

පුරාතන ශ්‍රී ලංකාවේ කාන්තාව හා බුදුදහම



    ශ්‍රී ලාංකේය ජන සමාජයෙහි කාන්තාව වූ කලී අනෙකුත් සමාජයෙහි කාන්තාවන්ට වඩා බොහෝ සෙයින් වෙනස් විය. එයට බලපෑ ප්‍රධානතම හේතුව වූයේ ශ්‍රී ලංකාවෙහි පවතින සංස්කෘතික හර පද්ධතියයි. එහිදී පීතෘ මූලික සමාජයක් ලංකාව තුළ පැවතියත් කාන්තාවට ඉතාම ගෞරවනීය තත්ත්වයක් උරුම වී තිබේ. එහිදී ශ්‍රී ලාංකේය කාන්තාව දෙස බැලීමේදී ඇයගේ ජීවිතය සදහා බුදුදහමෙන් විශාල ආලෝකයක් ලැබී ඇති බව හදුනාගත හැකිය .
විශේෂයෙන්ම බුදුදහම විසින් කාන්තාවට උත්තරීතර තත්ත්වයක් හිමි කර දී තිබූ බව පෙනේ . එයට හේතුව වී තිබුණේ පුරාතන භාරතීය කාන්තාවට බමුණු සමාජයෙන් මහත් පීඩාවන්ට අත්විඳීමට සිදුවීමයි. ඒ නිසාම බුදුන් වහන්සේ විසින් මවක ලෙස , දියණියක ලෙස , බිරිඳක ලෙස , භික්ෂුණියක ලෙසින් ඇය උසස් ස්ථානයක තබන ලදි . එහිදී භාරතීය බෞද්ධ කාන්තා සමාජයෙහි ප්‍රථම සාමාජිකාවන් වූයේ සුජාතා සිටු දියණිය සහ යසකුල පුත්‍රයාගේ බිරිඳය. මෙලෙස බුදුන් වහන්සේගේ මග පෙන්වීම නිසා කාන්තාවන් නිදහස් චින්තනය කෙරෙහි උනන්දු වූ අතර ලාංකේය කාන්තාවට එම තත්ත්වය හිමි වූයේ මිහිදු හිමිගේ ලංකාගමනයෙහි ප්‍රතිඵලයක් වශයෙනි . මිහිදු හිමි වැඩම කිරීමෙන් අනතුරුව සිදු කළ ධර්ම දේශනාවෙන් පසු අනුලා දේවිය ඇතුළු කාන්තාවන් 500ක් මහණ වීමට අවසර ඉල්ලීමෙන් පසු සංඝමිත්තා තෙරණිය වැඩමවා ලක්දිව භික්ෂුණී ශාසනය හා උපාසිකාවන් බිහි විය. පසුව මෙම භික්ෂුණී ශාසනය විශාල ලෙස පැතිරුණු අතර දීපවංශයෙහි සදහන් අන්දමට ලක්දිව වැඩ සිටි භික්ෂුණීන් සංඛ්‍යාව විසි දහසකි. 
          මෙහිදී ලාංකේය කාන්තාව හා බුදුදහම අතර පැවති සබදතාවය පිළිබඳව අධ්‍යයනයේදී එහි මූලික අවස්ථාව භික්ෂුණීන් වහන්සේ ය. මෙම භික්ෂුණී ශාසනයෙහි වර්ධනයට විවිධ සාධක බලපා ඇති අතර එකල සමාජයෙහි විවිධ තරාතිරමේ අය මෙයට ඇතුලත් වූ බව දැකගත හැකිය . එනම් රජ පවුලේ පිරිස් වල සිට සමාජයෙහි පහලම ස්ථරයන් නියෝජනය කරන කාන්තාවන් පවා භික්ෂුණී ශාසනයට ඇතුළු වී විමුක්තිය ලබා ගත්හ. මෙලෙස භික්ෂුණී ශාසනයට ඇතුළු වූ රාජ කුමාරිකාවන්, බිසෝවරු , මව්වරුන් ලෙස කාවන්තිස්ස රජුගේ දියණිවරු දෙදෙනාද , කූටකණ්ණතිස්ස රජුගේ මෑණියන් ද දැකගත හැකිය . මීට අමතරව දුටුගැමුණු රජුගේ කතා පුවත අධ්‍යයනයේදී විහාරමහා දේවිය භික්ෂුණී ශාසනයට ඇතුළු වූ බව කියවෙන ඉගි දක්නට පුළුවනි. 
එමෙන්ම ලාංකේය ජන සමාජයෙහි කුටුම්භික ජීවිතය තුළ කාන්තාවන් බහුල වශයෙන් බුදුදහම වෙත යොමු වී ඇති බව දක්නට පුළුවනි . විශේෂයෙන්ම මිහිදු හිමි ලංකාවට වැඩම කිරීමෙන් අනතුරුව අනුරාධපුර රජ මාලිගාවෙහි සිදු කළ ධර්ම දේශනාව සදහා සහභාගි වූවන් අතර බහුතරය කාන්තාවන්‍ ය. වර්තමානය වන විටද එම ප්‍රතිඵලයම දැකගත හැකිය . එනම් විහාරස්ථාන සමඟ දැඩි සබදතාවක් පවත්වනුයේ කාන්තා පාර්ශවයයි. භික්ෂුණ්ගේ දානමාන කටයුතු වලදීද කාන්තාවන් ප්‍රමුඛ වන බව දක්නට පුළුවනි .


    එම නිසා අතීතයෙහි සිට වර්තමානය දක්වාම බුදුදහම හා කාන්තාව අතර දැඩි සබදතාවක් හදුනාගත හැකිය . එමෙන්ම සීගිරියෙහි දක්නට ලැබෙන බිතුසිතුවම් පිළිබඳව H.C.P බෙල් මහතා පළ කර තිබෙන නිර්වචන වලට අනුව එම සිතුවම් වල නිරූපිත ස්ත්‍රීන් පිදුරංගල විහාරය වන්දනයට යන ආකාරයක් නිරූපණය වන බව ප්‍රකාශ කර තිබේ . එහිදී කාන්තාව සහ බුදුදහම අතර පැවති ශක්තිමත් බැදීම නිසාම එවැනි අදහසක් ඉදිරිපත් කිරීමට පෙළබෙන්නට ඇතැයි සිතිය හැකිය .
ලක්දිව භික්ෂුණී ශාසනයට ඇතුළු වූ කාන්තාවන් විදේශයන් වල පවා භික්ෂුණී ශාසනය පිහිටුවීමෙහිලා දායකත්වය ලබා දී තිබේ . එහිදී ලංකාවෙහි භික්ෂුණී ශාසනයෙහි වර්ධනීය අවධියේ චීනයේ භික්ෂුණී ශාසනය පිහිටුවීම සදහා දේවසාරා නැමති තෙරණිය යටතේ භික්ෂුණීන් එකළොස් දෙනෙකු චීනයට වැඩම කර චීනයේ භික්ෂුණීන් තුන්සියයකට අධික පිරිසක් උපසම්පදා කරවූ බව පෙනේ . එසේම තිබ්බත දේශයේ ධර්ම ප්‍රචාරක කටයුතු වල නියැලුණු චන්ද්‍රමාලි නම් තෙරණියක පිළිබඳව තිබ්බතීය මූලාශ්‍ර වල සදහන් වී තිබේ . මීට අමතරව ඉන්දියාවෙහිද ලාංකේය භික්ෂුණීන් සංචාරය කර තිබෙන බව එරට මූලාශ්‍ර වලට අනුව හදුනාගත හැකිය . මේ අයුරින් ලාංකේය කාන්තාව භික්ෂුණියක ලෙස පත් නොවුවද ඔවුන් සෑම විටම දාන, චීවර, ගිලාන පච්චය, සේනාසන ආදී වූ සිව්පසයෙන් පෝෂණය කරමින් සැදැහැවත් දිවි පෙවතක් ගත කළහ . අතීත සන්දර්භය තුළ ගිහි කාන්තාවන් රැසක් බුදුදහම සමඟ බද්ධව කටයුතු කළ අතර ඔවුන් අතුරින් විහාරමහා දේවිය , සෝමා දේවිය , ලීලාවතී රැජින , සුනේත්‍රා දේවිය ආදීන් හදුනාගත හැකිය . 
එමෙන්ම ගිහි කාන්තාවන් විසින් විහාරාරාම ප්‍රතිසංස්කරණ කටයුතු සදහා දායක වී තිබෙන බව මූලාශ්‍ර අධ්‍යයනයේදී දැකගත හැකිය . මහාවංසයේ සදහන් පරිදි වංකනාසිකතිස්ස රජුගේ මෙහෙසිය අභයගිරිය සෑය ප්‍රතිසංස්කරණ කොට එහි සතර දොරටුවෙහි තොරණ ඉදි කිරීම සදහා කහවණු ලක්ෂයක් වැය කළ බව සදහන් වේ . දෙවන දප්පුල රජුගේ බිසව විසින් පූර්වාරාමය හා ගිරිබණ්ඩ වෙහෙර ප්‍රතිසංස්කරණය කොට තිබේ . මේ අන්දමින් ප්‍රතිසංස්කරණ කටයුතු පමණක් නොව ඔවුන් සතු ගම්බිම් , කෙත්වතු , වැව් ආදිය විහාරස්ථාන සදහා පූජා කිරීම දැකගත හැකිය . මෙහිදී විශේෂයෙන්ම ශිලාලිපි ඉතා වැදගත් වන අතර කරදගල ලිපියෙහි තොරතුරු වලට අනුව කාවන්තිස්ස රාජ්‍ය කාලයේ මිත්තා නැමති උපාසිකාවක් තමාගේ වැවක් හබුතගල විහාරයේ භික්ෂූන්ට පූජා කළ බව සදහන් වේ . කොක්එබේ ලිපියෙහි තලතා නම් කුමරියක් තම පවුල සතු කෙත්වතු , ගම්බිම් පූජා කළ බව දැකගත හැකිය . එසේම කහටගස්දිගිලිය පර්වත ලිපියට අනුව වහබ නැමති ගුරුවරයාගේ දියණිය වූ මහසි සතුව පැවති නිශ්චල දේපළ වලින් කොටසක් භික්ෂූන් වෙත පූජා කර තිබේ . එපමණක් නොව ලාංකේය භික්ෂු, භික්ෂුණී ශාසනය ආරම්භ වීමෙන් අනතුරුව උන්වහන්සේලාගේ වාසස්ථාන ලෙස ලෙන් පූජා කිරීමේ සිරිතක් වර්ධනය වූ අතර මෙම ලෙන් පූජා කිරීමේදී එය පූජා කරනුයේ කවුරුන් විසින්ද යනුවෙන් සදහන් කිරීම එකල සිරිතක් බවට පත් විය. ඒ අනුව බ්‍රාහ්මී අක්ෂර මූලික කරගෙන ලෙන් ලිපි වල වර්ධනයක් සිදු වූ අතර එහිදී කාන්තාවන් විසින් පූජා කරන ලද ලෙන් ලිපි දෙසිය විසි දෙකක කාන්තාවන් විසින් ලෙන් පූජා කිරීම පිළිබඳව තොරතුරු සදහන් වී තිබේ . එසේම කාන්තාවන් සිය පවුලේ සාමාජිකයන් සමඟ එකතුව ලෙන් පූජා කළ අවස්ථා ද දක්නට පුළුවනි . එනම් කදුරුගස්වැව ලෙන් ලිපියට අනුව ධම්මා නම් උපාසිකාවක් සිය ස්වාමියා සහ දරුවන් සමඟ එක්ව ලෙනක් පූජා කළ බව දැකගත හැකිය . 
මේ අනුව මිහිදු හිමිගේ ලංකාගමනයෙන් අනතුරුව ලංකාව පුරාම සිදු වූ බුදුදහමෙහි ව්‍යාප්තියත් සමඟ ලාංකේය සමාජයෙහි කාන්තාව හා බුදුදහම අතර පැවති සම්බන්ධතාවය ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වූ අතර එහිදී විවිධ අංශ ඔස්සේ එම සබදතාවය ගලා ගිය බව දැකගත හැකිය .

