Thursday, November 23, 2023

ශ්‍රී ලාංකේය ශාන්තිකර්ම පද්ධතිය ආශ්‍රිත කාන්තා සලකුණ

 


පුරාතන ශ්‍රී ලාංකේය ජන සමාජය පිළිබඳව අවධානය යොමු කිරීමේදී ගැමි ජන මානවයා නිරන්තරයෙන් ම ශාන්තිකර්ම සමඟ සහසම්බන්ධ වී සිටි බව දැකගත හැකිය. සරල, සාමූහික, සීමාසහිත ජීවිත ගත කළ ගැමි ජනතාව ලෞකික දිවියේ විවිධ අපේක්ෂාවන් සාක්ෂාත් කර ගැනීම පිණිස ( විවිධ ) වත්පිළිවෙත් පැවැත්වීම සිදු කළහ. ඔවුහු ඒවා තොවිල්, යාග, කංකාරි, මඩු, වෛද්‍ය, ශාන්තිකර්ම ආදී නම් වලින් හඳුන්වයි. මේ අනුව මෙලෙස සඳහන් කරන ලද ශාන්තිකර්ම යනු සිංහල සංස්කෘතිය තුළ ජීවත් වන ජනතාවගේ එදිනෙදා ජීවිතයට සම්බන්ධ වත්පිළිවෙත් ක්‍රමයකි. ඒවා කාලාන්තරයක් තිස්සේ පාරම්පරික ගැමි සමාජ සංස්කෘතික අංග ලෙස ව්‍යාප්තව තිබේ. මෙලෙස ලක්දිව පවත්නා ගැමි ශාන්තිකර්ම ක්ෂේත්‍රය තුළ ගැබ් වී ඇති වත්පිළිවෙත් මෙන්ම ඇදහීම් හුදෙක් බෞද්ධාගමික නොවන්නේ ය. එහෙත් එකී ශාන්තිකර්ම ඇදහීම් හුදෙක් බෞද්ධාගමික මුහුණුවරක් නැතැයි පැවසීම ද කිව නොහැක.

පැරණි ලංකාවේ ව්‍යාප්තව පැවති මෙම ශාන්තිකර්ම පද්ධතිය දෙස බැලීමේ දී ප්‍රධාන අංශ තුනක් ඔස්සේ තොරතුරු හඳුනාගත හැකිය. එනම්,

දේව තොවිල්

යක් තොවිල්

බලි තොවිල් ආදියයි.

මෙම ප්‍රධාන අංශ ත්‍රිත්වය දෙස බැලීමේදී දෙවියන්, යකුන් සහ නවග්‍රහයන් ආදී වූ අදෘෂ්‍යමාන බලවේග මතින් පිහිට පැතීමේ අපේක්ෂාවෙන් මෙවැනි ශාන්තිකර්ම පැවැත් වූ බව දක්නට පුළුවනි. එමෙන්ම ඈත අතීතයෙහි සිටම ශ්‍රී ලාංකේය වැසියන් මෙම අදෘශ්‍යමාන බලවේගයන් ඇදහූ බවට පුරාතන මූලාශ්‍ර තුළින් හඳුනාගත හැකිය. මෙම " ශාන්තිකර්ම " යන පදය දෙස අවධානය යොමු කිරීමේ දී ඒ තුළ සුවිශේෂී අර්ථයක් ගැබ් වී ඇති බව දැකගත හැකිය. එනම් " ශාන්ති " යන පදයෙන් සෙතක්, ශාන්තියක්, ආශිර්වාදය වැනි අර්ථ විද්‍යමාන වේ. එසේ " කර්ම " යන පදයෙන් ක්‍රියාව යන අදහස ඉස්මතු වේ. එම නිසා මෙම " ශාන්තිකර්ම " යන්නෙන් සෙතක්, ශාන්තියක්, යහපතක් අපේක්ෂාවෙන් කරනු ලබන ක්‍රියාව යන අදහස ප්‍රකාශ වේ.

විශේෂයෙන්ම ශ්‍රී ලාංකේය ශාන්තිකර්ම පද්ධතිය පිළිබඳව අධ්‍යයනය කිරීමේ දී බොහෝ ශාන්තිකර්මයන් සමඟ කාන්තාවන්ට දැඩි සම්බන්ධයක් තිබෙන බව දැකගත හැකිය. මෙහි දී මෙම සම්බන්ධතාවය ප්‍රධාන සිද්ධි තුනක් මත ඉදිරිපත් කළ හැකිය. එනම්,

·       දොළ දුක ( කාන්තාවන්ගේ දොළ දුක සම්බන්ධ සිද්ධි හෝ අවස්ථා )

·       රාගය ( ගැහැණුන්ගේ හෝ පිරිමින්ගේ කාම රාගය සම්බන්ධ සිද්ධි හෝ අවස්ථා )

·       දරුවන් ලබා ගැනීම, ගැබ් ගැනීම හෝ ගැබ ආරක්ෂා කර ගැනීම.

මෙලෙසින් කාන්තාවන් ශාන්තිකර්ම සමඟ සම්බන්ධ වුවද ශාන්තිකර්ම ක්‍රියාකාරිත්වයන්හී දී සෘජුව කාන්තාවන් සම්බන්ධ කර ගන්නා බවක් දක්නට නොලැබේ. එයට ප්‍රධාන වශයෙන් හේතු වූයේ කාන්තාවන් කිලි හෙවත් කිලිටි යැයි ද, එය ශාන්තිකර්මයේ මුඛ්‍යාර්ථය හා සම්බන්ධ නොවන අතර එයින් යාගය ද කිලිටි වන බවට පවත්නා වූ විශ්වාසයයි. ශ්‍රී ලාංකේය ජනතාව තුළ සාම්ප්‍රදායිකව පවත්නා සිරිත් විරිත්වල ප්‍රබලතාව දැක්වීමට මෙය කදිම නිදසුනකි.

මෙම කාරණය හේතු කොට ගෙන ශාන්තිකර්ම සහ කාන්තාවන් අතර සම්බන්ධය ගොඩනැගීමේ දී ප්‍රධාන අවස්ථා කිහිපයක් ඔස්සේ ඒ පිළිබඳව තොරතුරු ඉදිරිපත් කළ හැකිය. එහි දී ශාන්තිකර්ම පුරාවෘත්ත සහ කාන්තාව, රංග වස්ත්‍රාභරණ තුළින් ප්‍රතිනිරූපිත කාන්තාව සහ නර්තන අංග තුළින් ප්‍රතිනිරූපිත කාන්තාව ලෙසින් එම සම්බන්ධතාව දැක්විය හැකිය.

 

·       ශාන්තිකර්ම පුරාවෘත්ත සහ කාන්තාව

පුරාතන ශ්‍රී ලංකාවේ ප්‍රචලිතව පැවති සෑම ශාන්තිකර්මයකම පාහේ දක්නට ලැබෙන අනිවාර්ය අංගයක් ලෙසින් එම ශාන්තිකර්මයන්හි පුරාවෘත්ත කතාව දැක්විය හැකිය. එහිදී මෙම පුරාවෘත්ත කතාවන් සමඟ කාන්තාව දැඩි ලෙස බැඳී පවතින අතර එය පුරාතන ලංකාවේ නර්තන කලාවෙහි විකාශනය සඳහා ද අතීතයේ සිටම ඉවහල් වූ බවට තොරතුරු හඳුනාගත හැකිය. ශාන්තිකර්මයන් හි උපත් කතා හා සිද්ධීන් තුළ රජවරුන්ට දාව බිසෝවරුන්ට දරුවන් ලැබීමත්, ඒත් සමඟ ම නැකැත්කරුවන් ගෙන්වා එම දරුවාගේ අනාගත ග්‍රහ පලාඵල විස්තර අසා දැන ගැනීමේ අවස්ථාත්, එසේ නැකැත් කරුවන් පළ කරන ලද අදහස් සියයට සියයක් ම ඉෂ්ට වන අවස්ථාත් දක්නට පුළුවනි. මේ අනුව ශාන්තිකර්ම පුරාවෘත්ත තුළ මූලික වශයෙන් ම කාන්තාව හා නැකැත්කරුවන් ප්‍රමුඛ වී තිබේ.

මෙහි දී උඩරට නර්තන සම්ප්‍රදායේ ප්‍රධාන ශාන්තිකර්මය වන කොහොඹා කංකාරි ශාන්තිකර්මයේ පුරාවෘත්ත කතාව තුළින් කාන්තාව ඒ සඳහා සම්බන්ධ වී ඇති ආකාරය මනාව හඳුනාගත හැකිය. මෙම කොහොඹා කංකාරි ශාන්තිකර්මය කොහොඹා දෙවියන්ට පූජෝපහාර පිණිස පවත්වන ශාන්තිකර්මයකි. එහිදී මෙම කොහොඹා කංකාරි ශාන්තිකර්මයේ පුරාවෘත්ත කතාව විජයාගමන අවධිය තෙක් දිවයන බව දැකගත හැකිය. මෙම පුරාවෘත්ත කතාව මහාවංසය, දීපවංසය සහ පූජාවලිය ආදී සම්භාව්‍ය මූලාශ්‍රවල සඳහන් නොවෙතත් කෝට්ටේ යුගයේ දී සහ ඉන් මෑත අවධියේ දී රචිත රාජාවලිය, කුවේණි අස්න, සිහබා අස්න යන කෘතිවල සඳහන් වේ. කතා විකාශනයෙහි සුළු සුළු වෙනස්කම් විද්‍යමාන වුව ද ඉහත දැක් වූ කෘති සියල්ලෙහි ම මූලික වශයෙන් සඳහන් වන්නේ එකම කතා ප්‍රවෘත්තියකි. එනම් විජය, කුවේණි සහ පඩුවස්දෙව් සම්බන්ධ කරගත් උත්පත්ති කතාවයි. එහි දී පඩුවස්දෙව් රජුට වැදුණු කුවේණියගේ ශාපය හේතු කොට ගෙන එය සුව කර ගැනීම සඳහා හැටපස් මංගල්‍යයක් සිදු කළ බව සඳහන් වන අතර පසු කාලයේ එය කොහොඹා කංකාරි ශාන්තිකර්මය බවට පත් වූ බව දක්නට පුළුවනි. මේ අනුව කොහොඹා කංකාරි ශාන්තිකර්මයේ පුරාවෘත්ත කතාව තුළින් ඒ හා බැදුණු කාන්තා භූමිකාව පිළිබඳව අවබෝධයක් ලබා ගත හැකි අතර එහි දී ප්‍රධාන වශයෙන් ම කුවේණියගේ භූමිකාව වැදගත් වී ඇති බව දැකගත හැකිය.

උඩරට නර්තන සම්ප්‍රදායේ කොහොඹා කංකාරි ශාන්තිකර්මය මෙන්ම පහතරට නර්තන සම්ප්‍රදායේ විවිධ ස්වරූපයන් ගන්නා ශාන්තිකර්ම රාශියක් ද දක්නට පුළුවනි. මෙහිදී දෙවොල් මඩු, ගම් මඩු, මල් මඩු ආදිය දෙවියන් උදෙසා පවත්වන ශාන්තිකර්ම වන අතර සන්නි යකුම, රට යකුම/රිද්දි යාගය, සූනියම් යාගය, මහසොහොන් සමයම ආදී ශාන්තිකර්ම යක්ෂයන් වෙනුවෙන් පවත්වනු ලබන ශාන්තිකර්ම ලෙස සැලකේ. මෙම ඉහත සඳහන් කරන ලද ශාන්තිකර්මයන්හි පුරාවෘත්ත කතා දෙසත් අවධානය යොමු කිරීමේදී ඒවායෙහිත් කාන්තාවන්ට ප්‍රධාන ස්ථානයක් ලැබී ඇති බව දැකගත හැකිය. මෙහිදී පහතරට නර්තන සම්ප්‍රදායේ එන සූනියම් යාගය ශාන්තිකර්මය දෙස බැලීමේදීත් කාන්තාව ප්‍රධාන වී ඇති බව පෙනේ. එනම් මෙම ශාන්තිකර්මය ප්‍රථමයෙන් ම සිදු කර ඇත්තේ මැණික්පාල බිසවට ය. ඇය මහා සම්මත රජුගේ බිසවය. දිනක් රජු මාලිගාවේ නොමැති අවස්ථාවක වසවතු මාළිගයට පැමිණ මැණික්පාල දේවියට කතා කළ ද බිසව මේ වසවතු යැයි දැනගෙන බැන වැදී තිබේ. මින් කෝපයට පත් වසවතු ජප කරන ලද පොළොං පිල්ලුවක් යහන මතට දැමූ අතර ඒ නිසා ම දේවියට දද කුෂ්ඨ ඇති වන්නට විය. මෙය සුව කර ගැනීමට ඔඩ්ඩිස ඝෘෂිවරයා කැඳවා සූනියම් යාගය සිදු කර දේවිය සුව කර ගත් බව සඳහන් වේ.

පහතරට ප්‍රදේශයේ කාන්තාව මුල් කරගෙන ගොඩනැගුණු ශාන්තිකර්ම පුරාවෘත්ත කතා පිළිබඳව අධ්‍යයනය කිරීමේ දී රටයකුම හෙවත් රිද්දි යාගය ප්‍රධාන වන බව පැහැදිලිය. මෙය කාන්තාවන් වෙනුවෙන් ම පවත්වනු ලබන වැදගත්  ශාන්තිකර්මයකි. දරුවන් නොමැති ස්ත්‍රීන්ට හෙවත් වඳ කාන්තාවන්ට දරුවන් ලැබීම පිණිසත්, ගර්භණී ස්ත්‍රීන්ට ආරක්ෂාව ලබා දීමටත්, පහසුවෙන් දරුවන් ප්‍රසූත කිරීමට උපකාරී වීමටත් මෙම ශාන්තිකර්මය පවත්වනු ලැබේ. මෙම ශාන්තිකර්මය එක් අතකින් සුවිශේෂී වීමට හේතු වූයේ සිංහල නර්තන ක්ෂේත්‍රයේ භාව පූර්ණ නෘත්‍ය ගති ලක්ෂණ අන්තර්ගත එකම සිංහල ශාන්තිකර්මය නිසාය. මේ නිසාම ඉතා රසවත් අනුරූපණ පෙළපාලි රැසක් මෙහි අන්තර්ගත වී තිබේ. මෙම රටයකුම් යාගයෙහි පුරාවෘත්ත කතාව දෙස අවධානය යොමු කිරීමේදී දීපංකර බුදුන් සමයෙහි විසූ රිද්දි බිසවුන් සත්දෙනා දරුවන් නැති දුකින් පසු වූ බව දක්නට ලැබේ. . එම නිසා මොවුන් සළුවක් වියා ලොවුතුරා බුදුන්ට පූජා කර දරුවන් ලබා ගැනීමට කටයුතු කළ ආකාරය අපට මෙම ශාන්තිකර්මය තුළ දැකගත හැකිය. මේ අනුව ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන බොහෝ ශාන්තිකර්මවල පුරාවෘත්ත කතා බිහිවීමේ දී කාන්තා චරිතය ප්‍රධාන වී ඇති බව දක්නට පුළුවනි.

 

·       රංග වස්ත්‍රාභරණ තුළින් ප්‍රතිනිරූපිත කාන්තාව

පුරාතන ශ්‍රී ලාංකේය ජන සමාජය තුළ ව්‍යාප්තව පැවති ශාන්තිකර්ම පද්ධතිය දෙස අවධානය යොමු කිරීමේ දී ඒ තුළ විවිධ අංශ හරහා කාන්තාව පිළිබඳව තොරතුරු හෙළිදරව් වන බව දැකගත හැකිය. දේශීය නර්තන සම්ප්‍රදායන් තුළ ගොඩනැගී තිබෙන මෙම ශාන්තිකර්ම සමඟ කාන්තාව සෘජුව සම්බන්ධ නොවන අතර එයට හේතුව වී ඇත්තේ කාන්තාවන් සතු කිලි ස්වභාවයයි. එම නිසාම ශාන්තිකර්ම තුළ කාන්තා චරිත නිරූපණයේ දී පිරිමි යකැදුරන් කාන්තාවන් සේ සමාරෝපණය වී කාන්තා චරිත නිරූපණය කරන බව දක්නට පුළුවනි.

මෙම කටයුක්ත තුළ සමාරෝපණය සහ අනුකරණය ඉතාම වැදගත් වන අතර එය මෙම කාන්තා චරිත නිරූපණයේ දී බොහෝ සෙයින් වැදගත් වේ. මෙහිදී යම් තැනක සමාරෝපණය ඇත් ද එතැන නාට්‍ය කලාවේ අවශ්‍ය අංගයක් පහළ වී ඇත. සමාරෝපණය යනු කිසියම් තැනැත්තෙකු ගේ ආරෝපණයක් ගැනීමයි. මෙය ආරූඪ වීමක් ලෙස ද හඳුන්වනු ලබයි.

විශේෂයෙන් ම වෙස්වලා ගැනීම හා අනුකරණය මඟින් සමාරෝපණය චරිතයක සාර්ථකත්වයට තුඩු දෙන්නකි. රටයකුම ශාන්තිකර්මය තුළ දී රිද්දි බිසව් නිරූපණයේ දී පිරිමි යකැදුරන් කාන්තාවක් ලෙස හැඳ පැළඳ වත්සුනු තවරා කාන්තාවකට ආවේණික චලන ඇතිව ලාස්‍ය සුන්දර ගමනකින් හා නෙතඟ බැල්මකින් යුතුව අඟපසඟ චලනය කරනුයේ එකී චරිතයේ සමාරෝපය ගෙන ඇති බැවිනි. මෙහිදී කටහඬ පවා අදාළ චරිතයට අනුව හැසිරවීමට උත්සාහ දරන්නේ එබැවිනි. දරු නැලවීම නම් රංගනය පණගැන්විය හැක්කේ මවකගේ ක්‍රියා කලාපය අනුකරණයෙනි. මෙම ශාන්තිකර්ම තුළ කාන්තා චරිත නිරූපණයේ දී ඇඳුම් පැළඳුම් සඳහා ඉතා වැදගත් තැනක් හිමිවන බව දැකගත හැකිය.

මෙහි දී ශාන්තිකර්ම තුළ ඇඳුම් පැළඳුම් මඟින් කාන්තා චරිත ප්‍රතිනිරූපණය කිරීම පිළිබඳව අධ්‍යයනය කිරීමේ දී අවස්ථා ගණනාවක දී ඒ පිළිබඳව තොරතුරු හඳුනාගත හැකිය. ලාංකේය ශාන්තිකර්ම පද්ධතිය තුළ පුද ලබන දෙවිදේවතාවුන් පිළිබඳව බැලීමේ දී ඒ තුළ පුද ලබන ප්‍රධාන කාන්තා දෙවඟන පත්තිනි දේවතාවියයි. එහි දී පහතරට සහ සබරගමු ගම්මඩුවල ප්‍රධාන වශයෙන් රඟ දැක්වෙනුයේ මෙම පත්තිනි කතාවයි. මෙම ගම්මඩු ශාන්තිකර්ම තුළ දක්නට ලැබෙන පත්තිනි නැටීම සහ දේවාභරණ වැඩම වීම නම් චාරිත්‍රය තුළ දී කාන්තා චරිත මනාව ප්‍රතිනිරූපනය කර තිබෙන බව දක්නට පුළුවනි. දේවාභරණ නොහොත් පත්තිනි සලඹ හෙප්පුවක බහා තොරණට වැඩමවන්නේ ප්‍රධාන කපු මහතා විසිනි. මෙම කපු මහතා රතුවන් හැට්ටයකින් සහ තනි වර්ණ සාරියක් ඇඳ මාල, වළලු, තෝඩු පැලද ස්ත්‍රී වේශයෙන් සැරසේ. මේ අවස්ථාවේ කපු මහතා ජීවමාන පත්තිනි දෙවඟන පිළිබිඹු වන අයුරින් ඉතා ලාලිත්‍යකින් උඩුවියන්, පාවඩ මත රඟ මඩලට පැමිණ පත්තිනි නැටීම සිදු කරයි.

රංග වස්ත්‍රාභරණ තුළින් ප්‍රතිනිරූපිත කාන්තා චරිත දෙස අවධානය යොමු කිරීමේ දී දහඅට සන්නිය නම් ශාන්තිකර්මයට වැදගත් තැනක් හිමිව තිබේ. මෙම ශාන්තිකර්මය තුළ අන්තර්ගත සූනියම් යක්ෂනියගේ අවතාර ත්‍රිත්වය නම් අවස්ථාව සුවිශේෂී අංගයක් වී ඇත. මෙම නාට්‍යමය ජවනිකාව තුළ රූමත් කාන්තාවක්, බඩ දරු ස්ත්‍රියක් සහ කුඩා දරුවෙකු රැගෙන එන කාන්තාවක් යන අවස්ථා එම ත්‍රිත්වය වී ඇති බව පෙනේ. මෙහි දී යකැදුරා සුදු රෙද්දක්, සුදු අත්දිග හැට්ටයක් හා කාන්තා වෙස් මුහුණක් පැළඳ, මුහුණේ අඩක් පෙනෙන පරිදි කෙටි රෙද්දක් හිසෙහි රදවා ගනිමින් වීදිය ඔස්සේ යාග මඩලට පැමිණෙන බව දැකගත හැකිය.  මීට අමතරව පහතරට නර්තන සම්ප්‍රදායේ එන තවත් වැදගත් ශාන්තිකර්මයක් වන රටයකුම් යාගයෙහි කාන්තා භූමිකාව වැඩි වශයෙන් දැකගත හැකි ප්‍රධාන අවස්ථා ත්‍රිත්වයක් දක්නට පුළුවනි. එනම්,

·       නානුමුරය

·       කපුයක්කාරිය

·       දරු නැලවිල්ල යන අවස්ථාවලදීය.

මෙහි දී රටයකුමෙහි නර්තනයේ යෙදෙන යකැදුරා කාන්තාවක් සේ සමාරෝපණය වී නානුමුරය සමඟ එකතු වන අතර එහිදී කාන්තාවන් භාවිත කරන රංග භාණ්ඩ ද භාවිත කරන බව දැකගත හැකිය. නානුමුරය සඳහා භාවිතයට ගන්නා පනාව, කැඩපත, තෙල් කුප්පිය, හවරිය, සබන් කෑල්ල, කූර, මල් තැල්ල ආදී භාණ්ඩ ද සැරසිලිවලට ඇතුළත් කර ගෙන තිබේ.

 

·       නර්තන සහ නාට්‍යමය අංග තුළින් ප්‍රතිනිරූපිත කාන්තා භූමිකාව

පුරාතන ශ්‍රී ලාංකේය ජන සමාජය තුළ වැසියන් විසින් සිය අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා විවිධ ශාන්තිකර්ම සමඟ එකතු වූ අතර ඒ තුළ විවිධ අවස්ථාවල දී කාන්තාව හා බැඳී අංගෝපාංගයන් පිළිබඳව තොරතුරු හඳුනාගත හැකිය. එහි දී පුරාවෘත්ත කතා, රංග වස්ත්‍රාභරණ ආශ්‍රිතව මෙන් ම නර්තන සහ නාට්‍යමය අංග තුළින් ද මේ පිළිබඳව තොරතුරු දක්නට පුළුවනි. රංග වස්ත්‍රාභරණ ආදිය මමඟින් ් සමාරෝපණය වන යකැදුරන් නර්තන හා නාට්‍යමය අංග හරහා කාන්තා භූමිකාව මනා ලෙස ප්‍රතිනිරූපනය කරන අතර එහිදී කාන්තාවන් සතු සුකුමාල ගති ලක්ෂණ ඉතා අලංකාර ලෙස නිරූපණය කිරීමට යකැදුරන් වගබලා ගනියි.

විශේෂයෙන්ම නර්තන සහ නාට්‍යමය අංග තුළින් ප්‍රතිනිරූපිත කාන්තා භූමිකාව පිළිබඳව අවධානය යොමු කිරීමේ දී ඒ හා සම්බන්ධ තොරතුරු ගණනාවක් දේශීය ශාන්තිකර්ම පද්ධතිය මඟින් හඳුනාගත හැකිය. උඩරට නර්තන සම්ප්‍රදායේ කොහොඹා කංකාරි ශාන්තිකර්මය දෙස බැලීමේ දී එහි යක්දෙස්සන් කාන්තාවන් සේ සමාරෝපණය නොවන අතර ගායන, නර්තන අංග හරහා ශාන්තිකර්මය සමඟ කාන්තාවන් සම්බන්ධ වන අයුරු නිරූපණය කරයි. මෙම කොහොඹා කංකාරියේ එන "කතා පහ" යන අංගය තුළ එන සීතාපති කතාව තුළින් මේ බව දැකගත හැකිය.

නර්තන සහ නාට්‍යමය අංග තුළින් ප්‍රතිනිරූපිත කාන්තා භූමිකාව පිළිබඳව අවධානය යොමු කිරීමේදී පහතරට නර්තන සම්ප්‍රදායට අයත් දහඅට සන්නිය සහ කළු කුමාර සමයම නම් ශාන්තිකර්මය ඉතා වැදගත් වේ. මෙම ශාන්තිකර්ම ද්විත්වයේ ම ඇතුළත් සූනියම් යක්ෂනියගේ අවතාර ත්‍රිත්වය නිරූපණය කරනු ලබන නාට්‍යමය අවස්ථාවේ දී පිරිමි යකැදුරන් කාන්තාවන් සේ සමාරෝපණය වී මනා ලෙස මෙම අවස්ථාව ප්‍රතිනිරූපනය කරන අයුරු දැකිය හැකිය. එහිදී දෙබස්, නර්තන ඉරියව් මගින් මේ නිරූපණය කරනු දක්නට පුළුවනි . මීට අමතරව ගර්භ සංරක්ෂණ ශාන්තිකර්මය ලෙසින් පැරණි ගැමි ජනතාව අතර ප්‍රචලිත සොකරි නාටකය තුළ ද අන්තර්ගත ජවනිකා තුළින් කාන්තා භූමිකාව පිළිබඳව මනා ලෙස තොරතුරු ඉදිරිපත් කෙරෙන බව දක්නට පුළුවනි. මෙහිදී කාන්තා නාට්‍යානුසාරයෙන් ඉදිරිපත් කරන කතා පුවත දෙස බැලීමේදී ඒ තුළ සොකරි නම් රූමත් කාන්තා චරිතය ප්‍රධාන වේ.

මේ අනුව ශ්‍රී ලාංකේය ජන සමාජය තුළ වැසියන් සිය එදිනෙදා ජීවිතයේ මුහුණදීමට සිදු වන කරදරකාරි තත්ත්වයන් තුළින් මිඳීම සඳහා බහුල වශයෙන් ශාන්තිකර්ම පද්ධතිය සමඟ එක් වී ඇති බව දැකගත හැකිය. මෙම ශාන්තිකර්මයන් ඈත අතීතයෙහි සිට අද දක්වා ම පැවත ඒමේ දී එහි ප්‍රබල භූමිකාවක් කාන්තා චරිතය තුළ රැදී ඇති මුත් මෙම වැඩ කටයුතු සමඟ කාන්තාවට සෘජුව ම සම්බන්ධ වීමට අවස්ථාව ලැබී නැති බව දක්නට පුළුවනි. එයට ප්‍රධාන හේතුවක් බවට පත්ව ඇත්තේ ලාංකේය සංස්කෘතිය තුළ ඉස්මතු වී තිබෙන කාන්තාවගේ කිල්ලය. මේ නිසා ශාන්තිකර්ම සදහා අත්‍යවශ්‍ය කාන්තා භූමිකාව නිරූපණය කිරීම සඳහා යකැදුරන් විවිධ උපක්‍රම භාවිත කර තිබෙන අතර එහි දී ඔවුන් පුරාවෘත්ත කතා තුළ ප්‍රධාන චරිතය ලෙස කාන්තාව භාවිත කිරීමත්, රංග වස්ත්‍රාභරණ තුළින් කාන්තා චරිතය ප්‍රතිනිරූපනය කිරීම පමණක් නොව නර්තන සහ නාට්‍යමය ජවනිකා තුළින් මෙම කාන්තා භූමිකාව නිරූපණය කිරීමට උත්සාහ ගෙන තිබෙන බව දැකගත හැකිය.

 

එන්. සුරේෂ් කුමාර නවරත්න

දර්ශනපති උපාධි අපේක්ෂක

පේරාදෙණිය විශ්වවිද්‍යාලය

පේරාදෙණිය.

Monday, April 26, 2021

පුරාවිද්‍යා ගවේෂණය සහ එහි උපයෝගීතාවය



 

පුරාවිද්‍යාව යනු සරලවම ගත් කළ මිනිසාගේ අතීතය පිළිබඳව හදාරනු ලබන විෂයක් වේ. එනම් අතීතයේ ජීවත් වූ මානවයාගේ හැසිරීම සහ සංස්කෘතික වෙනස්කම් ගැන ද්‍රව්‍යයාත්මක සාධක මත ගවේෂණය කිරීමය. මෙලෙස ගවේෂණය කිරීමේදී අපට හමුවන ද්‍රව්‍යයාත්මක සාධක පුරාවස්තු ලෙසින් හදුන්වා දිය හැකිය. ශ්‍රී ලංකාවේ දැනට පවතින වලංගු නීතියට අනුව වසර 100කට වඩා පැරණි භාණ්ඩයන් සියල්ලම පුරාවස්තු ලෙසින් නිර්වචනය කර තිබේ. පුරාවිද්‍යා විෂය ක්ෂේත්‍රයේදී අපට හමුවන තවත් වැදගත් පුද්ගලයෙකු ලෙස පුරාවිද්‍යාඥයන් හදුන්වා දිය හැකිය. පුරාවිද්‍යාඥයා යනු පුරාවස්තු උපයෝගී කරගෙන මිනිසාගේ යටගියාව පිළිබඳව තොරතුරු රැස් කරන, එම තොරතුරු විශ්ලේෂණය කරන සහ එම තොරතුරු අර්ථකථනය කරනු ලබන ශික්ෂණයක් ප්‍රගුණ කරන ලද පුද්ගලයාය. 

මෙම විෂය ඉතාම සංකීර්ණ විෂය පද්ධතියක් වන අතර එය විෂයන් කිහිපයක එකතුවකි. එනම්, ජීව විද්‍යාව, භෞතික විද්‍යාව, රසායන විද්‍යාව සහ උද්භිත විද්‍යාව ආදී විෂයන් රැසක මිශ්‍රණයකි. මෙලෙස පැවති පුරාවිද්‍යාවෙහි විවිධ කාලපරාසයන් අපට දැකගත හැකිය. විශේෂයෙන්ම ඈත අතීතයෙහි සිට පැවති පුරාවිද්‍යාවට ක්‍රමානුකූල පදනමක් වැටුණේ 19 වන සියවසේ අගභාගයේ සහ 20 වන සියවසෙහි ආරම්භයත් සමඟ ය. මෙම කාලයේදී පුරාවිද්‍යාවේ විධිනියම වර්ධනය සදහා පසුබිම් වූ හේතු සාධක රැසක් අපට දැකගත හැකිය. එහිදී පුරාවිද්‍යා විෂය ක්ෂේත්‍රයේ ඉතාම වැදගත් ම අංශය වන ගවේෂණය සදහා හිමිවනුයේ සුවිශේෂී ස්ථානයකි. 

පුරාවිද්‍යා විෂය ක්ෂේත්‍රය තුළ වැලලී පවතින අතීතය නැවත අනාවරණය කර ගැනීමේදී පුරාවිද්‍යාඥයන් ඇතුළු එම කටයුතු සදහා සම්බන්ධ වන පිරිස් හට ඇති වන ප්‍රධානම ගැටළු දෙකක් දක්නට පුළුවනි. එනම්, පුරාවිද්‍යා කැණීමක් සිදු කළ යුත්තේ කොතැනකද ? කැණීම් සදහා පුරාවිද්‍යාත්මක ක්ෂේත්‍රයන් හදුනා ගන්නේ කෙසේද ? යන ගැටළු දෙකයි. ඒ නිසා කැණීමකට ප්‍රථමයෙන් මෙම ඉහත සදහන් කරන ලද ගැටළු දෙක සදහා පිළිතුරු සොයා ගැනීම අනිවාර්ය වේ. මේ සදහා ගවේෂණය යන විෂය ක්ෂේත්‍රය ඉතාම වැදගත් වේ. 

මේ අනුව ගවේෂණය යනුවෙන් සරලවම අදහස් කරනු ලබන්නේ සැගවුණු යමක් පිළිබඳව හරියාකාරව සොයා බලා ඒ පිළිබඳව නිවැරදි කරුණු හෙලිකර ගැනීමය. ඒ අතින් බලන කළ ගවේෂණය යනු පුරාවිද්‍යා විෂය ක්ෂේත්‍රයේ පදනම ලෙසින් හදුන්වා දිය හැකිය. එයට හේතුව පුරාවිද්‍යාවේ අරමුණ වනුයේද සැගවී තිබෙන උරුමය නැවත ප්‍රතිනිර්මාණය කිරීම වන නිසාය. විශේෂයෙන්ම පුරාවිද්‍යා කැණීම් කටයුක්තක් සිදු කිරීමට පෙර එම පුරාවිද්‍යා ක්ෂේත්‍රය සම්බන්ධව විශේෂ සොයා බැලීමක් සිදු කළ යුතුය. ඒ අනුව ගවේෂණ ක්‍රියාවලිය පුරාවිද්‍යාවේ වැදගත්ම ක්‍රියාවලිය බවට පත් වී තිබේ. ගවේෂණයක් සිදු කිරීමේදී ප්‍රධාන පියවර කිහිපයකින් සිදු කළ යුතුය. 

දත්ත හදුනා ගැනීම 

අනාවරණය කිරීම 

වර්ගීකරණය 

විශ්ලේෂණය 

ප්‍රකාශනය 

ගවේෂණය නම් සංකීර්ණ ක්‍රියාවලිය තුළ අපට අරමුණු රැසක් හදුනාගත හැකිය. මෙම අරමුණු නිසාම පුරාවිද්‍යා ගවේෂණය විවිධත්වයක් ගනු ඇත. ඇතැම් ගවේෂණ අවස්ථා වලදි එක් අරමුණක් පදනම් කර ගෙන සිදුකරනු ලබන අතර ඇතැම් අවස්ථා වලදි අරමුණු කිහිපයක්ම එක් කර ගත් ගවේෂණ ක්‍රියාවලීන් දැකගත හැකිය. ගවේෂණයක් සදහා බලපානු ලබන අරමුණු කවරේදැයි බැලීමේදී , 

ශාස්ත්‍රාභිලාශය

වෘත්තීය අවශ්‍යතා 

සංවර්ධන පූර්ව අවශ්‍යතා 

අවදානමින් මුදවා ගැනීම 

ශක්‍යතා ඇගයීම්

පුරාවිද්‍යා විෂය ක්ෂේත්‍රය තුළ අන්තර්ගත ගවේෂණ ක්‍රියාවලිය තුළ විධික්‍රම ගණනාවක් දැකගත හැකිය. එම සමස්ත ගවේෂණ ක්‍රම සියල්ල එක්තැන් කරමින් පහත සදහන් අයුරින් බෙදා වෙන් කළ හැකිය. එනම්, 

පොළොව මතුපිට ගවේෂණය 

පොළොව අභ්‍යන්තරය ගවේෂණය 

ගුවන ආශ්‍රය කර ගනිමින් සිදුකරන ගවේෂණය 

ජලය ආශ්‍රය කරගත් ගවේෂණය 



පොළොව මතුපිට ගවේෂණය 

විසිවන සියවසෙහි ආරම්භ වූ නව පුරාවිද්‍යාව යටතේ 1970න් පසු කාලයේ පොළොව මතුපිට ගවේෂණය සදහා භාවිත කරන ක්‍රම කිහිපයක් හදුන්වා දී තිබේ. මෙම ක්‍රමයන් එහි උපයෝගීතාවය මත විවිධ අන්දමින් භාවිතයට ගෙන ඇත. මෙහිදී පුරාවස්තූන් පුරාවිද්‍යාඥයන් හට ක්‍රම 3කින් හමුවේ. එනම්,

අහම්බෙන් 

හදිසි ආපදා වලින් 

ඕනෑකමින් සහ උත්සහයෙන් සොයා ගනු ලබන පුරාකෘති වශයෙනි . 