Sunday, May 10, 2020

තං අධිරාජ්‍ය යුගයේ අවසානය දක්වා චීන බුදුදහමෙහි වර්ධනය


  ලෝකයේ ඉපැරැණි ශිෂ්ටාචාර පිළිබඳව අවධානය යොමු කරන විට අපට සුවිශේෂී ශිෂ්ටාචාර 4ක සාධක හදුනාගත හැකිය . එහිදී පුරාතන ලෝක ඉතිහාස සන්දර්භය තුළ ඉතාම කැපී පෙනුන ශිෂ්ටාචාරයක් වූයේ චීන ශිෂ්ටාචාරය යි. මෙම චීන ඉතිහාසය පිළිබඳව අධ්‍යයනය කිරීමේදී විවිධ අංශ රැසක් ඔස්සේ අවධානය යොමු කළ හැකිය . එහිදී චීන බුදුසමයට හිමිවනුයේ සුවිශේෂී තත්ත්වයකි. විශේෂයෙන්ම ක්‍රි.පු 6 වන සියවසෙහිදී උතුරු ඉන්දියාව කේන්ද්‍ර කර ගනිමින් බුදුදහම ආරම්භ වූ අතර මෙම මානවවාදී බුදුදහම ටික කලක් ඇතුලත විවිධ රටවල මුල් බැසගත් අන්දම දැකගත හැකිය. එහිදී ලංකාව සේම චීනයද ප්‍රධාන ස්ථානයක් ගනු ලැබිය . කෙසේ වෙතත් වර්තමානය වන විට චීනය ලෝක ආර්ථිකය තුළ , නැතිනම් කාර්මික ලෝකයෙහි පෙරමුණ ගෙන තිබෙන රටකි. මෙලෙස කාර්මීකරණයට ලක්වන රටවල් තුළ ආගමික පරිසරය යටපත් වන බවට ඇතමුන් විශ්වාස කළද චීනය දෙස බැලීමේදී එම මතය වෙනස් වන බව දක්නට පුළුවනි . එයට හේතුව වන්නේ රටක් කාර්මික වන්නේ යම් සේද එපමණම ආගමික හැගීම් ද අධික වීම ස්වාභාවිකය. 
  චීනයෙහි ඉතිහාසය පිළිබඳව අවධානය යොමු කිරීමේදී චීනයට බුදුදහම පිවිසීමට පෙර එරට තාඕ දහම සහ කොන්ෆියුසියස් දහම ආදී දර්ශනයන් ඉතා තදින්ම මුල් බැසගෙන තිබුණි . එහිදී එම දර්ශනයන් සමඟ බුදුදහම පිළිබඳව බැලීමේදී මුල්ම කාලයෙහි බුදුදහම ප්‍රචාරය කිරීම පහසු කාර්‍යයක් නොවිය . වරක් රටේ රාජ්‍ය ආගම බවට පත්වන මෙම බුදුදහම තවත් පාලකයෙකු යටතේ සම්පූර්ණයෙන්ම පාහේ නැති වන බවක් දැකගත හැකිය . ඉන් පසුව හිස ඔසවා නැවත වතාවක් ක්‍රියාත්මක වන අවස්ථා ද දක්නට ලැබේ . මෙලෙස චීනයේ බුදුදහම ප්‍රචාරය වීම පිළිබඳ කතාව ඉතාම දිගු ඉතිහාසයක් සහිත කතාන්දරයකි . 
  චීන දේශයට බුදුදහම ලැබුණේ කවරදාකදැයි නිශ්චිතවම කිව නොහැකි වුවද චීනයට බුදුදහම ලැබීම පිළිබඳව පළමුවන සාක්ෂිය හමුවනුයේ ක්‍රි.ව 239-267 කාලයේ යු.හුවාන් විසින් ලියන ලද වායර්‍ය ලියාවෝ නම් ඓතිහාසික ග්‍රන්ථයෙහිය. එහිදී චීනයෙහි පෙරදිග ඉතිහාසය සහ සිද්ධාර්ථ ගෞතමයන්ගේ උපත පිළිබඳව තොරතුරු සදහන් කර තිබෙනු දැකගත හැකිය . කෙසේ වෙතත් චීනය සහ ඉන්දියාව අතර සම්බන්ධතාවය පිළිබඳව කරුණු සදහන් වන්නේ ක්‍රි.පු 46 සිටය. චීනයට බුදුදහම ලැබීම පිළිබඳව කතා කිරීමේදී මහාධිරාජ මිංති පාලකයා වැදගත් වේ. එතුමාගේ රාජ්‍යපද ප්‍රාප්තියෙන් හත්වන වර්ෂයෙහි එතුමා එක් සිහිනයක් දුටු බව සදහන් වේ . එම සිහිනය වූයේ එක්තරා රන්වන් පුරුෂයෙකුගේ බොටුව දිලිසි දිලිසි තිබෙන බවය . එම පුරුෂයා පැමිණියේ පියාඹන මාලිගාවකින් බවද සදහන් වේ . පසුදින රජතුමා ඇමතිවරුන් කැදවා සිහිනය පිළිබඳව විමසූ අතර ඔවුන්ගේ අදහස වූයේ එම ස්වර්ණමය පුරුෂයා පෙරදිග උත්පත්තිය ලද ගෞතම බුදුන් වහන්සේ බවය . මේ පිළිබඳව තොරතුරු ඇසූ මිංති රජු බොහෝ සේ සතුටට පත් වී සේනාපති ඇතුළු 26 දෙනෙකු බුදුදහම රැගෙන ඒම සදහා දඹදිවට පිටත් කොට තිබේ . මෙලෙස ඉන්දියාව දක්වා ගමන් කළ මේ පිරිසට අතරමගදී මධ්‍ය ආසියාවේ යුම්හ චී ප්‍රදේශයේ දී දඹදිව භික්ෂුණ් වහන්සේලා දෙනමක් මුණගැසුණු අතර මෙම භික්ෂුණ් වහන්සේලා දූත පිරිසට බුදුපිළිම හා බෞද්ධ පොත්පත් රාශියක් පරිත්‍යාග කරන ලදි . 
   ඉන්පසුව එම භික්ෂුණ් දෙනම සුදු අශ්වයන් පිට හිදුවා ගෙන ලෝයං ප්‍රදේශයට කැදවා ගෙන ගිය අතර අධිරජු හමුවී අදහස් ප්‍රකාශ කිරීමෙන් පසුව හෝලු නම් විහාරයේ වැඩ වාසය කළහ . මිංති රජු විසින් ලෝයං නගරයෙන් පෙරදිග පන්සලක් සෑදීම සදහා අනුමැතිය දුන් අතර එය ස්වේතඅස්වත නම් විය . කෙසේ වෙතත් චීනයට බුදුදහම නියම ආකාරයෙන් ලැබීම පිළිබඳව සලකනු ලබන්නේ බෞද්ධ පොත් චීන භාෂාවට පරිවර්තනයේ සිටය . චීනයට මුලින්ම බුදුදහම ලැබී ඇත්තේ මධ්‍ය ආසියාව හරහාය . එහිදී උත්තර කාලීන හන් රාජවංශ ඉතිහාසයට අනුව මහාධිරාජ හුඅන්ති විසින් බුදුන්ගේ සහ ලාඕත්සගේ ප්‍රතිමා දෙකක් සාදවා තම මාලිගාවෙහි විහාරයක් කරවා එහි තැන්පත් කර පූජාවන් කළ බව පෙනේ . මෙම හන් රාජවංශයෙන් පසුව චීන බෞද්ධ ධර්මය ධ්‍යාන ධර්ම සහ ප්‍රඥා පාරමිතා ලෙස කොටස් දෙකකට බෙදී ගියේය . තාවෝ ආන් මෙම අංශ දෙකම නියෝජනය කලේය . 
    මෙකල පෙර අපර දෙදිග සම්බන්ධ කරමින් ගොඩනැගුණු වෙළද මාර්ගය හෙවත් සේද මාර්ගය චීනයේ බුදුසමයේ ව්‍යාප්තියට , දියුණුවට මහත් දායකත්වයක් ලබා දෙනු ලැබීය . චීන භික්ෂුණ් වහන්සේලා බුදුදහම පිළිබඳව ඉගෙන ගැනීමටත් , සිද්ධස්ථානයන් වන්දනා කිරීමටත් , බෞද්ධ ධර්ම ග්‍රන්ථ රැගෙන යාමටත් ඉන්දියාව වැනි රටවලට පැමිණි බව දක්නට පුළුවනි . මෙලෙස පැමිණි භික්ෂුණ් අතර මූලිකත්වය හිමි වූයේ පාහියන් හිමිටය. පාහියන් හිමි ඉන්දියාවේ සෑම සිද්ධස්ථානයක්ම දැක බලා ගැනීමට සංචාරය කළ අතර මෙම පාහියන් හිමිට පෙර හූඊ චාංචිං , හූඊ චිචන් ආදීන්ද මෙලෙස පැමිණ ඇති අතර ඔවුන් නැවත චීනයට ගිය බවක් නෙපෙනේ. ඉන්දියාවට පැමිණි පාහියන් හිමි එහි බුදුදහම පිළිබඳව උසස් අධ්‍යාපනයක් ලැබුවා පමණක් නොව වටිනා ධර්ම ග්‍රන්ථ රැසක්ද රැගෙන ගොස් තිබේ . උන් වහන්සේ ඉන්දියාවේ වසර 4ක් පමණ කාලයක් සිට පසුව ලංකාවටද වැඩම කර වසර දෙකක් පමණ අභයගිරි විහාරයේ වැඩ වාසය කරමින් ධර්මය පිළිබඳව හැදෑරීම සිදුකරනු ලැබීය . මෙකල චීන බුදුදහම සාමාන්‍ය ජනතාව අතර පවා ජනප්‍රිය වූ අතර එයට හේතු වූයේ ඉන්දියාව ආදී රටවලින් රැගෙන ගිය පොත්පත් චීන භාෂාවට පරිවර්තනය කළ නිසාය . 
චීනයේ චී රාජවංශ සමයෙහිදී චිංලිං රජ කුමාරයා සුවිශේෂී සාහිත්‍යයකාමියෙකු වූ අතර බුද්ධාගමට ද ලැදියාවක් දැක්වීය . ඔහු බුදුදහම ප්‍රචාරය කිරීම සදහා උගත් , උසස් භික්ෂුණ්ගෙන් නිතරම උපදේශ ලබා ගත්තේය . සෑම විටම බෞද්ධයන් සමඟ හැසිරීම ප්‍රිය කළ මෙතුමා දාර්ශනික වාද විවාද සදහා සහභාගි විය . චී රාජවංශයේ 26 වෙනි වර්ෂයෙහි සංස්කෘතියෙන් තිබුණ බෞද්ධ ග්‍රන්ථ චීන භාෂාවට පරිවර්තනය කරවිම සදහා භාරතයෙන් බෞද්ධ භික්ෂුණ් චීනයට වැඩම කර තිබේ . එහිදී ප්‍රථමයෙන් ඉන්දියානු භික්ෂුණ් 5 නමක් චීනයට වැඩම කොට තිබේ . එසේම ලියං වංශයෙහි පාලකයෙකු වූ වුති රාජ්‍ය සමයේ මුළු රටේම බුදුදහම පිළිබඳව දියුණුවක් ඇති විය . යෙකිං නගරයේ පමණක් පන්සල් හත්සියයක් මෙකල තිබුණි .