පොළොව මතුපිට ගවේෂණයේදී අගලේ සිතියම්, මෙට්‍රික් සිතියම් ආදිය භාවිතයෙන් නිවැරදිව දිශාව හදුනා ගනිමින් සිදු කිරීම ඉතාම වැදගත් වේ. 

ක්‍රමික ආකාරයට නියැදි ලබා ගැනීමේ ගවේෂණය 

මෙම ක්‍රමික නියැදි ලබා ගැනීමේ ගවේෂණයේදී අනිවාර්යයෙන්ම ගවේෂණයට අරමුණු කරන්නා වූ භූමිය පිළිබඳව නිශ්චිත තීරණයක් තිබිය යුතුය. ඉන් අනතුරුව එම භූමිය තුළ කොටු දැල් සකස් කර ගත යුතුය. ඒ සදහා අවස්ථාව පරිදි තාවකාලික ලී කණු භාවිත කළ හැකිය. පසුව සකස් කර ගත් කොටු දැල් ඉතා පිළිවෙලට ක්‍රමානුකූල සිතියමක් සාදා ගෙන ගවේෂණ කටයුතු සිදු කළ යුතුය. එම අවස්ථාවේදී ගවේෂණය මගින් පුරාවස්තු ආදිය ලැබුණහොත් ඒවා නිසි පරිමාණයට අනුව සකස් කර ගත් සිතියමේ සලකුණු කරගනු ලබයි. එපමණක් නොව නවීන විද්‍යුත් උපකරණ වල දියුණුවත් සමඟ මෙසේ හමුවන පුරාවස්තු ජායාරූප ගත කිරීමට සහ වීඩියෝ පටිගත කිරීම් කළ හැකිය. මෙම ක්‍රමික ආකාරයට ගවේෂණය මගින් කුඩා වපසරියක ක්ෂේත්‍රයක් ගවේෂණය කිරීමට හැකියාව ලැබෙනු ඇත. 


අහඹු නියැදිකරණ උපාය මාර්ගය 

පුරාවිද්‍යා විෂය ක්ෂේත්‍රයේදී මෙම අහඹු නියැදිකරණ ගවේෂණ ක්‍රමයද ඉතාම වැදගත් ගවේෂණ ක්‍රමයකි. විශේෂයෙන්ම කිසියම් කලාපයකට අයත් සියලුම පුරාවිද්‍යාත්මක ක්ෂේත්‍ර හෝ අතිවිශාල ක්ෂේත්‍රයක් මුළුමනින්ම පරීක්ෂා කිරීම සදහා කාලයත්, මුදලුත්, ශ්‍රමයත් වැය කිරීමට පුරාවිද්‍යාඥයන්ට නොහැකිය. ලෝකයේ බොහෝ තැන්වල මෙවැනි අතිවිශාල පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුතු ක්ෂේත්‍රයන් රැසක් දැකගත හැකිය. මෙවැනි විශාල ක්ෂේත්‍රයන් සදහා ඉතාම සුදුසු පුරාවිද්‍යා ගවේෂණ ක්‍රමයක් ලෙසින් මෙම අහඹු නියැදිකරණ උපාය මාර්ගය පෙන්වා දිය හැකිය. මෙහිදී කුඩා ප්‍රදේශයක නියැදි ලබා ගැනීමෙන් විශාල ක්ෂේත්‍රයක් උදෙසා සත්‍යවාදී ලෙස නිගමනයන් ලබා ගැනීම සිදු වේ. මේ සදහා සම්භාවිතා න්‍යාය යොදා ගැනීමට හැකියාවක් තිබේ. එම නිසාම සම්භාවිතාමය නියැදිකරණය ලෙසින් ද මෙය හදුන්වනු ලැබේ. මෙම ඉහතින් දක්වන ලද අහඹු නියැදිකරණ උපාය මාර්ගය එහි උපයෝගීතාවය අනුව වර්ග කිහිපයකට බෙදා දැක්විය හැකිය. එනම්, 

සරල සම්භාවිතාමය නියැදිකරණය 

ස්තුරීභූත අහඹු නියැදිකරණය 

ස්තුරීභූත ක්‍රමානුකූල නියැදිකරණය 

මේ අතුරින් සරල සම්භාවිතාමය නියැදිකරණ ගවේෂණය ප්‍රායෝගිකව යොදා ගත් අවස්ථාවක් ලෙසින් කුඩා ගම්මානයක් වූ මෙක්සිකෝවේ ඔක්සකා කදුකරයට අයත් ටිසෙරස් ලාගාස් හි හැඩගැසෙමින් තිබූ අවධියක් සම්බන්ධයෙන් කරන ලද පර්යේෂණය මීට නිදසුන් වේ. මේ අනුව පොළොව මතුපිට ගවේෂණය සදහා එහි උපයෝගීතාවය අනුව විවිධ ක්‍රම දැකගත හැකි අතර ඉහතින් සදහන් කරන ලද ක්‍රම ද්විත්වය ඉතාම යෝග්‍ය වන බව පැහැදිලි වේ. 


පොළොව අභ්‍යන්තරය ගවේෂණය 

පොළොව මතුපිට ගවේෂණ ක්‍රම මෙන්ම පොළොව අභ්‍යන්තරය පිළිබඳව සොයා බැලීම සදහා විවිධ ගවේෂණ ක්‍රම ගණනාවක් දැකගත හැකිය. විශේෂයෙන්ම භූමියේ කැණීමක් සිදු නොකර පොළොව අභ්‍යන්තරයේ තිබෙන යටගිය පුරාවස්තූන් හදුනා ගැනීම සදහා මෙම ක්‍රම භාවිත කරනු ලබයි. මෙම අභ්‍යන්තර ගවේෂණ ක්‍රම වලදී විද්‍යාත්මක ක්‍රමවේද සදහා මුල් තැනක් ලැබෙනු ඇත. එහිදී භූ භෞතික විද්වතුන් විසින් ප්‍රායෝගිකව යොදා ගනු ලබන භූ භෞතික ගවේෂණයන් භාවිත කරනු ඇත. කෙසේ වෙතත් කැණීමකින් තොරව හෝ කැණීමකට පෙර පොළොව අභ්‍යන්තරය පරීක්ෂා කිරීමේ හානිදායක නොවන ක්‍රම රාශියක් අද වන විට දියුණු වී තිබේ. මෙලෙස පොළොව අභ්‍යන්තරය ගවේෂණය සදහා යොදා ගනු ලබන ක්‍රම කිහිපයක් වේ. 

විද්‍යුත් ප්‍රතිරෝධක ගවේෂණය 

නිධි අනාවරක ගවේෂණය 

චුම්භක ගවේෂණ ක්‍රමය 

අවගාරය භාවිත කර ගවේෂණය  

දියෙක්සීම ගවේෂණ ක්‍රමය 

සිස්මීක් සහ ධ්වනි ක්‍රමය 

විද්‍යුත් බලය ආධාර කර ගනිමින් පොළොව අභ්‍යන්තරයේ තැන්පත් වී තිබෙන පුරාවස්තු ගවේෂණය මගින් සොයා ගැනීමේ හැකියාවක් තිබේ. විදුලි මීටරයක ආධාරයෙන් විදුලිය පොළොව තුළට යැවීම හරහා මෙම ක්‍රියාවලිය සිදු කරනු ලබයි. මෙම ක්‍රමය විද්‍යුත් ප්‍රතිරෝධක ගවේෂණය යන නමින් හදුන්වනු ලබයි. මෙම විද්‍යුත් ප්‍රතිරෝධක ගවේෂණය හරහා අභ්‍යන්තරයේ පවතින තාප්ප, බිත්ති වැනි දෑ සොයා ගෙන ඇත. එසේම මෙම ක්‍රමය උපයෝගී කර ගෙන පසෙහි ස්වභාවය පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමේ හැකියාවක් තිබේ. 

අභ්‍යන්තර ගවේෂණ ක්‍රම අතර නිධි අනාවරක ගවේෂණ ක්‍රමය ද ඉතා වැදගත් වේ. මෙම ක්‍රමය උපයෝගී කර ගනිමින් පොළොව මතුපිට සිට අගල් කිහිපයක් යට ඇති ලෝහමය ද්‍රව්‍ය සොයා ගැනීම සදහා භාවිත කර තිබේ. එසේම පස් තට්ටුවෙන් තට්ටුව පරීක්ෂා කර බැලීමේදී ද මෙම නිධි අනාවරක ගවේෂණ ක්‍රමය ඉවහල් කර ගත හැකිය. මීට අමතරව චුම්භක ගවේෂණ ක්‍රමය ද සුලබ ලෙස යොදා ගන්නා අභ්‍යන්තර ගවේෂණ ක්‍රමයකි. මේ හරහා පොළෝ අභ්‍යන්තරයේ ඇති ලෝහමය පුරාවස්තු ගවේෂණය කිරීමේ හැකියාව තිබේ. එනම් අතීතයෙහි පොළොව තුළ වැලලී තිබූ කඩු, පිහි, උදළු තල ආදිය සොයා ගැනීම සදහා මෙම චුම්භක ගවේෂණ ක්‍රමය උපයෝගී කර ගත හැකිය. මෙහිදී එම පුරාවස්තුවල ඇති යකඩ ඔක්සයිඩයන් මගින් විහිදෙන ඉතා සුළු චුම්භක ක්ෂේත්‍රයන් ග්‍රහණය කර එමගින් අභ්‍යන්තරයේ ඇති ද්‍රව්‍ය වල ගැඹුර යනාදිය නිරීක්ෂණය කළ හැකිය. 

අවගාරය හරහා සිදු කරනු ලබන ගවේෂණ කටයුතු වලදී පොළොව අභ්‍යන්තරය පිළිබඳව සොයා බැලිය හැකිය. එහිදී අවගාරය නැමති උපකරණය මාර්ගයෙන් පොළොව යට ඇති පස් ඉවතට ගත හැකි අතර ඒ හරහා ඉවතට ගන්නා පස් විශ්ලේෂණය කිරීම හරහා පුරාවස්තු පිළිබඳව සොයා බැලිය හැකිය. මෙම අවගාරය උපයෝගී කර ගැනීම ඉතා සුදුසු වුවද ඒ හරහා පොළෝ අභ්‍යන්තරයේ තිබෙන මැටි බදුන් ආදිය විනාශ වීමේ හැකියාවක් ද තිබේ. 


ගුවන ආශ්‍රිත සිදු කරන ගවේෂණ

පුරාවිද්‍යා විෂය ක්ෂේත්‍රය තුළ අන්තර්ගත ගවේෂණ ක්‍රියාවලිය තුළ ගුවන ආශ්‍රිතව සිදු කරන ගවේෂණ කටයුතු වලට ප්‍රමුඛ ස්ථානයක් ලැබී තිබේ. මෙහිදී අතීත මානව ක්‍රියාකාරකම් සහ පරිසරය සමඟ තිබූ සහ සම්බන්ධතාවය අධ්‍යයනය කිරීම සදහා සාම්ප්‍රදායික ගවේෂණ ක්‍රම භාවිත කිරීමේදී කාලයත්, ශ්‍රමයත් වැය වීම සිදු වේ. ඒ නිසාම ගුවන් ජායාරූප භාවිතය සහ චන්ද්‍රිකා ප්‍රතිරූප මගින් එම කාර්යය වඩා කාර්යක්ෂමව හා සාපේක්ෂව ආර්ථික වාසි සැලසෙන අයුරින් කළ හැකිය. 

මෙම ගුවන් ජායාරූපකරණය පිළිබඳව අවධානය යොමු වූයේ 20 වන සියවසෙහි මුල් භාගයේදීය. එනම් ලෝක යුද්ධ අතරතුර කාලයේදීය. ශ්‍රී ලංකාව තුළ මෙම ගුවන් ජායාරූපකරණය 1956 දී කැනඩාවේ හන්ටින් සහ සර්වෙයාර් ආයතනය විසින් සිදු කර තිබේ. මෙම ගුවන් ජායාරූප ආදිය මගින් මිනිසා සහ පරිසරය අතර අනෝන්‍ය සම්බන්ධය විවිධ මට්ටම් වලින් වාර්තා කරනු ලැබේ. මෙහිදී යොදා ගන්නා උපකරණ සහ පරිමාණ මත එම තොරතුරු වල ප්‍රමිතිය තීරණය වේ. මීටර 3000 වඩා ඉහල සිට ගනු ලබන ජායාරූප මගින් සිතියම් සකස් කර ගත හැකිය. පුරාවිද්‍යාවේ මූලික අරමුණ වනුයේ අතීත මානව සමාජය නැවත ප්‍රතිරූප කිරීමය. ගුවන් ජායාරූප මගින් එම කාරණය සදහා පිටුවහලක් ලැබේ. 

ගුවන් ජායාරූප ආධාරයෙන් කිසියම් පුරාස්ථාන හදුනා ගැනීම එහි මෝස්තර සහ වර්ණ අනුව සිදු කළ හැකිය. විශේෂයෙන්ම මෙම ගුවන් ජායාරූප වර්ග 2ක් දක්නට ලැබේ. එනම්, 

තිරස් ගුවන් ජායාරූප 

කෝණාකාර ගුවන් ජායාරූප 

එපමණක් නොව මෙම ගුවන් ජායාරූප හරහා යම්කිසි ප්‍රදේශයකම තිබෙන සම්පූර්ණ වපසරියම දර්ශනය කර ගත හැකිය. එනම් සීගිරි ආලකමන්දාවේ ඉහළ පැතිරී තිබෙන නටඹුන් සියල්ලම පාහේ එකවර ගොනුකර ගැනීමට අවශ්‍ය වුවහොත් ඒ සදහා වඩාත්ම යෝග්‍ය වනුයේ මෙම ගුවන් ජායාරූප ගවේෂණ ක්‍රමයයි. එමෙන්ම ඇතමෙකුට අනුරාධපුර රාජධානිය සම්බන්ධව ක්‍රමානුකූල ගවේෂණයක් සිදු කිරීමට අවශ්‍ය නම් ඒ සදහා ගුවන් ජායාරූපයක් මහත් සේ ප්‍රයෝජනවත් වේ. එසේම මෙහිදී අවධානය යොමු කළ යුතු වන්නේ ගුවන ආශ්‍රිතව සිදු කරනු ලබන ගවේෂණ ක්‍රම වන ගුවන් ජායාරූපකරණය, චන්ද්‍රිකා ජායාරූප ආදිය උපයෝගී කර ගැනීමේදී ඇති වන අපහසුතා ද තිබේ. ඒ අතර වෘක්ෂලතාදිය, වලාකුළු වලින් ඇති වන බාධක, ජායාරූප විකෘති වීම් ආදිය ප්‍රබල ලෙස බලපානු ඇත. 


ජලාශ්‍රිත පුරාවිද්‍යා ගවේෂණය 

පුරාවිද්‍යා විෂය ක්ෂේත්‍රයට එක් වුණ නවතම අංශයක් ලෙසින් මෙම ජලාශ්‍රිත පුරාවිද්‍යාව හදුන්වා දිය හැකිය. නමුත් මෙම ජලාශ්‍රිත පුරාවිද්‍යා වැඩ කටයුතු වලට ගොඩබිම සිදු කරනු ලබන පුරාවිද්‍යා ගවේෂණ වලට වඩා කාලයත්, මුදලුත් වැය වීම දැකගත හැකිය. එයට හේතුව ජලය තුළ සිදු කරන ගවේෂණ සදහා වැඩිපුර කාලයක් ගත වන හෙයිනි. විශේෂයෙන්ම මෙම ජලාශ්‍රිත පුරාවිද්‍යාව සාගරය, වැව්, විල් ආදිය ආශ්‍රය කර ගනිමින් සිදු කරනු ලබයි. එහිදී ශ්‍රී ලංකාව තුළ සිදු කරන ලද ජලාශ්‍රිත ගවේෂණ හරහා ගාල්ල වරාය ආශ්‍රිත බිදුනු නැව් රාශියක් තිබෙන බැව් සොයා ගෙන තිබේ. එසේම ලංකාව ආශ්‍රිත මුහුදේ , විශේෂයෙන්ම මහා රාවණා කොටුව සහ කුඩා රාවණා කොටුව ආශ්‍රිතව පැරණි නැව් රාශියක් ගිලී තිබෙන බව සමුද්‍රීය පුරාවිද්‍යා ගවේෂණ හරහා අනාවරණය කර ගෙන තිබේ. 