      චීනයේ සුයි අධිරාජ්‍ය සමයේදී එම සුයි අධිරාජ්‍යයා බෞද්ධ ධර්මය ප්‍රචාරය කිරීම සදහා මහත් වෙහෙසක් දැරූහ . මෙම අධිරාජ්‍ය සමයේදී සිදු වූ විශේෂිත කාර්‍යයන් අතර රජතුමාගේ නියෝග පරිදි ෆාචීන් විසින් බෞද්ධ ධර්ම ග්‍රන්ථ සුචිය සම්පාදනය කරන ලදි . ඉන් අනතුරුව චීන ඉතිහාසයෙහි බලයට පත් තං අධිරාජ්‍ය සමයේ බුදුදහම පිළිබඳව අවධානය යොමු කිරීමේදී මහාධිරාජ තාඊත්සුං වැදගත් වේ . මෙතුමාද බුදුදහමෙහි දියුණුවට මහත් උපකාර කළ අයෙකි. සිංහාසනයට පත් වීමෙන් පසුව සරදාර්වරු සමඟ සටන් කර තම හමුදාව මියයන ආකාරය දුටු මෙතුමා මහත් වේදනාවට පත් ව තිබේ. ඒ අනුව මියගිය අය සිහිවීම පිණිස මෙතුමා විහාර දහයක් ඉදිකරවන ලදි . එම විහාර දහයෙන් හතක් අදවන විටද දැකගත හැකිය . මෙකල ද ඉන්දියාවෙන් භික්ෂුණ් කිහිපනමක් චීනයට වැඩම කර බුදුදහමෙහි කටයුතු සිදු කර තිබේ . 
    තං අධිරාජ්‍ය සමයෙහි හියුංසියාන් හිමි ඉන්දියාවට පැමිණි බව දක්නට පුළුවනි . හියුංසියාන් හිමි ඉන්දියාවේ හර්ෂවර්ධන රජුගේ කාලයේ ඉන්දියාවට පැමිණි අතර එහිදී කනෞජ් මහා සම්මේලනයට ද සහභාගි වූ බව ද සදහන් වේ . අධ්‍යාපනය ලබමින් ග්‍රන්ථ රචනය කරමින් හියුංසියාන් භාරතයේ අවුරුදු දහයක් ගත කලේය . 
   මෙම තං අධිරාජ්‍ය අවධිය තුළ බෞද්ධාගමික සමාජයෙහි ඇති වූ දියුණුව පිළිබඳව අවධානය යොමු කිරීමේදී විවිධ අංශ යටතේ හදුනාගත හැකිය . එහිදී මෙකල චීනයේ චිත්‍ර කලාව පිළිබඳව අවධානය යොමු කිරීමේදී තුන්හුවං ස්ථානය වැදගත් වේ . ඊට අමතරව ලුංමන්ෂතු නම් ගුහාවන් ද සුවිශේෂී වන අතර මේවා ඉන්දියාවේ අජන්තා ගුහාවන්ට සමාන බවක් දැකගත හැකිය . මෙකල බුදුපිළිම ආදිය නෙලීම ද ඉතාම වැදගත් වේ . මෙම බුද්ධ ප්‍රතිමා නිර්මාණයේදී ඉන්දියානු ගති ලක්ෂණ වලට වඩා මොංගෝලියානු ගති ලක්ෂණ දක්නට ලැබීම සුවිශේෂී වී තිබේ . එයට හේතුව මොංගෝලියාව චීනයට ඉතාම සමීප නිසා විය යුතුය . කෙසේ වෙතත් මෙම තං අධිරාජ්‍ය යුගයේ දී බුදුදහමෙහි වර්ධනීය ලක්ෂණ දැකගත හැකි අතරම පරිහානිකර ලක්ෂණද හදුනාගත හැකිය . එහිදී තං යුගයෙහි රජවරු වැඩි වශයෙන් බුදුදහමට අනුග්‍රහය දැක්වීමත් සමඟම විහාරස්ථානයන් වල ධනය වැඩි වූ බවක් දැකගත හැකිය . එහිදී ධනය වැඩි වීමත් සමඟ භික්ෂුණ් වහන්සේලා වැඩි වශයෙන් ලෞකික කටයුතු වලට යොමුවන අයුරු දක්නට පුළුවනි . මේත් සමගම ඇතැම් පාලකයන් එවැනි භික්ෂුණ්ගේ සිවුරු හැර පන්සල් වලින් බැහැර කරන ලද අවස්ථා දැකගත හැකිය . 
     මේ අනුව ක්‍රි.පු 6 වන සියවසෙහිදී උතුරු ඉන්දියාව කේන්ද්‍ර කර ගනිමින් ගොඩනැගුණු බුදුදහම ඉන් සියවස් කිහිපයකට පසුව ලෝකයේ විවිධ රටවලට ව්‍යාප්ත වූ අයුරු දැකගත හැකිය . මේ අතුරින් චීන අධිරාජ්‍ය ඉතාම වැදගත් වූ අතර චීනයේ හන් අධිරාජ්‍ය සමයේදී බුදුදහම චීනයට ලැබුණු බව පෙනේ . ඉන් අනතුරුව විවිධ යුග පසුකරමින් චීන බුදුදහම වර්ධනය වූ අතර එම ගමන් මගේදී තං අධිරාජ්‍ය සමය සුවිශේෂී ලෙස කැපී පෙනෙන බව දැකගත හැකිය . 

Friday, May 8, 2020

චීන ඉතිහාසයෙහි ෂං යුගය


       පුරාතන ලෝක ඉතිහාසය තුළ බිහි වූ පැරණි , ප්‍රධානතම ශිෂ්ටාචාර සතර අතුරින් චීන ශිෂ්ටාචාරයට ප්‍රමුඛ ස්ථානයක් හිමි වන බව දැකගත හැකිය . විශේෂයෙන්ම මෙම ශිෂ්ටාචාරය හොවැංහෝ ගංගා නිම්න ශිෂ්ටාචාරය ආදී පර්‍යාය නම් වලින් හදුන්වා තිබෙන බව පෙනේ . මෙම චීනයේ පැරණි ශිෂ්ටාචාරයෙහි ආරම්භය සිදු වූයේ හොවැංහෝ ගංගා මිටියාවතේය. ඇතැම් මූලාශ්‍ර වල සදහන් වී ඇති තොරතුරු වලට අනුව මෙම හොවැංහෝ ගංගාවට අමතරව යැංසි , සිකියෑං ආදී වූ ගංගාවන් ආශ්‍රිතව ද ව්‍යාප්ත වී තිබූ බව පෙනේ . මෙම පුරාතන චීන ශිෂ්ටාචාරය ලොව පුරා සීග්‍රයෙන් ප්‍රචලිත වීමට හේතු වූයේ ශිෂ්ටාචාර වාසීන් ලේඛන කලාවට යොමු වූ නිසා බව දැකගත හැකිය . 
මෙම පුරාතන චීන ඉතිහාසය දෙස අවධානය යොමු කිරීමේදී පූර්ව ඓතිහාසික සහ නව ශිලා යුගය ලෙසින් කොටස් දෙකක් දක්නට පුළුවනි . විශේෂයෙන්ම චීනයේ පැරණි මානවයන් පිළිබඳව බැලීමේදී යුවැන්මෝ , ලන්තියෑන් සහ පීකිං  යන මානවයන් වැදගත් වේ. මෙම පැරණි මානවයන්ගේ ඉතිහාසය අදින් වසර ලක්ෂ 17 ක් පමණ දක්වා දිවයන බව පෙනේ . ඊට අමතරව නව ශිලා යුගය පිළිබඳව අවධානය යොමු කිරීමේදී යංෂාඕ , ලුන්ෂාන් , මජියාඕ ආදී සංස්කෘතින් වැදගත් වේ. කෙසේ වෙතත් චීනයට ඇති ස්වභාවික බාධක නිසා බොහෝ කලක් යන තෙක් පැරණි චීන ජාතිකයෝ බාහිර ලෝකය සමඟ සබදතා නොපැවත්වූ අතර ඔවුන් තමන්ටම සුවිශේෂී ශිෂ්ටාචාරයක් ගොඩනගා ගනු ලැබිය .
       චීන ශිෂ්ටාචාරය තුළ ප්‍රබල හැරවුම් ලක්ෂයක් වූ මෙම ෂං රාජ පරම්පරාව පිළිබඳව අනෙක් රාජවංශ වලට වඩා පුරාවිද්‍යාත්මක සාධක හමුවී තිබෙන අතර සුවිශේෂී වනුයේ ලිඛිත සාධක මතින් තොරතුරු හමුවීමයි. ඒ අනුව චීන ශිෂ්ටාචාරය පිළිබඳව තොරතුරු අධ්‍යයනය කළ ඉතිහාසඥයන් මෙම ෂං රාජ පරම්පරාව චීනයේ ප්‍රමුඛතම රාජවංශය ලෙසින් හදුන්වා දී තිබේ . එපමණක් නොව ෂං අවධිය පුරාතන චීන සභ්‍යත්වයේ විශිෂ්ටතම කාල පරාසයක් ලෙසින්ද හදුන්වා දී තිබේ. මෙයට හේතු වී ඇත්තේ චීන ශිෂ්ටාචාරයේ දේශපාලන , ආර්ථික, ආගමික සහ සංස්කෘතික අංශයන් තුලින් කැපී පෙනෙන වර්ධනයන් සිදු වී තිබීමය . 
       මෙම ෂං අවධිය චීනයේ විශිෂ්ටතම කාල පරාසයක් වීම සදහා දේශපාලනික අංශය ද කැපී පෙනුනි. විශේෂයෙන්ම ෂං රාජවංශ අවධිය ක්‍රි.පු 1600 තරමේ සිට 1027 පමණ දක්වා ආසන්නව අවුරුදු 600 ක පමණ පාලන කාලයක් ගෙන ගිය රාජවංශයක් වේ. මෙහිදී පුරාවිද්‍යාත්මක මූලාශ්‍රයන් වලට අනුව ක්‍රි.පු 1400 දී මෙම රාජවංශයෙහි අගනුවර කහ ගංගාව හෙවත් හොවැංහෝ ගංගාවේ දකුණේ පිහිටි ජෙං-ජෞ සිට උතුරේ පිහිටි අන්යාන් වලට මාරු කළ බවට ලක්ෂණ දැකගත හැකිය . මෙම ෂං යුගයේ අධිරාජ්‍යවරුන්ගේ අගනුවර වූයේ අන්යාන් නුවර බව පෙනේ . ෂං අවධියේ දේශපාලනය දෙස බැලීමේදී එහි පාලකයන්ටද සුවිශේෂී වැදගත්කමක් ලැබී තිබේ . එහිදී shang-tang විසින් ෂියා රාජවංශය පරාජය කර ෂං රාජවංශය ආරම්භ කළ අතර මෙය චීනයේ දෙවන රාජවංශයයි. ඒ අනුව මෙම shang-tang රජු ෂං රාජ වංශයෙහි ආරම්භකයා බව හදුනාගත හැකිය . එසේම මෙම රජු තමාගේ සතුට සහ සුඛෝපභෝගීභාවය වෙනුවට ඔහුගේ රටේ ජනතාව වෙනුවෙන් වැඩ කිරීමට පටන් ගත්තේ ඔහුගේ අනුප්‍රාප්තිකයන්‍ට ආදර්ශයක් ලෙසිනි. මෙම ෂං රාජ පරම්පරාව ද අනෙකුත් රාජ පරම්පරා මෙන් අවශේෂ ගෝත්‍රයන් යටත් කර ගැනීම සදහා නිතර යුධ කෝලාහල ඇති වූ බව පෙනේ . විශේෂයෙන්ම ෂං රාජ වංශයේ දේශපාලන තත්ත්වය තුළ අප මුලින් සදහන් කළ පරිදි මෙම පරපුරේ රජවරු අනෙකුත් ප්‍රාදේශීය රජවරු සමඟ සටන් ඇති කරගත් අතර ඔරකල් ඇටකටු සහ වෙනත් කෞතුක භාණ්ඩ වල වාර්තාවන්ට අනුව ද මෙලෙස නිරන්තර යුධ කෝලාහල පැවති බව අනාවරණය වී තිබෙනු දැකගත හැකිය .