ගොඩබිම මෙන් නොව ජලය ආශ්‍රිතව කෙරෙන පුරාවිද්‍යා ගවේෂණ වලදී ජලය යටට යාමට ප්‍රථමව ඒ හා සම්බන්ධ තොරතුරු අධ්‍යයනය කළ යුතුය. විශේෂයෙන්ම ජල මට්ටම, කාලගුණික තත්ත්ව ආදිය, වංශකතා වල තොරතුරු, ජනප්‍රවාදයේ තොරතුරු ආදිය පිළිබඳව විශේෂ අවදානමක් යොමු කළ යුතුය. මෙම ජලාශ්‍රිත ගවේෂණයේදී අනිවාර්යයෙන්ම ඒ සදහා සුදුසු සිතියම් භාවිත කළ යුතු අතර එමගින් සොයා ගන්නා ලද ද්‍රව්‍ය හමු වූ ස්ථානයන් හි පිහිටීම, ගැඹුර ආදිය ඉතා නිවැරදිව සටහන් කර තැබිය යුතුය. පොළොව මතුපිට ඇති පුරාවිද්‍යාත්මක ක්ෂේත්‍ර සොයා ගැනීමට භූ භෞතික ක්‍රම උපකාරී වන්නා සේම දිය යට තිබෙන පුරාවිද්‍යාත්මක ක්ෂේත්‍ර සොයා ගැනීමට ද මෙම ක්‍රම භාවිත කළ හැකිය. නිදසුනක් ලෙස 1929 දී පාර්ශවීය ස්කෑන් සෝනාර් උපකරණයට සම්බන්ධ කරන මැග්නටෝ මීටරයක ආධාරයෙන් කැනඩාවේ ඔස්ටීරියෝ විලේ 1812 යුධ සමයේදී අඩි 295ක් යට ගිලී ගිය හැමිල්ටන් රුවල් නැව සොයා ගන්නා ලදි. 

මීට අමතරව රේඛීය කිමිදුම් නිරීක්ෂණය, දිශාගත කිමිදුම් නිරීක්ෂණය, තීරුගත නිරීක්ෂණය, කොටු දැල් ක්‍රමයට ගවේෂණය, වෘත්තාකාර රැහැන් ගවේෂණය ආදී ක්‍රම ගණනාවක් හරහා මෙම ජලාශ්‍රිත ගවේෂණ කටයුතු සිදු කළ හැකිය. මෙහිදී වැඩි වශයෙන් කිමිදෙමින් ගවේෂණ කටයුතු සිදු කර තිබේ. මධ්‍යධරණි ප්‍රදේශයේ බොහොමයක් සොයා ගැනීම් සිදු කරන ලද්දේ ඉතා සරල කිමිදීමේ ක්‍රම උපකාරයෙනි. ඒ සදහා කිමිදුම් කරුවන් පැය දහස් ගණනක් දිය යට ගත කළේය. 

මේ අනුව අතීත මානවයාගේ හැසිරීම සහ සංස්කෘතික වෙනස්කම් පිළිබඳව හදාරනු ලබන පුරාවිද්‍යා විෂය ක්ෂේත්‍රය තුළ දක්නට ලැබෙන ඉතා වටිනාකමකින් යුතු විෂය පථයක් ලෙසින් ගවේෂණ ක්‍රියාවලිය හදුන්වා දිය හැකිය. මෙම සංකීර්ණ ගවේෂණය තුළ විවිධ අංශ යටතේ සිදුකරනු ලබන ගවේෂණ වර්ග රැසක් දැකගත හැකිය. එහිදී එක් එක් ගවේෂණ ක්‍රියාවලියේ උපයෝගීතාවය ද මේ හරහා පෙන්වා දිය හැකිය. 


ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය 

පුරාවිද්‍යාවේ සිද්ධාන්ත ක්‍රම සහ භාවිතය, රෙන්ෆෘ, කොලින්, ඛාන් පෝල්, ( පරි ) රාජ් සෝමදේව, කොළඹ, 2000.

ජීවි පරිණාමය සහ පුරාවිද්‍යාව, සූරතිස්ස, ඩී.එම්, ෆාස්ට් පබ්ලිෂින් ප්‍රයිවට් ලිමිටඩ්, කොළඹ.

ගවේෂණ 1 කලාපය, අනුර මනතුංග, පුරාවිද්‍යා ගවේෂණ එහි විෂය ක්ෂේත්‍රය සහ අරමුණු, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, කොළඹ, 2004. 

නිශ්ශංක 1 කලාපය, සමරතුංග, සුනීතා ශ්‍රියානි, පුරාවිද්‍යා ගවේෂණ වලදී දුරස්ථ සන්නිවේදන ක්‍රම භාවිතය, පොළොන්නරුව ව්‍යාපෘතිය, මධ්‍යම සංස්කෘතික අරමුදල, 2000.

පුරාවිද්‍යා ප්‍රවේශය, උදාහෙට්ටි, එච්.ටි බස්නායක, එස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ, 1992.

පුරාවිද්‍යා විධිනියම, ඇඩ්කින්ස්, ලෙස්ලි, රෝයි.ඒ. ඇඩ්කින්ස්, (පරි) විජය දිසානායක, අනුරාධා ප්‍රකාශකයෝ, දෙල්ගොඩ, 1997.


Wednesday, January 20, 2021

ලක්දිව සිංහල භාෂාවෙහි යුගකරණය




ලෝකයේ ඕනෑම භූගෝලීය පරිසරයක ජීවත් වන සෑම ජන කොටසකටම තමන්ගේ අදහස් එකිනෙකා අතර සන්නිවේදන කටයුතු සිදු කිරීම සදහා භාෂාව යන සාධකය ප්‍රබල ලෙස බලපානු ලබයි. එහිදී මෙම භාෂාව තුළ ප්‍රධාන වශයෙන් අංශ ද්විත්වයක් හදුනාගත හැකිය. එනම්, කථන භාෂාව සහ ලේඛන භාෂාවයි. විශේෂයෙන්ම සිංහල ලේඛන කලාවෙහි ආරම්භය දේවානම්පියතිස්ස රජු දවස ( ක්‍රි.පූ. 250-210 ) සිදු වූ මහින්දාගමනය නිසා වූ බව විද්වත් පිළිගැනීම වී තිබේ. තත් සමකාලීන ඉන්දියාවේ මෞර්යය අධිරාජයා වූ අශෝක රජු සහ දේවානම්පියතිස්ස රජු අතර පැවති මිත්‍රත්වය මෙයට පදනම විය. මෙම සබදතාවය නිසාම ඉන්දියාවෙහි භාවිත කරන ලද බ්‍රාහ්මී අක්ෂර කලාවෙහි ආභාසය හරහා දේවානම්පියතිස්ස රජුගේ රාජ්‍ය කාලයේ සිටම ලංකාවේ ශිලා ලේඛන කලාවෙහි ආරම්භය සිදු වූ බව දැකගත හැකිය. 

කෙසේ වෙතත් පුරාවිද්‍යාත්මක සාධක වලට අනුව දේවානම්පියතිස්ස රාජ්‍ය කාලයේ සිට ලේඛන කලාවක ආරම්භය සිදු වූ බව දැකගත හැකි වුවත් බොහෝ සාහිත්‍යය මූලාශ්‍ර වල සදහන් තොරතුරු වලට අනුව විජයාගමන කාලපරිච්ඡේදයෙහි සිටම ලාංකේය වැසියන් අතර ලේඛන කලාවක් පැවති බවට විවිධ සාධක හමුවී තිබේ . විශේෂයෙන්ම මහාවංසයෙහි සදහන් තොරතුරු වලට අනුව විජය රජු අභිෂේක උත්සවය සදහා අවශ්‍ය ක්ෂත්‍රීය කුමාරිකාවන් ගෙන්වා ගැනීම සදහා හසුන්පත් යැව් බව සදහන් වේ . මෙහිදී සංස්කෘතික සම්බන්ධතාවයකටත් වඩා දේශපාලනික සම්බන්ධතාවක් ගොඩනංවා ගැනීමේ අභිප්‍රායෙන් සිදු වූ බව පෙනේ . මේ කටයුතු වලදී ලේඛන කාර්‍යය සදහා යොදා ගත් අක්ෂර හෝ සංකේත විශේෂය කුමක්ද යන්න නිශ්චිතවම කිව නොහැකි වුවද දෙරටට පොදු වූ ලේඛන ක්‍රමයක් පවතින්නට ඇතැයි සිතිය හැකිය. මෙලෙස කුමන හෝ ලේඛන ක්‍රමයක් හරහා දකුණු ඉන්දියාව සමඟ සබදතා පැවැත්වූ බව දැකගත හැකිය. එනම් , විජය කුමරහට පඩි රජු දියණියන් පිණිසත්, ඇමති වර්ගයාහට සෙස්සන් දුන් පිණිසත් මිණිමුතු ආදී බොහෝ පඩුරු ගන්වා මදුරාපුරයට දූතයන් යැවූහ. ඒ රාජ දූතයෝ වහා නැවින් මදුරාපුරයට ගොස් පඩුරු ද , ලියුම් ද රජහට දැක්වූහ.

විජය රජුගේ ඇවෑමෙන් ලංකාවේ රජ බවට පත්වීමට ඉන්දියාවේ සිටි විජය රජුගේ සහෝදරයා වූ සුමිත්ත කුමරු ගෙන්වා ගැනීම සදහා ද හසුන්පත් යැවූ බවක් සාහිත්‍යය මූලාශ්‍රවල සදහන් වේ . එසේම පණ්ඩුකාභය කුමරු රාජ්‍යත්වයට පත් වීමට ප්‍රථම මාමාවරුන් අතර සිදු වූ සටන් අවස්ථාවේදී අභය රජු සහ පණ්ඩුකාභය කුමරු අතර හසුන්පත් හුවමාරු වූ බවක් දැකගත හැකිය . මීට අමතරව දේවානම්පියතිස්ස රජු මහින්දාගමනයටත් පෙර සිට අශෝක අධිරාජ්‍යයා සමඟ හසුන්පත් හුවමාරු කරගත් බව පෙනේ . නමුත් මේ ආකාරයට මහින්දාගමනයට පෙර සිටම ලාංකේය සමාජය තුළ ලේඛන කලාවක් භාවිත කළ බවට තොරතුරු හමුවුවද එම කටයුතු වලදී යොමු ගන්නා ලද අක්ෂර හෝ සංකේත කෙබඳු වූවාදැයි නිශ්චිතවම පුරාවිද්‍යාත්මක සාධක නොමැති නිසා දේවානම්පියතිස්ස රාජ්‍ය කාලයේ සිදු වූ මහින්දාගමනයට පෙර ලංකාවේ අක්ෂර භාවිතයක් සිදු වූ බව පිළිගැනීම අසීරුය . 

ක්‍රි.පූ. 3 වන ශතවර්ෂයෙහි සිදු වූ මහින්දාගමනයෙන් ලාංකිකයන්ට ලැබුණේ උතුම් දහමක් පමණක් නොවන බව පෙනේ . එහිදී ලේඛන කටයුතු සදහා අක්ෂර කලාවක් ද මෙරටට හිමි වූ බව පෙනේ. මෙලෙස හිමි වූ අක්ෂර කලාව බ්‍රාහ්මී අක්ෂර කලාව ලෙසින් හදුන්වා තිබේ. මෙම අකුරු වෛදික යුගයේ විසූ බමුණන් විසින් වේදය ලියා තැබීම සදහා යොදා ගත් හෙයින් ඒවාට බ්‍රාහ්මී අක්ෂර යනුවෙන් හදුන්වා තිබෙන අතර ඇතමෙකු විසින් මෙම අකුරු අශෝක අක්ෂර ලෙසින්ද හදුන්වනු ලැබීය. මෙහිදී අක්ෂර යනු කුමක්ද යන්න විමසා බැලීමේදී ශිෂ්ට මනුෂ්‍ය වර්ග අතර ව්‍යවහාර වන භාෂාවන්ගේ හෝඩිවල වර්ණ, අක්ෂර හෙවත් අකුරු නමින් හැදින්වේ. වර්ණයකින් උච්චාරණය කෙරෙන ශබ්දයට මෙන්ම එම ශබ්දය හගවන ලකුණට හෙවත් සංකේතයට ද අක්ෂර යන්න භාවිත වේ. 

මහින්දාගමනය සමඟ ලාංකිකයන් බුදුදහම වැළදගත් අතර මෙරට භික්ෂු, භික්ෂුණී ශාසනයෙහි ආරම්භය ද ඒ සමඟ හදුනාගත හැකිය. මෙම භික්ෂුණ් විසින් බණ භාවනා කිරීම සදහා නිසසල ප්‍රදේශ තෝරා ගත් අතර ඇතැම් විට මේ සදහා ගල්ලෙන් යොදා ගනු ලැබීය. මෙම ගල්ලෙන් වාසයට සුදුසු පරිදි සකස්කර දෙනු ලැබුවේ රජ දරුවන් ඇතුළු දායක දායිකාවන්ය. මෙලෙස ගල්ලෙන් සකස් කළ දායකයින් තම පින්කම පිළිබඳව කෙටි සටහනක් ලෙනේ කටාරමට යටින් කෙටීමට අමතක නොකළහ. මෙම ලිපි බොහොමයක් අවසන් වන්නේ අගත අනගත චතුදිස සගස යන පාඨයෙනි. අගත අනගත චතුදිස සගස දිනේ යන පාඨයෙන් ඉස්මතු කෙරෙන මූලික අර්ථය නම් එම ලෙන එක් භික්ෂුවකට පමණක් නොව මුළු මහත් භික්ෂූන්ටම පූජා කරන ලදි යනුවෙනි . මෙහිදී ලාංකේය ලේඛන කලාව පිළිබඳව තොරතුරු ලබා ගැනීම සදහා සෙල්ලිපි, සන්නස් සහ ඇතැම් සාහිත්‍යය මූලාශ්‍රත් විශාල වශයෙන් වැදගත් වේ. මේ අතුරින් ආදීතම ලේඛන කලාවෙහි ආරම්භය පිළිබඳව අධ්‍යයනයේදී ලැබෙන පැරණීම සාධක අපට හමුවනුයේ ශිලාලේඛන හරහාය. මෙම ශිලා ලේඛන ප්‍රධාන වශයෙන් ලෙන් ලිපි, ටැම් ලිපි, පුවරු ලිපි සහ ගිරි ලිපි යනුවෙන් ප්‍රධාන කොටස් 4 ක් යටතේ හදුනාගත හැකිය . මෙලෙස විවිධ වර්ග යටතේ ලියන ලද ශිලා ලේඛන පිළිබඳව අධ්‍යයනය කටයුතු සිදුකරනු ලැබූවේ දහනම වන සියවස අගභාගයේදීය. ජේම්ස් ප්‍රින්සෙප් මහතා විසින් බ්‍රාහ්මී අක්ෂර මාලාව සම්පූර්ණයෙන්ම කියවා ගැනීමෙහි සමත් වීමෙන් පසුව මෙම උනන්දුව අධික විය. දිවයිනෙහි එකල සිටි ඇන්ඩෲ ආර්මර්, ජෝර්ජ් ටර්නර්, ඩැනියල් ජෝන්ස්, ගොගර්ලි, සයිමන් කාසිචෙට්ටි, රිස් ඩේවිඩ් ආදී විද්වතුන් සිංහල ශිලා ලේඛන පිළිබඳව විවිධ විමර්ශන කළහ . 

මීට අමතරව ලාංකේය අක්ෂර කලාවෙහි ඈත අතීතය පිළිබඳව ගවේෂණය කළ විද්වතුන් අතර සෙනරත් පරණවිතාන මහතා ඉතාම වැදගත් වන අතර මෙතුමා විසින් ලංකාව පුරා විශාල වශයෙන් ව්‍යාප්තව ඇති ශිලා ලේඛන සිය ගණනින් අධ්‍යයනය කර ඒ සම්බන්ධ ග්‍රන්ථ රාශියක් රචනා කර තිබෙන බව දැකගත හැකිය . එහිදී ඉන්දියාවේදී බ්‍රාහ්මීය අක්ෂර සම්බන්ධව ලැබුණු දැනුම මෙතුමාට වැඩි වශයෙන් ප්‍රයෝජනවත් වූ බව පෙනේ . 



සිංහල භාෂාවේ යුගකරණය 

පුරාතන ශ්‍රී ලංකාවේ ලේඛන කලාව පිළිබඳව අවධානය යොමු කිරීමේදී එහි ප්‍රධාන අංගයක් වූ අක්ෂර කලාවෙහි විකාශනය දෙස බැලීමේදී ඒ සදහා විවිධ හේතු සාධක හදුනාගත හැකිය . විශේෂයෙන්ම සිංහල භාෂාවේ ආරම්භය පිළිබඳව සාකච්ඡා කිරීමේදී මෙය එකවර නිර්මාණය වූ භාෂාවක් නොවන බව පැහැදිලිය . එනම් විවිධ කාලවලදී විවිධ අංගයන් එකතු වෙමින් මෙහි වර්ධනයක් සිදුවී ඇති බව පෙනේ . එහිදී මහින්දාගමනයත් සමඟ උතුරු ඉන්දියානු ආභාසය ලාංකේය භාෂාවේ වර්ධනයට බලපෑ අතර පසුකාලීනව දකුණු ඉන්දියාව සමඟ ඇති වූ සබදතාවල ප්‍රතිඵලයක් ලෙස දකුණු ඉන්දියානු ආභාසය ද ලාංකේය අක්ෂර කලාවට ලැබී ඇති බව දැකගත හැකිය . මේ අනුව බලන කළ ලංකාව භාරතයත් සමඟ පැවැත්වූ දේශපාලනික සම්බන්ධතා අපට කිසි ලෙසකින් අමතක කළ නොහැකිය . විශේෂයෙන්ම බ්‍රාහ්මී අක්ෂර කලාව මෞර්ය අධිරාජ්‍යයෙන් ලැබුණු දායාදයක් ලෙස සැලකීමට වඩා දූරදර්ශි ලාංකේය පාලකයන් භාරතය සමඟ පැවැත්වූ මිත්‍රශීලී දේශපාලනික සබදතා නිසා ලැබුණු දෙයක් ලෙස සැලකීම සාධාරණය. 