         
      මෙම ෂං අවධිය පිළිබඳව අධ්‍යයනය කිරීමේදී කැපී පෙනෙන ආගමික අංශයක්ද හදුනාගත හැකිය. එහිදී විශේෂයෙන්ම මෙම අවධිය තුළ ජීවත් වූ මිනිසුන් තුළ මළවුන් ඇදහීම ද ප්‍රචලිත විය . එහෙත් එය උසස් පෙළපතේ මිනිසුන් විසින් පමණක් අනුගමනය කරන ලද පිළිවෙතකි. මළවුන් ඇදහීම මහජන ආගමක් වූයේ මෑත කාලයේදීය. මෙම රාජවංශ අවධිය තුළ ජනයා විශ්වාස කළේ කෙනෙකු මරණයෙන් පසුව ස්වර්ගයේ ජීවත් වන බවත් , ඔවුන් නිරන්තරයෙන් ජීවත් වන අයගේ කටයුතු සමඟ සම්බන්ධ වන බවටත් විශ්වාස කර තිබේ . එම නිසා මෙම මියගිය මුතුන් මිත්තන් හෝ දෙවිවරුන්ගේ ශක්තිය වැඩි දියුණු කිරීම සදහා විවිධ පුද පූජාවන් පැවැත්වීමට කටයුතු කර තිබේ . මෙහිදී විශේෂයෙන්ම දක්නට ලැබෙන විශේෂ ලක්ෂණයක් වූයේ ෂං සංස්කෘතිය තුළදී රජතුමා ද පූජකයෙකු ලෙසින් කටයුතු කර තිබීමය . මෙලෙස මියගිය තම නෑදෑයන් , මුතුන් මිත්තන් වෙනුවෙන් පුද පූජාවන් නොකළහොත් සිය රාජ්‍යයට සහ පවුලේ අයට විපත් අත් වන බවට ඔවුන් විශ්වාස කරන ලදි . එසේම මොවුන් විවිධ ක්‍රියාකාරකම් සිදු කිරීම සදහා මෙම මියගිය මුතුන් මිත්තන්ගේ අනුමැතිය ලබා ගැනීම සදහා පේන චාරිත්‍ර සිදු කිරීමෙන් දැකගත හැකිය . මෙම පේන ඇසීමේ චාරිත්‍රය තුලින් බොහෝ විට යුද්ධ , අස්වැන්න මෙන්ම දරු ප්‍රසූතිය පිළිබඳව ප්‍රශ්න නිතර අසා ඇති බව දක්නට පුළුවනි . පේන චාරිත්‍රයන් සිදු කිරීමේදී බොහෝ විට කැස්බෑ ලෙලි සහ විවිධ අස්ථිමය කොටස් ඇවිලෙන ගින්නට දමන අතර එහිදී මෙම පේන චාරිත්‍රයට අදාළ නිර්ණායකයන් සටහන් වන අතර ඒවායේ සටහන් සිදුරු , රේඛා හෝ යම්කිසි රටාවක් බව ඔවුන් විශ්වාස කරනු ලැබීය . එසේම මෙම ෂං රාජවංශ අවධිය තුළදී අප මුලින් සදහන් කළ පරිදි අලංකාර සුසාන සොහොන් කොත් නිර්මාණය කර ඇති අතර එම මියගිය පුද්ගලයා භාවිත කරන ලද උපකරණ , පූජා භාණ්ඩ සහ අවි ආයුධ ද  සොහොන් ගෙය තුළ තැන්පත් කර තිබේ . ඇතැම් විට රජෙකු මියගිය විට ඔහු සතු අශ්වයන් ද මෙලෙස මිහිදන් කර තිබේ . එයට හේතුව මියගිය පුද්ගලයාගේ පසු ජීවිතයට මේවාට යාම සදහා මෙලෙස තැන්පත් කරනු ලැබූ බව පෙනේ. එසේම මෙම අවධියේ ඉදි කළ සොහොන් කොත් ජේඩ් පාෂාණයෙන් නිර්මාණය කර තිබේ . 
මෙකල චීන ජාතිකයන්ගේ ආගම බහු දේවවාදයක් විය . ස්වාභාවික වස්තු දේවත්වයට නගා ඔවුනට පුද පූජා පැවැත්වීම මෙන්ම ඒ ජනතාව විසින් ඇදහූ නානාවිධ දෙවියන්ට හරසර දැක්වීම ඔවුන්ගේ ආගමෙහි මූලික ප්‍රතිපත්තිය විය . එසේම මෙකල පිළිම වලට නමස්කාර කිරීම ආරම්භ කරන ලදි . මෙම ෂං අවධියේ ජනතාව ඉර , හද , ගංගා , පොළොව ආදී ස්වභාවික වස්තූන් දේවත්වයට ආරෝපණය කර වන්දනා කළ බවට සාධක තිබේ . 
මෙම ෂං රාජවංශ අවධිය තුළ ක්‍රමානුකූලව ගොඩනැගුණු ආර්ථික අංශයක්ද පැවති බව පෙනේ . එහිදී මොවුන් කෘෂිකාර්මාන්තය මූලික කර ගත් අතර වී වගාව සිදු කර තිබෙනු දැකගත හැකිය . මෙම ෂං යුගයෙහි අධිරාජවරු ගොවි සමාජයක ප්‍රධානීන් වූයෙන් ගොවිතැන ගැන වැඩිපුර උනන්දුවක් දක්වනු ලැබීය . විශේෂයෙන්ම වාරිමාර්ග සාදාලීමෙන් පමණක් නොව තමා ද ගොවිතැනෙහි යෙදීම ඔවුන්ගේ පුරුද්ද විය . යටත් පිරිසෙයින් අවුරුද්දකට වරක් කුඹුරට බැසීම මෙම අධිරාජ්‍යවරුන්ගේ යුතුකමක් විය . සෑම අලුත් අවුරුදු දිනයකම ඔවුහු ජගන්මාතාවට පුද පූජා පවත්වා සී සෑමෙහි යෙදුණහ . මෙය පුරාතන අවධියෙහිදී සිටම චීන අධිරාජ්‍යවරුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වුණු ජාතික උත්සවයක් බවට පත්ව තිබේ . විශේෂයෙන්ම මෙම ෂං අවධියේ මෙනේරි , සහල් , තිරිඟු , බාර්ලි ආදිය ගොවිතැනෙහි ප්‍රධාන ආහාරය බවට පත් වූ අතර දඩයම ද සිදුකර තිබේ . 
       මෙලෙස කෘෂිකර්මය පැවති නමුත් මෙකල පුළුල් ලෙසින් සත්ත්ව පාලනය ද සිදු කළ බවට සාක්ෂි ලැබී තිබේ. එහිදී බැටළුවන් සහ ගවයන් වැඩි වශයෙන් ඇති කර තිබේ . එසේ වුවද මෙම බැටළුවන්ගේ සහ ගවයන්ගෙන් ලබා ගත් කිරි වලින් නිෂ්පාදනය කරන ලද ආහාර ද්‍රව්‍යයන් වලට මෙම චීන වැසියන් වැඩි රුචිකත්වයක් දැක්වූයේ නැත. මෙලෙස සත්ත්ව පාලන කටයුතු සිදු කිරීම හරහා එය වක්‍රව කෘෂිකාර්මාන්තයට ද දායකත්වයක් ලැබී තිබේ . මෙම ෂං රාජවංශ අවධිය තුළ තඹ ලෝහය සුලබ නොවීම නිසා කෘෂිකාර්මික කටයුතු සදහා අවශ්‍ය වන මෙවලම් නිර්මාණය කර ගැනීමේදී දැව වර්ග සහ පාෂාණ වලින් නිර්මාණය කර ගෙන තිබෙන බව පෙනේ . මෙකල ආර්ථික කටයුතු වලදී වෙළෙන්දන් ද සුවිශේෂී කාර්‍යභාර්‍යයක් සිදු කර තිබේ . මෙකල ප්‍රාථමික මුදල් වර්ගයක් ලෙසින් හවඩි කටු භාවිත කළ බවට තොරතුරු ලැබී තිබේ . එසේම ෂං අවධිය තුළ අත්කම් කර්මාන්තය ද වර්ධනය වී ඇති බව දැකගත හැකිය . මෙම ජනතාව විවිධ ශිල්ප ප්‍රගුණ කළ අතර දිලිසෙන සේ ඔප දමන ලද මැටි භාණ්ඩ තැනීම, සේද රෙදි විවීම සහ තඹ භාජන සෑදීම ඒ අතර ප්‍රමුඛස්ථානයක් ගනු ලැබීය . මෙකල වෙළදාම තුළදී වෙළද ද්‍රව්‍ය හුවමාරුව සහ වෙළද ද්‍රව්‍ය හුවමාරු අලෙවි නියෝජිත භූමිකාව ද දිස්වන්නට විය . එසේම ජේඩ් කැටයම් ශිල්ප ක්‍රම සහ ඉහළ තත්ත්වයෙන් වියන ලද සේද රෙදි ද දැකගත හැකිය . මෙම සේද රෙදි සෑදීමේ කලාව චීනයට ආවේණික වූ අතර මෙම සේද රෙදි කලාව දීර්ඝ කාලයක් යනතුරුම චීන වැසියන් රහසක් ලෙසින් තබා ගැනීමට උත්සහ කළහ. 
 ෂං අවධිය වන විට චීන සංස්කෘතියෙහි ඉතිහාසය ඉතාම සවිස්තරව අධ්‍යයනය කිරීමට හැකි වී තිබේ . විශේෂයෙන්ම මෙම ෂං අවධියේ අධිරාජ්‍යවරුන්ගේ ප්‍රධාන අගනගරය වූයේ අන්යාන් නගරයයි. මෙම අන්යාන් නගරය වටා ප්‍රාකාරයක් බැද තිබුණි . එහි ගෙවල් කුඩා අළු පාට ගඩොල් වලින් සාදනු ලැබීය . මෙකල චීන ජාතිකයන් අනුගමනය කළ ගෘහ නිර්මාණ ශිල්ප කලාව අද දක්වාම නොවෙනස්ව දැකගත හැකිය . මෙම චීන ගෘහ නිර්මාණ ශිල්පයේ වැදගත් ලක්ෂණයක් වනුයේ මෙකල ඉදිකරනු ලැබූ නිවාසවල වහල රදා පැවතියේ නිවසේ බිත්ති මත නොවේ. මෙම නිවාසවල බිත්ති එම නිවසේ ආවරණය සදහා පමණක් භාවිත කර තිබෙනු දක්නට පුළුවනි. එසේම මෙම ෂං අවධියෙහි චීන ජන ජීවිතයේ මිනිසුන් දෙස බැලීමේදී ඔවුන් සංගීත ක්ෂේත්‍රයේ විශාල ප්‍රගතියක් සිදු වී තිබුණු බවට සාධක හමුවී තිබේ . විශේෂයෙන්ම මෙම සංගීත භාණ්ඩ ඉතාම සියුම් ලෙස නිර්මාණය කර තිබෙන අතර බෙර සහ තඹ අත්තල් ආදියෙහි සාධකයන් සොයාගෙන තිබේ . 
        ෂං අවධිය තුළ චීන සංස්කෘතියෙහි සිදු වූ තවත් වර්ධනයක් ලෙස චීන අක්ෂර කලාවෙහි ප්‍රභවය හෙවත් ලේඛන කලාවක ආරම්භය සිදුවීමයි . මෙහිදී ෂං යුගයේ වැසියා භාවිත කරනු ලැබුවේ චිත්‍රාකාර හෝඩියකි. විවිධ සටහන් ඔවුන් ලේඛනගත කිරීමට කෙතරම් සැලකිල්ලක් දැක්වීද යත් ක්‍රි.පු පහලොස් වෙනි සියවසෙහි සිට චීන ඉතිහාසය පිළිබඳව ප්‍රවෘත්ති ඒවායින් ලබා ගත හැකිය . ඒ අනුව චීන ඉතිහාසයෙහි මුල් ලේඛන හමුවනුයේ මෙම ෂං අවධියෙනි. චීන අක්ෂර වල ඇති පැරණිතම ආකෘතිය සොයා ගත හැක්කේ අස්ථි ඇටකටු ලෙස හැදින්වෙන සතුන්ගේ ඇටකටු සහ ෂෙල් වෙඩි මත ඇති දිව්‍යමය වාර්තා වලිනි . මෙහිදී මියගිය මුතුන් මිත්තන්ගේ පාලකයන් ඇසූ පේන සහ එම අසන ලද පේනයන්ට ලැබුණු උත්තර ආදිය මෙම කැස්බෑ ලෙලි වල සදහන් වී තිබේ . මෙම ඉපැරැණි චීන අක්ෂර දෙස අවධානය යොමු කිරීමේදී ඒවා යම්කිසි රූපයක් , වස්තුවක් නිරූපණය කිරීමට උත්සහ ගෙන තිබෙන බව පෙනේ . පසුකාලීනව මොවුන්ගේ සාහිත්‍යය කෘති තුළ කාව්‍යමය තොරතුරු ද අන්තර්ගත වී තිබේ . ඒ අතර මහජන ගීත , රාජසභා ගීත , භක්ති ගීත යන කොටස් දක්නට පුළුවනි . කෙසේ වෙතත් මෙහි වැදගත්ම දෙය වනුයේ ෂං අවධියේ නිර්මාණය වුණ අක්ෂර මාලාව හරහා වර්තමාන චීන අක්ෂර කලාව ආරම්භ වී තිබීමය . 
      චීනයේ ප්‍රමුඛතම රාජවංශය ලෙසින් සැලකෙන ෂං අවධිය තුළ දැකගත හැකි තවත් සුවිශේෂී ලක්ෂණයක් වූයේ ලෝකඩ කලා ශිල්පයයි. විශේෂයෙන්ම පුරාවිද්‍යාත්මක කැණීම්, ගවේෂණ හරහා ලෝකඩ වලින් නිර්මාණය කරන ලද අවි ආයුධ සහ විවිධ පූජා උත්සව අවස්ථාවන් වලදී භාවිත කරන ලද පූජා බදුන් රැසක් පුරාවිද්‍යාඥයන් විසින් සොයා ගන්නා ලදි . මෙලෙස හමුවූ ලෝකඩ භාජන අතුරින් පාද තුනෙන් යුක්ත , විසිතුරු කැටයමින් යුතු ත්‍රිපාදාසන පූජා බදුන් සුවිශේෂී ලෙස කැපී පෙනේ . මෙම පාද තුනේ භාජනයන් මැටියෙන් හෝ දැවයෙන් තනන ලද ආකෘතීන් තුලට උණු කරන ලද ලෝකඩ වත් කොට නිර්මාණය කරන ලදි . මෙකල බහුල වශයෙන් ලෝකඩ නිෂ්පාදනය සිදු වූ අතර ලෝකඩ කර්මාන්තය රජයේ ඒකාධිකාරී ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යන ලදි . මෙම ලෝකඩ බදුන් දෙස අවධානය යොමු කිරීමේදී ඒවා ඉතා සියුම් කැටයමින් අලංකාර කර තිබෙන බව පෙනේ . එසේම මෙකල ලෝකඩ වලින් කරන ලද ලෝකඩ මුහුණ ආවරණ හෙවත් වෙස් මුහුණු කලාවක සාධක හමුවී තිබේ . මේවා චීනයටම ආවේණික ලක්ෂණ වලින් යුක්තව නිර්මාණය කර තිබෙන බව දැකගත හැකිය . 
     ඒ අනුව චීන ශිෂ්ටාචාරයේ ප්‍රධාන රාජවංශයක් ලෙස ෂං රාජ පරම්පරාව හදුන්වාදිය හැකිය . මෙහි ඉතා ප්‍රබල රජවරුන් රාජ්‍ය කටයුතු කළ අතර ඔවුන්ගේ මැදිහත්වීම මත චීන ශිෂ්ටාචාරයේ ඉතා සුවිශේෂී දේශපාලන , ආර්ථික , ආගමික , සංස්කෘතික ආදී අංශයන් රැසක් නිර්මාණය කර තිබෙන බව දැකගත හැකිය .