සමකාලීන ඉන්දියාවේ ලේඛන කලාව දෙස අවධානය යොමු කිරීමේදී අශෝක යුගයේදී මුළු ඉන්දියාව පුරා එකවර ලේඛන කලාව පැතිරී ගිය බව දැකගත හැකිය. නමුත් බ්‍රාහ්මී අක්ෂර කලාවෙහි ආරම්භය අශෝක යුගයේ ඇති වී යයි ප්‍රකාශ කිරීම විචාර පූර්වක නොවේ. එනම් ඊට පෙරාතු කාලයේ සිට ඉන්දියාවෙහි අක්ෂර කලාව පවතින්නට ඇති බවත් අශෝක රජු එම අක්ෂර ටැම්වල හා පර්වත වල ලේඛනගත කිරීමෙන් එම අවධියේ ඒවා දක්නට ලැබෙන බවත් සිතිය හැකිය . මහින්දාගමනය සම්බන්ධ සිදුවීමේදීත් එම සිදුවීමම සිදුවන්නට ඇතැයි සිතිය හැකිය . විශේෂයෙන්ම ඇතැම් විට මහින්දාගමනයට පෙර ලංකාවේ ලේඛන කටයුතු කල් නොපවතින අමුද්‍රව්‍ය ඇසුරු කොට ගෙන සිදුකරන්නට ඇති බව පෙනේ . නමුත් ක්‍රි.පූ 3 වන සියවසෙහි මෞර්ය ආභාසය මෙරටට ලැබීම හරහා ගල් පර්වතවල ලේඛන කටයුතු සිදු කිරීමේ කලාව ලැබී තිබේ . කෙසේ වුවත් මහින්දාගමනය හේතුවෙන් ලැබුණු බුදුදහම සහ පාලි භාෂාවත්, මෞර්ය සංස්කෘතියත් නිසා සිංහල අක්ෂර කලාවේත්, භාෂාවේත් විශාල ප්‍රගමනයක් සිදු වූ බව දැකගත හැකිය . 

මෙම සිංහල භාෂාවේ යුගකරණය පිළිබඳව අවධානය යොමු කිරීමේදී ලාංකේය භාෂාවෙහි මුල්ම සාධක අපට හමුවනුයේ ශිලා ලේඛන ආශ්‍රය කොට ගෙනය. එහිදී මුල්ම අවධියේ ශිලා ලේඛන ගණනාවක් මිහින්තලය සහ ඒ අවට ප්‍රදේශ වලින් හදුනාගෙන තිබේ . විශේෂයෙන්ම මහින්දාගමනයෙන් මසකට පමණ පසු දෙවන පෑතිස් රජතුමා ලෙන් 68ක් සකස් කරවන්නට පටන් ගත් බව මහාවංසයේ සදහන් වේ . මිහින්තලා කන්දේ සහ එයට අයත් රාජගිරිලෙන කන්දේ ද , ආනයික්කුට්ටි කන්දේ ද ඇති පැරණි ලෙන්වල බ්‍රාහ්මී අක්ෂර වලින් කොටවා ඇති ලිපි 85ක් පමණ සොයා ගෙන තිබේ . මේ අනුව ලංකාවේ ලේඛන කලාවෙහි , භාෂාවෙහි ආරම්භය දෙස බැලීමේදී ඒවා යම්කිසි ප්‍රධානයක් සිදු කිරීම සදහා මුල්කාලයේ භාවිත කර තිබෙන බව දැකගත හැකිය . විශේෂයෙන්ම සිංහල භාෂාව පිළිබඳව අදහස් ඉදිරිපත් කළ විද්වතුන් මෙය විවිධ භාෂාවන්ට නෑකම් දක්වන බව කියයි. එහිදී සෙනරත් පරණවිතාන මහතාට අනුව සිංහල භාෂාව ඉන්දු - ආර්‍ය ගණයේ භාෂාවක් ලෙස හදුන්වා ඇත . කෙසේ වෙතත් කිනම් වකවානුවක සිට අක්ෂර භාවිත කර තිබේද යන්න තවමත් ගැටළු සහගතය . මේ නිසා 19 වන සියවසෙහි බොහෝ උගතුන් මේ පිළිබඳව අවධානය යොමු කළ අතර ඒ හරහා ඔවුන් නිගමන දෙකකට එළඹුණු බව දැකගත හැකිය . එනම් සිංහල භාෂාව ඉන්දු ආර්‍ය ගණයට අයත් භාෂාවක් මෙන්ම ඇතැම් උගතුන් ඉන්දු ආර්‍ය භාෂාවෙන් අන්‍යතර වූ බසක් යන්නට අදහස් ඉදිරිපත් කරන ලදි . 

මෙහිදී සිංහල භාෂාවේ යුගකරණය පිළිබඳව අවධානය යොමු කිරීමේදී විවිධ මූලාශ්‍රයන් තුළ විවිධ වර්ගීකරණයන් සිදු කර තිබෙන බව දැකගත හැකිය . විශේෂයෙන්ම ලක්දිව සෙල්ලිපි නැමති කෘතියේ මෙම යුග භේදය දක්වා ඇත්තේ මෙසේය . 

පූර්ව බ්‍රාහ්මී යුගය - ක්‍රි.පූ. 3 වන ශතකයේ සිට ක්‍රි.ව. 1 වන ශතකයේ පූර්ව භාගය තෙක්

අපර බ්‍රාහ්මී යුගය - ක්‍රි.ව. 1 වන ශතකයේ දෙවන භාගයේ සිට ක්‍රි.ව. 7 වන ශතකය දක්වා 

පශ්චාත් බ්‍රාහ්මී යුගය - ක්‍රි.ව. 8 වන ශතකයේ සිට ක්‍රි.ව. 15 වන ශතකයේ අවසානය දක්වා 

එමෙන්ම සිංහල අක්ෂර සම්භවය සහ එහි විකාශනය නම් ග්‍රන්ථය තුළ තවත් වර්ගීකරණයක් දැකගත හැකිය . එනම් , 

පූර්ව බ්‍රාහ්මී අවධිය - ක්‍රි.පූ. 3 වන සියවසෙහි සිට ක්‍රි.පූ. 1 වන ශතවර්ෂය දක්වා 

පශ්චාත් බ්‍රාහ්මී අවධිය - ක්‍රි.පූ. 1 වන ශතවර්ෂයෙහි සිට ක්‍රි.ව. 5 වන ශතවර්ෂයෙහි මුල් භාගයේ අවසානය දක්වා 

සංක්‍රමණික අවධිය - ක්‍රි.ව. 6-7 සියවස් අවධිය 

ඉහත සදහන් කරන ලද සිංහල භාෂාවේ යුගකරණයට තරමක් වෙනස් වර්ගීකරණයක් ද මේ සම්බන්ධව අධ්‍යයනය කිරීමේදී දැකගත හැකිය . එනම් ,

සිංහල ප්‍රකෘතය

පුරාතන සිංහලය

මධ්‍යතන සිංහලය

නූතන සිංහලය

මෙහි සිංහල ප්‍රකෘත යනුවෙන් හැදින්වෙන්නේ ක්‍රි.පූ. දෙවන සියවසෙහි සිට හතරවන හෝ පස්වන සියවසට අයත් සිංහලය . මෙම අවධියට අයත් වන්නේ බ්‍රාහ්මී අක්ෂරයන් භාවිතයෙන් ලියා ඇති සෙල්ලිපියි. ඉනුත් පැරණිතම ලෙන් ලිපිය. මේවා එකම ආකෘතියක් මත රචනා කර තිබෙන බව පෙනේ. එමෙන්ම පුරාතන සිංහල අවධිය ක්‍රි.ව 4 හෝ 5 වන සියවසෙහි සිට අටවන සියවස දක්වා දිවයයි. මේ අවධියට අයත් ශිලා ලිපි සංඛ්‍යාව සීමා වුවත් මධ්‍යතන සහ නූතන සිංහල භාෂාවේ මූලික ව්‍යාකරණ රීති වැඩි ප්‍රමාණයක් මේවායෙහි දැකගත හැකිය . තුන්වන අවධිය වන මධ්‍යතන සිංහලය ක්‍රි.ව. 8 වන සියවසෙහි සිට 13 වන සියවස දක්වා විහිදී යයි. දැනට ශේෂ වී ඇති සියබස්ලකර, දම්පියා අටුවා ගැටපදය සහ සිඛවලද හා සිඛවළද විනිස ග්‍රන්ථ අයත් වන්නේ මේ අවධියටය. එමෙන්ම හතරවන අවධිය ඇරඹෙන්නේ 13 වන සියවසෙහි මැද භාගයෙන් පසුවය . එම සිංහලය නම් කොට ඇත්තේ නූතන සිංහලය යනුවෙනි . මෙලෙස සිංහල භාෂාවෙහි යුගකරණය පිළිබඳව දක්නට ලැබෙන විවිධ මතවාද හදුනාගත හැකිය . 


පූර්ව බ්‍රාහ්මී අවධිය 

ක්‍රි.පූ. 3 වන ශතවර්ෂයෙහි සිට ක්‍රි.ව. 1 වන ශතවර්ෂ කාලවකවානුවට අයත් භාෂා විලාසය පූර්ව බ්‍රාහ්මී අවධිය ලෙසින් හදුන්වනු ලබයි . එමෙන්ම මෙම කාලපරාසය තුළ භාවිත භාෂාව ප්‍රාකෘත නමින් හදුන්වා තිබෙන අතර මෙම ප්‍රාකෘත භාෂාව ප්‍රථමයෙන්ම ඉන්දියාවෙන් හදුනාගත හැකිය . විශේෂයෙන්ම මෙම ප්‍රාකෘත භාෂාවෙහි ස්වරූප ගණනාවක් දැකගත හැකි අතර එහි අනු කොටසක් ලංකාව තුළ ද භාවිත කළ බව පෙනේ . කෙසේ වෙතත් මෙම පූර්ව බ්‍රාහ්මී අවධියෙහිදී ප්‍රදේශ දෙකකින් භාෂාව ලංකාවට ලැබී ඇති බව දැකගත හැකිය . එනම් ,

උතුරු ඉන්දියානු අක්ෂර ආභාසය 

දකුණු ඉන්දියානු අක්ෂර ආභාසය 

මේ අතුරින් උතුරු ඉන්දියානු ආභාසය පිළිබඳව විමසා බැලීමේදී එහි මූලය අශෝක රජු කළ සිදු වූ ධර්මදූත කණ්ඩායම් පිටත් කර හැරීම දක්වා දිවයන බව දැකගත හැකිය . මෙහිදී මෙම ආරම්භක අවධියෙහි ලැබෙන ලෙන්ලිපි වල භාෂාවත්, අක්ෂරත් ඉන්දියානු අශෝක ලිපි වලට සමානය. එමෙන්ම දකුණු ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට හදුන්වා දෙනු ලැබූ බ්‍රාහ්මී අක්ෂර මාලාව ලක්දිව බෞද්ධ ධර්මදූතයන් පැමිණි පසුව වෙනත් මූලයන්ගේ බලපෑමට හසුවන්නට ඇති බව පෙනේ . ඉන්දියාවෙහි බටහිර සහ දකුණු කොටස් වලට අයත් ගිර්නාර් , සිද්ධපූර්, බ්‍රහ්මගිරි යන ස්ථාන වල ලේඛන සමඟ මෙරට මුල් ලෙන් ලිපි වල ලක්ෂණ සමාන කළ හැක්කේ එම නිසාය . 

විශේෂයෙන්ම පූර්ව බ්‍රාහ්මී අවධියෙහි ලංකාවේ භාවිත කරන ලද ප්‍රාකෘත භාෂාව සමඟ ඉතා ආසන්නම භාෂාව ලෙස මාගධී ප්‍රාකෘතය හැදින්විය හැකිය . මෙහිදී ඇතැම් විට පාලි භාෂාවෙන් අර්ධ ස්වරූපීව මෙන්ම සම්පූර්ණ ලෙසින්ම පාලි භාෂාවෙහි භාවිත වචන ද මේවා තුළදී දැකගත හැකිය . මෙම පූර්ව බ්‍රාහ්මී අවධියේදී බෙහෙවින්ම විභක්ති ප්‍රත්‍යයන් යොදා නොගෙන ශබ්ද ප්‍රකෘතියම සෑම විභක්තියකම පාහේ යොදා තිබෙන බව පෙනේ . විශේෂයෙන්ම ශ, ස අකුරු යෙදීමේදී ශබ්ද විද්‍යාත්මක නීතියක් සලකා නැත. ( ශගශ, සගශ, සගස ) ඇතැම් තැනක හකාරාදේශව සගහ වශයෙන් ද පෙනේ . 


අපර බ්‍රාහ්මී අවධිය 

ශ්‍රී ලාංකේය සිංහල භාෂාවෙහි යුගකරණය පිළිබඳව අවධානය යොමු කිරීමේදී තවත් එක් වැදගත් අවධියක් ලෙසින් අපර බ්‍රාහ්මී අවධිය හදුන්වා දිය හැකිය . මෙහිදී විශේෂයෙන්ම ක්‍රි.පූ. පළමුවන ශතවර්ෂයෙහි දෙවන භාගයේ සිට ක්‍රි.ව. පස්වන ශතවර්ෂය පමණ දක්වා වූ කාලපරාසය මෙම අවධියට ඇතුලත් වන බව පෙනේ . ඇතැම් අවස්ථා වලදි මෙම අපර බ්‍රාහ්මී අවධිය ක්‍රි.ව. 7 වන ශතවර්ෂය දක්වා වූ කාලපරාසයක් ඈතට දිවයන බවට මත ඉදිරිපත් වී තිබුණ ද එම 5 - 7 ශතවර්ෂ දෙක බ්‍රාහ්මී අක්ෂර ක්‍රමයෙන් සිංහල අකුරු ක්‍රමයට හැරී යන නිසා අන්තර් යුගයක් ලෙස සැලකීම සාධාරණය . මහාචූලික මහාතිස්සගේ රාජ්‍ය කාලයෙහි අවසානයෙහි පටන් පළමුවන කාශ්‍යප රාජ්‍ය කාලය තෙක් යුගය අපර බ්‍රාහ්මී යුගය ලෙස සාමාන්‍යයෙන් සැලකිය හැකිය . 

බ්‍රාහ්මී අක්ෂරවල වැදගත්ම සිදුවීම් කිහිපයක්ම දැකිය හැකි කාලපරිච්ඡේදයක් ලෙසින් මෙම ක්‍රිස්තු පූර්ව පළමුවන ශතවර්ෂය හැදින්විය හැකිය . බ්‍රාහ්මී අක්ෂර නූතන සිංහල අක්ෂරවල ස්වරූපය ගැනීම ආරම්භ වූයේ මෙම ශතකයේ දී යැයි කිව හැකිය . මෙහිදී මෙම අපර බ්‍රාහ්මී කාලපරිච්ඡේදය තුළ බ්‍රාහ්මී අක්ෂර විකාශය වීම කෙරෙහි දක්ෂිණ භාරතීය ආභාසය වැඩි වශයෙන් ලැබී ඇති බව දැකගත හැකිය . මෙයට ප්‍රධාන වශයෙන්ම හේතු වී ඇත්තේ මෙම යුගය තුළ දක්ෂිණ භාරතය සමඟ පැවැත්වූ දේශපාලනික සහ සංස්කෘතික සබදතාය. මෙහිදී විශේෂයෙන්ම දකුණු ඉන්දියාවේ ආන්ද්‍ර ප්‍රදේශයත් සමඟ ලංකාව පැවැත්වූ සංස්කෘතික සම්බන්ධතා සිංහල අක්ෂර කලාවෙහි විකාශනයට බලපෑමක් සිදු කොට ඇති බව පෙනේ . නාසික්, කාර්ලේ, නාගර්ජුනකොණ්ඩ, අමරාවතී යන ස්ථාන වල ඇති ශිලා ලිපි මේ පිළිබඳව අතිශය වැදගත්කමක් උසුලනු ඇත . විශේෂයෙන්ම මේ අවධියට අයත් ලංකාවේ ශිලා ලිපි වල අ, ක, ර යන අක්ෂරවල සිරස් රේඛාවේ පහළ කෙළවර වමට වක්‍ර කොට ලිවීමට හේතුකාරක වී ඇත්තේ නාගර්ජුනකොණ්ඩ ආභාසය මත බව දැකගත හැකිය . 