Thursday, May 7, 2020

බුද්ධ ප්‍රතිමාවේ ප්‍රභවය ලංකාවේ සිදු වීද ?


පුරාතන මූර්ති කලා ඉතිහාසය අධ්‍යයනය කිරීමේදී අනෙකුත් මූර්ති සමඟ ගත් කළ බුද්ධ ප්‍රතිමාවට සුවිශේෂී ස්ථානයක් හිමි වන බව පෙනේ . විශේෂයෙන්ම වර්තමාන බෞද්ධ සමාජයෙහි පවා ඉතා කැපී පෙනෙන සංකේතයක් ලෙසින් මෙම බුද්ධ ප්‍රතිමාව හදුන්වා දිය හැකිය . සංස්කෘත බසින් ප්‍රතිමා ලෙසත් , පාලියෙන් පටිමා ලෙසත් , සිංහල භාෂාවෙන් පිළිම යන නමින්ද හදුන්වනු ලබන මෙමගින් නිරූපණය වනුයේ විවිධ සංකල්පීය හෝ ස්වභාවිකත්වය අනුකරණය කරමින් කරනු ලබන යම්කිසි නිර්මාණයකි . එහිදී බුද්ධ ප්‍රතිමාව දෙස අවධානය යොමු කිරීමේදී ඇත්තෙන්ම එය එක්තරා අන්දමක සංකල්පීය රූපයකි. එනම් එම ප්‍රතිමා තුලින් නිරූපණය කරනු ලබන්නේ බුදුසසුනේ ශාස්තෘන් වහන්සේය.
විශේෂයෙන්ම බුදුන් වහන්සේගේ පරිණිර්වාණයෙන් පසුව උන්වහන්සේ වෙනුවෙන් වන්දනාමාන කටයුතු කිරීම සදහා ශ්‍රී මහා බෝධිය සහ ස්ථූපය භාවිත කළ අතර සැදැහැති බෞද්ධයන් මුහුණ දුන් ප්‍රබලම ගැටළුව වූයේ බුදුන් වහන්සේ නිරූපණය කරනු ලබන්නේ කෙසේද යන්නයි. එයට හේතුව පෙළ දහමෙහි සදහන් වූයේ බුදුන් වහන්සේ අප්පටිම යනුවෙන්‍ ය. එනම් නැවත ප්‍රතිනිර්මාණය කළ නොහැකි යන්නයි. එපමණක් නොව එකල කලාකරුවන් බුදුන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ , මහා කරුණාව ආදී වූ ගුණාංග නිරූපණය කිරීමට යම් බියක් දැක්වීය . එම නිසාම මෙම කලාකරුවන් බුදුන් වහන්සේ නිරූපණය කළ යුතු වූ අවස්ථා වලදි ඒ සදහා විවිධ සංකේත භාවිත කර තිබෙනු දැකගත හැකිය . විශේෂයෙන්ම එවැනි අවස්ථා වලදි බෝධිය , සිරිපතුල , ධර්මචක්‍රය , ස්ථූපය සහ වජ්‍රාසනය ආදී ආගමික සංකේත භාවිත කර තිබේ . මෙවැනි සංකේතයන් ක්‍රි. පු 3 වන සියවසෙහි ඉන්දියාවේ සාංචි , භාරුත් ස්ථූපයන්හි තොරණවල කැටයම් මගින් හොදින් ස්මතු කර තිබෙනු දැකගත හැකිය . එපමණක් නොව ලංකාවේද ඇතැම් ස්ථාන වලින්ද මෙවැනි ආගමික සංකේතයන් දැක ගැනීමේ හැකියාව පවතී.
මෙහිදී බුද්ධ ප්‍රතිමාවේ ප්‍රභවය පිළිබඳව අධ්‍යයනය කිරීමේදී වර්තමානයේ පවා එම කරුණ පිළිබඳව ශාස්ත්‍රීය වාද විවාදයන් සිදු වෙමින් පවතී. කෙසේ වෙතත් අද වන තුරුම ඒ පිළිබඳව නිශ්චිත මතවාදයක් ගොඩ නැගීමට හැකියාවක් ලැබී නොමැති බව පෙනී යන කාරණයකි . එහිදී ඇතැම් ඉතිහාසඥයන්ට සහ විචාරකයන්ට අනුව බුද්ධ ප්‍රතිමාවේ ප්‍රභවය ලාංකේය ප්‍රතිමා කලාකරුවාගේ දක්ෂතා මත ගොඩනැගුණු අගනා නිර්මාණයක් ලෙසත් , ඇතැම් මතවාදයන්ට අනුව ලාංකේය බුද්ධ ප්‍රතිමා සම්ප්‍රදායය ඉන්දියානු බුද්ධ ප්‍රතිමා සම්ප්‍රදායේ ආභාසය මත ගොඩනැගුණු වූවක් ලෙසින් මත පළ කර තිබේ . එය එලෙස ප්‍රකාශ කිරීමට හේතු වූයේ ලක්දිව අනෙකුත් කලා අංග කෙරෙහි ඉන්දියානු ආධිපත්‍යය පැතිරවූවා සේම බුද්ධ ප්‍රතිමා කලාව කෙරෙහීත් එම ආභාසයම හේතු වූ බවට කරනු ලබන විශ්වාසයයි.
මෙම බුද්ධ ප්‍රතිමාවේ ප්‍රභවය පිළිබඳව ලැබෙන යම් යම් තොරතුරු වල ඓතිහාසිකත්වය පිළිබඳව අධ්‍යයනය කිරීමේදී එම ලැබෙන සාධක ප්‍රධාන කොටස් දෙකක් යටතේ වර්ග කර දැක්විය හැකිය . එනම් සාහිත්‍යය මූලාශ්‍ර සහ පුරාවිද්‍යාත්මක මූලාශ්‍රයි. එහිදී බුද්ධ ප්‍රතිමාවේ ප්‍රභවය ලංකාවේ සිදු වී ඇති බවට තර්ක කරන උගතුන් ඒ සදහා ප්‍රමුඛ ලෙසින් සාහිත්‍යය මූලාශ්‍රගත තොරතුරු පිළිබඳව වැඩි නැඹුරුවක් දක්වනු පෙනේ .
විශේෂයෙන්ම ඩී.ටි දේවේන්ද්‍ර , නන්දදේව විජේසේකර , ආචාර්ය සිරි ගුණසිංහ , කඹුරුපිටියේ වනරතන හිමි ආදී විද්වතුන් විසින් මෙම බුද්ධ ප්‍රතිමාවේ ප්‍රභවය ශ්‍රී ලංකාවේ සිදු වූ බවට තොරතුරු ඉදිරිපත් කර තිබේ . ඔවුන්ගේ විශ්වාසයට සහ ඉදිරිපත් කරනු ලබන තොරතුරු වලට අනුව ශ්‍රී ලංකාවේ බුද්ධ ප්‍රතිමා නිර්මාණය පිළිබඳව තොරතුරු ක්‍රි.පු 3 වන සියවස තරම් ඈත අතීතයකට දිවයන බවට කරුණු ඉදිරිපත් කර තිබේ . ඒ අනුව මෙහි ඉතිහාසය දේවානම්පියතිස්ස රාජ්‍ය කාලය දක්වා ඈතට යන අයුරු දැකගත හැකිය .
මෙහිදී ලංකා ඉතිහාසය තුළ මුල්ම වතාවට බුද්ධ ප්‍රතිමාවක් නිර්මාණය වීම පිළිබඳව තොරතුරු සදහන් වනුයේ මහාවංසය නම් සාහිත්‍යය මූලාශ්‍රය තුලය. විශේෂයෙන්ම ශ්‍රී ලාංකේය ඉතිහාස සන්දර්භය තුළ වැදගත්ම මූලාශ්‍රය වන මහාවංසයේ සදහන් වන්නේ දේවානම්පියතිස්ස රජු විසින් උරුසිලා පටිමා , එනම් මහගල් පිළිමයක් කරවා ථූපාරාමයෙහි තැන්පත් කරවූ බවය . දේවානම්පියතිස්ස රජු කළ ලංකාවේ සිදු වූ සීග්‍ර බුදුසමයේ ව්‍යාප්තියත් සමගම මෙලෙස බුද්ධ ප්‍රතිමාව නිර්මාණය වන්නට ඇතැයි විශ්වාස කරන අතරම මෙම මහාවංසයේ සදහන් තොරතුරු සම්බන්ධව විවිධ මතවාදයන් ඉදිරිපත් වී තිබේ . එහිදී වල්පොල රාහුල හිමි , කඹුරුපිටියේ වනරතන හිමි ආදී උගතුන්ගේ පැනය වී ඇත්තේ ලාංකේය කලා ශිල්පීන්ගේ කලාත්මක දැනුමෙන් මෙබඳු ප්‍රතිමාවක් බිහිවිය නොහැකි දැයි ලෙසය . එමෙන්ම යමුනා හේරත් මහත්මියගේ මතයට අනුව ද මෙම පිළිමයේ ඓතිහාසික සත්‍යයක් පවතින බව දක්වා තිබේ . එසේම එතැනින් නොනැවතුණ නන්දදේව විජේසේකර මහතා මෙන්ම ඩී.ටි දේවේන්ද්‍ර යන උගතුන් දෙදෙනා පෙන්වා දෙනුයේ දේවානම්පියතිස්ස රජු කළ නිර්මාණය කරන ලද මෙම උරුසිලා පටිමාව දැනට අනුරාධපුර දක්නට ලැබෙන සමාධි ප්‍රතිමාව ලෙසින් මතවාදය ඉදිරිපත් කර තිබේ .
මෙම දේවානම්පියතිස්ස රජුගේ කාලයේ කරවන ලද උරුසිලා පටිමා නම් බුද්ධ ප්‍රතිමාවන්ට පසුව ලක්දිව බුද්ධ ප්‍රතිමා නිර්මාණකරණය පිළිබඳව තොරතුරු හමුවනුයේ දුටුගැමුණු රජුගේ කාලයේදීය . විශේෂයෙන්ම වසර 44 ක් රජරට පැවති එළාර පාලනයෙන් ලක්දිව නිදහස් කර ගැනීමෙන් පසුව දුටුගැමුණු රජු විසින් ඉදිකරනු ලැබූ මහාථූපය හෙවත් රුවන්වැලිසෑය පිළිබඳව තොරතුරු ඉදිරිපත් කරනු ලබන වංශකතාකරු ඒ සමයෙහිදී ඉදිකරන ලද බුද්ධ ප්‍රතිමා සම්බන්ධයෙන් තොරතුරු ඉදිරිපත් කර තිබේ . එම තොරතුරු වලට අනුව දුටුගැමුණු රජු මහාථූපය ඉදිකිරීමේදී එහි ධාතු ගර්භය මැද බෝධි වෘක්ෂයක් කරවා එය යට පර්‍යංකාසනයෙන් වැඩ සිටින බුදුරුවක් රනින් නිම කරවූ බව දක්වා තිබේ . මෙහිදී සදහන් කරන ලද බුද්ධ ප්‍රතිමාව පිළිබඳව ථූපවංසය , වංසත්තප්පකාසිනීය ආදී සාහිත්‍යයමය මූලාශ්‍රයන්හී ද තොරතුරු සදහන් කර තිබේ . එම තොරතුරු වලට අනුව මෙම බුද්ධ ප්‍රතිමාව රියන් දොළසක් පමණ උස බවත් , එම ප්‍රතිමාවේ යම් යම් කොටස් විවිධ වර්ණ මාණික්‍ය වලින් අලංකාර කර තිබූ බවත් සදහන් කර තිබේ . ඒ අනුව ලංකාවේ ලෝහමය පිළිමයක් පිළිබඳ මුල්ම සාධකය මෙයයි . විශේෂයෙන්ම ලක්දිව පටිමාඝර හෙවත් පිළිම ගෙවල් නිර්මාණය කිරීමට පෙර කාලවකවානුවන්හි මෙලෙස බෝධි වෘක්ෂයන් යට බුද්ධ ප්‍රතිමාවන් තැන්පත් කිරීම සිදු කර තිබේ .