මෙම අපර බ්‍රාහ්මී අවධිය වන විට අකුරුවල සිරස් රේඛා මුදුනේ ඉහක් වැනි කෙටි හරස් ඉරක් ඇති වීම , " ල " යන්නේ දකුණු සිරස් රේඛාව ඉහළට දික් වී මුලදී දකුණටත්, පසුව වමටත් නැමී යාම ආදී වෙනස්කම් කිහිපයක් සිදු වී ඇති බව දැකගත හැකිය . මීට අමතරව මෙම ලක්ෂණයන්ගෙන් තොර වූ අකුරු තිබෙන සෙල්ලිපි ද , සංවර්ධිත වූ සහ නොවූ අක්ෂර මිශ්‍ර වූ ලිපි ද අපර බ්‍රාහ්මී අවධියේදී දක්නට පුළුවනි . මේ හේතුව නිසාම ඇතැම් විට අක්ෂරයන්ගේ හැඩතලයන් අනුව කාලනිර්ණ කටයුතු කිරීම තරමක් ගැටළු සහගතය . එමෙන්ම ගුරු පරම්පරා අනුව ද අක්ෂරයන්ගේ හැඩය වෙනස් වූ අවස්ථා හදුනාගත හැකිය . විශේෂයෙන්ම බුද්ධදාස රජුගේ රාජ්‍ය කාලයේදී ලියැවුණු සේ සැලකිය හැකි රුවන්වැලි ටැම් ලිපියෙහි ද , මහානාම කාලයට අයත් වේරගොඩ සෙල්ලිපියෙහි ද , අකුරු මල් ලියකම් වැනි අලංකාරයන්ගෙන් යුක්ත වීම විශේෂිතව සැලකිය හැකිය . මීට අමතරව පාලි , සංස්කෘත භාෂාවල මෙන් ව්‍යාකරණ ලිංගය පදනම් කොට ගෙන වරනැගුණු රූප භාවිත කළ බව පෙනේ .

ක්‍රි.ව 3 වන සියවසේ පමණ සිට සචේතන - අචේතන යන කාල්පනික ලිංගය දෙසට සංක්‍රමණය වීම දක්නට ලැබේ . උදාහරණ ලෙස පුසගුතෙන කරිතෙ බද තුබෙ, පුසගුත තෙරෙන ඛරපිතෙ ලෙණෙ, සිවෙන කරිතෙ මනපදශනෙ, තෙන කරිතෙ ශුදශනෙ දැක්විය හැකිය . මෙම අපර බ්‍රාහ්මී යුගයෙහි අක්ෂර පරිණාමය කෙරෙහි බලපෑ හේතුවක් වශයෙන් නාගිරිකන්ද සෙල්ලිපි විවරණයේදී සෙනරත් පරණවිතාන මහතා දක්වනුයේ තල් පත් හි ලියන්නට වීම විය හැකිය කියාය. ලිවීමට භාවිත කරන උපකරණ අක්ෂර වල ස්වරූපය වෙනස් වීමට බලපා ඇති බව පෙනේ . 

සංක්‍රාන්තික අවධිය 

සිංහල භාෂාවෙහි යුගකරණය පිළිබඳව අවධානය යොමු කිරීමේදී අපර බ්‍රාහ්මී යුගයෙහි අවසාන අවධියෙහිදී, එනම් ක්‍රි.ව. 6 – 7 ශතවර්ෂ අතර කාලයෙහිදී ලංකාවේ අක්ෂර වර්ධන වේගය මෙන්ම නව්‍ය අංග එකතු වුණ බව දැකගත හැකිය . එම නිසාම මෙම කාලපරිච්ඡේදය සංක්‍රාන්තික අවධියක් ලෙසත්, සංක්‍රමණික අවධියක් ලෙසත් හදුන්වනු ලැබේ . විශේෂයෙන්ම මෙම අවධිය වන විට අළුත් අක්ෂරයන් සිංහල භාෂාවට එක් වූ අතර ඒ නිසාම සීග්‍ර වර්ධනයක් සිදු වූ බව දැකගත හැකිය . 

මෙහිදී ක්‍රි.ව. 6 වන ශතවර්ෂ කාලවකවානුව වන විට ලාංකේය ශාස්ත්‍රීය කටයුතු වල සීග්‍ර වර්ධනයක් සිදු වූ බව දැකගත හැකි අතරම මෙකල සාහිත්‍යය ග්‍රන්ථ කිහිපයක්ම රචනා වී තිබුණු බව දක්නට පුළුවනි . එම නිසාම මෙකල ලාංකේය සමාජය තුලට ක්‍රමානුකූල අක්ෂර මාලාවක අවශ්‍යතාවය තිබූ බව පෙනේ . මෙහිදී දියුණු අක්ෂර මාලාවක් භාවිත කළ ජාතියක් වන දකුණු ඉන්දියාවේ විසූ පල්ලවයන් සමඟ සම්බන්ධකම් පැවැත්වීමට ලක්දිව ජනතාවට මෙකල අවකාශය ලැබුණි . මෙම සම්බන්ධකම් වැඩෙමින් ඉක්බිති ශතවර්ෂ කිහිපය ලංකාවේ අක්ෂර වලට පමණක් නොව විවිධ සංස්කෘතික අංශ වලට බලපෑ ආකාරය ඉතිහාසය තුළ ප්‍රකාශිතය . විශේෂයෙන්ම ලංකාවේ මානවම්ම රජු පල්ලව රාජසභාව සමඟ සබදතා පැවැත්වූ බව දක්නට ලැබෙන අතර පල්ලව සංස්කෘතියේ ආභාසයන් ද ලංකාවට ලැබුණු බව දැකගත හැකිය . එහිදී නාලන්දා ගෙඩිගේ , ඉසුරුමුණි කැටයමට පල්ලව ආභාසය ලැබී ඇති බව පෙනේ.

පශ්චාත් බ්‍රාහ්මී අවධිය 

සිංහල භාෂාවෙහි යුගකරණය පිළිබඳව අවධානය යොමු කිරීමේදී පශ්චාත් බ්‍රාහ්මී අවධිය ද ඉතාම සුවිශේෂී වන අතර අක්ෂර මාලාවේ සීග්‍ර වර්ධනයක් සිදු වූ බව දැකගත හැකිය . මෙහිදී විශේෂයෙන්ම බ්‍රාහ්මී අක්ෂර රූප සියල්ලම පාහේ මෙකල වෙනස් වූ අතර වර්තමාන සිංහල අක්ෂර වල හැඩයට ආසන්න ස්වරූපයක් දක්නට පුළුවනි . එමෙන්ම මෙම අවධිය වන විට අක්ෂර වල ස්වභාවය පමණක් නොව සිංහල භාෂාවේ දියුණුවක් ද හදුනාගත හැකි අතරම ශාස්ත්‍රීය කටයුතු වල වර්ධනයක් ද සිදු වූ බව පෙනේ . එහිදී ක්‍රි.ව. 8 වන ශතවර්ෂ කාලපරිච්ඡේදය වන විට ලාංකේය සිංහල භාෂාව හලන්ත වූ බව දැකගත හැකිය . එහෙයින් හල් අකුරු භාවිතයට ආ බව පෙනේ . මෙකල සංස්කෘත භාෂාව භාවිතයට ඒමත් සමඟම සංයුක්තාක්ෂර හා බැදි අකුරු බහුලව ව්‍යවහාරයට පැමිණි අතර මහප්‍රාණ අක්ෂර රාශියක් සිංහල භාෂාවට අභිනවයෙන් එක් වූ බව දැකගත හැකිය . 

අටවන ශතවර්ෂයේදී සිංහල භාෂාවෙහි ආකෘතිය සම්පූර්ණයෙන්ම වෙනස් වූ බව පෙනෙන අතර තිරියාය , ඉදිකටු සෑය , අම්බස්තල ලිපි හරහා මේ බව දැකගත හැකිය . සංස්කෘත ශබ්ද ලක්ෂණ අනුව අක්ෂර මාලාව විකාශනයට ලක් විය . සීගිරියෙහි දක්නට ලැබෙන සීගිරි කුරුටු ගී වල පවා සංයුක්තාක්ෂර විශාල ප්‍රමාණයක් දැකගත හැකිය . මෙසේ අකුරු කිහිපයක් එකට බැදෙන විට ඒ සදහා යෙදෙන ඉඩත්, අක්ෂරයන්ගේ හැඩයත් සලකා අක්ෂර ශිල්පීන් අලංකාරවත් ලෙස ඒවා යෙදූ බව තිරියාය සහ සීගිරි ගී වලින් දක්නට පුළුවනි . 

එමෙන්ම ක්‍රි.ව 9 – 10 ශතවර්ෂ වන විට මිශ්‍ර සිංහල හෝඩියේ අක්ෂර දෙක තුනක් හැර අන් සියලුම අක්ෂර සදහා සංකේත පිළියෙල වී තිබීම භාෂාවේ සහ අක්ෂර මාලාවේ විශේෂ දියුණුව හගවන බව පෙනේ . මෙම අවධියේ අක්ෂරයන්හි ස්වභාවය පිළිබඳව අවධානය යොමු කරන විට ක්‍රි.ව. 8 වන ශතවර්ෂයෙහි අක්ෂර කලාවේ වූ පරිණාමය මෙකල තවදුරටත් වර්ධනය වූ බව දක්නට පුළුවනි . ක්‍රි.ව 8,9 සියවස් වන විට දීර්ඝ අක්ෂර භාවිතය වඩාත් ප්‍රකට ලෙස දැකගත හැකිය . ඒ බව මෙම කාලවකවානුවලට අයත් ලෙස සැලකෙන මිහින්තලා පුවරු ලිපියේ ඈපා, තුමා, බෑ, තුබූ, වටී, ඉසා යනුවෙන් යෙදී ඇති පද වලින් පෙනේ . මේ හැරෙන්නට " ඇ " කාරය බහුල ලෙස සිංහල භාෂාවෙහි භාවිතය ඇරඹී ඇත්තේ ද මේ යුගයේ බව දැකගත හැකිය . එමෙන්ම සිංහල භාෂාවේ එන න, ණ, ල, ළ මැනවින් ව්‍යවහාර කර තිබෙනු පෙනී යයි. 


සිංහල භාෂාවේ අතීත , වර්තමාන ස්වරූප

01. අද සංයුක්තව යෙදෙන අක්ෂර එදා යෙදුණේ කේවල ය.

උත්තිය - උති

ගුත්ත - ගුත

ධම්ම - දම

රක්ඛිත -  රකිත

සංඝස්ස - සගස


02. අතීතයෙහි දීර්ඝ ප්‍රාණාක්ෂර භාවිත නොවීම නිසා කෙටි ස්වරූප දැකිය හැකිය .

ආගත - අගත

අනාගත - අනගත 

උපාසක - උපසක

නාග - නග

භාණ්ඩාගාරික - බඩගරික


03. ඇ සහ ඈ ආකාර දක්නට නොලැබුණ අතර ඒ වෙනුවට අ සහ එ භාවිත කර තිබේ .

ඇළ - අඩි

පැණි - පෙණි

බැව් - බෙව්

වැඩ - වෙඩ

04. අතීතයේ මහාප්‍රාණ වෙනුවට අල්පප්‍රාණ යොදා ඇත . 

සංඝ - සග

ථෙර - තෙර

ධම්ම - දම

භාර්‍යා - බරිය

ජත්ත - චත


05. දන්තජ " ස " යන්න වෙනුවට තාලුජ " ශ " යන්න විකල්ප වශයෙන් යොදා තිබීම . 

උපසික - උපශික

තෙරස - තෙරශ

පුසගුත - පුශගුත

සගස - ශගශ 

සුමන - ශුමනශුමන

මේ අනුව ලෝකයේ ඕනෑම රටක ශිෂ්ට සම්පන්න ජනතාව අතර සාක්ෂරතාවය පිළිබඳව අවධානය යොමු කිරීමේදී එම රටෙහි භාෂාව , අක්ෂර කලාවට ප්‍රධාන තැනක් හිමිවන බව දැකගත හැකිය . මේ මග ගමන් කරමින් පුරාතන ශ්‍රී ලාංකේය ජන සමාජය දෙස බැලීමේදී එහි සනාථ කර ගත හැකි සාධක සහිතව ලේඛන කලාවක ආරම්භයක් හමුවනුයේ ක්‍රි.පූ 3 වන සියවසෙන් පසුවය. එනම් මහින්දාගමනයෙන් අනතුරුවය. එහිදී මුල්ම අවධියේ ප්‍රාකෘත භාෂාව මූලික කරගෙන ලේඛන කලාව ආරම්භ වූ අතර ප්‍රධාන කඩයිම් අවස්ථා රැසක් දැකගත හැකිය . විශේෂයෙන්ම පූර්ව බ්‍රාහ්මී අවධිය , අපර බ්‍රාහ්මී අවධිය , සංක්‍රාන්තික අවධිය සහ පශ්චාත් බ්‍රාහ්මී අවධිය ලෙසින් එම කඩයිම් හදුනාගත හැකිය . 

මෙහිදී විශේෂයෙන්ම බ්‍රාහ්මී අක්ෂර මාලාව කේන්ද්‍ර කර ගනිමින් ලේඛන කලාව ආරම්භ වී ඇති අතර මුල්ම කාලයෙහි මෙරට භාෂාව ප්‍රාකෘත ලෙසින් හදුන්වා තිබේ . එමෙන්ම සංක්‍රාන්තික අවධිය ලෙසින් හදුන්වනු ලබන ක්‍රි.ව 6 – 7 සියවස් වන විට ප්‍රාග් සිංහලය යන භාෂාව නිර්මාණය වන අතර ක්‍රි.ව 9 – 10 පමණ වන විට නූතන සිංහලයේ ස්වරූපය දැකගත හැකිය . මේ අනුව ක්‍රි.ව 10 සියවසෙන් පසුකාලය වන විට සිංහල අකුරු වල වර්තමානයේ ස්වරූපය සකස් වී ඇති බව පෙනේ . මෙලෙස ක්‍රි.පූ 3 වන ශතවර්ෂයෙහි සිට සිංහල භාෂාවේ යුගකරණය තුළ භාෂාවෙහි විවිධ වර්ධනයන් සිදු වී ඇති බව දැකගත හැකිය. 



ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය 

මහාවංශය ( සිංහල ), සංස්. ශ්‍රී සුමංගල හිමි, බටුවන්තුඩාවේ දේවරක්ෂිත, එස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ, 1996.

සිංහල විශ්වකෝෂය, සංස්. ඩී.ඊ. හෙට්ටිආරච්චි, " අක්ෂර මාලාව ", අබය ආරියසිංහ, සංස්කෘතික දෙපාර්තමේන්තුව, බත්තරමුල්ල, 1997.

අමරවංශ හිමි, කොත්මලේ, ලක්දිව සෙල්ලිපි, සීමාසහිත ඇම්.ඩී. ගුණසේන සහ සමාගම, කොළඹ, 1969.

ඉන්ද්‍රසේන, දෙ.ආ, සිංහල අක්ෂර කලාව, සීදේවි ප්‍රින්ටර්ස් ලිමිටඩ්, දෙහිවල, 2001.

ගුණසේකර, බන්දුසේන, සිංහල අක්ෂර සම්භවය හා එහි විකාශනය, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ, 1996.

ගුණසේකර, බන්දුසේන, පී.ඇම්. සේනාරත්න, අකුරු උපත, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ, 1997.

දිසානායක, ජේ.බී, සිංහල අක්ෂර විචාරය, සුමති ප්‍රකාශකයෝ, කළුබෝවිල, 2006.

විමලානන්ද, තෙන්නකෝන්, පැරණි ලංකාව හා ශිලා ලිපි, සීමාසහිත ඇම්.ඩි. ගුණසේන සහ සමාගම, කොළඹ, 1957.



Monday, January 18, 2021

ඊජිප්තු නිම්නයේ විශ්මය - මමිකරණය




           පුරාතන ලෝක ඉතිහාසය තුළ බිහි වූ ප්‍රධානතම, පැරණි ශිෂ්ටාචාර සතර අතුරින් නයිල් නදී නිම්න ශිෂ්ටාචාරයට ප්‍රමුඛ ස්ථානයක් හිමි වන බව දක්නට ලැබේ . විශේෂයෙන්ම මෙම ශිෂ්ටාචාරය මිසර ශිෂ්ටාචාරය , ඊජිප්තු ශිෂ්ටාචාරය සහ නයිල් නදී නිම්න ශිෂ්ටාචාරය ආදී පර්‍යාය නාම රැසකින් හදුන්වා දී තිබේ . මෙම මිසර ශිෂ්ටාචාරය ව්‍යාප්ත ඊජිප්තු ප්‍රදේශය භූගෝලීය වශයෙන් අප්‍රිකාවේ ඊසාන දිගින් පිහිටා ඇත . ඇතැම් මූලාශ්‍ර වල සදහන් වී ඇත්තේ අප්‍රිකාවේ නැගෙනහිර දෙසින් මෙම ශිෂ්ටාචාරය ව්‍යාප්ත වී ඇති බවය. මෙම මිසර ශිෂ්ටාචාරය ලොව පුරා සීග්‍රයෙන් ප්‍රචලිත වීමට හේතු වූයේ ශිෂ්ටාචාරය පුරා ගුප්තමය ස්වරූපය ඉස්මතු කරන ඊජිප්තු වැසියන් විසින් නිර්මාණය කරන ලද මහා පිරමිඩ නිසාමය. 

      මෙම මිසර ශිෂ්ටාචාරය ව්‍යාප්තව පැවති ඊජිප්තු ප්‍රදේශයේ භූගෝලීය ස්වභාවය පිළිබඳව අධ්‍යයනය කිරීමේදී මෙම ශිෂ්ටාචාරය ආරම්භ වීම සදහා බලපෑ ප්‍රධාන සාධකය වූයේ මෙම ප්‍රදේශය හරහා ගලා බසින නයිල් ගංගාවයි. නමුත් ස්වභාවයෙන්ම මේ ප්‍රදේශය කාන්තාර ස්වභාවයක් ගනු ලබන අතර ගංගාව දෙපස නිම්න ප්‍රදේශය ඉතාම සශ්‍රික බවක් දක්නට ලැබේ. මෙහි පිහිටා ඇති නයිල් ගංගා මිටියාවත ලෝක ඉතිහාසයේ පැරණිතම මෙන්ම අනගිතම ශිෂ්ටාචාරයක් හදා වඩා පෝෂණය කර ඇත.

    ප්‍රකට ඉතිහාසවේදියෙකු වන හෙරඩෝටස් විසින් මෙම මිසර ශිෂ්ටාචාරය හදුන්වා දී ඇත්තේ නයිල් ගගේ දායාදයක් හෙවත් ත්‍යාගයක් ලෙසය. එයට හේතුව සාමාන්‍යයෙන් වියළි කාන්තාර ස්වභාවයක් දක්නට ලැබෙන මේ ප්‍රදේශය තුළ ජනාවාස බහුලවම ගොඩනැගී ඇත්තේ නයිල් ගංගාව දෙපස සහ නයිල් ගංගාව මුහුදට වැටෙන ඩෙල්ටා කලාපය තුළ ය. 

        මෙම ඊජිප්තු ශිෂ්ටාචාර ඉතිහාසය ඉතා පැරණි යුගයක් දක්වා විහිදී ගිය ද ඊජිප්තු සමාජය සංකීර්ණ හා දියුණු එකක් බවට පත් වූයේ ක්‍රි.පූ. 3000 දී පමණය. එසේ ගොඩනැගුණු මෙම මිසර ශිෂ්ටාචාරය තුළ අගනා ලක්ෂණ ගණනාවක් දක්නට ලැබේ. විශේෂයෙන්ම නයිල් මිටියාවත පුරාශිලා යුගයේ සිට ජනාවාස වී තිබුණු බවට සාධක පැවතියද හදුනාගත හැකි ලක්ෂණ සහිත ශිෂ්ටාචාරයක් එහි බිහිවනුයේ පශ්චාත් නව ශිලා අවධියේ පමණය. එහිදී හදුනාගත හැකි සුවිශේෂී අංග ලක්ෂණ වන මිසර සිතුවම් කලාව , මූර්ති කලාව , මිසර වාස්තු විද්‍යාව , මිසර වැසියන්ගේ මලමිනී සංරක්ෂණය හෙවත් මමිකරණ ක්‍රියාවලිය ආදී සාධක හේතු කොට ගෙන මෙම මිසර ශිෂ්ටාචාරය ලෝ වැසියන් අතර ප්‍රචලිත වී තිබේ. 

මිසර වාස්තු විද්‍යාව 

        ඊජිප්තු ශිෂ්ටාචාරය තුළ නිර්මාණය කර ඇති ගොඩනැගිලි දෙස අවධානය යොමු කිරීමේදී මෙම ඊජිප්තුව තුළ දක්නට ලැබෙන විවිධ පාෂාණ ද්‍රව්‍යයන්, එනම් හුණුගල් , වැලිගල්, කිරිගරුඬ , කළුගල් ආදී පාෂාණ වර්ගයන් බහුල වශයෙන් භාවිත කර තිබෙනු දැකගත හැකිය . ඊට අමතර වශයෙන් මෙකල ගොඩනැගිලි ඉදි කර ගැනීමේදී අව්වේ වේලාගන්නා ලද ගඩොල්‍ සහ පුළුස්සා ගන්නා ලද ගඩොල්‍ භාවිත කර තිබෙන බව පෙනේ . එමෙන්ම දැව දඩු භාවිත කර ඉදිකරන ලද ගොඩනැගිලි ද මෙකල අපට හදුනාගත හැකිය . විශේෂයෙන්ම මෙම මිසර ශිෂ්ටාචාරය තුළ දී මස්තබා ( මස්ටාබා ) සුසාන ගෘහ , පිරමීඩ ආදිය ඉතා වැදගත්කමක් උසුලනු පෙනේ. 

           පිරමීඩ නිර්මාණය කිරීමේදී මූලික බීජ අවස්ථාව ලෙසින් අපට මෙම මස්ටාබා සුසාන නම් ගෘහ නිර්මාණ අංගය හදුන්වා දිය හැකිය . එහිදී විශේෂයෙන්ම ඊජිප්තු ශිෂ්ටාචාරය තුළ ගොඩනැගුණු රාජවංශයන්හි රජවරුන්ගේ , උසස් කුලීන වංශිකයන් මියගිය පසුව ඔවුන්ගේ සිරුරු සහ සොහොන් වලවල් විවිධ උපද්‍රව වලින් , එනම් ස්වභාවික විපත් ආදියෙන් ආරක්ෂා කර ගැනීම සදහා එම සොහොන් වලවල් ආදියට මතුපිටින් නැතිනම් ඒවා ආවරණය කර ඉදිකරන ලද ගෘහ නිර්මාණයන් මෙකල අපට දැකගත හැකිය . විශේෂයෙන්ම මෙම මස්ටාබා සොහොන් ගෙවල් ගලින් හෝ ගඩොලින් නිර්මාණය කරන ලද ආනත බිත්ති සහිත සෘජුකෝණාශ්‍රාකාර හැඩය ගත් ගෘහ නිර්මාණයකි . මෙම මස්ටාබා සොහොනෙහි භූ අභ්‍යන්තරයේ කාමර කිහිපයක් දැකගත හැකි අතර ඉන් එකක මියගිය පුද්ගලයාගේ මමිය තැන්පත් කර තිබෙන අතර එම මිනී පෙට්ටිය තැබූ කාමරයට යාබද කාමර වල මියගිය පුද්ගලයා භාවිත කළ භාණ්ඩ , එනම් මිදි යුෂ , ආහාර , ධාන්‍ය , දඩයම් උපකරණ , රන් මැණික් තැන්පත් කර තිබුණු බවට පුරාවිද්‍යා කැණීම් මගින් සොයා ගගත් තොරතුරු වලට අනුව පැහැදිලි වේ. ඊජිප්තුවේ ඇතැම් විශාල මස්ටාබා වලට අමතරව ඊට ආසන්නයෙහි කුඩා මස්ටාබා හමුවී තිබෙන අතර ඒ අනුව නිගමනය කළ හැකි කාරණය වනුයේ මෙකල ස්වාමියාගේ මරණයත් සමඟ ඔහුගේ සේවකයන්ට ද මරණය උරුම වී ඇති බවය. 

          මෙම මස්ටාබා වලින් පසුව අපට මිසර ශිෂ්ටාචාරය තුළ දැකගත හැකි විශිෂ්ටතම නිර්මාණය වනුයේ පිරමීඩයයි. විශේෂයෙන්ම මෙම දැවැන්ත නිර්මාණ වූ පිරමීඩ ඉදි කෙරුණේ රජුගේ සොහොන් කොත් වශයෙනි. එනම් සෑම පාරා රජෙකුම මරණයේදී මෘත ශරීරයට බෙහෙත් ගල්වා පිරමීඩ නම් විශාල සොහොන් ගැබ් වල තැන්පත් කරනු ලැබීය . එයට හේතු වී ඇත්තේ ඊජිප්තු වැසියන් විශ්වාස කරනු ලැබුවේ මෙම පාරාවෝ රජවරු මියයාමෙන් පසු දේවත්වයට පත් වන බවය. එහිදී ඊලග ආත්මය වෙනුවෙන් ඔහු පරිභෝග කරන ලද භාණ්ඩයන් ද මෙම සොහොන් ගෙවල් හි තැන්පත් කර තිබේ . එනම් ඉහතින් දක්වන ලද ආකාරයට මස්ටාබා සොහොන් ගෙවල් හි මෙන් මේ භවයේ භාවිත කරන ලද විවිධ භාණ්ඩ , උපකරණ මෙම පිරමීඩ වල ද තැන්පත් කර තිබේ . 

          එපමණක් නොව මෙම ඉදි කර තිබෙන පිරමීඩ වල ස්වභාවය අනුව එකල සිටි රජවරුන්ගේ ශක්ති සම්පන්නභාවය , තරාතිරම ආදී සාධක ඉස්මතු වන අයුරු දක්නට ලැබේ . එහිදී ඊජිප්තු ශිෂ්ටාචාරය තුළ මුලින්ම පිරමීඩයක් ඉදි කර ඇත්තේ Djoser රජු විසිනි . එනම් Sakkarah වල ඔහු විසින් ඉදිකරන ලද මාලක පිරමීඩයයි. එය දැනට බොහෝ සේ විනාශ වී ඇති බවක් දක්නට ලැබේ . මෙම මිසර ශිෂ්ටාචාරයේ දක්නට ඇති විශිෂ්ටතම පිරමීඩය වනුයේ Khufu  රජු විසින් ඉදි කරන ලද ගීසා හි මහා පිරමීඩයයි . මෙම එක් පිරමීඩයක් තනා නිම කිරීමට ලක්ෂයක් පමණ ජනයාගේ ශ්‍රමය සමඟ අවුරුදු 20ක් ගත වී ඇති බව කියනු ලැබේ . 

මමියක් යනු කුමක්ද ?

        පුරාණ ඊජිප්තු ශිෂ්ටාචාරය ගත් කළ එය ලෝකය තුළ ප්‍රචලිත වීම සදහා ප්‍රබල ලෙස බලපෑ එක් සාධකයක් වූයේ ඊජිප්තු වැසියා තුළ පැවති මෙම මමිකරණ තාක්ෂණයයි. විශේෂයෙන්ම ඊජිප්තු පිරමීඩ සහ මස්ටාබා සුසාන ආශ්‍රිතව කරන ලද පුරාවිද්‍යා ගවේෂණ හරහා මෙවැනි මමී ගණනාවක් හමුවී තිබෙන අතර ශිෂ්ටාචාරය පුරා ව්‍යාප්ත වූ ගුප්තමය ස්වභාවය සදහා මෙම මමිකරණය ප්‍රබල පිටුවහලක් වී තිබේ. එහිදී සදහන් කළ යුතු කරුණ වනුයේ මෙම මමිකරණ ක්‍රියාවලිය මුල්ම කාලයෙහි ජනප්‍රියව පැවතියේ ඊජිප්තුවේ ප්‍රභූන්, කුලීනයන් අතරය . එනම් එහිදී ඊජිප්තු වැසියන් විශ්වාස කරනු ලැබුවේ ඔවුන්ගේ පාලකයන් , නැතිනම් රජවරු මිහිපිට දෙවිවරු වශයෙන් ය. එමෙන්ම එම පාලකයන් පාරාවෝ නමින්ද හදුන්වා තිබේ . කෙසේ වෙතත් මෙම පාරාවෝ රජවරු මරණින් පසු දේවත්වයට පත් වන බවට විශ්වාස කළ ඊජිප්තු වැසියන් මොවුන්ගේ මළසිරුරු ආරක්ෂා කර ගැනීමට කටයුතු කරන ලදි . 

            ක්‍රි.පූ 3500 තරම් ඈතට දිවයන මෙම මමිකරණ ක්‍රියාවලියට පෙර කාලයේදී විවිධ ප්‍රාථමික ක්‍රම මගින් මෙම ඊජිප්තු වැසියන් මළසිරුරු ආදාහනය කර තිබේ . එනම් , මෙම ඊජිප්තුව ස්වභාවයෙන්ම කාන්තාර ස්වභාවයක් ගනු ලැබූ අතර එහිදී කෙනෙකු මියගිය පසුව ඔහුගේ සිරුර කාන්තාරයේ වැලි යට තැන්පත් කිරීමේ සිරිතක් මොවුන් අතර පැවත තිබේ . එහිදී කාන්තාරයේ පවතින අධික වියළි දේශගුණය හේතුවෙන් මළසිරුර විජලන තත්ත්වයට පත්ව ආරක්ෂා වීම සිදු වුවද එයට ද භාදක රැසක් තිබෙනු දක්නට ලැබේ . එනම් එසේ විජලන තත්ත්වයට පත්ව සිරුර ආරක්ෂා වුවද කාන්තාරයේ විවිධ සතුන් විසින් මෙම මළසිරුරු අනුභවයට ගෙන තිබේ . එය වැලැක්වීම සදහා මෙම ඊජිප්තු වැසියන් මළසිරුරු දැවයෙන් තනන ලද පෙට්ටි තුළ තැන්පත් කර වැලි යට සගවන ලදි . නමුත් දැව පෙට්ටිය තුළ ඇති වන පීඩන ක්‍රියාවලිය නිසා මළසිරුරු ආරක්ෂා කර ගත නොහැකි විය . එම නිසාම මෙම මළසිරුරු ආරක්ෂා කර ගැනීමට ඊජිප්තු වැසියන්ට විකල්ප මාර්ගයක අවශ්‍යතාව දැනෙන්නට විය . එහි ප්‍රතිඵලයක් වශයෙන් මමිකරණ ක්‍රියාවලියේ ආරම්භය අපට දැක්විය හැකිය . 

        ඇතැම් විට දක්නට ලැබෙන සාධක වලට අනුව මමියක් යනු බෙහෙත් ද්‍රව්‍ය මගින් ශරීරය වියලා රෙදි වලින් ඔතන ලද සිරුරක් ලෙසින් අර්ථකථනය කළ හැකි වුවද එය පිළිබඳව පැහැදිලිව සොයා බැලීමේදී සංකීර්ණ ක්‍රියාවලීන් රැසක ප්‍රතිඵලයක් ලෙසින් හදුනාගත හැකිය . නමුත් මළසිරුරක් මමියක් යනුවෙන් හැදින්වීමට නම් එම සිරුරෙහි සමත්, අභ්‍යන්තර ඓන්ද්‍රීය කොටසුත් රසායනික ද්‍රව්‍ය, අධික ශීතල සහ අඩු ආර්ද්‍රතාවයක් සහිත , සුළං නොවදින පරිසරයක සංරක්ෂණය වී පැවතිය යුතුය.

     විශේෂයෙන්ම මෙම මමිකරණ ක්‍රියාවලිය සදහා බහුල වශයෙන් යොමු වී ඇත්තේ රාජකීයයන්‍ ය. එම රාජකීයයන්‍ අතර සෙඛනෙන්රේ , පළමුවන ආමෝසේ , පළමුවන අමෙන්හොටෙප් , පළමුවන තොට්මෝසේ , දෙවන රැමසිස් සහ තුන්වන රැමසිස් යන අයගේ සහ රැජිණියන් කිහිපදෙනකුගේ සහ නායක පූජකවරුන්ගේ ද මමියන් අන්තර්ගත විය. මෙලෙස සොයා ගන්නා ලද මමියන් 53 ක් දැනට කයිරෝ කෞතුකාගාරයේ තබා ඇති අතර එහි පැමිණෙන ආගන්තුකයින් සදහා ප්‍රදර්ශනයේ පවතී . 

          මෙලෙස සදහන් කරන ලද රාජකීය මමි අතුරින් වැදගත්ම මමිය වනුයේ 1922 පෙබරවාරි 23 වනදා සොයා ගන්නා ලද ටූටන්කාමන් රජුගේ මමියයි. මෙම රජුගේ මමිය තිබී ඇත්තේ තනි රත්තරනින් කරන ලද මිනී පෙට්ටියක් තුළය. 1925 නොවැම්බර් 11 වන දින මෙම ටුටන්කාමන්ගේ මෘත ශරීරය පරීක්ෂා කිරීම ආරම්භ කළ උපාධිධාරී ඩග්ලස් මමිය එතීම සදහා පාවිච්චි කරන ලද ලිනන් රෙදි වර්ගය කදිමතම කේම්බ්‍රික් වර්ගයක් බව පවසා තිබේ . මෙම රජු ඉතාම තරුණ වියේදීම මියගොස් ඇති අතර ඔහුගේ මමිය පරික්ෂා කිරීම තුලින් පෙනී ගොස් ඇත්තේ වසර 18දී පමණ වන අතර ඉතිහාස වේදීන්ගේ මතය වී ඇත්තේ ඔහු රාජ්‍යත්වයට පත් වන්නට ඇත්තේ වසර 9 දී බවය. ඉහත සදහන් කළ පරිදි 1925 දී මෙම රජුගේ මමියේ වෙළුම් පටි ඉවත් කළ අතර එය ඉතාම අසීරු කටයුක්තක් වී තිබේ . එයට හේතුව රජුගේ සිරුර මමිකරණය සිදුකරන අවස්ථාවේ ගැල්වූ තෙල් නිසා වෙළුම් පටි ඇලී තිබීමය . වර්තමානය වන විට ටුටන්කාමන් රජුගේ මමියේ දත්ත උපයෝගී කර ගෙන ඔහුගේ රූපය නිර්මාණය කර ඇති අතර හිස සම්පූර්ණයෙන්ම බූ ගා ඇති අතර දෑස් අඩවන්ව ඇසිපිය දික්ව තිබුණි . එසේම එම මමියේ රූපයට අනුව රජු අඩි 5 අගල් 6 ක් පමණ උස හීන්දෑරී අයෙකු බව අනුමාන කළ හැකි අතර පාදයේ යම් අස්ථි බිදීමක් දක්නට ලැබේ . 

මමිකරණ තාක්ෂණය

          ඊජිප්තු ශිෂ්ටාචාරය ජනප්‍රිය වීම සදහා බලපෑ එක් ප්‍රධාන සාධකයක් වූයේ මෙම ශිෂ්ටාචාරයේ තිබී සොයා ගන්නා ලද මියගිය පුද්ගලයන්ගේ මළසිරුරු හෙවත් මමීය. විශේෂයෙන්ම මිසර වැසියන්ගේ ආගමේ සදහන් වන ඔසිරිස් දෙවියන්ගේ කතා පුවතට අනුව පරලොවදී මරණයෙන් නැගිටීමට නම් මුළු සිරුරම හොදින් ආරක්ෂා වී තිබීම අත්‍යවශ්‍ය කරුණක් විය . එම නිසාම මෙම මියගිය පුද්ගලයන්ගේ මළසිරුරු විනාශ නොවී තබා ගැනීම අනිවාර්ය විය . එම ගැටළුවට පිළියමක් සෙවූ මිසර වැසියන් මෙම මමිකරණ ක්‍රියාවලිය සදහා යොමු වූ බව සිතීමට හැකියාව ලැබේ . 