එපමණක් නොව රුවන්වැලිසෑය නිර්මාණය පිළිබඳව තොරතුරු දක්වන මහාවංස කතු සහ ථූපවංස කතු සදහන් කරනුයේ මෙම රුවන්වැලිසෑයෙහි ගර්භය නිර්මාණය කිරීමේදී දාගැබේ අභ්‍යන්තර බිත්ති වල විවිධ ජාතක කතා , බුද්ධ චරිතයේ විවිධ කතා චිත්‍රණය කර තිබූ බවය . එහිදීත් බුද්ධ රූපය මානව රූපීයව නිර්මාණය කර තිබෙන බව පෙනී යයි . මේ අනුව පෙනී යන කාරණය වනුයේ දුටුගැමුණු රජුගේ කාලය වන විටත් ලක්දිව බුද්ධ ප්‍රතිමා කලාවේ ආරම්භය සිදුවී තිබෙන බවය . විශේෂයෙන්ම ලංකාවේ ප්‍රාග් බෞද්ධ ඇදහීම් පැවති කාලයේ පටන්ම මෙම ප්‍රතිමා කලාව පැවත , ඉන් පසුව ක්‍රි.පු 3 වන සියවසෙහි දේවානම්පියතිස්ස රජුගේ කාලයේ සිදු වූ මහින්දාගමනයෙන් පසුව ලක්දිව ඇති වූ බෞද්ධ ප්‍රබෝධය සමඟ මුල් කාලයේ විවිධ ප්‍රාථමික දෙවොල් වල ප්‍රතිමා නිර්මාණකරණයේ යෙදී සිටි ශිල්පීන් මෙම බුද්ධ ප්‍රතිමා කලාවට යොමු වූ බවට උගතුන් විශ්වාස කරනු ලබයි . කෙසේ වෙතත් බුද්ධ ප්‍රතිමාවේ ප්‍රභවය ලංකාවේ සිදු වූ බවට සාහිත්‍යයමය වශයෙන් ලැබෙන සාධක බහුල වුවත් එම සාහිත්‍යය කෘතීන්ගේ පශ්චාත් කාලීන භාවය නිසාම බොහෝ විචාරකයන් එම සාධක වල නිරවද්‍යතාවය පිළිගැනීමට මැලිබවක් දක්වනු පෙනේ .
කෙසේ වෙතත් ප්‍රථම ලාංකික පුරාවිද්‍යා කොමසාරිස් ධූරයට පත් වූ පරණවිතාන මහතා සහ කලා ශිල්ප පිළිබඳව විදිමත් විචාරයන් ඉදිරිපත් කරන ලද ආනන්ද කුමාරස්වාමි මහතාගේ මතය වී ඇත්තේ ලක්දිව බුද්ධ ප්‍රතිමා කලාව ඉන්දියාවෙන් උකහා ගන්නා ලද කලාවක් බවය . ඒ අනුව ඉන්දියාවේ බුද්ධ ප්‍රතිමා කලාව පිළිබඳව අධ්‍යයනය කිරීමේදී හමුවන පුරාවිද්‍යාත්මක සාධක වලට අනුව එහි ඉතිහාසය ක්‍රි.පු 1 වන සියවස අගදී හෝ ක්‍රි.ව 1 වන සියවස මුලට දිවයන බව දැකගත හැකිය . එහිදී වයඹදිග ඉන්දියාවේ පාලන කටයුතු කරන ලද ශක පර්තියන් කාලපරාසය තුළදී මෙම බුද්ධ ප්‍රතිමාවේ ප්‍රභවය පිළිබඳව යම් යම් තොරතුරු දක්නට පුළුවනි . විශේෂයෙන්ම ක්‍රි.පු 2 වන සියවසෙහි පමණ මාවුස් , 1 වන අසේස් සහ 2 වන අසේස් යන රජවරුන් විසින් නිකුත් කරන ලද කාසි වල බුද්ධ ප්‍රතිමාවන් හෝ ඊට සමාන රුවක් නිරූපණය කර තිබෙනු පෙනේ . මෙහිදී ඉතිහාසය අධ්‍යයනය කිරීමේදී පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර අතර එන මෙම නාණක මූලාශ්‍ර මගින් ශක පර්තියන් කාලයේ බුද්ධ ප්‍රතිමාවේ යම්කිසි ආරම්භයක් වූ බව දැකගත හැකිය .
නමුත් බුද්ධ ප්‍රතිමා නිර්මාණය කෙරෙහි නිශ්චිත සාධක හමුවනුයේ ක්‍රි.ව 1 වන සියවස් කාලයේදීය . එනම් එහිදී වයඹදිග ඉන්දියානු ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් පාලන කටයුතු මෙහෙයවන ලද කුෂාණ රාජවංශයෙන් මේ සම්බන්ධ තොරතුරු හමුවී තිබේ . විශේෂයෙන්ම කණිෂ්ක රජුගේ කාලයේ එතුමා විසින් නිකුත් කරන ලද රන් කහවණු වල එක් පැත්තක බුද්ධ රූපය මානව රූපීයව නිර්මාණය කර තිබේ . එය බුද්ධ ප්‍රතිමාවක් ලෙසින් නිසැකයෙන් හදුනාගනු ලබන්නේ එම රූපයට පහළින් ග්‍රීක අක්ෂර මගින් බුඩ්ඩෝ ලෙසින් සදහන් කර තිබෙන හෙයිනි . එමෙන්ම එම කාසියෙහි අනෙක් පසෙහි කණිෂ්ක රජුගේ රුව නිර්මාණය කර තිබේ . එහෙයින් එම කාසි නිසැක වශයෙන්ම කණිෂ්ක රජුගේ රාජ්‍ය කාලයට අයත් බවට පිළිගනු ලැබේ . එසේම භීමාරාන් , ෂාජිකිඩේරි යන ස්ථාන වලින් ලැබී ඇති ධාතු කරඩු වලද බුද්ධ රූප නිරූපණය කර තිබෙනු දැකගත හැකිය . විශේෂයෙන්ම මෙම ඉහත සදහන් කරන ලද බුද්ධ ප්‍රතිමාවන්ට පෙර ඉන්දියාවේ බුද්ධ ප්‍රතිමා නිර්මාණය පිළිබඳව සාධක හමු නොවේ. නමුත් ඇතැම් විචාරකයන්ගේ අදහස වූයේ අශෝක අධිරාජ්‍ය සමයේදී සිදු වූ බුදුදහමෙහි විශාල ප්‍රබෝධය හේතුවෙන් එකල බුද්ධ ප්‍රතිමාව නිර්මාණය වූ බවය . නමුත් එකල නිර්මාණය වූ කලා නිර්මාණ වලදී බුදුන් වහන්සේ නිරූපණය කිරීමට අවශ්‍ය වූ විට ඒ සදහා සංකේත භාවිත කර තිබෙනු දැකගත හැකිය . ඒ අනුව නිසැක වශයෙන්ම බුද්ධ ප්‍රතිමාවේ ප්‍රභවය ක්‍රි.ව 1 වන සියවස ආසන්න කාලයෙහි සිදු වූ බව පෙනේ . එම නිසාම බොහෝ ඉන්දියානු උගතුන්ගේ මතය වූයේ බුද්ධ ප්‍රතිමාවේ ප්‍රභවය කුෂාණ අවධියෙහි සිදු වූ බවය .
මෙම කුෂාණ යුගය සම්බන්ධව තොරතුරු ඉදිරිපත් කරන ලද උගතුන්ගේ ද මත ද්විත්වයක් හදුනාගත හැකිය . එනම් කොඩ්‍රින්ටන් , ජෝන් මාර්ෂල් , වින්සන්ට් ස්මිත් ආදීන්ගේ මතය වූයේ බුද්ධ ප්‍රතිමාවේ ප්‍රභවය ග්‍රීක ආභාසයෙන් සිදු වූ බවය . එමෙන්ම ආනන්ද කුමාරස්වාමි , අග්‍රවාල් , ගංගුලි ආදී උගතුන්ගේ මතය වූයේ බුද්ධ ප්‍රතිමා නිර්මාණය ඉන්දීය කලා ශිල්පීන්ගේ නිර්මාණ ශක්තිය තුලින් නිර්මාණය වූ බවය. ඒ අනුව මෙම කුෂාණ අවධිය තුළදී ගන්ධාර සහ මථුරා යනුවෙන් බුද්ධ ප්‍රතිමා නිර්මාණයේ ප්‍රධාන සම්ප්‍රදායයන් ද්විත්වයක් දැකගත හැකිය . මෙම සදහන් කරන ලද බුද්ධ ප්‍රතිමා සම්ප්‍රදායයන් ද්විත්වයෙහිත් එක්තරා ගැටළුවක් පැන නැගුණි. එනම් මෙම සම්ප්‍රදායයන් දෙකෙන් කුමක් මුලින් ආරම්භ වූයේද යන්නයි. කෙසේ වෙතත් මෙම කලා සම්ප්‍රදායයන් දෙක පිළිබඳව අධ්‍යයනය කිරීමේදී පෙනී යනුයේ මෙම සම්ප්‍රදායයන් ද්විත්වය සමකාලීනව වර්ධනය වී ඇති බවය. එහිදී ගන්ධාර ප්‍රතිමා කලාවේදී ඒ සදහා ග්‍රීක ආභාසය ලැබී ඇති අතර ග්‍රීසියේ බහු සම්මානිත දෙවි කෙනෙකු වූ ඇපලෝ දෙවියන්ගේ ලක්ෂණ ගන්ධාර ප්‍රතිමාවේ මුහුණ සදහා භාවිත කර තිබේ . එසේම සිවුරේ ග්‍රීක ටෝගාවේ ලක්ෂණ දක්නට ලැබේ . එමෙන්ම සූර්ය දෙවියන්ගේ ආභාසය ද ලැබී තිබෙනු පෙනේ .
එසේම බුද්ධ ප්‍රතිමාවේ ප්‍රභවය පිළිබඳව අධ්‍යයනය කිරීමේදී ඉන්දියානු දේශීය අනන්‍යතාවයන් ප්‍රකට කෙරෙන කලා සම්ප්‍රදායයක් ලෙසින් මථුරා කලා සම්ප්‍රදායය දැක්විය හැකිය . එහිදී සමකාලීන ඉන්දියාවේ යක්ෂ රූප නිර්මාණය කිරීමේ ලක්ෂණයන් මථුරා කලා සම්ප්‍රදායයට යොදා ගෙන ඇති බවක් දැකගත හැකිය . විශේෂයෙන්ම ගන්ධාර කලාවේ බුද්ධ ප්‍රතිමා තුලින් බාහිර සෞන්දර්යට මුල් තැන දුන් නමුත් මථුරා සම්ප්‍රදායේදී බුදුන් වහන්සේගේ අධ්‍යාත්මික ගුණ සම්භාරයන් ප්‍රකට වන අයුරින් නිර්මාණය කර තිබෙන බවක් දක්නට ලැබේ . මෙම ඉහත සදහන් කරන ලද කලා සම්ප්‍රදායන් ද්විත්වයෙහි ආභාසය ලබා ගෙන නිර්මාණය වූ අමරාවතී කලා සම්ප්‍රදායය ද ඉන්දියානු බුද්ධ ප්‍රතිමා කලාවේදී වැදගත් වන අතර එමගින් ඉතා කලාත්මක ස්වභාවයක් නිරූපණය කරනු ලබයි . එහිදී විවිධත්වයෙන් යුතු ප්‍රතිමාවන් ගණනක් නිර්මාණය වී ඇති අතර විවිධ මුද්‍රා සහ ආසනයන් ද මෙහි දැකගත හැකිය .
ඉහත සදහන් කරන ලද සමස්ත තොරතුරු වලට අනුව පෙනී යන කරුණ වනුයේ සාහිත්‍යයගත තොරතුරු වලට අනුව බුද්ධ ප්‍රතිමාවෙහි ප්‍රභවය ලංකාවේ සිදු වී ඇති බව දක්නට ලැබුණත් මෙම බුද්ධ ප්‍රතිමාවෙහි ප්‍රභවය පිළිබඳව ප්‍රබල පුරාවිද්‍යාත්මක සාධක හමුවනුයේ ඉන්දියාවෙන්‍ ය. විශේෂයෙන්ම පරණවිතාන මහතාගේ සහ ආනන්ද කුමාරස්වාමි මහතාගේ මතය වනුයේද බුද්ධ ප්‍රතිමාවේ ප්‍රභවය ඉන්දියාවේ සිදු වී පසුව එම නිර්මාණ කෞෂල්‍යය ලංකාවට ලැබුණු බවයි . එහිදී ඔවුන් පෙන්වා දෙන තොරතුරු වලට අනුව ලංකාවේ පැරණි අවධියට අයත්ව නිර්මාණය වූ බුද්ධ ප්‍රතිමාවන්හි කාල නිර්ණය ක්‍රි.ව 3-5 සියවස් අතර කාලයට අයත් වන බව පෙනේ . විශේෂයෙන්ම ඉන්දියාවේ ගොඩනැගුණු මථුරා , ගන්ධාර , අමරාවතී ආදී කලා සම්ප්‍රදායන්හි ආභාසය ලක්දිව ප්‍රතිමා නිර්මාණයේදී බෙහෙවින් බලපා ඇති අතර අනුරාධපුර යුගයේ අග්‍රගන්‍ය බුද්ධ ප්‍රතිමාවක් ලෙසින් හදුන්වනු ලබන අව්කන හිටි බුද්ධ ප්‍රතිමාව නිර්මාණයේදීත් අමරාවතී කලා සම්ප්‍රදායය තදින් බලපා තිබේ . ඒ අනුව සමස්ත සාධකයන් පිළිබඳව අධ්‍යයනය කිරීමේදී සාහිත්‍යය මූලාශ්‍ර තොරතුරු මගින් බුද්ධ ප්‍රතිමාවේ ප්‍රභවය සම්බන්ධ ගෞරවය ලංකාවට ලබා දීමට උත්සහ ගත්තද පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර පිළිබඳව පුළුල්ව සහ සියුම්ව අධ්‍යයනය කිරීමේදී බුද්ධ ප්‍රතිමාවේ ප්‍රභවයෙහි මූලයන් භාරතය දෙසට දිවයන බව දැකගත හැකිය .

ශ්‍රී ලාංකේය ශාන්තිකර්ම පද්ධතිය ආශ්‍රිත කාන්තා සලකුණ

  පුරාතන ශ්‍රී ලාංකේය ජන සමාජය පිළිබඳව අවධානය යොමු කිරීමේදී ගැමි ජන මානවයා නිරන්තරයෙන් ම ශාන්තිකර්ම සමඟ සහසම්බන්ධ වී සිටි බව දැකගත හැකිය ...