       විශේෂයෙන්ම අප මුලින් සදහන් කළ පරිදි මෙම මමිකරණ ක්‍රියාවලිය සදහා යොමු වී ඇත්තේ රාජකීය පුද්ගලයන් , සමාජයේ උසස් කුලයේ සාමාජිකයන් ය. එහිදී කෙනෙකු මියගිය පසුව ඔහු වෙනුවෙන් ශෝකය පළ කරන ආකාරය තුළ ද මිසර වැසියන් තුළ විශේෂත්වයක් දැකගත හැකිය . එහිදී ප්‍රභූ පවුලක සාමාජිකයෙකු මියගිය බවට නිවේදනය කිරීමෙන් පසු එම රාජකීයයාගේ ගෘහවාසී සියලුම කාන්තාවෝ ස්වකීය හිස් සහ මුහුණුවල මඩ තැවරීමෙන් වසා ගනිති. පසුව මියගිය පුද්ගලයා නිවසෙහි තබා ඇදුම් මේඛලාවකින් සිර කොට ස්වකීය නග්න පයෝදර පෙදෙසට දෑතින් ගසා ගනිමින් නගරය වටා ගමන් ගනී. මෙසේ ශෝකය පල කිරීමෙන් අනතුරුව සිරුර සංරක්ෂණය සදහා යොමු කළ අතර එහිදී මළමිනී නරක් නොවී කල් තබා ගැනීමේ ක්‍රම ඔවුන් දැන සිටියහ. 

           එහිදී පුරාණ ඊජිප්තු ශිෂ්ටාචාරවාසීන් සිරුරක් මමිකරණය හෙවත් සංරක්ෂණ කටයුතු කිරීම සදහා භාවිත කරන ලද මූලික ද්‍රව්‍ය කිහිපයක් අපට දැකගත හැකිය . විශේෂයෙන්ම සෝඩියම් ක්ලෝරයිඩ් , සෝඩියම් කාබනේට් , සෝඩියම් බයිකාබනේට්, සෝඩියම් සල්ෆේට් වලින් සාදනු ලැබූ නේට්‍රන් නම් ලවණ මිශ්‍රණය මෙම භාවිත කරන ද්‍රව්‍ය අතුරින් ප්‍රමුඛ ස්ථානයෙහිලා සැලකිය හැකිය . මෙලෙස ඉහත සදහන් කරන ද්‍රව්‍ය භාවිත කරමින් මමිකරණ ක්‍රියාවලිය සිදු කරන ලද අතර එහිදී ප්‍රධානම භූමිකාව සංරක්ෂකයින් විසින් සිදු කරන ලදි . එහිදී මළසිරුරු එම්බාම් කිරීම විශේෂ වෘත්තියක් වූ අතර එහි නියැලෙන ලද්දේ පූජකයින් සහ එම ශිල්පය , චාරිත්‍ර වාරිත්‍ර සහ ඒහා බැදුණු මන්ත්‍ර සහ යාතිකා විෂයෙහි කිසියම් ප්‍රවීණතාවයක් සතු පුද්ගලයන් පමණකි. ඔවුන් මෙම කාර්‍යයෙහි අති දක්ෂයන් වූහ. 

     මෙම සංරක්ෂකයින් මියගිය පුද්ගලයාගේ නෑදෑයන් වෙත වියදම් දැරිය හැකි ආකාරයේ ක්‍රමයන් පිළිබඳව හැදින්වීමක් කරනු ලබන අතර එමගින් නෑදෑයන්ට තමන්ගේ තත්ත්වයේ, ස්වභාවය අනුව කුමන මමිකරණ ක්‍රියාවලිය සදහා යොමුවන්නේ දැයි සිතාගත හැකිය. විශේෂයෙන්ම ක්‍රි.පූ 450 දී පමණ හෙරඩෝටස්ගේ කාලයේදී විවිධ සංකීර්ණත්වයෙන් යුතු ක්‍රම තුනක් යොදා ගනු ලැබිණි . මෙහිදී මිල අධිකම ක්‍රමයේදී මළ දෙවි ඔසිරිස්ගේ සිරුර තරමටම උසස් ලෙසින් මියගිය පුද්ගලයාගේ සිරුර මමිකරණය කළ අතර දෙවන ක්‍රමයෙන් ඊට මදක් මිල අඩුවෙන් සහ තත්ත්වයෙන් ද අඩුවෙන් සකස් කෙරිණි. එසේම තුන්වෙනි ක්‍රමයෙන් දුප්පතුන්ට ගැලපෙන පරිදි මූලික සංරක්ෂණ ක්‍රම පමණකුත් ඉටුකර තිබේ . මෙම මමිකරණය තුලින් එකල සමාජයෙහි පැවති සමාජ ස්ථරගත වීම පිළිබඳව ද අවබෝධයක් ලබා ගත හැකිය . මෙහිදී තෝරා ගන්නා ක්‍රමය අනුව සිරුරේ ඉන්ද්‍රීයය කොටස් කල්තබා ගැනීම , සිරුර තුලට පුරවනු ලබන ඖෂධ ද්‍රව්‍ය සහ මමිකරණ ක්‍රියාවලියේ පසු සිරුර හැඩ කරන ආකාරයේ වෙනසක් දැකගත හැකිය .

      පුරාණ කාලයේ ඊජිප්තු වැසියන්ගේ ආගමික විශ්වාසයට අනුව මරණයෙන් පසුව මුළු සිරුරම සුරක්ෂිත වීම වැදගත් වුවත් මෙම මමිකරණ ක්‍රියාවලිය සිදු කිරීමේදී එය එසේ සිදු කිරීම අපහසු කාර්‍යයක් විය . එම නිසාම සිරුරෙහි අභ්‍යන්තර ඉන්ද්‍රියයන් ඉවත් කිරීමට සිදු වූ අතර එලෙස ඉවත් කරනු ලබන අභ්‍යන්තර ඉන්ද්‍රියන් ඉවත නොදමන ලදි . ඒවා මිදි සුරා වලින් ධෝවනය කොට නේට්‍රන් වලින් වියලා ගනු ලැබීය . ඉන් පසුව එම ඉන්ද්‍රීය කොටස් විශාල බුජම් වල දමා මියගිය පුද්ගලයාගේ නෑදෑයන් වෙත ලබා දෙනු ඇත . මෙලෙස අභ්‍යන්තර ඉන්ද්‍රියන් ඉවත් කිරීමේදී විශේෂත්වයක් වනුයේ හෘදය ඉවත් නොකර සිටීමය. එයට හේතුව පුරාණ ඊජිප්තු වැසියන්ගේ විශ්වාසයක් වූයේ කෙනෙකු මියගිය පසුව වුවද හෘදයේ ප්‍රාණයෙන් කොටසක් ඇතැයි යනුවෙනි.  මෙය එකල පැවති ආගමික සංකල්පයන් සමඟ ද බද්ධ වන අතර ඒ පිළිබඳව පසුව සාකච්ඡා කරනු ඇත . මෙම බුජම් පිළිබඳව අවධානය යොමු කිරීමේදී ඒවා විවිධ අමුද්‍රව්‍ය යොදා ගනිමින් නිර්මාණය කර තිබෙනු දැකගත හැකි අතර ලෝහයෙන් තැනූ බුජම් පොහොසතුන් සදහාම භාවිත කර තිබේ . කෙසේ වෙතත් ඉහතින් සදහන් කරන ලද පරිදි නේට්‍රන් වලින් වියලා ගනු ලබන අභ්‍යන්තර ඉන්ද්‍රියන් බැබුන්, සිවල්, උකුසු සහ මිනිස් සිරස් යන දෙවිවරුන් සතර දෙනාගේ ආරක්ෂාව යටතේ බුජම් වල තැන්පත් කරගනු ලැබීය . 

         මෙම බුජම්වල මූඩි ඔසිරිස් දෙවියන්ගේ පුතා වූ හෝරස්ගේ දරුවන් සිව් දෙනාගේ හිස්වල හැඩයන්ට සකස් කර ගැනීම සිරිත වූ අතර එයින් උකුස්සෙකුගේ හිසක් ඇති බුජමෙහි අන්ත්‍රයන් සහ බහිස්‍රාවී පද්ධති කොටස් ද , සිවල් හිසක් ඇති බුජමෙහි ආමාශය ද , මිනිස් හිසක් ඇති බුජමෙහි අක්මාව ද , බැබුන් හිසක් ඇති බුජමෙහි පෙනහළු ද බහාලනු ලැබීය . 

         මෙම මමිකරණ ක්‍රියාවලියේදී අප මුලින් සදහන් කරන ලද ආකාරයට හෙරඩෝටස්ගේ කාලයේ සංරක්ෂණ ක්‍රම ත්‍රිත්ත්වයක් තිබුණු බව දැකගත හැකිය . ඒ අතුරින් වැඩිම මිලට කරනු ලබන උසස්ම සංරක්ෂණයේදී මුලින්ම මළසිරුර සෝදා එය ගල් ලෑල්ලක් මත තැන්පත් කරනු ලැබීය . ඉන් අනතුරුව සංරක්ෂණය කරනු ලබන පූජකයින් විසින් කොකු උපකාරී කර ගෙන මළසිරුරේ මොළය, නාසය තුලින් පිටතට ගනු ලබන අතර එසේ පිටතට නොඑන කොටස් ඖෂධ ආධාරයෙන් සෝදා හරිනු ලබයි . මේ සදහා මමී කොක්කක් භාවිත කර ඇති අතර ඇතුල් පැත්තේ තියුණු දාරයක් සහිත වක් වූ තඹ උපකරණයක් වන මෙවැන්නක් බ්‍රිතාන්‍යය කෞතුකාගාරයේ තිබී ඇත. මෙම උපකරණයම යකඩ හාක්කයක් නමින් ද හදුන්වා තිබේ . 

        ඉන් අනතුරුව උරස් සහ උදර කුහරයන් විවෘත කර හෘදය හැර එහි ඇති අනෙකුත් සියලුම ඉන්ද්‍රියන් පිටතට ගනු ලැබීය . මෙහිදී තියුණු කැපෙන ආයුධයකින් යටි බඩ කපා පලා විවෘත කරනු ලැබීය. ඉන්පසුව උදර කුහරය පාම් සුරා වලින් හොදින් ශුද්ධ පවිත්‍ර කරගනු ලබන අතර පසුව මීර් නම් ශාක රෙසින, කුරුදු සහ අනෙකුත් සුගන්ධ ද්‍රව්‍ය වලින් එම කුහරය පුරවා මසා ගනු ලැබීය . එහෙත් මේ අවස්ථාවේ භාවිත කරන්නට ඇත්තේ ලිනන් වලට වැඩි දෙයක් සහ ලී කුඩු පොදි ආදියයි. මෙලෙස උදර කුහරය පුරවා මසා ගැනීමෙන් අනතුරුව එම සිරුර දින 70 ක් පමණ නේට්‍රන් මිශ්‍රණයේ බහා තබනු ලබයි. මෙලෙස දින 70 ගත වූ පසුව එම සිරුර යටි පැත්තේ මැලියම් විශේෂයක් තවරනු ලැබූ ලිනන් තීරු වලින් ඔතන අතර එහිදී සෑම අවයවයක්ම වෙන වෙනම ඔතා ඉන්පසුව මුළු සිරුරම ඔතනු ලැබේ . මෙහිදී ලියන ලද වශීකරණ සහ යාතිකා ඇතුලත් සුර සමඟම මෙලෙස ඔතන අතර මෙම වෙලීම සම්බන්ධයෙන් එවැනි විද්වතෙකු වන ටරිකෙයුටේස් නම් කෙනෙකු පිළිබඳව ඩයෝඩෝරස් සදහන් කරයි. විශේෂයෙන් ටුටන්කාමන්ගේ මමිය හොද වර්ගයේ ලිනන් ස්ථරයන් දහසයකට නොඅඩු ගණනකින් වෙලා තිබුණි . මෙම ක්‍රියාවලියෙන් අනතුරුව සංරක්ෂණය කරන ලද සිරුර නෑදෑයන් අතට භාර දෙන අතර සිරුර මිනිස් රූපී ලී පෙට්ටියක බහා අවමංගල්‍යය භාණ්ඩ සමඟ සොහොන් ගෙයි තැන්පත් කරනු ලැබීය . 

      මෙලෙස ඉතාම මිල අධික මමිකරණයන් රාජකීයයන්‍ සිදු කළ අතර ඊජිප්තුවේ සාමාන්‍ය වැසියන් සදහා ද මිලෙන් අඩු මමිකරණ ක්‍රියාවලීන් ද්විත්වයක් ද අපට දැකගත හැකිය . එයින් දෙවැනියට මිල අඩු ක්‍රමයේදී සිරුරේ උදර කුහරය විවෘත කිරීමක් දැකගත නොහැකිය . මෙම දෙවැනි ක්‍රමයේදී සිදු කෙරෙනුයේ මළසිරුරෙහි අධෝමාර්ගය තුලින් සීඩර් නම් ශාක තෙල් වර්ගය ඇතුළු කරන අතර එය පිටතට ඒම වැලැක්වීම සදහා ඇබයක් සවි කරනු ඇත . ඉන් අනතුරුව ඉහත සදහන් ක්‍රමයේදී මෙන් මෙම ක්‍රමයේදීත් සිරුර දින 70 ක් නේට්‍රන් මිශ්‍රණයේ තබනු ලැබේ . පසුව දින 70 ගත වීමෙන් අනතුරුව සිරුරට ඇතුළු කරන ලද සීඩර් තෙල් නිසා අභ්‍යන්තර මෘදු සිරුරු කොටස් , එනම් උදරය , බඩවැල් ආදිය දිය වී ගොස් ඇබ ඉවත් කිරීමෙන් පසුව ඒවා පිටතට ගලා ඒම සිදු වේ. ඉන්පසුව මළසිරුරෙහි ඉතුරු වනුයේ සිරුරෙහි සම සහ අස්ථි කොටස් පමණි . මෙසේ සංරක්ෂණය කරන ලද සිරුර පසුව ඔහුගේ නෑදෑයන් වෙතට භාර දෙනු ලැබේ . 

          මමිකරණ ක්‍රියාවලියේ දක්නට ලැබෙන තුන්වෙනි ක්‍රමයේදී ඉතාම ප්‍රාථමික මට්ටමේ ක්‍රියාවලියක් සිදු කරන අතර එහිදී විරේක ක්‍රම මගින් මළසිරුරෙහි අභ්‍යන්තර කොටස් පිටතට ගන්නා අතර පසුව දින 70 ක් නේට්‍රන් මිශ්‍රණයේ බහා තබනු ලබයි . එසේ වුවද ඇතැම් විට මිලෙන් අඩු සාමාන්‍ය ලුණු ද ප්‍රතිකාරය සදහා භාවිත කරනු ඇත . මෙම ප්‍රතිකාරයෙන් පසුව එම මළසිරුර නෑදෑයන් අතට භාර දී තිබේ . මෙම ක්‍රමය එකල ඊජිප්තු සමාජයෙහි සමාජ තත්ත්වයෙන් පහළම පිරිස භාවිත කර තිබේ . 

      කෙසේ නමුත් මෙම ඊජිප්තු ශිෂ්ටාචාරයේ ප්‍රභූ පැලැන්තියේ භාර්‍යාවන් මියගිය කල්හි ඔවුන්ගේ සිරුරු ඒ සැනින් බෙහෙත් ගල්වන්නය දෙනු නොලැබේ . එමෙන්ම විශේෂ රූමත්කමක් ඇති ප්‍රකට කාන්තාවන් ද මෙලෙස මියගිය සැනින් බෙහෙත් ගල්වන්නට දී නොමැත . ඔවුන් මියගොස් දින තුනක් පමණ ගිය පසු බෙහෙත් ගල්වන්නට සැලැස්වූයේ ඇතැම් සංරක්ෂකයින් විසින් මළසිරුරු දූෂණය කරනු ලැබීම නිසා එය වැලැක්වීම සදහාය. 

        මේ ආකාරයෙන් පැරණි ඊජිප්තු වැසියන් සිදුකරනු ලැබූ මමිකරණ ක්‍රියාවලීන් ත්‍රිත්ත්වයේ තාක්ෂණය යම්‍ යම් විධීන් වලින් වෙනස් වුවද මෙම සෑම ක්‍රියාවකින්ම ඊජිප්තු වැසියන් බලාපොරොත්තු වූයේ කෙනෙකු මියගිය පසුව ඔහුගේ මළසිරුර සුරක්ෂිතව තබා ගැනීමය. එය ඉතා සාර්ථක ක්‍රියාවලියක් වූයේ මෙතෙක් හමුවී තිබෙන ඇතැම් මමී වසර 3000 කටත් වඩා කාලයක් සුරක්ෂිතව පැවතීමයි.


ශ්‍රී ලාංකේය ශාන්තිකර්ම පද්ධතිය ආශ්‍රිත කාන්තා සලකුණ

  පුරාතන ශ්‍රී ලාංකේය ජන සමාජය පිළිබඳව අවධානය යොමු කිරීමේදී ගැමි ජන මානවයා නිරන්තරයෙන් ම ශාන්තිකර්ම සමඟ සහසම්බන්ධ වී සිටි බව දැකගත හැකිය ...